ගෝලීය ආර්ථිකය අබැටක් කළ කොරෝනා | Page 2 | සිළුමිණ

ගෝලීය ආර්ථිකය අබැටක් කළ කොරෝනා

ලෝකයේ  රටවල් 120ක  කොරෝනා  වයිරසය  වාර්තා වී  තිබේ

චීනයේ  දැවැන්ත කම්හල්  වැසී ගොස්ය.  සමහර කර්මාන්ත ශාලා  පටන් ගෙන ඇත්තේ  සේවකයන් දින 14  නිරෝධායනයකට ලක් කිරීමෙනි.

ප්‍රවාහන‍ෙයන්  ඇමරිකන්  ඩොලර්  බිලියන  සීයක පාඩුවක්

 

වසංගත විසින් ලෝකය ව්‍යසනයට ලක් කළ ඉතිහාසයක් තිබිණි. ඇන්තන් චෙකොෆ් ලංකාවට පැමිණෙන 1890 දශකයේ මුල් භාගයේ ජපානය බිහිසුණු වසංගතයකින් ව්‍යසනයට ලක් වී තිබුණේය. ලෝකය රටවල් ලෙස හු‍ෙදකලා වූ ඒ අවධියේ එක් කලාපයක් පීඩාවට පත් කළ ස්වාභාවික රෝ බිය ලෝකයක් අකර්මණ්‍ය කළේ නැත. ලෝකය ගෙදර මිදුල තරමට එකිනෙකාට සමීප වුණ අවස්ථාවක, තාක්ෂණය හා සන්නිවේදනය දියුණු වෙමින් විශ්වයත් ජයගත හැකි මට්ටමකට පැමිණ ඇති බව විශ්වාස කළ අවස්ථාවක, සක්වළ කෙළවර ජීවයේ අරුමය සොයමින් සිටි අවස්ථාවක අධි තක්සේරුවක් සහිත තාක්ෂණික මිනිසාට තමන්ගේ ප්‍රමාණය සොබා දහම විසින් පෙන්වා දී තිබේ. අප තවමත් සොබා දහමේ යථාර්ථය අබියස අප තවමත් කුඩාම ජීවීන් බව තහවුරු වෙමින් අැත.

 

මේ වනවිට මුළු ලෝකයම සිටින්නේ බිහිසුණු කම්පනයකිනි. ලෝකයේ රටවල් 120ක COVID-19 (කොරෝනා) වයිරසය වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මේ ලියන මොහොත වන විට වයිරසයෙන් ආසාදිත වූවන් ගණන 168000 ඉක්මවා ගොස්ය. මරණ සංඛ්‍යාව 6610කි. දළ වශයෙන් 80000 දෙනා කොරෝනා රෝගී තත්වයෙන් මිදී ඇත.

එහෙත් ලෝකය මේ උවදුර හමුවේ තවමත් සිටින්නේ අසරණ වෙමිනි. කැනඩා අගමැතිවරයාගේ බිරිය රෝගයෙන් ආසාදිතව සිටී. ඉරානයේ සෞඛ්‍ය ඇමතිවරයා ද, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිවරිද COVID-19 ආසාදිතයෝ වූහ. රටවල් එකිනෙකා අතර ගුවන් ගමන් වාරණය කරමින් සිටිති. රට තුළට පැමිණෙන විදේශිකයන් සීමා කරමින් සිටිති. ඇමරිකාව, සවුදි අරාබිය, කටාර්, ඉන්දියාව ආදී රටවල් සංච­ාරක තහනමක් පනවා තිබේ. ලෝකයේම සංචාරක ව්‍යාපාරය අඩපණ වෙමින් ඇත. ඒ හා සම්බන්ධ අනෙක් සෙසු කර්මාන්තයනට යන කලදවස පිළිබඳ බොහෝ දෙනා විස්සෝපයෙනි. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටෙමින් තිබේ. ලෝකයේ සුපුරුදු ආර්ථික රිද්මය විතැන්ව ගොස්ය.

වර්ෂ 2003 දී සාර්ස් හෝ මර්ස් වයිරස ලෝකයට බලපෑම් කළේය. වාර්තා වූයේ රෝගීන් 8000කි. මිය ගියේ 774කි. ඒ වසංගතය එදා ලෝක ආර්ථිකයට කළ බලපෑම ඇමරිකන් ඩොලර් බිලියන 50 ලෙස ගණනය කෙරිණි. 2015 දී දකුණු කොරියාව කේන්ද්‍රගත කරගෙන මර්ස් වයිරසය ව්‍යාප්ත විය. ආසාදනය වූවන් 200 කි. මරණ සංඛ්‍යාව 38කි. එයින් ගෝලීය ආර්ථිකයට ඇමරිකන් ඩොලර් බිලියන 8.5 හානියක් විය. ඇමරිකාවේ වෝල් වීදියේ ආර්ථික දත්ත අනුව 2008 වර්ෂයෙන් පසු ගෝලීය ආර්ථික වර්ධනයේ අවම අගය වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි අවසාන කාර්තුවේ සිටිය. ඇත්තනම් ගෝලීය නිෂ්පාදනය බිහිසුණු ලෙස බිඳ වැටෙමින් ඇති බවය.

