රං මසු දූපතක අසිරිය කච්චතිව් දෙව් මැඳුරේ මංගල්‍යය | සිළුමිණ

රං මසු දූපතක අසිරිය කච්චතිව් දෙව් මැඳුරේ මංගල්‍යය

හා සයුර මුදු තඟ නන්වමිනි. ඒ මතින් රිද්මයකට ඇදී යන විසල් යාත්‍රාවේ හිඳිමින් අරුණෝදයේ නෑඹුල් රැස් දියත සිප ගන්නා අයුරු බලාගෙන හිඳිමි. යාත්‍රාවේ බඳේ වැදී කිරි පැහැයෙන් විසිරී යන පෙන පිඩු ප්‍රභාතයේ රන් පැහැය ගෙනය. අලුයම හතරට පමණ කන්කසන්තුරේ ජැටියෙන් පිටත් වී පැය දෙකක් ගත වී තිබේ. ගමනාන්තයට තවත් පැය දෙකක් ගතවනු ඇත. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සදාකාලික නවාතැන උන්වහන්සේගේ බැතිමතුන් වෙත විවෘත වන ශුද්ධ වූ නිමේෂය ජීවමානව අත්විඳින්නට ලැබීමම අපමණ භාග්‍යයක් සේ හැඟේ.

ගමනාන්තය කච්චතිව් දූපතය. එය පිහිටා තිබෙන්නේ කන්කසන්තුරේ සිට කිලෝමීටර 86කට ආසන්න දුරකින් මහා දියඹේය. යාපනය අර්ධද්වීපය වටා පිහිටි දූපත් ගණනාවෙන් සාපේක්ෂව එක් රේඛාවක ඉන්දියාව දෙසට විහිදී යන මන්ඩතිව්, පුන්කුඩුතිවු, ඩෙල්ෆ්ට් දූපත් පහුකරන විට කච්චතිව් දූපත හමුවේ. “ඩෙල්ෆ්ට් දූපත පසුකර කිලෝ මීටර 23ක් විතර යන්න ඕනේ“ අපට මග කියන නාවික හමුදාවේ නිලධාරියෙක් කීවා මතකය. එසේනම් දෙවියන්ගේ දූපත පිහිටා ඇත්තේ අපටත් වඩා ඉන්දියාවට සමීපවය. අන්තර්ජාල තොරතුරු අනුව රාමේෂ්වරමට කිලෝ මීටර 24ක ට (නාවික සැතපුම් 13.05 ) ආසන්නයෙන් ය.

දූපත කැප වූ ශාන්ත අන්තෝනි මුනිඳුන් පිළිබඳ වූ බැතිබර කතා අසා ඇත්තෙමි. ධීවර ප්‍රජාවගේ උත්තම ගැලවුම් කරුවාත් ආරක්ෂකයාත් ශාන්ත අන්තෝනි මුනිඳුය. ඔවුන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහා වැඩිපුර මාළු ලබා දෙන්නා උන්වහන්සේය. එතුමෝ මුහුද මැද හා ඒ අවට පෑ ආශ්චර්ය පිළිබඳ ධීවරයෝ නොනිත් විශ්වාසයෙන් පසුවෙති.

ඩෙල්ෆ්ට් දූපත හා බැඳුණු ප්‍රධාන ප්‍රවාදයේ අතීතය මීට අවුරුදු 112 ක අතීතයට දිවෙයි. මේ වකවානුවේ එක්තරා දිනයක පෝක් සමූද්‍ර සන්ධිය අවට ධීවර කටයුතු කරමින් සිටි ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක් දියඹේ දී අනතුරුට ලක් විය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ ධීවරයෝ ශාන්ත අන්තෝනි මුනිඳු සිහිකර යාඥා කිරීම ඇරඹූහ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව වී තිබුණේ කෙසේ හෝ පය ගැසිය හැකි ගොඩබිමකි. රළ පහරත් සමඟ මේ දෙපළ කුඩා දූපතකට පැමිණ තිබේ. තමන්ගේ ජීවිතය ආරක්ෂා වුණේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් බව විශ්වාස කළ මොවුන් දෙවියන් වෙසෙන දූපතේ පණිවුඩය ඉන්දියානුවන්ට ගෙන ගිය බවත්, අද ශාන්ත අන්තෝනි මුණිඳුන් වෙනුවෙන් කැපවූ දේවස්ථානය ඉදි වන්නේ ඔවුන් දෙපළගේ මැදිහත් වීමෙන් නිසා බවත් කියැවෙන කතාවකි.

