වාල­ච්චේන කඩ­දාසි කම්හල යළි ඉපදෙයි | Page 2 | සිළුමිණ

වාල­ච්චේන කඩ­දාසි කම්හල යළි ඉපදෙයි

ඩ­දාසි මිල ඉහළ යෑම ගැන පසු­ගිය කාලය පුරා කතා­බ­හට ලක් වූයේය. එය ඍජුව හා වක්‍රව සමස්ත මුද්‍රණ ක්ෂේත්‍රයටම බල­පෑ බව එහි මිල ගණන්හි වූ සංශෝ­ධන නිසා ඔබ දනී. කඩ­දාසි ආන­ය­නය කිරීම විශාල ක්‍රියා­දා­ම­යක් බැවින් වාල­ච්චේන ජාතික කඩ­දාසි කර්මාන්ත ශාලාව අකාලේ වැසී යෑමට ඉඩ­දීම ජාතික අපරාධයකි.

කාලයේ වැලි­ත­ලා­වෙන් වැසී­ගිය කඩ­දාසි නග­රය පිළි­බඳ මත­කය නැවත යාව­ත්කා­ලීන වීමට පටන් ගත්තේ වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ සහ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රති­පත්ති අනුව දේශීය කර්මාන්ත නගා­සි­ටු­වීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ වාල­ච්චේන ජාතික කඩ­දාසි කර්මාන්ත ශාලාව යළි ගොඩ­නැ­ඟී­මට ගත් තීර­ණ­යත් සම­ඟය. මේ මහඟු කට­යුත්ත සක්‍රීය කිරීම සඳහා සියලු බර කර­ට­ගෙන ඇත්තේ කර්මාන්ත හා සැප­යුම් කළ­ම­නා­ක­රණ, කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර සහ ව්‍යව­සාය සංව­ර්ධන අමාත්‍ය විමල් වීර­වංශ මහ­තාය.

‍වාලච්චේන කඩ­දාසි කර්මාන්ත ශාලාවේ ඉති­හා­සය පිළි­බ­ඳව විමසා බලනවිට කඩදාසි නිෂ්පාදන යන්ත්‍රසූත්‍ර නැගෙ­න­හිර ජර්මානු පරි­ත්‍යා­ග­යක් ලෙස 1952 වර්ෂ­යේදී මෙරටට ලැබී ඇත. එවක කර්මාන්ත අමා­ත්‍ය­ව­රයා වූ ජී.ජී පොන්න­ම්බ­ලම් මහතා මීට මුල්ගල තබා වැඩ ආරම්භ කර ඇත. 1957 වර්ෂයේ දී නැගෙ­න­හිර කඩ­දාසි සංයුක්ත මණ්ඩ­ලය නමින් ස්ථාපි­තව මෙහි නිෂ්පා­දන කට­යුතු ආරම්භ කෙරිණි. එකල කඩදාසි නිෂපාදනය සඳහා අවශ්‍ය පිදුරු ඔට්ට­මා­වඩි, ඔළු­විල්, අක්ක­රෙ­යි­පත්තු, සම­න්තුරේ, අම්පාර, තොප්පි­ගල ආදී ස්ථාන­වල පිහි­ටුවා තිබූ මධ්‍ය­ස්ථා­න­ව­ලින් රැස් කර ඇත. මීට අම­ත­රව පොළො­න්න­රුව, ත්‍රිකු­ණා­ම­ලය ආදී ප්‍රදේ­ශ­වල ගොවි බිම්ව­ලින්ද මේ සඳහා අවශ්‍ය පිදුරු ස්වෙච්ඡා­වෙන් ලබා­දී­මට ක්‍රියා කර ඇත. එකල එක් යන්ත්‍ර­යක කඩ­දාසි නිෂ්පා­දන ධාරි­තාව දින­කට මෙට්‍රි­ක්ටොන් 12.5කි. 1962 වන විට මෙම අගය මෙට්‍රික් ටොන් 35ක් දක්වා වර්ධ­නය වී තිබුණි. 1972 වර්ෂයේ දී ඝන කඩ­දාසි යන්ත්‍රය මෙම කර්මාන්ත ශාලා­වට ගෙනැ­විත් ක්‍රියා­ත්මක කර ඇත. එහි ධාරි­තාව දින­කට මෙට්‍රි­ක්ටොන් 40කි. එවක මෙම යන්ත්‍ර දෙකම එක­වර ක්‍රියා­ත්මක කර දින­කට කඩදාසි මෙට්‍රික් ටොන් 60ක් පමණ නිෂ්පා­ද­නය කර ඇත. ඒ අනුව බලන කළ මස­කට නිෂ්පා­ද­නය කර ඇති කඩදාසි ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 1800කි.

