ලෝක උරුමයන් අතරට එක්වූ අප්සරාවන්ගේ පාරාදීසය | Page 4 | සිළුමිණ

ලෝක උරුමයන් අතරට එක්වූ අප්සරාවන්ගේ පාරාදීසය

යුනෙස්කෝව විසින් 1982 දී සීගිරිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. අපරදිග වාසීන්ගේ අවධානය මුල්වරට සීගිරිය වෙත යොමු වූයේ 1840 දි ඉංග්‍රීසි ජාතික මේජර් එච්.ෆෝබ්ස් විසින් රචිත Eleven years in Ceylon නම් ග්‍රන්ථය හේතුවෙනි. එසේම සීගිරිය පිළිබඳ අධ්‍යනය කළ තවත් පුද්ගලයින් ලෙස ඒ.වයි.ඇඩම්ස්, ජේ.බේලි, රීස් ඩේවිස්, මහජන වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්ලෙක් හා මරේ දැක්විය හැකිය. ඉතිහාසඥයෙක් වූ එමර්සන් ටෙනන්ට් Ceylon නමින් කෘතියක් පළ කළ අතර එහි සීගිරිය පිළිබඳ විස්තර කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ H.C.P. බෙල් සීගිරිය පිළිබඳ ප්‍රාරම්භක පුරාවිද්‍යාත්මක සොයා ගැනීම කළ අතර 1894 අප්‍රේල් 15 වන දා සීගිරි ගල මුදුනට නැග කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. එසේ ආරම්භ කළ කටයුතු 1895 සිට 1905 දක්වා ක්‍රියාත්මක විය.

ක්‍රි.ව. 5 වන සියවසේ දී පළමු කාශ්‍යප රජු විසින් සීගිරිය ඉදිකළ අතර එකල ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, කලාව, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ සුවිශේෂි එක්තැන්වීම් නිරූපිත ස්ථානයකි. සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් පුරා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.

1930 දි සීගිරියේ කුරුටු ගීත කියවීම ලංකාවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ආරම්භ කරන ලද අතර ඔහු විසින් කුරුටු ගීත 685 ක් කියවන ලදී. 1956 දී එම කුරුටු ගීත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ අධීක්ෂණයෙන් යුතුව 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සීගිරියේ මංගල උද්‍යානයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වාස්තු විද්‍යාත්මක හා වාරි තාක්ෂණයෙන් පොහොසත් ක්ෂුද්‍ර ජල උද්‍යානය පාදා ගැනීමට හැකිවිය. එම කාලවකවානුවේ දී සිදු වූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ ආචාර්ය බෙනිල් ප්‍රියංක විසින් පරණවිතානයන් කියවූ කුරුටු ගීත වලට අමතරව කුරුටු ගීත හා කුරුටු ගී කොටස් 800 ක් කියවා අර්ථ ගැන්වීමයි.

සීගිරිය පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු කරනු ලැබූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට පසුව ආචාර්ය රාජා ද සිල්වා, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර හා ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යනාදි වියතුන් දැක්විය හැකිය. සීගිරියේ මෙතෙක් කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවදීන් 08 ක් හඳුනාගෙන තිබේ.

