උඩින් යන අය ගෙදර හිර වෙයි | Page 2 | සිළුමිණ

උඩින් යන අය ගෙදර හිර වෙයි

ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ ආර්ථික හානි, අන්තර්ජාතික

සබඳතා ඇනහිටීම් මෙන්ම පුද්ගල ගැටලු රැසක් මතු කර ඇති මේ කොරෝනා වසංගතය දුරු කරන තුරු ඉවසා සිටීම හැර වෙනත් කළ හැකි දෙයක් අපට නැත.

නව කොරෝනා වයිරසය හෙවත් Covid19 විසින් මේ වන විට ලෝකය පුරා මහා භීතියක් ඇති කර තිබේ. එම නිසා ලෝකය පුරාම ගුවන් ගමන් සේවා 1000කට අධික සංඛ්‍යාවක් මේ වන විට අවලංගු කර ඇත. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණෙන සියලුම ගුවන් සේවා පසුගිය 18 වැනිදා රාත්‍රියේ සිට සීමා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට මගීන් රැගෙන එන ගුවන් යානා සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර භාණ්ඩ ගුවන් යානා හා ගුවන් ගමන් අතරමැදි හුවමාරු මගීන් (Transit) පමණක් රැගෙන එන යානාවලට ගුවන් තොටුපොළ ගොඩබැස්සවීමට අවසර ඇත. එමෙන්ම පිටත්වීම් ගුවන් යානාවලටද එයින් කිසිදු බාධාවක් නොමැත.

 

මේ වන විට විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශය හරහා විදේශගතව සිටින

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ලක්ෂ 16කි. ඊට අමතරව වෙතත් ක්‍රමවලින් මෙරටින් බැහැර ගොස් ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන පිරිසද 35000කට ආසන්නය.

කොරෝනා හේතුවෙන් මේ සියලු දෙනාම එක් එක් රටවල පැතිරෙන ආසාදනය නිසා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටය. විශේෂයෙන්ම මේ වන විට දකුණු කොරියාවේ පමණක් 25000ත් 30000ත් අතර පිරිසක් දිවි ගෙවති. ඇතැම්හු එහි පුරවැසියෝය. නමුත් බොහෝ පිරිස් මෙරටට ආදායම සපයා දෙන ශ්‍රමිකයින්ය. මෙරට විශාල පිරිසක් ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන්නේ මැද පෙරදිග රටවලය. ඒ අතර ක්වේට්, ඩුබායි, දෝහා කටාර් මුල් තැනක් ගනී. එහි ගෘහ සේවිකාවන් මෙන්ම වෙනත් වෘත්තීන්හි නියැළෙන සේවකයෝද වෙති.

මේ ශ්‍රමිකයින්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීම පිණිස ශ්‍රමිකයින් පුහුණු කිරීම පිණිස වෘත්තීය පුහුණු අධිකාරිය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ගිවිසුමක් ද මීට දින කිහිපයකට පෙර අත්සන් කරන ලදී. ඒ අනුව ඉදිකිරීම්, මෝටර් රථ තාක්ෂණය, විදුලි කාර්මික වෑද්දුම් ශිල්පී, සාත්තු සේවිකයන් සඳහා මධ්‍යස්ථාන 8ක් මේ පුහුණු ආයතන අලුතින් ආරම්භ කරන ලදී.

එහෙත් ඒ සියලු ගුණාත්මක නැංවීම් සියල්ල පසෙකට විසිකර දමා පළමුව ආරක්ෂාව යන්නට මුල් තැනක් ලබා දී ශ්‍රමිකයන් ගේ විදෙස් ගමන් සියල්ල අත් හිටුවීමට සිදු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ නිසාය.

මේ සියල්ල මැද අපට නොපෙ­‍ෙනන එහෙත් තව ටික දිනකදී මුහුණ පාන්නට වන ගැටලුවක්ද තිබේ.

බොහෝ ශ්‍රමිකයින් විදෙස් ගතවීමට ණය මුදල් ගෙන ඇත්තේ මාස කිහිපයකින් ලබා දෙන පොරොන්දු පිටය. එහෙත් මේ ගැටලු සහිත තත්ත්වය නිසා තව නොබෝ දිනකින් ඔවුන්ගේ ඤාතීන්ට එම ණය හිමියන්ගේ රැවුම් ගෙරවුම්වලට මුහුණ පාන්නට සිදුවන අතර ඒ සම්බන්ධව එතැනින් එහාට ගිය කරුණුවලටද මුහුණ පාන්නට සිදුවනු ඇත.