ජපානය ඔලිම්පික් උලෙළ සඳහා සූදානම් වී සිටියේය. එය දැන් පැවැත්වෙනවාද නැද්ද යන්න පිළිබඳ ඔවුන් දෙගිඩියාවෙනි. ග්‍රීසියේදී ඔලිම්පික් ගිනි සිළුව දැල්විණි. නිල උත්සවය පැවැත්වූයේ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරවය. රටවල් ගණනාවක කලාපීය හා අන්තර්ජාතික සමුළු ගණනාවක් අවලංගු වී තිබේ. අග්නිදිග ආසියානු නායකයන්ගේ සමුළුව යෙදී තිබුණේ මාර්තු 14 ය. එය ඩොලන්ඩ් ට්‍රම්ප් විසින් කල් දැම්මේය. ලන්ඩන් පොත් දැක්ම කල් ගියේය. සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවැත්වීමට ගිය ක්‍රීඩා සංවර්ධන සමුළුව අත්හිටවූයේය. මැදපෙරදිග විශාලම කලා පොළ වන ආර්ට් ඩුබායි නැවතිනි. ටෝකියෝවේ ඩිස්නි ලන්තය වසා දමා සති ගණනකි. ඔසාකා හි තේමා උද්‍යානය ද, ෂැංහයි ඩිස්නිලන්තය ද එසේමය. අන්තතර්ජාතික මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික හමුව මෙවර පැවැත්වුයේ ටෙලි කොන්ෆරන්ස් ක්‍රමයට ය. රටවල් එකි නෙකා අතර හුදකලා වී ඇත.

චීනය අනේක උපක්‍රම හරහා ගොඩනගා ගත් ආර්ථිකයට එල්ල වී තිබුණු මරු පහරින් යළි ගොඩ ඒමේ දැවැන්ත ප්‍රයත්නයකය. චීනයේ දැවැන්ත කම්හල් වැසී ගොස්ය. සමහර කර්මාන්ත ශාලා පටන් ගෙන ඇත්තේ සේවකයන් දින 14 නිරෝධායනයකට ලක් කිරීමෙනි. එය කාලයක් යනතුරුම ලෝක නිෂ්පාදන ආර්ථිකයට බලපානු ඇත. ඊට අනුයාතව සමස්ථ ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන බිඳවැටීම් මාලාවත් සමග ලෝක ඛණිජතෙල් ඉල්ලුම පහළ වැටී තිබේ. දැවැන්ත කර්මාන්ත ශාලා අකර්මණ්‍ය ය. ප්‍රවාහන ක්ෂේත්‍ර අඩාළ වී තිබේ. ගුවන්සේවා කර්මාන්තයට ඉතිහාසයේ මෙතරම් හානියක් සිදුවී නැත. දැනට ලෝකය පුරා ගුවන් ගමන් වාර දස දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු වී තිබේ.

ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව ඉන් සිදු වූ පාඩුව පමණක් දල වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන සීයකි. එක් යහපතක් වී ඇත. පොසිල ඉන්ධන දහනය අඩුවීම හා ප්‍රවාහන හා ගමනා ගමන කටයුතු අවම වීම නිසා වායුගෝලයට විමෝචනය වන කාබන් ධාරිතාව අඩු වී ඇත.

ලෝකයේ රටවල් රැසක කොටස් වෙළෙඳපල වාර්තාගත ලෙස පසුබෑමකට ලක් වෙමිනි. ඇතැම් රටවල කොටස් වෙළෙඳපල වැසී යෑමට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු පෙනේ. ආයෝජනයන් පිළිබඳ යථාර්ථය ඉන් ප්‍රකට වෙමින් ඇත. මහා පරිමාන සමාගම්ද මේ වසරේ සිය ආදායම් පිළිබඳ පුරෝකථනයකට නොහැකිව විපිළිසරව සිටිති.

යුරෝපීය රටවල සාමාන්‍ය වැසියෝ බහුතරය එදිනෙදා ජීවිතය සැලසුම් කරන්නෝ වෙති. ඔවුන්ට නිවසින් එළියට බැස ස්වකීය ජීවිත වෘත්තියට එළඹිය නොහැකි මොහොත ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ගැටලුවට ගෙන යයි. යුරෝපයම පාහේ හැකි හැම අවස්ථාවකම අන්තර්ජාලය හරහා නිවසේ සිට වැඩ කරන අවස්ථාව සේවකයන්ට ලබා දී තිබේ.

පුංචි වයිරසයක් සමස්ථ මානව සංහතියේ පැවැත්මට අභියෝග කරමින් හිඳී. සොබාදහම මේ නියා අසීමාන්තික මානයෙන් යුතුව හැසිරුණු මනුෂ්‍යයා අසුරු සැණින් තුන් මුණින් හොවා තිබේ. තමන්ගේ සීමාවේ ප්‍රමාණය කියා දී තිබේ. තමන් මොනතරම් දුර්වල මුග්ධයන් දැයි වටහා ගැනීමට අවකාශ සලසා තිබේ. මිනිසුන් සදාකාලික යැයි උපකල්පනය කරමින් ස්වකීය සංහතියේ පැවැත්ම ගොඩනගන්නේ අතිශය බිඳෙනසුළු සංකල්ප මතය. දින දෙකක් අන්තර්ජාලය නැවතුනහොත් නූතන මිනිසාගේ පැවැත්ම බිඳ වැටීමට එයම ප්‍රමාණවත් ය.

කොරෝනා වයිරසය ජීවිතය දෙස අලුත් මානයකින් දකින්නට අලුත් ඥානයක් ලබා දුන්නා යැයි සිතේ. නොමැරී ජීවත්වන මිනිසුන් ඉන් පාඩමක් ඉගෙන ගතහොත් ලෝකය මීට වඩා සුන්දර තැනක් වනු ඇත.

 

Comments