කොරෝනා හමුවේ කියුබාවේ පරිස්සම සහ අරපිරිමැස්ම | සිළුමිණ

කොරෝනා හමුවේ කියුබාවේ පරිස්සම සහ අරපිරිමැස්ම

"කියුබාව තුළ මුඛ ආවරණ  මිලදී ගැනීමේ ස්ථානයක් නොමැත.  නමුත් ඒවාට පිළියම් ලෙස ඔවුන් විසින්  සිදු කරනු ලබන්නේ ඒවා තමන් විසින්ම  සකස් කොටගෙන පැළඳීම හෝ  එසේත් නැතිනම් රජය විසින්  ඒ සඳහා මැදිහත් වී ඒවා ලබාදීමය."

මේමොහොත වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම ඇත්තේ අවදානම් තත්ත්වයකය. එනම් ඔබ අප සියල්ලෝම දන්නා පරිද්දෙන් කොරෝනා වයිරසය මුළු මහත් ලෝකය පුරාම පැතිර යමින් පවතින බැවිනි. මේ සා දුරක් පැමිණි කොරෝනා වයිරසය ශරීරයට ඇතුළු වූ මුල්ම පුද්ගලයා සොයා ගනු ලැබුවේ චීනයෙන් යන්නයි.

ඒ සොයා ගැනීම පසුගිය වසරේ අග භාගය දක්වා දිවෙන අතර ඇතැමෙක් ප්‍රකාශ කරනු ලැබුවේ එම වයිරසය එයින් කලකට පෙර චීනයේ පැතිර තිබූ බවත් චීන බලධාරීන් විසින් එය තැකීමකට ලක් නොකොට සඟවාගෙන සිටි බවත්ය. ඒ කරුණු කෙසේ වෙතත් බොහෝ බලවත් රාජ්‍ය පවා මුවින් නොබැන කරන කියන දෙයින් චීනය සම්බන්ධයෙන් ඇති ස්ථාවරය පැහැදිලි වේ.

Wuhan යනු ලෝකයටම බලපෑමක් එල්ල කරන්නට සමත් වූ කොරෝනා වයිරසය සොයාගත් නගරයයි. රෝගීන්ගේ බෝවීම පාලනය කරන්නට නොහැකි වූ තැන මුලින්ම lockdown කළ එසේත් නැතිනම් වසාදැමූ නගරය වූයේ එයයි. ඉන්පසු කෙමෙන් කෙමෙන් ලෝකය පුරා කොරෝනා වයිරසය ඔඩුදුවා යනවිට ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතින් ඉහළම තැනක සිටින කියුබාව මේ සඳහා මුහුණ දුන්නේ වෙනමම ආකාරයකිනි.

මේ මොහොත වන විට ලංකාවේ පමණක් නොව අනෙකුත් රටවලද කොරෝනා වයිරසය ගෙනයන රෝග වාහකයකු ලෙස බොහෝ තැන්වල කතාබහට ලක්වෙන්නේ ඉතාලි ජාතිකයන් පිළිබඳවය. එසේත් නැත්නම් ඉතාලියේ සිට අනෙකුත් රටවලට සංක්‍රමණය වූවන් පිළිබඳවය. කෙසේ වෙතත් ගිය වසරේ සිට ලෝක මාධ්‍යවල කතාබහට ලක් වූ චීනයේ කොරෝනා වයිරසය 2020 මාර්තු මස 11 වන දා තෙක් කියුබාව වෙත පැමිණ තිබුණේ නැත. එහෙත් එදින කියුබාවේ මුල්ම රෝගියා පිළිබඳ සඳහන් වූ අතර එදිනම තවත් දෙදෙනෙකු සමග මුල්ම රෝගීන් තිදෙනා රෝග නිවාරණ මධ්‍යස්ථාන වෙත ගෙන එනු ලැබීය. මුලින් කීවාක් මෙන් කියුබාවෙන් හමුවූ එකී රෝගීන් තිදෙනාද ඉතාලි ජාතිකයෝය. ඔවුන් පැමිණ තිබුණේ කියුබාවේ සංචාරය කිරිමටය. ඉතාලි ජාතික සංචාරකයන් දෙදෙනා රඳවනු ලැබූ නිවාරණ මධ්‍යස්ථානයේ ඒ වනවිටත් ඇඳන් 3000 කට වැඩි ප්‍රමාණයක් සකස් කර තිබු ස්ථානයක් විය. ඒ ඔවුන්ගේ සූදානමයි. මාස ගණනාවකට පෙර සිට ඔවුන් යම් හදිසි අවශ්‍යතාවක් පැමිණිය හොත් එයට සූදානම් වීම උදෙසා මෙය සකස් කර තබන්නට විය