ආදි ආරාමික අවදිය - ක්‍රි.පූ. 3 සහ 2 සිට ක්‍රි.ව. 1 දක්වා අයත් බ්‍රහ්මී ශිලා ලිපි මෙයට අයත් වේ. පූර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා, කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495, පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය, පශ්චාත් කාශ්‍යප යුගය‍ සීගිරිය අත් හැරීමේ යුගය - ක්‍රි.ව. 13 -17 අතර කාලය, නුවර යුගය - ක්‍රි.ව.17- 19 , නූතන පුනරුදය - 1830 ගණන් වල සිට 70 දශකය දක්වා, කෞටිල්‍ය‍ගේ අර්ථ ශාස්ත්‍රයට අනුව බලකොටුවත් දුර්ගයත් නිර්මාණ කිරීම පිළිබඳව කරුණු දක්වා ඇත. ඔහු පවසන පරිදි රාජ්‍යයක හෝ නගරයක සතර දිශාවේ ම බලකොටු ගොඩනැඟිය යුතුය. ලංකාවේ බලකොටු හඳුන්වා තිබෙන්නේ ‘පුර‘ යන වචනයෙනි. බලකොටුවක් යනු රජමාලිගයක හෝ කඳවුරක ආරක්ෂාවට තනනු ලැබූ පවුරු සහ දිය අගල්වලින් සමන්විත ආරක්ෂිත විධි ක්‍රමයකි. ජල දුර්ග හා පර්වත දුර්ග ජනාකීර්ණ ප්‍රදේශ සඳහා වඩා වැදගත් වන බව කෞටිල්‍ය‍ දක්වා ඇත. බලකොටු නිර්මාණාත්මක අතින් ශිඛර, වාහිනී, මුඛ, ස්ථානීය, දොණක, සංවිධික, වර්ධක, කෝලක, නිගම, සකන්ධවාර ආදි විවිධ ස්වරූප වලින් යුක්තය.

සීගිරිය නටබුන් පමණකින් හෝ දැනට කරුණු සාධනය කර ගැනීමට ඇති පැරණිම බලකොටුවකි. ස්වභාවික දුර්ගයක් උපයෝගි කොට ගෙන සීගිරිය නිර්මාණය කර ඇති අතර මෙහි බටහිර හා නැගෙනහිර යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. මෙම කොටස්වල රජමාලිගය ඇතුළු රාජාංගන අංග ගොඩනංවා ඇති අතර දිය අගල් හා පවුරු වලින් වට වී ඇත. සීගිරියේ මාලිගා සංකීර්ණයේ ආරක්ෂාව පිණිස දිය අගළ දෙකක් සහ පවුරු තුනක් ඉදිකොට තිබේ. පිටතින්ම පිහිටි ප්‍රාකාරය මැටිවලින් ද මැද ප්‍රාකාරය ගඩොලින් ද ඇතුළු ප්‍රාකාර ගල්, ගඩොල්, මැටි යනාදියෙන් තනා ඇති බවද සඳහන්ය. මෙම පවුරු උසින් එකිනෙකට වෙනස්ය. ඇතුළු පවුර ඉතා උසින් හා ශක්තිමත් බවින් යුක්ත වූ අතර මැද පවුර පිටත පවුරට වඩා උසින් යුක්තය.

දිය අගළ දෙකකින් යුත් සීගිරිය පිටතින් වූ දිය අගළ ඇතුළු දිය අගළ මෙන් පළලින් තුන් ගුණයයක් වන අතර ඇතුළු දිය අගළ පිට දිය අගළ මෙන් තුන් ගුණයක් ගැඹුරින් යුක්තය. ප්‍රධාන වශයෙන් බලකොටුවට ඇතුළු වීමට දොරටු තුනක් තිබුණු බව සඳහන්ය. හැකිළිය හැකි පාලමකින් යුත් බටහිර දොරටුව ප්‍රධාන දොරටුව වූ අතර අනෙක් දොරටු උතුරින් හා දකුණින් පිහිටි දැවැන්ත ගඩොල් නිර්මාණයන් විය. මේවායේ ද හැකිළිය හැකි දොරවල් තිබුණු බවට විශ්වාස කළ හැකි සාධක හමුවෙයි. සීගිරියේ පැවති ජනාවාස රටාව අවබෝධ කර ගැනීමට පිදුරංගල, පොතාන, දඹුල්ල, මාපාගල ආදී ස්ථානවලින් සොයා ගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධකත් රොටවැව, ඉබ්බන්කටුව, පන්සල්ගොඩැල්ල ආදී ස්ථාන වලින් සොයා ගත් පූර්ව ඓතිහාසික යුගයේ සාධකත් ඉවහල් වේ.

