ලක්ෂ 55ට යට නොවූ දුම්රිය නියා­ම­කගේ මිනි­ස­ත්කම | Page 2 | සිළුමිණ

ලක්ෂ 55ට යට නොවූ දුම්රිය නියා­ම­කගේ මිනි­ස­ත්කම

සෝම­රත්න දුම්රි­යක් පිට­ත්වී­මට අව­සර ලබා දෙමින්.
සෝම­රත්න දුම්රි­යක් පිට­ත්වී­මට අව­සර ලබා දෙමින්.

දිනය - පසු­ගිය 3 වැනිදා අඟ­හ­රු­වා­දාය

ස්ථානය - කොළඹ කොටුව දුම්රිය ස්ථාන­ය

වේලාව - පස්වරු 4.36 යි.

යාප­නය හා තලෙයි මන්නා­ර­ම්තොට සිට පැමිණි ශීඝ්‍ර­ගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථාන­යට ළඟා විය. කාර්යාල වේලාව වූ හෙයින් දුම්රි­යට යළි අංග­ණය බලා යාමට පැයක පමණ කාල­යක් බලා සිටි­න්නට සිදු විය. පස්වරු 5.35 පමණ දුම්රි­යට අංග­ණ­යට යෑමට සංඥාව ලැබුණි.

මඟීන් රහිත දුම්රිය ඉබි ගම­නින් ඉදි­රි­යට ඇදුණේ නියා­ම­ක­ව­රුන්ගේ සංඥාව ලැබුණු නිසාය. ඒ සම­ඟම දුම්රිය මඟීන් කෑ මොර දුන් අතර කවු­රුන් හෝ දුම්රිය බඳේ ගැටී දුම්රිය මඟට වැටෙනු නියා­ම­ක­වරු දුටු­වහ. ඔවුහු වහා තිරිංග යොදා දුම්රිය නතර කළහ. ඉක්ම­නින් මඟියා වැටුණු ස්ථාන­යට ඔවුහු දිව ගියහ. දුම්රිය මඟෙහි කාන්තා­වක් අඩ නිරු­ව­තින් වැටී සිටිනු ඔවුහු දුටු­වහ. ප්‍රධාන නියා­ම­ක­ව­රයා ලෙසින් කට­යුතු කෙළේ එච්.සී. සෝම­ර­ත්නය. උප නියා­ම­ක­ව­රයා ලෙසින් කට­යුතු කෙළේ පී.එස්. ක්‍රැල්ෂම්ය. කාන්තා­වගේ ඉහළ කොටසේ හැට්ට­යක් පම­ණක් තිබුණු අතර පහළ කොටස මුළු­ම­නින්ම නිරු­වත් වී ඇත්තේ ඇය ඇඳ සිටි ඇඳුම් දුම්රිය රෝද සමඟ ඇදී ගොස් ඉරී ගිය නිසා­වෙනි.

ප්‍රධාන නියා­මක සෝම­රත්න වහා දිව ගොස් තම ගමන් බෑගයේ තිබූ සර­මක් ගෙන ආවේය. දුම්රිය මඟට බැස දුම්රිය රේල් පීලි අතර වැටී සිටි කාන්තා­වට එය අන්දවා අන­තු­රට පත් වූවන් ගෙන යන අකු­ලන ඇද ගෙන්වා ගෙන උප නියා­මක ක්‍රැල්ෂම් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩ­ලයේ සහ මඟීන් කිහිප දෙන­කුගේ සහා­යෙන් ඇය දුම්රිය වේදි­කා­වට ගත් අතර ඒ වන විටත් ඔහු 1990 ගිලන් රථ සේවාව අමතා තිබුණි. වේදි­කා­වට ගොඩ ගත් ඇයගේ එක් පාද­යක් විලුඹ අස­ලින් කැපී වෙන්වී ගොසිනි. අනෙක් පාදය විලු­ඹට උඩින් කැපී වෙන්වී ගොසිනි.

