කොරෝනා මර්දනයට රජයේ සූදානම | Page 2 | සිළුමිණ

කොරෝනා මර්දනයට රජයේ සූදානම

ජනපති අගමැති එක්ව  ජනතාව සුරකින්න පියවර

බය වෙන්න එපා;  පැය 24 ම අපි සීරුවෙන්  - යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

වයිරස පාලනයට ජාතික  ෙම ෙහයුම් මධ්‍යස්ථානයක්

කොරෝනා මර්දනට ගම් මට්ටමින් කමිටු

අපේ රටට මෑතකදී බලපෑ දරුණුතම රෝග උවදුරක් ලෙස හැඳින්විය හැකි නව කොරෝනා කෝවිඩ් - 19 වැළැක්වීම හා මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ රජය විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. සෞඛ්‍ය, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල මෙහෙයවීම මත සියලු කටයුතු සිදුකරන අතර ඒ සියල්ල මෙහෙයවීමට කොරෝනා කාර්ය සාධක බළකායක් ද පිහිටුවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ්-19 වයිරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත.

මහජන සුබසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණෙන් මේ මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය.

යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව මේ රෝගය වැළැක්වීමට පූර්ණ දායකත්වය සපයයි.‍ යුද හමුදාව දැනට නිරෝධායන මධ්‍යස්ථාන 19ක් පිහිටුවා ඇත. තවත් මධ්‍යස්ථාන දෙකක් රන්ටැඹේ හා දඹවින්නේ ඉදිකරමින් පවතී. ඊට අමතරව අවශ්‍යතාව පරිදි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ගුවන් හමුදාව ගුවන්තොටුපළ පරිශ්‍රය විෂබීජ හරණය කරන අතර පිටරටින් එන සියලු ගුවන් මගීන් නිරෝධායනය කිරීමට යොමු කිරීමක් සිදු කරයි. ඊට අමතරව වවුනියාවේ 600කට සිටිය හැකි නිරෝධායන මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

නාවික හමුදාව මුහුදින් හා නැව්වලින් එන ‍එතෙර මෙතෙර මගීන් නිරෝධායනය කිරීමට කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ අනුව පිටරටවලින් මොන මාර්ගයෙන් ආවත් ඒ සියලු දෙනා නිරෝධායනයට හමුදාව හා සෞඛ්‍ය අංශ සූදානම් බව ආරක්ෂක අංශ පවසයි.

රජය දැනටමත් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා ග්‍රාම නිලධාරිවරුන්ගේ සහය ලබාගෙන එම කාර්යාල තුළ ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාම නිලධාරි මට්ටමින් කොරෝනා වළක්වන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛනයකින් ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ. ඒ සඳහා සහාය දීමට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් පොලිස් නිලධාරියකු අනුයුක්ත කළ යුතු ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිතරම ජනතාව දැනුම්වත් කිරීමට උපදෙස් ලබාදෙයි.

නව කොරෝනා රෝග ලක්ෂණ පැහැදිලිව තිබෙන අය පෞද්ගලික අංශ‍යේ රෝහල්වලට නොගොස් කෙලින්ම ‍රජයේ රෝහල්වලට ඇතුළත් විය යුතු බව ඒ් මහතා පවසයි.

ජාතික රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්. රෝහල) රාගම උතුරු කොළඹ මහ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුරය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, පොලොන්නරුව මහ රෝහල, රත්නපුර පළාත් මහ රෝහල, බදුල්ල පළාත් මහ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල් යන ‍රෝහල්වලට එවැනි රෝගීන් ඇතුළත් වීම සුදුසු බව ද අනිල් ජාසිංහ මහතා පවසයි. මේ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන පවසන්නේ මෙරට ඇති සියලු මූලික රෝහල් ද හදිසි අවස්ථාවකදී මෙම රෝගීන්ට ලබාදිය හැකි බවයි. එම එක රෝහලක ඇඳන් සියයක පහසුකම් තිබෙන බවත් ඇය පවසන්නීය. අයි.ඩී‍.එච්. රෝහලේ ඇඳන් 600 ක පමණ පහසුකම් තිබෙන අතර ඒ අසල ඇති මුල්ලේරියා රෝහල ද කොරෝනා මර්දන කටයුතු සඳහා යොදා ගත හැකි ය.

කොරෝනා රෝගය පිළිබඳ සියලු තොරතුරු දීම සඳහා 117 දුරකතන අංකය ලබාදී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ 0113071073 හා 0113090502 හෝ 0113090113 දුරකතන අංක ද ඇමැතීමෙන් නිරෝධායන තොරතුරු ලබාගැනීමට හැකි ය.

මේ රෝගය අපේ රටට ඇතුළුවීම සිදුවූ අවස්ථාවේ සිටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය එය තවදුරටත් වැළැක්වීම සඳහා පියවර රැසක් ගෙන ඇත.