ආසියාවේ සොයා ගන්නා ලද පැරණිම රජ මාලිගා ගොඩනැගිලි පදනම් අතර සීගිරියේ පර්වත මුදුනේ ඇති රජමාලිගා ගොඩනැගිල්ලේ පදනම සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. එමෙන්ම ලොව පුරාවිද්‍යාත්මකව ස්ථාපිත කර ඇති පැරණිම උද්‍යානයක් ලෙස සීගිරි රාජ්‍ය උද්‍යානය සැලකිය හැකිය.

සීගිරියේ දක්නට ලැබෙන රාජකීය උද්‍යානය වූ කලි ලෝකයේ වෙනත් තැනක පෙනෙන්නට නොමැති විශේෂංගවලින් හෙබි උද්‍යානයකි. රජමාලිගාවක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ මේ උද්‍යානය තුළ දැනට දෘෂ්‍යමාන වන්නේ බටහිර අංගනය පුරා විසිරී ගිය නටබුන් පමණකි. නටබුන් වූ පමණින් ම එය විනාශ වී ඇති බවක් නොපෙනෙන බැවින්, එහි අතීතයේ තිබූ උද්‍යානයේ වගතුග කෙසේ වී දැයි සිතාගැනීමට තරම් හැකියාවක් ලැබේ. ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ වාස්තු විද්‍යාත්මක දැනුම කොතරම් ද යන්න මනාව පිළිබිඹු කරන මෙහි පොකුණු, මණ්ඩප, ගුහා සහ මල්වතු ආදියෙන් ද, චීනයේ ඇති මළුපෙත් උද්‍යාන ලක්ෂණයන්ගෙන් ද අලංකාරවත් වී තිබේ යන්න සඳහන් කරයි. එමෙන්ම පරණවිතානයන් මේ උද්‍යානය ප්‍රමද වනයක් ලෙස හඳුවනු ලබන අතර ප්‍රමද වනයක් යනු බොහෝ විට විනෝද උයන් සඳහා යෙදෙන පර්යාය පදයකි යන්න දක්වයි.

ප්‍රධාන වශයෙන් සීගිරි උද්‍යානය කොටස් කිහිපයකට බෙදෙන අතර ඒවා ජල උද්‍යානය, ශිලා උද්‍යානය, මාලක උද්‍යානය සහ ගල උඩ උද්‍යානය ලෙස නම් කෙරෙයි. එසේම ජල උද්‍යානය නැවත ක්ෂුද්‍ර ජල උද්‍යානය සහ වතුර මල් උද්‍යානය ලෙස බෙදෙයි. මෙම උද්‍යානයේ තිබෙන සුවිශේෂි ලක්ෂණයකි, ජ්‍යාමිතිකානුකූල ව සමමිතිකව කොටස් දෙකකට බෙදී තිබීම. බටහිර ද්වාරයෙන් ඇතුළු වූ විට ප්‍රථමයෙන් ජල උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. ක්ෂුද්‍ර ජල උද්‍යානයේ තැනින් තැන මණ්ඩප වටා රවුම් ගල් සහ ස්පටික හුණු ගල් යොදා නිර්මාණය කොට තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

හුණුගල් වලින් නිර්මිත භූගත නල දෙකක් වර්තමානයේ ද වැසි දිනවල ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.ඉහළ මාලයේ සිට එන ජලය මෙම නල තුළින් ගමන් කරන අතර එම නල මාර්ග හුණුගල් පුවරු වලින් ආවරණය කර තිබේ.

මාලක උද්‍යානයේ දක්නට ලැබෙන සුවිශේෂි වාස්තු විද්‍යාත්මක නිර්මාණය වන්නේ දෙපා පමණක් ඉතිරිව ඇති සිංහයෙකුගේ ප්‍රතිමාවයි. මහාවංශයේ මෙම සිංහ රුව පිළිබඳව දක්වා ඇති අතර ක්‍රි.ව. 7 වෙනි සියවසට අයත් යැයි සැලකෙන කුරුටු ගී කිහිපයක් ද කැටපත් පවුරේ ලියා ඇත. එනම්

සී රජු යසස සිරි - තැබූ මුළු ලොව පැතිරී

නිළුපුල් ඇසුන් ඇසිරී - බැලුමො සිහිගිරි

අර්ථය - මේ මහා සිංහ රාජයාගේ කීර්ති කදම්බයත් තේජස් බල පරාක්‍රමයත් මුළු ලොව පැතිරී ඇත.