අතීත රජ දවස මේ හුදකලා දූපත අයත්ව තිබුණේ ලංකාවටය. ද්‍රවිඩ බලය ලංකාවට ඍජුව බලපෑම් කළ 13 වන සියවස වනතුරුවත් මේ බලය ලංකාවේ රජු යටතේ තිබිණි. කච්චප යනු පාලි බසින් කැස්බෑවාය. කැස්බෑ ලෙලි නිපදවීම පිළිබඳ ලෝ පතල කීර්තියක් ලක්දිව සතුව තිබුණු ඉතිහාසයක් විය. කැස්බෑ දූපත යන අදහස එන පාලි පදයකින් කච්චතිවු යන දෙමළ නම බිඳී එන්නට ඇතැයි යනු මතයකි.

ඉතිහාසය අනුව ක්‍රි.ව. 1766 දී ලන්දේසීන් සමඟ ගිවිසුම්ගත වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යාපා පටුන ඊට අඩංගු රටවල් ද සමඟ ලන්දේසින්ට පවරා දීමට එකඟ වී ඇත. එනම් 18 වැනි සියවස අග භාගය වනතුරුම උතුරු මුහුදේ දූපත්වල අයිතිය සිංහලයේ රජු සතුව තිබිණි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු බොහෝ විට ස්වකීය පරිපාලන කටයුතු කරගෙන ගියේ ඉන්දියාව හා ලංකාව ප්‍රධාන ඒකකයක් කරගනිමිනි. ඒ වකවානුව මේ දූපත පිළිබඳ ගැටලු උපන්නේ නැත. අතීත සිතියම්වල ද ලංකාවට අයත් දූපතක් සේ සඳහන් වුවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අනතුරුව වර්ෂ 1974 වනතෙක් මේ දූපත ඉන්දියානුවන් යටතේ තිබිණි.

වර්ග කිලෝමීටර 1.5 ක් වූ කච්චතිවු ඉතිහාසයේ සෑම කලෙකම ස්ථිර පදිංචියෙන් තොර ජනශූන්‍ය භූමියකි. එසේ වීමට ප්‍රධානම හේතුවවන්නට ඇත්තේ එහි පානීය ජලය නොමැති වීම විය හැකිය. එහෙත් එය සියවසක් තිස්සේ දෙවියන් වෙනුවෙන් කැප කළ ශුද්ධ භූමියක් සේ සැලකිනි. එමෙන්ම කච්චතිව් දෙර‍ටේ ධීවරයන්ගේ තාවකාලික නැවතුම්පොළක් වූයේය. තම දැල් ආම්පන්න අලුත්වැඩියා කර ගැනීමටත්, ඇතැම් විට දියඹේදී සිදුවන ආපදාවලදී ගොඩබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක් ලෙසත් ඔවුහු කච්චතිවු දූපත යොදා ගත්හ.