අසාධ්‍ය තත්ත්ව­යෙන් පසු වූ ඇය වහාම රෝහල්ගත කර­න්නට ප්‍රධාන නියා­ම­ක­ව­රයා විසින් කට­යුතු කරන ලදී. ඒ සම­ඟම ඇය සතුව තිබූ පාන්කඩ මල්ලක් බඳු ගමන් මල්ලක්ද රැගෙන නියා­ම­ක­වරු දුම්රිය මර­දාන දුම්රිය ස්ථානය කරා ගෙන ගියහ. උප නියා­ම­ක­ව­රයා දුම්රිය රැගෙන අංග­න­යට ගිය අතර දුම්රි­යෙන් බැස ගත් සෝම­රත්න ඇයගේ පාන්කඩ මල්ලක් බඳු කුඩා ගමන් මල්ල පරීක්ෂා කෙළේය.

එතැන් සිට කතාව ඔහුගේ හඬින්ම අවදි කළ යුතු­යැයි සිතමි.

‘‘කකුල් දෙකම කැපිලා තිබුණ නිසා රෝගියා ඉක්ම­නින්ම ගිලන් රථ­යෙන් රෝහ­ලට පිටත් කරලා අපි දුම්රිය මර­දා­නට ගෙනැල්ලා, ඒ කුඩා මල්ලේ තිබුණු දේවල් මොන­වාද කියල බැලුවා. සිලි සිලි කව­ර­යක දමා තිබුණු පරණ ඇඳු­මක් වගේම බදුල්ලේ ඉදල දවස් දෙක­කට කලින් කොළඹ ආපු දුම්රිය ටිකට් එකක් තිබුණා. ඒ වගේම එදා රාත්‍රී දුම්රියේ තලෙයි මන්නා­ර­මට යන්න ගත්ත ටිකට එක­කුත් තිබුණා. ඒත් එක්කම මම ඒ මල්ල තවත් අවු­ස්සලා බැලුවා. මගේ ඇස් උඩ ගියා. ඒ මල්ල සල්ලි­ව­ලින් පිරිලා තිබුණා. පරණ රුපි­යල් 2000 කොළයි නිල්පාට රුපි­යල් 1000 කොලයි පිරිලා තිබුණා. ගණන් කරලා බැලුවා රුපි­යල් තිස් නම ලක්ෂ අට­ද­හස් තුන්සිය විසි නම­යක් (3908329/=) එහි තිබුණා. ඒ විත­රක් නෙමෙයි විශාල රත්ත­රන් චේන් 4ක් ලොකු රත්ත­රන් වල­ල්ලක් කරාඹු දෙකක් වගේම වටිනා ඔර­ලෝ­සු­වක් එහි තිබුණා. සල්ලියි රත්ත­රන් බඩුයි සේරම වටි­නා­කම මං හිතන්නේ ලක්ෂ 55ක් විතර ඇති. තව බැංකු පොත් දෙක තුන­කුත් තිබුණා. එක­පො­තක මට මතක විදි­හට රුපි­යල් ලක්ෂ 8ක් වගේ තිබුණා. හැදු­නු­ම්ප­තත් ඒ වගේම පාසල් ගුරු­ව­රි­යක් හැටි­යට සේවය කරපු සේවා හැඳු­නු­ම්ප­ත­කුත් තිබුණා.

මම ඒ සේරම භාණ්ඩ ලේඛන ගත කළා. විශාල මුද­ලක් නිසා දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­තු­මා­ටත් දැනුම් දුන්නා. මර­දාන දුම්රිය ස්ථානා­ධි­ප­ති­තු­මාට මුදල් රන් ආභ­රණ ඇතුළු අනෙක් සිය­ලුම දේ බාර දුන්නා.