එසේම මේ වන විට විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ගෝලීය දළ නිෂ්පාදනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 350 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවයි.

ඉතාලිය, දකුණු කොරියාව මෙන්ම මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් බොහෝ සෙයින් එම රටවලින් ඉවත් වන බව මේ වන විට පැහැදිලි වී තිබේ.

විශේෂයෙන්ම ඉතාලියේ සිටි සැලකිය යුතු පිරිසක් මේ වන විට මෙරටට පැමිණ ඇති අතර තවත් පිරිසක් වෙනත් රටවලටද ගොස් තිබේ. එරට සිටින අය වුවද රැකියාවන්ට නොගොස් සිටීමට කටයුතු කර ඇත.

මේ වන විට විදේශ කරා සංචාරකයින් ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන ආයතන මෙන්ම ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආයතන රැසක් තාවකාලිකව වසා දමා ඇත. ඔවුන්ගේ විදුලි බිල් ජල, දුරකතන බිල්පත් ගෙවීම පවා විශාල ගැටලුවක් බව ඔවුහු පවසති. ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධායකවරුන්ගේ සංගමයේ ප්‍රචාරක ලේකම් රංගනාත් කරුණාදාස මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ගුවන් සමාගම් විසින් පවා දැනට ගෙනා ඇති මුදල් ආපසු ලබා දීම හෝ වෙනත් දිනයක එම ගුවන් ගමන් සිදු කිරීමට එකඟත්වය ලබා දී ඇතත් ඉදිරියේදී වන්දනාකරුවන් ගමන් සඳහා ඉදිරිපත් වේද යන අවිනිශ්චිතභාවයක් තිබෙන බවයි.

එම නිසා විදෙස් සංචාර කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවද ඔහු පවසයි. එසේම මේ වන විටත් ඉන්දියාවේ සංචාරය පිණිස ගොස් ඇති වන්දනාකරුවන් නේපාලය දක්වා නොගොස් මෙරටට කැඳවීම නිසා වීසා හා අනෙකුත් ගාස්තු සම්බන්ධව ආයතනවලට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇති බවද ඔහු පවසයි.

ඒ සම්බන්ධව මේ අවස්ථාවේදී රජයට පවා කරුණු ඉදිරිපත් කිරීමට තම ආයතනවලට නොහැකි වී ඇත්තේ කොරෝනා උවදුරට මුල් තැනක් ලබා දීමට රජයට කටයුතු කරන්නට සිදුව ඇති නිසා බවද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවත් මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් විශාල පිරිසකගේ ජීවනෝපාය පවා ඒ හරහා සම්පූර්ණයෙන්ම ඇහිරී යන බවද ඔහු කීවේය.

විදෙස් වන්දනා ආයතන හා රැකියාව කරනු ලබන පිරිස 40000ක් පමණ වන බවත් ඔවුන් ඇසුරින් ලක්ෂ 4ක පමණ පිරිසක් ජීවත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ නිසා යම් හෙයකින් කොරෝනා දුරස්ව ගියද මේ ආර්ථික අගාධය නම් තවත් කාලයක් යන තුරු ගොඩ ගන්නට නොහැකි වන ලකුණු මේ වන විට පහළව ඇත.

අප රටින් අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට විදෙස්ගත වීමක් දක්නට නොලැබේ. ඒ හරහා සිදුව ඇති අර්බුදය අපට එක්වරම නොපෙනේ.

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි පවසන්නේ චීනයේ මේ වන විට වයිරසය පැතිරීම හා ආසාදිතයන් ඇතිවීම පාලනය කර ඇති බවත් ඔවුන් ස්වාධීනව පවා නිරෝධායනයකට ලක්ව ඇති බවයි.

ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ ආර්ථික හානි, අන්තර්ජාතික සබඳතා ඇන හිටීම් මෙන්ම පුද්ගල ගැටලු රැසක් මතු කර ඇති මේ කොරෝනා වසංගතය දුරු කරන තුරු ඉවසා සිටීම හැර වෙනත් කළ හැකි දෙයක් අපට නැත. එසේම අපේ රටේ එය දුරු කළ හැක්කේ ලෝක සෞඛ්‍ය සංවිධානයට හෝ වෙනත් අයට නොව අපට පමණක්ම බව දැන ගැනීම වැදගත්ය. ඒ සඳහා සෞඛ්‍යම අංශ විසින් ලබා දෙන ආරක්ෂක ක්‍රම පිළි ගැනීම වැදගත් වේ.

 

Comments