රාජකාරිය දේව කාරිය කරගත් පත්තිනි මෑණියන්ගේ සේවාදායකයෝ | සිළුමිණ

රාජකාරිය දේව කාරිය කරගත් පත්තිනි මෑණියන්ගේ සේවාදායකයෝ

ඈත අතීතයේ සිටම දෙවියන් පිදීම සෑම රටකම පාහේ සිදු වන්නෙකි. ලංකාවේද බැතිමතුන් සිය ගණනින් දෙවිවරු අදහති. විශ්වාස කරති. පුදපුජා පවත්වති. කඩුවෙලද එවන් වූ පූජනීය බිමක් වන අතර එය කඩුවෙල නවගමුව පත්තිනි දෙවියන්ට නෑකම් කියන ස්ථානයකි. මේ කතාව නවගමු පත්තිනි දේවාලයේ සත් පත්තිනි මෑණියන් වෙනුවෙන් සේවය සපයන්නන් පිළිබදවය. ඔවුන්ද දෙවිවරුන් වෙනුවෙන් කැපවූ පිරිසක් හෙයින් මේ අය කරන රාජකාරියද දේව කාරිය සේ පාරිශ්‍රද්ධය.

ඇය සූනීතා ගුණසේකරය. වසර විස්සකට ආසන්න කාලයක් පූජාවන් සඳහා පූජා වට්ටි සකසන තැනැත්තියකි.“මගේ මල්ලී සමඟ මේ ව්‍යාපාරය කරගෙන යනවා. පාරිභෝගිකයින් බොහෝවිට එන්නේ බාර වීමට හෝ බාර ඔප්පු කරන්න. නවගමුව දේවාලය තමයි පත්තිනි දෙවියන්ගේ ආරම්භක ස්ථානය. මේ දේවාල භුමියේ පත්තිනි මෑණියන්ගේ හාස්කම් විශාලයි. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට ඇති බලපෑම වැඩියි.

පලතුරු, කැවිලි , පැහැදුම් වට්ටි, තුන්පාට චීත්ත හෝ සාරි ආදිය දේව පුජාවන් සඳහා අවශ්‍යයි. ඒ ඒ දේවාලය අනුව පලතුරු කහ වතුරෙන් සෝදා පුජා වට්ටිය සකස් කරන්න ඕනෑ. මල්මාලය දෙවියන් අනුව වෙනස් වෙනවා. කහ පාට පත්තිනි දෙවියට. කතරගම දෙවියන් වෙනු වෙන් නිල් පාට. කාලි මෑණියන්ට ගන්නේ රතුපාට. උදේ ඉදන් රෑවෙන තුරු දේව පුජා පැවැත්වෙන නිසා අපිත් රෑ වෙකම් මෙතන ඉන්නවා. දේව භුමියක් නිසා අපට කරදරයක් නෑ. අපේ ආදායමටත් වරදක් නෑ. “ ඇය පවසන්නීය.

දශක දෙකකට ආසන්න කාලයක් පූජා භාණ්ඩ අලෙවියෙහි යෙදී සිටි ඔහු රසික සුරංජිත් පෙරේරාය. “මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. මේ ව්‍යාපාරය දියුණු කරන්න නම් තමන්ගේම අය ඉන්න වෙනවා. උදේ පහවෙන කොට අපි පුජා භාණ්ඩ පිළිවෙලට අඩුක් කරනවා. සමහරදාට පාන්දරම බාර ඔප්පු කරන්න බැතිමතුන් එනවා. ඒ අයගේ අවශ්‍යතාව අනුව පූජා වට්ටි සකසලා දෙනවා. වට පිටාවේ අලුත් වෙළෙන්දෝ පාරිභෝගිකයෝ ගසාගෙන කනවා. පිරිසිදුකම විතරක් නොවෙයි පලතුරුවල නැවුම් බවට සහතිකයක් තියෙන්න ඕනෑ. මේ ස්ථානයේ තරගකාරිත්වය වැඩියි. කඩ හතළිස් පහක් විතර තිබෙනවා. අපේ ආදායම හොදයි. කඩුවෙල නගර සභාව අවට පිරිසිදු කරන්න නිතරම කැපවෙලා ඉන්නවා. “ඒ රසිකය.

සිය පලතුරු තට්ටුවේ පලතුරු අසුරමින් සිටි ජගත් සමඟ කතාව ආරම්භ කළෙමි.

“මම අවුරුදු විසිපහකට වැඩි කාලයක් පූජාවට්ටි වෙළදාමේ සිටියා. ඒ දවස්වල මෙම කඩපේළියේ වැඩියෙන්ම හිටියේ මුල් කාලයේ වෙළදුන්මයි. දැන් පිට අයට කඩ බාර දීලා. අලුත් අය කඩ කරන්න දන්නේ නෑ. සමහරු පූජා වට්ටි විකුණන්න පොරකනවා. කිසිම ආචාර ධර්මයක් නෑ. මේ ව්‍යාපාරයට කැප වීම, පිරිසිදු බව බොහෝම ඉහළින්ම තියෙන්න ඕනෑ . පලතුරු තියාගෙන විකුණන් පුළුවන් දෙයක් නොවෙයි, දවසින් දෙකෙන් ඉවරකරන්න ඕනෑ. දේවාල භූමියේ අපිට නරක දේ විකුණන්න බැහැ. සමහර පාරිභෝගිකයෝ කැමැති නෑ, අතින් අදන් ගිහින් බලෙන් වෙළදාම් කරනවාට. අපිට වැසිකිළි පහසුකම් අඩුයි. වතුර ගන්න තියෙන්නේ දේවාල භූමියේම ළිඳකින් “

ඇය කුසුමා බාලසූරිය යි. පූජාභාණ්ඩ විකිණිම සඳහා උදේ රැයින්ම දේවාල භූමියේ කඩය වෙත පැමිණෙන්නේ දිනයේ ආදායම උපයන්නටය.

“ අලුත් පලතුරු වැඩියෙන්ම ඕනෑ වෙන්නේ බදාදාට සහ සති අන්තයට. අඟහරුවාදට යි සිකුරාදාටයි කොළඹ මැනින් මාර්කට් එකෙන් පළතුරු ගේනවා. අඹ, ඇපල් වගේම මේ දවස්වල තැඹිලි සහ ගස්ලබුවලත් මිල ඉහළයි. කොමඩු සහ අඹ වාරෙට ලොරිවලින් පලතුරු ගේන අයත් ඉන්නවා. කොහොම හරි බාර ඔප්පුකරන්න එන අයට සාධාරණයක් කරන්න වෙනවා. අපිට ඒ අය සූරා කන්න බැහැ. අපි සියලු දෙනාම ජිවත් වෙන්නේ බාර වෙන්නේ බාර ඔප්පු කරන්න එන පිරිස නිසයි. “තමන්ගේ ජීවිත පමණක් නොව දෙවි වරුන්ගේ පිහිට පතා දිවයිනේ සතර දෙසින්ම පැමිණෙන ජනතාවට සාර්ථක ප්‍රතිඵල ලබා දීමට උදව් වන්නේ මේ පුජා භාන්ඩ සපයන්නෝය. ඔවුහු සිදු කරන්නේ විශාල සේවයකි. සිය පලතුරු ආරක්ෂා කිරිමේ සහ කල්තබාගැනීමේ ක්‍රමවේද රජයේ මැදිහත් වීමෙන් ඔවුන්ට හදුන්වා දෙන්නේ නම් එය විශාල සහනයක් වනු ඇත.

Comments