1976 වර්ෂ­යේදී කඩ­දාසි සංයුක්ත මණ්ඩ­ලය ජාතික කඩ­දාසි සංස්ථාව බවට පත් විය. 1992 වර්ෂ­යේදී රජය සතු සමා­ග­මක් ලෙස ජාතික කඩ­දාසි සිමා­ස­හිත සමා­ගම (National Paper Company Limited) බවට පත් වූ අතර උප­රිම ලාභ ලබ­මින් 1993 වර්ෂයේ දී ඵල­දා­යිතා සම්මා­නය දිනා­ග­න්නට එයට හැකි විය. මෙහි ස්වර්ණ­මය යුගය ලෙස සැල­කෙන 1990 -94 කාලය තුළ සේව­ක­යන් 3500ක් පමණ සේවයේ නියුතු විය. දුම්රිය සේවා­වක් සහ බස් සේවා­වක් ඔවුන් සඳහා ක්‍රියා­ත්මක වී ඇත. 1977 දී ජේ.ආර් ජය­ව­ර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රති­ප­ත්තිය සමඟ ක්‍රම­යෙන් මෙයට තිබූ වෙළෙඳ ඒකා­ධි­කා­රය බිඳ වැටෙ­මින් තිබුණි. ආන­ය­නික කඩ­දාසි ඉතා අඩු මිලට වෙළෙ­ඳ­පො­ළට පැමි­ණී­මත් සමඟ තර­ග­කාරී මාව­ත­කට පිවි­සී­මට ඊට බල කර තිබුණි. ආන­ය­නික කඩ­දාසි මිල ඉතා අඩු වීමෙන් මෙහි නිෂ්පා­දන අලෙ­විය පහත වැටිණි. මේ සඳහා කෙටි­කා­ලීන උප­ක්‍ර­ම­යක් ලෙස ආන­ය­නික කඩ­දාසි සඳහා 35% බද්දක් අය කිරී­මට එවක රජය තීර­ණය කළේය. නමුත් 1994 දී ඉන්දීය රජය සමඟ අත්සන් කළ වෙළෙඳ ගිවි­සු­මට අනුව මෙම බදු මුදල 5% දක්වා පහත හෙළිණි. දේශ­පා­ල­නික හා ව්‍යාපා­රික වුව­මනා වෙනු­වෙන් මෙලෙස තීරු­බදු පහත හෙළීම හේතු­වෙන් ආන­ය­නික කඩ­දාසි මෙරට වෙළෙඳ පොළ ආක්‍ර­ම­ණය කළේය. මේ හේතු­වෙන් ඇඹි­ලි­පි­ටිය කඩ­දාසි කම්හලේ 20%ක්ව පැවති සැප­යුම ද 5% දක්වා පහත වැටිණ. මේ ගැට­ලු­වට මුහුණ දීම සඳහා කඩ­දාසි කර්මාන්ත ශාලා නවී­ක­ර­ණය කිරීම අවශ්‍ය විය. මෙනිසා වාල­ච්චේන කඩ­දාසි කම්හලේ යන්ත්‍ර සූත්‍ර නවී­ක­ර­ණය සහ සංව­ර්ධන කට­යුතු සඳහා ආයෝ­ජ­නය කිරී­ම­ටද පෞද්ග­ලික වෙළෙ­ඳුන්ගේ මැදි­හත් වීම අනි­වාර්ය විණි. එහෙත් 2006 වන විට වාල­ච්චේන කඩ­දාසි කර්මාන්ත ශාලාව සේවක වැටුප් ගෙවා­ගත නොහැකි තත්ත්ව­යට පත් විය. මෙය පව­ත්වා­ගෙන යෑම සඳහා මහා භාණ්ඩා­ගාර ප්‍රති­පා­දන අවැසි විය. භාණ්ඩා­ගාර ප්‍රති­පා­දන මතම තව­දු­ර­ටත් කඩදාසි සංස්ථාව පව­ත්වා­ගෙන යා නොහැ­කි නිසා එය වසා දැමී­මට කැබි­නට් තීර­ණ­යක් ගත්තේය.