එහෙත් පුදබිම් පවා අශීලාචාර පවුකාරයෝ ස්වකීය ගුබ්බෑයම් කර ගනිති. වර්ෂ 1974 වනවිට මේ දූපත මිනිස් ජාවාරම් කරුවන්ගේත්, හොර බඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේත් තිප්පලක් වී තිබිණි. දූපත පිළිබඳ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික එළඹුමට ප්‍රධානකොටම බලපෑවේ මේ ගැටලුව හා එහි ඓතිහාසික හිමිකාරිත්වය සම්බන්ධ සාධකය. කෙසේ වෙතත් වර්ෂ 1974 දී සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අනුව දූපත ලංකාවට අයත් විය. දූපත අදත් ජන ශූන්‍යය. යුද සමයේ දී දූපත සම්බන්ධව ඍජු බලපෑමක් නොවුණත් මේ වනවිට එය ඇත්තේ නාවික හමුදාව භාරයේය. එම භූමිය මංගල්‍යය පවතින කාලය හැරුණු විට සිවිල් වැසියන්ට තහනම්ය. දැනටත් දූපතේ ඉදිව ඇත්තේ ස්ථිර ගොඩනැගිලි දෙකකි. එකක් ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපකළ දේවස්ථානය ය. අනෙක නාවික හමුදාව ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලය.

වර්ෂ 1908 න් පසු ශාන්ත අන්තෝනි මුණිඳුන් වෙනුවෙන් වාර්ෂිකව දේව මෙහෙයක් පැවැත්විණි. සම්ප්‍රදාය අනුව එම දේව මෙහෙය පවත්වන්නේ පෙබරවාරියේ හෝ මාර්තුවේ දී ය. වර්ෂ 1974 ට පෙර ඊට එක් වූ අතිමහත් බහුතරය ඉන්දියානුවෝ ය. අනතුරු වකවානුවේ ඉන්දියානුවන් මෙන්ම ශ්‍රී ලාංකේයන්ද එක්ව මේ පුදබිමේ මහා මංගල්‍යය පැවැත් විය. එහෙත් 30 වසරක සිවිල් යුද සමය කච්චතිවු දූපත ඉන්දියානු හෝ ශ්‍රී ලාංකේය සිවිල් වැසියන්ට තහනම් කලාපයක් විය. නැවැත මේ මංගල්‍යය ආරම්භ වන්නේ වර්ෂ 2010 දීය. එදා සිට ඊට අනුග්‍රාහකත්වය සැපයුවේ නාවික හමුදාවය.

වර්ෂ 2016 වනවිට නාවික හමුදාව විසින්ම මේ දේවස්ථානය අලුත් වැඩියා කළේය. වර්ෂ 1990 දී මහ සයුර මැද බිහිසුණු අනතුරකට ලක් වූ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු කණ්ඩායමක් වරු දෙකක් තිස්සේ කළ රුදුරු අරගලයකින් පසු කච්චතිවු දූපතට ළගා වී ජීවිතය බේරා ගැනීම දේවස්ථානයට නවකම් කිරීමේ නිමිත්තය.

ඉන්දියානුවන්ට මෙන්ම ලාංකේයන්ට ද එකසේ විවර වන සංහිදියාවේ මහා මංගල්‍යය පැවැත්වෙන්නේ දෙදිනක් තුළ බව සැබෑය. එහෙත් නාවික හමුදාවට එය සැල­ැසුම් සහගත මහා මෙහෙයුමකි. බීමට දියපොදක් රහිත දූපත පානීය ජලයෙන් ආඪ්‍ය කිරීමම අභියෝගයකි. කන්කසන්තුරේ වරායේ සිට කිලෝමීටර් 86 ක දුරකින් පිහිටා තිබෙන කච්චතිවු දූපතට ජලය ලීටර් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව විසින් රැගෙන විත් තිබිණි. බැතිමතුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සංවිධානය වන්නේත් නාවික හමුදාව හරහාය. උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව ඔවුහු ඒ කටයුත්ත කරමින් සිටියහ. ඊට අමතරව විදුලිය ලබා දීම, පැමිණෙන දස දහසකට ආසන්න ජනයාට අවශ්‍ය සෞඛ්‍යය පහසුකම්, ආහාර පාන, ඉදුම් හිටුම්, ආරක්ෂාව, සම්පාදනය, ප්‍රභූ වරුන් ඇතුළු පිරිස් සදහා අවශ්‍ය විශේෂ තත්ත්ව සම්පාදනය, සරල කටයුත්තක් නොවේ.

