සුනිල් සරත්ගේ අගය ලාංකීය නිර්මාණාත්මක කලාවේ සලකුණ | සිළුමිණ

සුනිල් සරත්ගේ අගය ලාංකීය නිර්මාණාත්මක කලාවේ සලකුණ

විවිධ අනුභූතීන් සහ තේමා ඔස්සේ සුභාවිත ගීත රාශියක් හෙතෙම සිංහල ගීත සාහිත්‍යයට දායාද කළේය. සුනිල් - අමරදේව සුසංයෝගයෙන් නිපන් සුභාවිත ගීත සාහිත්‍යය නිරතුරු සහෘදයන් සන්තානයෙහි යුග යුග රාව ප්‍රතිරාව නංවනු නිසැකය. අරුත්බර ප්‍රසාද ගුණයෙන් අනූන සුභාවිත ගී පෙළහරේ පෙර ගමන්කරු මේ මස 05 දින සිය ජීවන ගමනේ 77 වන සැතපුම් කණුව පසු කළේය. ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරාගේ ගීත රචනා අතර මගේ රටට දළදා හිමි සරණයි, බුදුන් වැඩිය රට, මේ මගේ මාතෘ භූමියයි, කන්දෙන් ලන්දෙන්, එරන්දතිය එනවා ආදිය මුල්තැන ගනී.

කිරුලපන, සිය නි‍ෙවසේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔහු ප්‍රිය බිරියගේ වියොවින් පසුව දියණියක සමීපයේ ජීවත් වෙයි. මේ ඔහුගේ හඬයි.

“1992 බ්‍රසීලයේ රියෝ නුවර ඓතිහාසික රි‍යෝ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලද අත්දැකීම් වගේම එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වෙමින් ලැබූ අත්දැකීම් හා දැනුම ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර ජනමාධ්‍ය සහ විද්යුත් සමුළු ගණනාවකට සහභාගි වුණා. මගේ මූලිකත්වයෙන් පරිසර සාහිත්‍යය ගැන කියැවෙන සොබා සඟරාව ඇරඹුවා. පුද්ගලයා හා පරිසරය ගැන විමල් දිසානායක සමඟ ලීවා. එක් අවස්ථාවක ගුවන් විදුලිය නිසාම මට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රැකියාව පවා අහිමි වුණා. නමුත් දෛවෝපගත ලෙස පසුකාලීනව මා ගුවන්විදුලියේ සභාපති වගේම රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් වුණා. ලෝකයේ පළමු ළමා ගුවන් විදුලිය වන ‘විදුල’ ආරම්භ කළා. මහනුවර නව රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුනු පටන් ගත්තා. කඳු මුදුනේ දෘශ්‍ය තත්ත්වය දියුණු කළා. කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියට සම්බන්ධව භාෂා විද්‍යාගාරයක් ඇරඹුවා. එය පෝෂණය කිරීමට ත්‍රිරෝද රථවල විකාශන පද්ධතියක් ඇරඹුවා. ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දි ගීත සාහිත්‍යයට මාහැඟි මෙහෙවරක් කළා කියලා මා තෘප්තියට පත්වෙනවා. ”

ගීත රචනා කලාවේ ප්‍රවීණයකු වශයෙන් නවකයින්ට ලබාදිය හැකි ආදර්ශ ගැන මම ඔහුගෙන් විමසුවා.

“තනතුරු පසුපස හඹායන්නෙ නැතුව සේවයට කැපවිය යුතුයි. ගීත රචනා කලාවේදි අර්ථ මිහිර වගේම පද මිහිර ගැනත් අවබෝධයක් තිබිය යුතුයි. මානවසිංහ, අරීසෙන් අහුබුදු, මහග‍ම සේකර, මඩවල රත්නායක වැනි පරමාදර්ශ වූ ගීත රචකයන්ගේ නිර්මාණ වින්දනයෙන් හා පරිශීලනයෙන් උකහා ගත යුතුයි. වත්මන් ගීත කලාවේ සාහිත්‍යය ගැන අනාගත පරපුරට නිසි සාහිත්‍ය කලා අවබෝධයක් නැහැ. විද්‍යාත්මක දැනුම වගේම සාහිත්‍ය කලාව පිළිබඳ දැනුමද ලබාදිය යුතුයි.”