ත්‍රස්ත­වා­දය පරා­ජය කිරී­මත් සමඟ නැඟෙ­න­හිර නවෝ­ද­යට සම­ගා­මීව ඇති කළ දැවැන්ත සංව­ර්ධන ක්‍රියා­න්වි­තය හේතු­වෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිබි­දී­මක් ඇති විය. දැනුම කුස­ලතා, නිර්මා­ණ­ශීලී හැකි­යාව ඇති පුද්ග­ල­යන් දැයට සම්ප­තක් ශක්ති­යක් ලෙස සල­ක­මින් මහ­ප­රි­මාණ වර්ධ­න­යක් මෙම ක්ෂේත්‍රය තුළ ඇති කිරී­මට පිය­වර ගත්තේය. ඊට සම­ගා­මීව පාඩු ලබන ආය­තන ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම ද ඇර­ඹිණ. ඒ අනුව 2012 අප්‍රේල් මාස­යේදී කඩ­දාසි සංස්ථාව නිසි බල­ධා­රි­යකු යට­තට පත් කර එය නැවත ගොඩ­නැ­ඟීමේ කටුතු ආරම්භ කෙරිණි. 2013 වසර වන විට එහි සුබ නිමිති දිස් වුවද මහින්ද රාජ­පක්ෂ රජය 2015 බිඳ­වැ­ටී­මත් සමඟ ඒ කට­යුත්ත අක­ර්මණ්‍ය විණි. පසුව බල­යට පැමිණි යහ­පා­ලන රජය කටින් බතල කොළ සිටෙව්වා මිස මේ කර්මා­න්තය ගොඩ­නැ­ඟීම ගැන උන­න්දු­වක් තිබුණේ නැත.

වර්ත­මා­නය වන­විට වාල­ච්චේන කඩ­දාසි කර්මාන්ත ශාලාව සතුව තිබු අක්කර 500කට වැඩි භූමි භාගය වැට මායිම් ඉවත්ව ප්‍රදේ­ශ­වා­සීන්ගේ භූක්ති­යට පත්ව ඇති අයුරු එහි ගිය අපට දැක­ගත හැකි විය. දැන් එහි ඉති­රිව ඇතිතේ අක්කර 350ක පමණ වප­ස­රි­යකි. මෙහි අක්කර 100ක පමණ භූමි ප්‍රදේ­ශ­යක ඉදි­කර ඇති ගොඩ­නැ­ඟිලි ප්‍රමා­ණය 85 කි. නිෂ්පා­දන කට­යුතු ඇණ හිටීම නිසා මෙම ගොඩ­නැ­ඟිලි බොහො­ම­යක් මේ වන­විට ගරා වැටී ඇත. මින් ප්‍රධාන යන්ත්‍රය දෙක සවි කර තිබෙන ගොඩ­නැ­ඟිලි දෙක, ගබඩා කාමර, ඇසු­රුම් අංශය, සේවක නිවාස 25ක්, බොයි­ලේ­රුව පිහිටි ගොඩ­නැ­ගිල්ල, ආපන සශා­ලාව සහ ප්‍රධාන කාර්යා­ලය ඇතුළු තෝරා­ගත් ගොඩ­නැ­ගිලි කිහි­ප­යක ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු මේ වන­විට ආරම්භ කර ඇත.

වාල­ච්චේන ජාතික කඩ­දාසි සමා­ගමේ සභා­ප­ති­ව­රයා සිය පත්වීම් ලිපිය පැමි­ණී­ම­ටත් ප්‍රථම අමා­ත්‍ය­ව­ර­යාගේ සහය ඇතිව නාවික, යුද හමුදා සහ රාජ්‍ය ඉන්ජි­නේරු සංස්ථාවේ ඉංජි­නේ­රු­වන් පිරි­සක් සමඟ පසු­ගිය ජන­වාරි මාසයේ මෙම ස්ථාන­යට පැමි­ණි­යේය. ඔවුන් හා එක්ව සභාපති විමල් රූප­සිංහ කඩදාසි නිපදවන යන්ත්‍රය යථා­ත්ත්ව­යට පත් කළ හැකිකේ කෙසේද යන්න අධ්‍ය­ය­නය කළේය. පසුව විමල් වීර­වංශ අමා­ත්‍ය­ව­රයා හමු වූ හෙතෙම මෙහි වත්මන් තත්ත්වය ඔහුට පැහැ­දිලි කළේය. ඒ අනුව පසු­ගිය ජන­වාරි 16 වෙනිදා සභා­ප­ති­ව­රයා, විමල් වීර­වංශ අමා­ත්‍ය­ව­රයා, ඉන්ජි­නේ­රු­වන් හා අමා­ත්‍යංශ නිළ­ධා­රීන් කිහිප පලක් මෙහි පැමි­ණි­යෝය. “මේක හොල්මන් මන්දි­ර­යක් මිසක් වැඩ කරන්න පුළු­වන් තැනක් නෙමෙයි; මේක යථා­ත­ත්ත්ව­යට ගේන්න පුළු­වන්ද?” සභා­ප­ති­ව­ර­යා­ගෙන් අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් විම­සු­වේය. බැරෑ­රුම් කල්ප­නා­වක නිම­ග්නව සිටි සභා­ප­ති­ව­රයා අභි­යෝ­ගය බාර­ග­ත්තේය. “පුළු­වන් කිව්වට මට පිළි­ගන්න බැහැ. වැඩේ කරල පෙන්වන්න” අමා­ත්‍ය­ව­රයා යළිත් හඬ අවදි කළේය. මේ සඳහා තමන්ට ප්‍රති­පා­දන අවශ්‍ය බව සභා­ප­ති­ව­රයා පැවසූ විට “ප්‍රති­පා­දන නැහැ. ඔයාගේ ඉඩ­මක් විකු­ණල හරි මේක පට­න්ගන්න.” ඇම­ති­ව­රයා කිවේය. විමල් රූප­සිංහ මහ­තාට බාර වූයේ දරුණු අභි­යෝ­ග­යකි. එහෙත් හේ නොසැළී එය බාර­ග­ත්තේය.