නැගි ඇති බලනට - බැලිමි සිහිමියන් සිහිගිරි

මනදොල පුරය ඇය - බලන රිසි නොව බෙයන් ද රන්වන්අර්ථය - එහි කුමක් ඇත් දැයි බැලීමට සිංහ ගිරියට නැඟුණු මම එය සිත් සේ බලාගතිමි. මහා සිංහ රාජයා ද දුටිමි. කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගීයක් අනුව නිශ්ශංකමල්ල රජු සීගිරිය නැරඹීමට පැමිණි බව ද පොළොන්නරු යුගයේ අග භාගයේ දී රජුන් කිහිප දෙනෙකු සීගිරියට පැමිණි බව ද කුරුටු ගී වලින් අනාවරණය වේ.

සීගිරිය දේශපාලනමය වශයෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සේ ක්‍රියා කොට ඇති බව පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වේ. රෝම කාසි 1000 කට අධික සංඛ්‍යාවක් කැණීම් වලින් හමු වූ අතර මධ්‍යධරණී ප්‍රදේශයෙන් ගෙන්වන ලදැයි විශ්වාස කරන මැටි බඳුන් කිහිපයක් ද සාක්ෂි සපයයි. සීගිරියේ බටහිර පර්වතයෙහි ගුහා 22 ක චිත්‍ර දක්නට ලැබේ. මෙම චිත්‍රවල නිරූපිත ස්ත්‍රින් පිළිබඳව බොහෝ විද්වත් මත දක්නට ලැබේ. ඒ අතර H.C.P බෙල් සඳහන් කරන්නේ පිදුරංගල විහාරය කරා පා නගන රජ කුමරියන් බවයි. ආනන්ද කුමාරස්වාමි ප්‍රකාශ කරන්නේ වලාකුළු මත පාවී යන දිව්‍ය අප්සරාවන් බවයි. සෙනරත් පරණවිතානයන් දක්වන්නේ කුවේරගේ වාස භවනය වූ කෛලාස පර්වතය වටා ගැවසෙන මේඝලතාවන් හා විජ්ජුලතාවන් බවයි. සීගිරි චිත්‍ර ඇදීමට භාවිත කරන ලද නිල් පැහැය ඇෆ්ගනිස්ථානයෙන් ආනයනය කරන්නට ඇතැයි යන්න අදහසයි.

සීගිරි අඟනන්ගේ මුහුණු නරඹා ගීයක් ලියන මානාමි පවසා සිටින්නේ, මෙවැනි ප්‍රිය ජනක වූ ද සරාගී වූ ද සීගිරි අඟනන්ගේ පිටිපස තමන්හට දැක ගැනීමට නොහැකි වීම සිතෙහි ඇති වූ අනුරාගයේ ශෝකාලාපය බවයි.

බෙයන්ද්හි රන්වනුන් එහි තුබු මුළුල් (ලෙ)න්

බැලුමො මුහුණේ පිටපස් නො දුට්මො මුළුල්ලෙන්

අර්ථය - එහි බෙයදයෙහි තුබූ රන්වන් (ලියන්ගේ) මුහුණු සම්පූර්ණයෙන් බැලුවෙමු. (එහෙත් ඔවුන්ගේ) පිටිපස මුළුමනින්ම නුදුටුවෙමු. ස්ත්‍රියගේ සිරුරේ පිටිපස ද ඇතැම් පුරුෂයන් තුළ ප්‍රබල අනුරාගී හැඟිම් මතු කිරීමට හේතුවන බව මෙම කුරුටු ගීතය මඟින් ගම්‍ය වේ.

Comments