දැන් නැවතත් මනාප පොරය ආරම්භ වී ඇත. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති 1978දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් හඳුන්වා දී ඇති මෙම මනාප ක්‍රමය වෙනස් කර ගන්නට පසුගිය කාලයේ මහත් වෑයමක් ගත් බව පෙන්නුවද එය වෙනස් නොවීය. මේ නිසා ඉදිරි මහ මැතිවරණයද මනාප පොරයෙන් ජය ගන්නන්ට පාර්ලිමේන්තුව විවර කරන මැතිවරණයක් බවට පත්ව තිබේ.
ඉකුත් ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ කිසිඳු දේශපාලන රැලියකට හෝ සැරසිල්ලකට පොලිතීන් යොදා නොගත යුතු බවයි. මේ අනුව එවර තරග කළ සියලු දේශපාලන පක්ෂ පොලිතීන් භාවිතයෙන් ඈත් විය.
මෙවර මහ මැතිවරණය මනාප පොරයක් බැවින් පොලිතීන් භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේදැයි සැක සහිතය. මේ බව දැන ගෙන දෝ ජනාධිපතිවරයා කල්තියාම සඳහන් කර ඇත්තේ ජනාධිපති රුව කටවුට් හා පෝස්ටර් සඳහා යොදා නොගත යුතු බවයි.
එතුමාගේ එම නියෝගය අතිශයින්ම කාලෝචිතය. මන්ද පහසුවෙන් දිරාපත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගනිමින් තැනෙන එවැනි දැවැන්ත ප්රචාරක පුවරු නිසා රටේ පරිසර දූෂණය ඉහවහා යන බැවිනි. අනෙක් අතට වැසි රහිත කාලගුණයක් පවතින මෙකල එවැනි විද්‍යුත් ආලෝක ධාරා සහිත ඩිජිටල් ප්රචාරක පුවරු සඳහා යොදාගැනෙන්නේ ජාතික විදුලි බල පද්ධතියෙන් ලබා ගන්නා විදුලියයි. එය රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවා ගත හැකි විදුලි බලය අපතේ යැවීමකි. එවැනි ඩිජිටල් ප්රචාරක පුවරු සඳහා යොදා ගැනෙන විදුලිය වෙනුවෙන් අදාළ පුද්ගලයන් ලං.වී.ම. ට මුදල් ගෙවන බව මෙහිදී කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් දේශීය සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගත හැකි විදුලිය මෙවැනි දේශපාලන ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් නාස්ති කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කේ මෙකල පවතින වැසි රහිත කාලගුණය ද ඊට ආදේශ කර සැලකිල්ලට ගැනීමෙනි.
මේ අතර ජ.වි.පෙ. කාලයක පටන් තමන්ගේ රැස්වීම් වල වේදීකා සැකසීම සඳහා මෙන්ම එම භූමි අලංකාර කිරීම සඳහා යොදා ගැනෙන පොලිතින් සැරසිලි ඇතුළු භූමිය පුරා විසිරි තිබෙන කඩදාසි කැබලි ඇතුළු අපද්‍රව්‍ය රැස්වීම අවසානයේ එකතු කර රැගෙන යෑමේ වැඩපිළිවෙළක් අනුගමනය කළේය. එම පොලිතීන් සැරසිලි ඔවුන් එලෙස එකතු කර ගෙන යන්නේ ඒවා වෙනත් රැස්වීමකදී යළි ප්‍රයෝජනයට ගැනීමේ අදහසින් විය හැකිය; නැතහොත් එම අපද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ලෙස විනාශ කර දමනවාද විය හැකිය. කෙසේ වෙතත් එය ජ.වි.පෙ. විසින් කාලයකට සිට කරගෙන යන ආදර්ශවත් ක්‍රියාවක් ලෙස හැඳින්වීමට පුළුවන. මන්ද එය පරිසර දූෂණය වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් වන බැවිනි.
මීට පෙර විවිධ අවස්ථා වලදී මෙරට බලයට පත් වූ හැම ආණ්ඩුවක්ම පාහේ පරිසර දූෂණය වැළැක්වීම සඳහා නොයෙකුත් නීති රීති සම්පාදනය කර තිබුණි. එහෙත් එකල එවැනි බොහෝමයක් නීති රීති පැවතියේ නාම මාත්‍රිකවය. අප එසේ කියන්නේ පරිසර සංරක්ෂණයට අදාළ රජය මඟින් පවත්වන ලද බොහෝමයක් නිති රීති රජයට සම්බන්ධ පිරිස් විසින් ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේම උල්ලංඝණය කළ බැවිනි.
මීට වසර කිහිපයකට පෙර ප්‍රසිද්ධියේ දුම් වැටියක් දල්වා ගැනීමට හෝ මත් පැන් පානය කිරීමට ජනතාව මැළි වූ යුගයක් මේ රටේ තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ දුම්වැටි හා මත්පැන් අලෙවිය ක්‍රමයෙන් පහත වැටීමයි. එහෙත් අද එවැනි නීති රීති හරිහැටි ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව සිදුවී ඇත්තේ යළිඳු දුම්වැටි හා මත්පැන් අලෙවිය ඉහළ යෑමය. ඇතැම් විට ඒකත් යහපාලන ආණ්ඩුව අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමට මන්දෝත්සාහි වන්නට ඇත්තේ එමගින් රජයේ ආදායම අඩු වීම නිසා විය හැකිය.
කෙසේ වෙතත් පරිසර දූෂණය වැළැක්වීම මෙකල අංක එකට ගැනෙන කරුණක් වී තිබේ. ඒ පරිසර දූෂණය ඉහවහා ගිය හොත් එමගින් මානව සංහතියේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ලවිය හැකි බැවිනි.
ඡන්ද විමසීම් සිදු වෙන තෙක්ම අමාත්‍ය මණ්ඩලය බලවත්ය. මේ බලය යොදා ගෙන වැටක් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව කියන්නට ජනතාවට ඉඩ නොතබනු ඇතැයි අපි විශ්වාස කරමු.