අභි­යෝ­ගය අනුව ක්‍රියා­ත්මක වු හෙතෙම, විශාල ධන­යක් වැය කර සෑදිය යුතු වූ බොයි­ලේ­රුව පිළි­ස­කර කිරීමේ කට­යුතු ආරම්භ කළේය. බොයි­ලේ­රුව පිළි­ස­කර නොකර යන්ත්‍රය පණ­ගැ­න්විය නොහැ­කිය. බොයි­ලේ­රු­වක් අලු­තෙන් ගන්නේ නම් ඒ සඳහා වැය­වන මුදල මිලි­යන 25කට අධි­කය. ඉන්දීය විශේ­ෂ­ඥ­ය­න්‌ හා ජාතික ඉජි­නේරු සංස්ථාවේ පිරි­සක් සමඟ අධ්‍ය­ය­නය කර එය ඉතා සුළු මුද­ල­කින් යථා තත්ව­යට පත් කිරී­මට ඔහුට හැකි විය. බොයි­ලේ­රු­වට දරා­ගත හැකි පීඩ­නය ගණ­නය කළ ඔවුන් අවශ්‍ය ප්‍රමා­ණ­යට වඩා දෙගු­ණ­යක පීඩ­න­යක් මේ බොයි­ලේ­රු­වට දරා­ගත හැකි බව ප්‍රත්‍යක්ෂ කර ගත්තේය. මෙතෙක් බොයි­ලේ­රු­වට අවශ්‍ය ඉන්ධන ලෙස පාවිච්චි කළ දහ­යියා වෙනු­වට දර ඉන්ධන ලෙස යොදා­ගත හැකි පරිදි එය සකස් කළේය. එම­ඟින් විශාල පරි­සර දූෂ­ණ­යක් සිදු­ව­නවා සේම කිසි­ව­කුට එම ස්ථානයේ රැඳී­සි­ටී­මට නොහැකි තත්ත්ව­යක් උදා වී තිබුණි. අනෙක් අතට දහ­යියා වෙනු­වට දර යොදා ගැනීම පහ­සුය.

තම අභි­යෝ­ගය ජය­ගැ­නී­මට ඔහුට තිබූ තවත් එක් බාධ­ක­යක් ඔහු ඉවත් කර ගත්තේ එලෙ­සය.

අන­තු­රුව කඩ­දාසි යන්ත්‍ර පිළි­බ­ඳව හසල දැනු­මක් ඇති ඉන්දි­යානු විශේ­ෂ­ඥ­යෙක් සහ ඉන්ජි­නේ­රු­වන් පිරි­සක් මෙර­ටට ගෙන්වා ගත්තේය. මුදල් ප්‍රති­පා­දන නැති නිසා අවම මුද­ලක් වැය කර මෙය ගොඩ­ගන්නේ කෙසේ­දැයි සාකච්ඡා ආරම්භ විය. සම්පූර්ණ මැෂිම ම අලු­ත්වැ­ඩියා නොකර මෙහි අඩු විය­ද­ම­කින් ක්‍රියා­ත්මක කළ හැකි කොටස මුලින් ම පණ­ග­න්වන්න ඔවුන් තීර­ණය කළේ ඒ අනු­වය.