මේ වෙනුවෙන් නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨයන්ගේ සිට සෙසු නිලයන් දක්වා දිවා රෑ නොතකා මාස ගණනාවක් එක දිගට වැඩෙහිය. කම්කරුවාගේත් කසල ශෝධකයාගේත්, නාට්ටාමිලාගේත් කටයුත්ත දෙරටක සංහිදියාව වෙනුවෙන් ඔවුහු තමන් ගේ උරමත දරාගෙන සිටිති. එය හිස නමා ජාතියක් ලෙස ආචාර කළ යුතු උතුම් කටයුත්තකි.

යාත්‍රාව නිල්වන් මුහුද මැද පිහිටි කුඩා කොදෙව්ව වෙත ළඟාවෙමින් ඇත. දූපත වටා ඔසවා ඇති සිංහ කොඩි සමූහය සුළං රැළි මත තරඟු නන්වන සේය. පසෙක ජැටියේ රඳවා ඇති බෝට්ටු රැසකි. ඒ අතර ඉන්දියානු ධීවර බෝට්ටු පැහැදිලිවම දැකගත හැකිය. ඈතට හරිත පියසක් යට තැනූ කිරි ගරුඩ බිමක සිරිගත් මනමරම් කොදෙව්ව සමහර අසංවර මිනිසුන් අතින් කෙළෙසී ගිය ආකාරය පෙනෙන්නේ දූපතට ගොඩ බට විටය. ඔවුන් වෙරළේ බොහෝ තැන කැසිකිළි කරගත් බවක් පෙනේ. තැන තැන ප්ලාස්ටීක් හා පොලිතින් විසුරුවා ඇත. තවත් තැ‍ෙනක විසුරුවා හළ ඉදුල්ය. සියලු සනීපාරක්ෂක පහසුකම් නාවික හමුදාව විසින් සලසා තිබුණත් ඒ පහසුකම් පිළිපදින්නට ඉන්දියානුවන් මැලිකමක් දක්වනු සේය. අපි සීරුවෙන් අඩි තබමින් දෙව්මැදුර වෙත පිය නැගුවෙමු. පූජාව අරඹන්නට සූදානමිනි. දෙරටේ බැතිමත්හු ජාති භේදයකින් තොරව රොක් වී සිටිති. ජාති භේදයක් නැත. ගලායන ශ්‍රද්ධාව පමණය. පසුගිය වසරේ ප්‍රථම වතාවට දෙමළට අමතරව පූජාව සඳහා සිංහල බසත් භාවිත විය. මෙවර පූජාව දෙමළෙන්, සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද පැවැත්වෙමින් තිබේ.

වාර්තාවන්ට අනුව වෙනදා මෙන් මෙවර දකුණු ඉන්දියානුවන් පැමිණ සිටිති. පැමිණි දකුණු ඉන්දියානුවන් ගණන 2,510 කි. ශ්‍රී ලාං‍කේය ප්‍රජාව 6,073 කි. හලාවත, මීගමුව, ගම්පහ, කොටහේන, වැලිවේරිය මන්නාරම වැනි ප්‍රදේශවලින් ලාං‍කේය බැතිමතුන් බහුතරයක් සහභාගී වී උන්හ.. ගාල්ල පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන්ද, ඉන්දියාවේ ජොෂෆ් ලුරුදුරාජා හිමිපාණන්ගේ සහ යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන්ද දේව මෙහෙය පැවැත්වෙමින් තිබිණි.

පූජාවට යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල්, ශංකර් බාලචන්ද්‍රන් ඉන්දියානු නියෝජ්‍ය කවුන්සල් ජෙනරාල් එම් ක්‍රිෂ්මම්තුරෙයි, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජයන්තද සිල්වා යාපනය ආරක්‍ෂක හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, යාපනය දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය ආයතන නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් එක්වී උන්හ.