සුනිල් සරත් පෙරේරා ගීත සාහිත්‍ය කලාව පිළිබඳ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, පරිසරය හා සන්නිවේදනය පිළිබඳ ජනාධිපති සම්මාන, සර්වෝදය ජාතික සම්මාන, ළමා සඳකත්මිණට රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ළමා සාහිත්‍ය සඳහා සම්මාන රැසක් දිනා ඇත. පරිසර සන්නිවේදන, ගීත රචනාවලට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන, සම්මානයෙන් පිදුම් ලැබීය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, සංස්කෘතික අමාත්‍යාංශයේ කුමරතුඟු සම්මානය ආදී ගීත රචනා රැසක් සඳහා සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

සුනිල් සරත් ගීතාවලියේ සුවිශේෂී තැනක් හිමි වන්නේ ප්‍රේමය විරහව පාදක කොටගත් ගී සමුදාය වෙතය. හෙතෙම ගීත නිර්මාණය යථාර්ථවත් සුගායනීය, රස නිෂ්පත්තිය කුළු ගන්වන සුලු භාෂණයක් බවට පත් කළේය.

සුනිල්ගේ ප්‍රියාදර බිරිය සරෝජනිය ගිලන්ව රෝහල්ගත වූ පසුව ඈ වෙනුවෙන් මෙසේ ලිව්වේය.

‘සෙනෙහස විලෙන් දිය දෝතක් පෙව්වාය

ළඟ හිඳ ලෙඩ දුකට උවැටන් කෙරුවාය

දරුවන් රැකබලා යහමඟ යැව්වාය

අම්මා මළ පසුව ඔබ මට අම්මාය‘

සරෝජනී මෙලොව හැර ගිය පසු සිය හද සන්තානයේ බුර බුරා නැගෙන විරහ වේදනාව ඔහු මෙලෙස පත් ඉරුවක සටහන් කළේය.

‘අවදිව ඇසැර ලොව දකිනා වෙලාවේ

උදයෙම මවෙත තේ උගුරක් ගෙනාවේ

ඔබ ගැන නිබඳ සිහිවන කල්පනාවේ

මොහොතින් මොහොත ලතැවෙමි හු‍ෙදකලාවේ‘

සිංහල සාහිත්‍ය වංශ්‍යට ඔහු එක් කළ ග්‍රන්ථ රාශියකි. ඒ අතරින් හුදකලා මතකය, තුන්පත් රටා, මායා මාවත, සඳකත්මිණ පාඨක ප්‍රජාව ආකර්ෂණය කළේය.

සාහිත්‍යධරයකු පමණක් නොව සුනිල් පරිපාලනවේදියෙකු ලෙසින් පෑ විකුම් අසිරිමත්ය. අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසින් ඉටුකර මෙහෙවර ජනතා අගැයුමට පාත්‍රවිය.

ඔහුට දියණියෛා් සිවුදෙනෙකි. ලොකු දුව අමිලා සංජීවි බෙල්බන් නුවර සැමියා සමඟ ජීවත්වේ. උවිනි පියුමා පරිවාස නිලධාරිනියකු ලෙස සේවය කරන අතර විවාහ වී වෙනම සිටී. උදාරා සුදාමිනී කැනඩාවේ ජීවත්වන අතර සුනිල් ජීවත් වන්නේ ගුරුවරියක වන සුසංගතා එරන්දතී දියණිය සමඟිනි.

 

සුනිල් සරත් පිළිබඳ විද්වතුන්

කිහිප දෙනකු දැක්වූ අදහස් මෙසේය.

 

කවි ශක්තියෙන් අනූනයි

මහාචාර්ය පී.බී. මීගස්කුඹුර

සුනිල් සරත් පෙරේරා කවි ශක්තියෙන් අනූන ලේඛකයෙකි. මෙහි ලා ඔහු විසින් ලියා ඇති ගීත ග්‍රන්ථ මෙන් ම ගද්‍ය කෘති ද වැදගත් වෙයි. ඔහු ලියූ ‘මායා මාවත’ හා ‘හුදෙකලා මතකය’ යන ගද්‍යය කෘතින් තවත් විවිධ මාතෘකා යටතේ ලියා ඇති ග්‍රන්ථ රාශියක් ‍සලකා බලන විට ඔහු සිය වෘත්තීය ජීවිතයේ සහ සාමාන්‍ය ජීවිතයේ විඳීමට සිදුවන අත්දැකීම් සියල්ල රසාලිප්ත බසින් ජන සමාජය වෙත ඉදිරිපත් කිරීමට ගත් ප්‍රයත්න දෙකකි.