අවු­රුදු 37ක මගේ සේවා කාලය තුළ මම මුහුණ දුන්න විශේ­ෂි­තම අත්දැ­කී­මක් මේ. ඒ සල්ලි අවු­රුදු ගාණක් කිසිම ප්‍රයෝ­ජ­න­ය­කට අර­ගෙන නැහැ. මං හිතන්නෙ යුද්ද කාලෙ හංඟලා තිබිලා දැන් තමයි එළි­යට ගන්න ඇත්තේ. නිල්පාට ඒ 1000 කොළ දැන් දකි­න්නත් නැහැ. රුපි­යල් 2000ත් දැන් නැහැනෙ. ඒ සල්ලි මිටි බැදල තිබුණ රබර් පටි උණු­වෙලා තිබුණෙ. එච්චර පර­ණයි. කොහොම වුණත් අනුන්ගේ දේවල් අපට වැඩක් නැහැ. දුම්රිය මඟි­යෙක් කෑම එකක් අම­තක වෙලා ගිහින් තිබු­ණත් අයි­ති­කා­රය හොයා ගන්න පුළු­වන් කමක් තිබු­ණොත් කොහොම හරි ඒකත් දීල තියෙ­නවා. අපි ජන­තාව වෙනු­වෙන් කරන රාජ­කා­රි­යක් කරන්නේ. ඒ මඟීන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් කට­යුතු කර­මින් දුම්රිය ගෙන යෑමයි.

අපට පුළු­වන් උප­රිම විදි­හට ඒ සේවාව ලබා දෙනවා. මගේ අවු­රුදු 37ක සේවා කාලය තුළ මම කරපු දේ ගැන මට හොඳ සතු­ටින් ඉන්න පුළු­වන්. මම මීට කාලෙ­කට කලින් මර­දාන නියා­මක පරී­ක්ෂක ලෙසින් කට­යුතු කළා. ඒ අව­ස්ථා­වෙත් මම පුළු­වන් උප­රිම විදි­හට කර­ය­ටතු කරා.

පවුලේ අය සමඟ සෝම­රත්න පන්සලට පැමිණි අවස්ථාවක්

අන­තු­රට පත් වෙච්ච කාන්තාව දුම්රිය මාර්ගය අයි­නේම ගිහින් තියෙන බවයි අපට පේන්නෙ. දුම්රිය අද්දල ඉස්ස­ර­හට යද්දි දුම්රිය බදේ වැදිලා හරි පය පැට­ලිලා හරි වේදි­කා­වෙන් දුම්රිය මඟට වැටිලා තියෙ­නවා. ඒ වැටු­ණත් එක්කම එයා බඩ­ගා­ගෙන දුම්රිය පීල්ලෙන් ඇතු­ළට යන්න ඇති. ඒ නිසයි කකුල් දෙක රෝද වලට කැපිලා තියෙන්නෙ. වේදි­කා­වෙන් දුම්රිය මඟට වැටුණු කෙනෙක් රේල් පීලි දෙක අත­රට යන්න විදි­හක් නැහැ.

අවා­ස­නා­වට වගේ එයා අව­සි­හි­යෙන් එහෙම යන්න ඇති. දුම්රිය හෙමින් ඉස්ස­ර­හට ගත්ත නිසා හොඳයි නැත්නම් එතැ­නම ජීවි­තය නැති වෙන්න තිබුණා. දුම්රිය වේදි­කා­වන් අසල රැඳී සිටින්න එපා කියන අව­වා­දය දෙන ගමන් කවු­රුන් විසින් හෝ දුක් මහ­න්සි­යෙන් හරි හම්බ කරන දේ අපේ කර ගන්න හිතන්න එපා කියන ඉල්ලී­මයි මට කරන්න තියෙන්නෙ.‘‘

සෝම­රත්න මහ­තාගේ අව­වා­ද­යත් ඉල්ලී­මත් දෙකම ගැන අප අව­ධා­නය යොමු කළ යුතුය.

මේ අන­තු­රින් අවා­ස­නා­වන්ත ලෙස දෙපා අහිමි වූ කාන්තාව තලෙයි මන්නා­රම ශා මරියා පාර පදිං­චි­කා­රි­යකි. ඇය නමින් මරියා සෙල්වි කෘෘසෝය.

වයස අවු­රුදු 65ක් වූ ඇය විශ්‍රා­මික ගුරු­ව­රි­යකි. ඇය තනි­වම පැමිණ තිබූ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන හෙයින් ඇය­ගෙන් විස්තර ලබා ගැන්ම අප­හසු විය.