බො‍‍හෝ බැතිමතුන් ‍මේ ගමනට එකතු වී සිටියේ අතිශය වෙහෙසකර තත්ත්ව මැදය. නමුත් ඔවුන් ‍ගේ දැඩි විශ්වාසය, ඇදැහිල්ල ඒ සියලු වෙහෙස පළවා හැර තිබිණි.

ප්‍රින්සී පළිහවඩන කච්චතිවු මංගල්‍යයට පැමිණ සිටියේ ‍කොට‍හේනේ සිටය. මේ ගමනේදී ඉන්දීය ජනයා සමඟ ගොඩනැගුණු සබදතා ගැන ඇය කතා කළේ සතුටිනි. ”මට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. සිංහල ‍කෙ‍නෙක් ‍දෙමළ කතා කරද්දි ඔවුන්ට පුදුමයි. සතුටුයි. මම දැන් වසර කිහිපයක සිට ‍මේ ‍දේව ‍මෙ‍හෙයට ‍‍නොකඩවා එනවා. ඇය කියන්නී දිදුලන දෑසිනි.

තෝමස් ප්‍රනාන්දූ, හලාවතය. ඔහු මේ දේව මෙහෙයේ යාව ජීව සාමාජිකයකු සේය. “ අපි හැම වසරක් පාසාම ‍මේ ‍දේව ‍මෙ‍හෙයට සහභාගී ‍වෙනවා. අ‍පේ ඇදහිල්ලට ‍බො‍හෝ ආශිර්වාද ලැබිලා ති‍යෙනවා. හලාවත ඉඳන් එන ගමන ‍ලෙ‍හෙසි පහසු නැහැ. සමහර කාලවලදී බස්වලින් ආවා. ‍කෝච්චියෙන් ආවා. ‍බෝට්ටු‍වෙන් ආවා. ලොකු ශාරීරික අපහසුකම් වින්දා. නමුත් ඒ හැම දුෂ්කරතාවක්ම හරි සතුටක් බවට ‍පෙර‍ලෙනවා කච්චතිව් දූපතට පය තිබ්බහම“.

ඇත්තටම වසරින් වසර ‍‍මෙ‍හෙ දියුණුව පේනවා. නමුත් ‍මේ දූප‍තේ පිරිසුදු කම ගැන ‍මෙයට වඩා සැලකිලිමත් විය යුතුයි. හමුදා‍වෙන්, නාවික හමුදා‍වෙන් ‍මේ පදුරු කැළැ සුද්ද කරලා අපිට අට්ටාල ගහන්න පුළුවන් විදිහට හදලා ‍දෙනවා. එන මිනිස්සු දැන ගන්න ඕනේ ඒ තැන කුණු ‍ගොඩක් ‍නොකර යන්න. දැන් ‍මෙ‍හේ සනීපාරක්ෂක පහසුකම් ති‍යෙනවා. නමුත් ඉන්දි‍යා‍වෙන් එන අය ව‍ගේම අ‍පේ සමහර පිරිස් ඒවා භාවිත කරන්නේ නැහැ“. ඔහු කියන්නේය.

ඔවුන් හා කතා කර අසල වෙරළට ගමන් කළෙමු. තමිල්නාඩුවෙන් පැමිණි ධීවර පිරිසක් සෙවනකට වී ආහාර ගනිමින් සිටිති. ඔවුන් සමඟ සුහද පිළිසදරකට අවස්ථාව සොයමින් සිටියෙමි. ඔවුන්ගේ මුහුණු සිනහාවෙන් පිරී තිබිණි. ඒ සිනහව කියා පෑවේ සංවාදයට රුචි බවය. අප ශ්‍රී ලංකවේ ජන මාධ්‍යයකරුවන් බව පැහැදිලි කළ විට ඉතා සතුටෙන් අප හා පිළිසඳරට එක් වූහ. මා මවිත කරමින් මේ ධීවර පවුලේ තරුණ තරුණියෝ චතුර ලෙස ඉංග්‍රීසිය ද වහරති.