ගද්‍ය ප්‍රබන්ධ කරණයෙහි ඔහුගේ චාතුර්යය මේ කෘති දෙකෙන් ම මනාව පෙන්නුම් කරන අතර ඒ සෑම ලිපියකින් ම පාහේ කතුවරයා සිය චාරිකාවලින් ලත් අත්දැකීම් ප්‍රබලව ඉදිරිපත් කරයි.

ඔහු‍ගේ මෙම සමහර චාරිකා විවිධ දේශාන්තර පර්යටන වන අතර, සමහර ඒවා සිය අතීත සැමරුම් ඔස්සේ විකාශය වෙයි. මේ කෘති දෙකේ ඇතුළත් අතීත සැමරුම් ඔස්සේ ගියත් දේශාන්තර පර්යටන ඔස්සේ ගියත් ඔහුගේ නිර්මාණ කාල්පනිකත්වය හා බැ‍ඳෙමින් ආස්වාදයක් ලබාදීමට සමත් වෙයි.

මා සිතන අන්දමට සුනිල් සරත් පෙරේරා කවියා සීගිරි යුගයේ පටන් වර්තමානය තෙක් සියලු කාව්‍යය විලාසිතා නූතනත්වයට ගැළැපෙන අයුරින් යොදා ගන්නා කවියෙකි. පැරැණි බස් වහර වුව ද පුරාණ කාසි මෙන් යළි භාවිතයට ගන්නේ ඒවායෙහි අගය දෙගුණ තෙගුණ කරමිනි. එසේම දැඩි සාරධර්ම පදනමක පිහිටා ඔහු ලියන කතා මෙන් ම ගීත ද සෑම ආකාරයකම සිංහල පාඨකයන්ගේ හා ශ්‍රෝතෲන්ගේ මනෝනන්දනය කරයි. එහෙයින් මා මෙහි යොදා ඇති ‘සැමගේ ළ ගෙන පවසන මියුරු තෙපලෙන’ යන කියමන සුනිල් සරත් පෙරේරා කිවිඳන් සඳහා සර්වප්‍රකාරයෙන්ම ගැළැපේ යැයි සිතමි.

 

කල් පවතින දෙයක් ඉතිරි කළා

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

සුනිල් සරත් පෙරේරා අප අතර සිටින විවිධාංගික නෛපුණ්‍යයෙන් හෙබි කලාකරුවකු බව ඔහුගේ කාර්ය සාධනයන‍්ගෙන් පැහැදිලි වේ. ඒ අතර ම ඔහු මනා රුචිකත්වයෙන් යුතුව විද්යුත් මාධ්‍ය හැසිරවූ විශිෂ්ට පරිපාලකයකු බව ඇතැම් විට බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. ඔහු තවත් විටෙක ජනමාධ්‍යයෙහි අභ්‍යුදය උදෙසා ඊට මඟ පෙන්වා පොතපත ලියූවකු බවද දන්නේ ටික දෙනෙකි. ඔහු ඉතා ආදරයෙන් පරිසර සංරක්ෂණය සඳහා කැප වී ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියකු බව ද අප්‍රකට ය. තමා අත ගැසූ කුමන ක්ෂේත්‍රයක වුව ද කල් පවතින දෙයක් ඉතිරි කර යෑමට හේ සමත් විය.

සුනිල් සරත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට කර ඇති සේවාව අමරණීය ය. ඔහ‍‍ුගේ කලා නෛපුණ්‍යය හා උසස් රුචිකත්වය හඳුනාගත් බලධාරීන් විසින් ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත් කරනු ලැබීම එම ආයතනය ආලෝකවත් කළ අවධියක ඇරඹුම වූයේ ය.