වැදගත්ම කරුණ වන්නේ ලෝකය පුරා මෙහි මෙකී වසංගතය ඔඩු දුවන විට කියුබානුවන් තවමත් සාමකාමී ලෙස සුපුරුදු පරිදි තම ජීවන ක්‍රියාවලිය ගෙනයාමයි. සුපුරුදු පරිදිම තවමත් පාසල් සියල්ලම අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන අතර සාමාන්‍ය ලෙසින් ගුවන් තොටුපළ ද විවෘතව පවතී. එහෙත් ඇතැම් ප්‍රදේශවල පමණක් පාසල් වසා දමා ඇති අතර සංචාරකයන් සඳහා නාවික පහසුකම් අත්හිටුවා තිබේ. කෙසේ වෙතත් අන් රටවල මෙන් කොරෝනා වයිරසයෙන්ව ආරක්ෂා වීම උදෙසා ඔවුන් සඳහා මුඛ ආවරණ නොමැත. එයට හේතුව වන්නේ කියුබාව තුළ ඒවා මිලදී ගැනීමේ ස්ථානයක් නොමැති වීමය. නමුත් ඒවාට පිළියම් ලෙස ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ ඒවා තමන් විසින්ම සකස් කොටගෙන පැළඳීම හෝ එසේත් නැතිනම් රජය විසින් ඒ සඳහා මැදිහත් වී ඒවා ලබාදීමය.

එමෙන්ම ඒ සඳහා තවත් සාර්ථක වැඩපිළිවෙලක් කියුබානු ඇඟලුම් ආයතන විසින්ම ආරම්භ කරන ලදී. ඒ කියුබාවේ පිහිටා ඇති කලිසම් මසා නිම කරන කර්මාන්තශාලාවකින් ඒවා නිම කිරීමයි. ඒ සඳහා ඔවුන් යොදා ගනු ලබනවා යයි සඳහන් වන්නේ පාසල් නිල ඇඳුම්වලට භාවිත කරන රෙදි වර්ගය. ඒ අනුව ගණන් බලා ඇති ආකාරයට ඔවුන් දිනකට මුඛ ආවරණ 20,000 කට අධික ප්‍රමාණයක් පිළියෙල කිරීමට සමත්ව තිබේ. එමෙන්ම කියුබානු රජය විසින් තම රටේ ජනතාව දැනුම්වත් කරමින් නිතර නිතර පණිවිඩ නිකුත් කරන අතර අවධාරණයෙන් කියා සිටින්නේ මුඛ ආවරණයක් පැය කිහිපයක් පමණක් භාවිතයට ගන්නා ලෙසත් ඒවා ලබාගත නොහැකි අයට අන්තර්ජාල මුල්කරගෙන මුඛ ආවරණ සාදාගන්නා අයුරු මෙන්ම රෝගීන් වැළකීමේ උපදෙස් පවා වීඩියෝ මාර්ගයෙන් ඉදිරිපත් කරමිනි.

මේ මොහොත වන විටත් ලෝකයේ බලගතු රාජ්‍ය පවා කොරෝනා වයිරසයට ඖෂධයක් නොමැතිව අසරණ තත්ත්වයෙන් සුසුම් හෙළන කළ අන් සෑම අවස්ථාවලදී මෙන්ම සියල්ලටම අභියෝග කරමින් වයිරස එරෙහි ප්‍රතික්‍රියා කරන ඖෂධයක් සොයා ගැනීමට සමත් විය. මේ ඔවුන් නම් කර ඇත්තේ recombinant interferone alfa 2B නමිනි. මෙකී එන්නත මේ වන විටත් චීනය තම රෝගීන් උදෙසා භාවිත කරමින් සාර්ථක ඉදිරි පියවර කීපයකටම පැමිණ තිබේ.

ඉතාලියෙන්, ඊශ්‍රායලයෙන් මේ වයිරසයට එරෙහි ක්‍රියාත්මක කරන ඖෂධයක් සොයා ගනු ලැබුවේ යැයි සඳහන් වුවද ඒ කටයුතු පවතින්නේ තවමත් පරීක්ෂණ මට්ටමේ ය. නමුත් කියුබාව විසින් සොයාගත් එන්නත මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට සමත්ව තිබේ. ඔවුන් විසින් සඳහන් කරන අන්දමට කියුබානුවන් මේ එන්නත පරීක්ෂාවන්ට ලක් කර තිබෙන්නේ වසර ගණනාවකට පෙරදී ය. යම් විටෙක එය සත්‍යයක් වන්නට ද පුළුවන. මන්ද මේ මොහොත වන විට ලෝකයේ ඕනෑම දෙයකට සූදානම් වීමේ අරමුණින් නිදහස්ව සිටින රටක් සිටී නම් ඒ කියූ බාවය. මන්ද ඔවුන් නිතරම තම සෞඛ්‍ය සේවාවන් ගැන දැඩි විශ්වාසය සහිතව සිටිනා බැවිනි.

මේ මොහොත වන විටත් ඔවුන් අධික ලෙස corona වයිරස පැතුරුණු රටවල්වලින් සංචාරයක් උදෙසා තම රටට පැමිණෙන කිසිවකුට බාධක පනවා නැත. එමෙන්ම මේ මොහොත වන විට යුරෝපයෙන් පැමිණෙන බොහෝ සංචාරකයන් කියුබාවේ සංචාරය කරමින් සිටිති.

කියුබානු ජනතාව එදා සිට නම් දරා ඇත්තේ කවර බාධක මධ්‍යයේ වුව හෝ තම එදිනෙදා කටයුතු ගොඩනගා ගෙන යාමටය. ඉතින් මේ වසංගත රෝගය අභිමුව වුව ඔවුන් කිසිසේත්ම එයින් පැන යාමට සූදානම් වන්නේද නැත.

 

Comments