වාහනෙරිය ජලාශයෙන් කර්මාන්ත ශාලාවට ජලය ලැබෙන අයුරු

මේ යන්ත්‍ර මඟින් ඝන කඩ­දාසි සහ තුනී කඩ­දාසි නිප­ද­වන්නේ අබලි කඩ­දාසි සහ ඉව­ත­ලන කඩ­දාසි මඟිනි. එ් සඳහා අබලි කඩ­දාසි සහ ඉව­ත­ලන කඩ­දාසි පල්ප සෑදිය යුතුය. ඊට විශාල වතුර ප්‍රම­ණ­යක් අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය ජලය කිලෝ­මී­ටර් 11ක් දුරින් පිහිටි වාහ­නෙ­රිය ජලා­ශ­යෙන් ගෙන ආ යුතු විය. අප එහි රැඳී සිටි­ය­දීම කර්මාන්ත ශාලාව වෙත ජලය ගෙන ඒ්ම සාර්ථ­කව සිදු­වන අයුරු දැක ගත හැකි විය. මෙම කඩ­දාසි යන්ත්‍ර පණ ගැන්වීම සඳහා වතුර ඝන ලීටර් දස ලක්ෂක් දින­කට අවශ්‍ය වේ. දැන් ඒ අභි­යෝ­ග­යත් හෙතෙම ජය­ගෙන තිබේ. මෙහිදී අප දුටු සුවි­ශේෂ වෙනස වන්නේ නිෂ්පා­දන කට­යුතු සඳහා ලබා­ගන්නා ජලය නැවත පිරි­ප­හදු කර නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය සඳහා යොදා ගැනී­මට සැල­සුම් කරන ආකා­ර­යයි. එම­ඟින් ජලා­ශ­යෙන් ලබා ගන්නා වතුර ප්‍රමා­ණය අඩු කර ගැනීම ඔවුන්ගේ අපේ­ක්ෂා­වය.

මෙහි තිබෙන යන්ත්‍ර දෙකින් පළ­මුව ඝන කඩ­දාසි (බොර්ඩ්) නිපද විය හැකි යන්ත්‍රය ක්‍රියා කර­වීම ඔවුන්ගේ අර­මුණ වී තිබේ. දෙවන අදි­ය­රය ලෙස එම­ඟින් ලැබෙන ආදා­ය­මින් අනෙක් මැෂිම ද පිළිසකර කර පෙළ පොත් සඳහා අවශ්‍ය කඩ­දාසි නිෂ්පා­ද­නය කිරීමට සැලසුම් කර තිබේ. ජාතික අව­ශ්‍ය­තා­වක් වන දේශීය කඩ­දාසි අව­ශ්‍ය­තාව සපු­රා­ලීම ඔහුගේ ඒකායන පර­මා­ර්ථයයි. එසේම එම­ඟින් අපේ රටින් පිට­ර­ට­ව­ලට ඇදෙන ජාතික ධනය රට තුළ රඳවා ගැනී­මත්, අභ්‍යාස පොත් නිෂ්පා­ද­නය කර ඒ මුදල තවත් අවම කර ගැනී­මත් අපේ­ක්ෂා­වය. එය කෙසේ හෝ ඉටු කිරීම තම එකම අභි­ප්‍රාය බව සභා­පති විමල් රූප­සිංහ පවසයි.

දැන් ඔවුන්ට ඇති එකම අභි­යෝ­ගය විදු­ලිය ලබා ගැනී­මය. මේ සඳහා අවශ්‍ය විදු­ලිය ලබා­ගැ­නී­මට ලක්ෂ 150ක පමණ මුද­ලක් වැය වේ. පසු­ගිය කාලයේ ලබා­ගත් විදු­ලිය වෙනු­වෙන් විදු­ලි­බල මණ්ඩ­ල­යට මුදල් ගෙවා නැත. එප­මණ මුද­ලක් වැය කිරී­මට ද ඔවුන්ට හැකි­යා­වක් නැත. එබැවින් කන්ක­ස­න්තුරේ සිමෙන්ති කර්මා­න්ත­ශා­ලවේ තිබෙන ජෙන­රේ­ට­රය ලබා ගැනී­මට මේ වන­විට කට­යුතු කරමින් තිබේ. එය මේවනවිට නාවික ඉන්ජි­නේ­රු­වන්ගේ අධ්‍ය­ය­න­යට යොමුව තිබේ. කිසියම් හෙයකින් එය ගොඩ­ගත නොහැකි වුව­හොත් කුලි­යට හෝ විදුලි ජනක යන්ත්‍ර­යක් ගෙන මේ යන්ත්‍රය පණ ගැන්වීම ඔහුගේ අපේ­ක්ෂා­වය. ජාතික කර්ත්‍ය­ව­යක් සඳහා වන එකී අපේ­ක්ෂාව ඉටු වීම අප සැමගේ ද පැතුම වන්නේ ය.

ඡායාරූප - කැලුම් ලියනගේ

 

Comments