ඔහු රටේ සිටින ප්‍රවීණ කලාකරුවන් මෙන් ම විද්වතුන් අමතා තම වැඩසටහන් සාර්ථක කරගැනීමට ඔවුන්ගේ සහාය ලබාගත්තේ කලාවේ අභ්‍යුදය මිස පෞද්ගලික න්‍යාය පත්‍ර ඔහුට නොතිබුණු බැවිනි. ඔහුගේ මඟ පෙන්වීම අනුව නිෂ්පාදිත ‘මනෝහාරී’ නම් සංගීත ප්‍රසංග විවිධ චිත්තාකර්ෂණීය පසුබිම්වල සිට විකාශනය වූයේ සංගීත රසය හා සමඟ පරිස්ථානයෙහි මනරම් බව ද එකට මුසු කරමිනි. අප ඉහත සඳහන් කළ උඩරට ගමනට ගොස් අලුත් අවුරුදු උත්සවය විකාශනය කිරීම වැනි සිද්ධීන්ගෙන් පෙනෙන්නේ සුනිල් තුළ තිබුණු උචිතානුචිත කාරණා පිළිබඳ මනා වැටහීම ය.

 

හැකියාව පොතපතට සීමා වූයේ නැහැ

මහාචාර්ය සරත් කොටගම

ශ්‍රී ලංකාවේ පරිසර සාහිත්‍යයට හා පරිසර දැනුම්වත් වීමට රුකුලක් ලබාදුන් ප්‍රබල චරිතයක් වන සුනිල් සරත් පෙරේරා සූරීන්, මා හොඳින් හඳුනාගත්තේ වසර 1994 පරිසර අමාත්‍යාංශයට සම්බන්ධ වීමත් සමඟ ය. පරිසර සංරක්ෂණයට සාහිත්‍යාත්මක හා නිර්මාණශිලී යොමුවක් ඔහු විසින් ලබාදෙන ලදී.

මේ අතර සුවිශේෂ වන්නේ පරිසරය ගැන ප්‍රකාශයට පත් කළ ලද සොබා සඟරාව යි. පරිසර තොරතුරු, ජනතාව අතරට රැගෙන යෑමේදී ඉතාම වැදගත් වන්නේ හුදෙක් රසාස්වාදයෙන් හෝ ත්‍රාසයෙන් යුක්ත ලේඛනයක් නොව තොරතුරු නිවැරදි හා විද්‍යානුකූලව සරල වුවත් වින්දනාත්කව කියවීමට හැකි බසින් ලිවීම ය.

මෙම කරුණ ඉහළින් ඉටුකළ ලේඛකයෙකි, සුනිල්. වර්තමාන සමාජයට ඔහු තම ලිපි හරහා සිංහල සාහිත්‍යයේ සැඟවී තිබූ පැරණි වැදගත් තැන් යාවත්කාලීන කොට සමාජයට දීමයි.

සුනිල්ගේ සාහිත්‍යමය හැකියාව පතට පොතට පමණක් සීමාවූයේ නැත. දැනුම වර්ධනයට විවිධ මං තෝරාගත් ඔහු මතකයෙන් නොමැකෙන ක්‍රියාවකට අත තබන්නේ අමාත්‍යාංශයේ සිටින විට ය.

 

ඍජු ගුණාංගවලින් පිරිපුන් මිනිසෙක්

ආචාර්ය ලීල් ගුණසේකර

 

පිලිප් ගුණවර්ධන මැතිඳුන්ගේ 41 වන ගුණ සමරු උත්සවයේ දී සුනිල් සරත් කළ ආරාධිත ප්‍රධාන දෙසුම අති විශිෂ්ට ලෙස ඉදිරිපත් කිරීම ශ්‍රාවක අප කාගේත් සතුටට හේතු වූ සැටිත් මෙහිදී මතකයට නැගේ. එය ඔහුගේ බහුශ්‍රැතභාවය පෙන්නුම් කරන්නකි.

සුනිල් සරත් වාමාංශික දේශපාලනයෙහි පතාක යෝධයන් වූ ඇන්.ඇම්. කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි මහ මොළ ඇති බුද්ධිමතුන් ඉතා ළඟින් ඇසුරු කළේය. වෙසෙසින් බර්නාඩ් සොයිසා මැතිතුමා සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වීය.