ලක්ෂ 55ක මුද­ලක් යනු කෝටි භාග­ය­කට අධි­කය. දහ­ඩිය වගු­ර­ව­මින් එදි­නෙදා සොයා ගන්නා තුට්ටු දෙකට තට්ටු කරන පුද්ග­ල­යින් වෙසෙන රටේ එවන් අති­වි­ශාල මුද­ලක් හිමි­කා­රි­යගේ ඥාතීන්ට ලැබෙන්න සලස්වා සෝම­රත්න රට­ටම ලබා දුන්නේ ආද­ර්ශ­යකි. ඔහුගේ භාර්යාව වන විශ්‍රා­මික ගුරු­ව­රි­යක වන ඉන්ද්‍රාණි රත්න­මාලි මහ­ත්මිය පව­සන්නේ තම සැමියා ගැන ආඩ­ම්බර වන බවයි. කිසි දිනක අනුන්ගේ දෙයක් කෙරෙහි ආසා නොක­රන අනුන්ට හැකි උප­රිම සේවා­වක් ලබා දෙන්නට ඔහු කට­යුතු කරන බවද ඇය කීවාය. තම ස්වාමි­පු­රු­ෂයා නාව­ල­පි­ටිය, අනු­රා­ධ­පුර ඇතුළු සියලු පෙදෙ­ස්වල රාජ­කාරී කරද්දී දිය­ණි­යත් පුතාත් බලා­ගෙන ඇය නොමඳ සහා­යක් ලබා දුන්නේ ඒ රාජ­කා­රි­යට හැකි උප­රිම දාය­ක­ත්ව­යක්ද ලබා දෙමිනි

සෝම­රත්නගේ දිය­ණිය වන කසුරි සුචේ­තනා ද සය හැවි­රිදි කුඩා දරු­ව­කුගේ මවකි. එසේම ඇයද මාදම්පේ මුගු­ණු­ව­ට­වන ග්‍රාම නිල­ධා­රී­ව­රිය ලෙස කට­යුතු කරයි.

තම පියා­ණන් ගැන ආඩ­ම්බර මෙන්ම සතුටු වන බව පව­සන ඇය තම පියා­ණන් තමන්ට අව­වාද ලබා දුන්නාට වඩා ආද­ර්ශ­යෙන්ම කට­යුතු කළ බව කියයි. කිසිදු විටෙක කිසි­ව­කුගේ සිත් නොරි­දෙන ලෙසින් කට­යුතු කළ යුතු බව පියා දුන් ලොකුම අව­වා­දය බව ද ඇය කීවාය. ආග­මට දහ­මට දැඩි ළැදි­ක­මක් තම පියා­ණන් දක්වන්නේ තමන් කුඩා කල සිටම බවත් ඒ අනුව පවුලේ සියලු දෙනාම ආග­මික ජීවි­ත­ය­කට අනුව කට­යුතු කරන බවද ඇය කීවාය. සෝම­ර­ත්නගේ පුත­ණු­වන් වන කසුරි සුචේ­තන සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යෙකි. ඔහු කොළඹ නේවා­සි­කව සිට රාජ­කා­රි­යට යයි.

පවුලේ සියලු දෙනා එක්වූ විට පන්ස­ල­කට යෑම නොවැ­ර­දීම සිදු වන්නකි. ඒ ආභා­සය නිසාම සෝම­රත්න මෙවන් සත්ක්‍රි­යා­වන් සිදු කර­න්න ඇත. මහජනතාව දුම්රිය රියැ­දුරන්ට නියා­ම­ක­ව­රුන්ට නිත­රම ගල් මුල් ගසති. ඒ දුම්රිය වර්ජන නිසාය. එහෙත් ඔවුන්ගේ සැඟ­වුණු මෙවන් මනු­ස්ස­කම් ගැන උදම් අනන්නේ ඒ ගුණ වයන්නේ කලා­තු­ර­කිනි.

ඇගැ­යීම කළ යුතු තැන ඇගැ­යීම් සිදු කළ හොත් සෝම­ර­ත්නලා තවත් බිහි­ වනු ඇත.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

 

Comments