අප්‍රේල් 20 තෙක් සියලුම පාසල් වැසීම, දහම් පාසල් හා ළදරු පාසල් වැසීම, විශ්ව විද්‍යාල, පුහුණු මධ්‍යස්ථාන, වෘත්තීය පුහුණු පාසල්, උද්‍යාන හා සතුන් වතු මෙන් ම කෞතුකාගාර වැසීම රෝගය බෝවන අයුරු රෝග ලක්ෂණ පිළිබඳව ආරක්ෂාවීම පිළිබඳව සියලු දුරකතන ජාල මගින් දැනුම්වත් කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

පසුගිය 16 සිට 19 දක්වා රජයේ හා පෞද්ගලික ආයතනවල නිවාඩු දින බවට පත් කළ අතර එම දිනවල ලංගම බස් රථ පෞද්ගලික බස් රථ හා බස් නැවතුම්පළ කටුනායක ගුවන් තොටුපළ දුම්රිය හා රෝහල් පරිශ්‍ර විෂබීජ හරණය කිරීමත් කටයුතු කර ඇත.

මේ රෝගය වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ අපි ජාතියක් ලෙස එකට සිට මේ අභියෝගයෙන් ජයගත යුතු බවයි.

නව කොරෝනා වයිරසයට එරෙහි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජනතාවට ප්‍රශ්න ඇති කිරීමට නොව ඇතිවිය හැකි අපහසුතාවන්ගෙන් ජනතාව මුදාගෙන ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් සැකසීමට බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අපේ රටට ඉදිරි මාස කීපයකට අවශ්‍ය සියලුම ඉන්ධන, ආහාර පාන, රෙදිපිළි ඇතුළු සියලු දේ රට සතුව තිබෙන බවත් ඒ අනුව වෛද්‍ය උපදෙස් පිළිගෙන කලබල නොවී කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

මේ අතර වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැඟවීමට හෝ වෙනත් කූට උපක්‍රම යොදා හෝ ජනතාව අපහසුතාවකට පත් කිරීම සිදු කරනවා නම් ඒ පිළිබඳව නි‍රෝධායන පනත අනුව දඬුවම් පමුණුවන බව ජනමාධ්‍ය තොරතුරු සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අවස්ථාවේ රටේ සියලු රටවැසියාට වඩාම සාධාරණ හා යුක්ති සහගත ලෙස භාණ්ඩ ලබාදීමට රජය සියලු කටයුතු සිදුකරන බවත් පොලිසිය හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය එක්ව කළු කඩ වටලන බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොරෝනා රෝගය වැළැක්වීමට හා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂක වෛද්‍ය උපකරණ, මුඛ ආවරණ, අත් ආවරණ තොග ලෙස තබා ගැනීමට හා මිලදී ගැනීමට ක්‍රියා මාර්ග ගනු ලැබූ බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

මේ අතර නව කොරෝනා වයිරසයෙන් ජනතාව බේරා ගැනීමට හා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා කාර්ය සාධක බළකායට උපදෙස් දී ඇත.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ සියලු නිරෝධායන මධ්‍යස්ථාන උසස් මට්ටමින් සකස් කර එහි සිටින අයට හමුදාවට අනුව ඉහළම මට්ටමේ ආහාරපාන ලබාදෙන බවයි. "නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න කීවාට අපිට සමහර විට දෙන්නේ ගොඩනැගිල්ලක් පමණයි. වැසිකිළි හැදිය යුතුයි. ජලය පානයට ජල කරාම සහ සින්ක් බේසම්, බාත් රූම් හැදිය යුතුයි. අපේ කොල්ලෝ එක දවසකින් දෙකකින් ඒ වැඩ කරනවා. අපේ පහසුකම් තමයි ඒ අයට දීලා තිබෙන්නේ. ඒ පිළිබඳව සිතා බලන්න. බය වෙන්න එපා, පැය විසි හතරම අපි සීරුවෙන්" යැයි ද යුද හමුදාපතිවරයා කීය.

මේ අනුව මේ නව කොරෝනා වයිරසයෙන් අපේ රට ආරක්ෂා කර ගැනීමට ‍රජය පැත්තෙන් උපරිම සහාය, මිල මුදල්, සෞඛ්‍ය උපකරණ ආදිය නොඅඩුව සපයා තිබේ.

ඒ අනුව අපි සියලු දෙනා ද ඒ නිරෝධායන කටයුතුවල පූර්ණ සහාය දිය යුතු වෙමු. අපි සියලු දෙනා පක්ෂ ආගම් බේදවලින් තොරව එකාවන්ව මේ රෝගය වැළැක්වීමට කටයුතු කළොත් එය ර‍ෙට්ම දිගු කල් පවතින ජයග්‍රහණයක් ම වනු ඇත.

Comments