අනෙක් අතට ‍එම්. වින්සන්ට් පෙරේරා මැතිතුමා වැනි එ.ජා.ප. දේශපාලනයේ මහ බලකණු ද වෘත්තීය ජීවිතයේ දී සමීපව ඇසුරු කළේය. මේ අන්ත දෙකක වූ දෙපිරිසයේම විශ්වාසය දිනා ගනිමින් කිසිඳු ගැටුමකින් තොරව එක සේ කටයුතු කරන්නට හැකි වූයේ සුනිල් සරත් වෙත පැවති ඍජු ගුණාංග ශක්තිය නිසා ම යැයි කිව හැකිය.

ඔහුගේ ගීත රචනාවලින් ගැඹුරු වින්දනයකට මෙන් ම ගැඹුරු චින්තනයකටත් දොරටු විවර වෙයි. මේ අතින් බලන විට පෙනී යන්නේ සුනිල් සරත් පෙරේරා මහතාගේ ගීත රචනා ඉතා සියුම් විවරණයට ලක්විය යුතු කලා නිර්මාණ බවයි.

70 දශකයේ මුල් කාලයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරියකු ලෙස මහියංගණයට පැමිණි සුනිල් සරත් පෙරේරා මහත්මා සිය රාජකාරියට පමණක් සීමා නොවී මහියංගණ ප්‍රදේශයේ සුවිශේෂ ජන කොටසක් වූ වැදි පරපුර හා සබැඳියාවක් ඇතිකර ගන්නට උත්සුක විය.

වැදි ජනයා පිළිබඳව අද මෙන් අවධානයක් නොතිබුණු ඒ කාලයේ එතුමා නිතර හමුවීම කතාබහ කිරීම නිසා වැදි ජනයාගේ හිත් දිනාගත් හිතවතකු බවට පත්විය.

වැදි ජනයා හමුවන හැමවිටක දීම වැදි ජන ජීවිතයේ වැදගත් තොරතුරු අසා දැන ගැනීමටත් ඒ පිළිබඳව සටහන් තබා ගැනීමටත් උත්සුක වූ එතුමා පසුකාලීනව එම තොරතුරු තම නිර්මාණ සඳහා භාවිත කිරීමෙන් මතු පරපුරට ඒවා දායාද කිරීමෙහි සමතෙක් විය. කොතරම් ඉහළ තනතුරු දැරුව ද රටෙහි සුප්‍රකට කලාකරුවකු වුවද ඔහු කිසි විට හිස උදුම්මාගත්තේ නැත.

 

ගැඹුරු චින්තනයකට දොරටු විවර කළා

මහාචාර්ය විමල් දිසානායක

පෙරළෙයි ගීයකට ඔහු සිතිවිලි අතරින්

අකුරුවැල සංගීතයෙහි මහිමයෙන්

වැව් දියෙහි සඳ මඬල යාවෙයි

සැලි සැලී, දිලි දිලී

ඔහු‍ගෙ ගීයෙහි රූපක අතර

මල් පොහොට්ටුවක් ඇතුළත

ගුළි වි වසල ව සිටි සිතිවිල්ලක්

කවියක් ලෙස පිපෙයි

මුවරඳ පතුරා

කන්දෙන් ලන්දෙන් බැස දිව එන

සැඳැව මත නැඟගත්

ගී සිතිවිලි පොකුරු පොකුරු

එහි දේසයෙන් දේසයට පියාසර කොට

ඔහු නොලියූ ගීතයකට තටු ලැබ

පියාසර කරයි අගනුවර පුරා

සොයමින් තනුවක්

ඔහුගේ හදෙහි නැඟුණු කුණාටුව

සුදු පිටුවෙහි අකුරු මැද

මල් පවනක් විය

සුනිල් සරත් පෙරේරා අද ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨතම ගීත රචකයෙකි. සිංහල ගීත සාහිත්‍ය පෝෂණයට ඔහුගෙන් ඉටුවූයේ මහඟු මෙහෙයකි.

අපූරු පරිකල්පන ශක්තියකින් යුක්ත වන අතර විචිත්‍ර කාව්‍යෝක්තිවලට මුල්තැන දේ. ඔහුගේ ගීත රචනා වලින් ගැඹුරු වින්දනයකට හා චින්තනයකට දොරටු විවර වේ.

Comments