“සේසූරාජා, ජෙගන්, ස්ටාලින්, වෙල්විෂර්, ලෝපස්, රෙනී, ජෙරී, සහ ඒ නඩයේ සිටි කටකාර කොලු ගැටයකු මගේ නම සන්තෝෂ් රෝෂන් ලෙස ඔවුන්ව සුහදව අපට හඳුන්වා දුන්හ.

“ අපි ධීවරයො. දැන් වාර ගණනක් මෙහාට ඇවිත් තියනවා. පහු ගිය අවුරුදු තුනේ එන්න බැරි වුණා. මේ දූපත අපේ රටේ අයිතයේ තියන කොටත් පොඩි එකා සංදියෙ මම මේ මංගල්ලෙට ආවා. අපි ධීවරයො. මේ රස්සාව පරම්පරාවෙන් අපිට ආවෙ. මූදු රස්සාව කරනවා නම් ශාන්ත අන්තෝණි මුණිවරයට භක්තිවන්ත වෙන්න ඕනි. ඒත් අපෙන් පස්සේ පරම්පරාව මේ රස්සාවෙ තියාගන්න බෑ. ඒ අය හිතන විදි වෙනස්. ඔවුන් ඔවුන්ගෙ ලෝකය හදා ගන්නවා.“ එසේ පවසන්නේ තමිල්නාඩුවේ සිට පැමිණි සේසු රාජාය. ඔහු මේ නඩේ ලොක්කාය.

අපට පෙනෙන විදිහට තමිල්නාඩුවේ තරුණ ධීවර ප්‍රජාවගේ සිතිවිලිද බොහෝ සේ වෙනස්ය. “මේ මංගල්‍යය අපේ එකක්. අපි පටන් ගත්තු සම්ප්‍රදායක්. මේ භූමිය අපේ කියන හැඟීම තියනවා. අපි කොහේ ගියත් පවුල් පිටින්. කෑම බීමත් අපිම අරන් ඇවිත් උයා පිහා ගන්නවා. මේ වගේ ගමන් එද්දි ඉන්දියානුවන් බොහෝ වෙලාවට ආහාරයට ගන්නේ ලෙමන් මිශ්‍ර බත්. නාවික හමුදාවෙනුත් අපිට කෑම දුන්නා. ඔවුන් අප පිළිගත් ආකාරය ඉතා ඉහළයි.. හරිම සුහදයි.. අපේ රටෙන් පිටවෙද්දි තමයි ඒ නාවික හමුදාවෙන් කීප පොළකම අපිව පරීක්ෂා කළා. මෙහෙදිත් ඔබේ හමුදාවේ කට්ටිය පරීක්ෂා කළා. හැබැයි අපේ අයට වඩා ඔවුන් හරිම සුහදශීලියි. ඔවුන් සමඟ කතා බහ කිරීම හරිම පහසුවක්. ළඟදීම අපි හැමෝම ලංකාව ඇවිත් යන්න එනවා මෙහේ හරිම ලස්සන තැන් තියෙනවා කියලා අහලා තියෙනවා. අපේ පවුලේ උදවිය හරිම කැමැතියි ඇවිදින්න. ඔබගේ රටේ අය ඉතාම හොඳ අය බව හැඟෙනවා, අප කැමැති ඒ සුහදත්වයට නමුත් මොනතරම් උත්සාහ කළත් තවමත් අපේ මනසේ අර කටුක අතීතය මැවෙනවා. අමතක කරන්න උත්සාහ කළත් හරිම අමාරුයි. ලංකාව සාමකාමී රටක් වුණත් ජාතීන් අතර සාමානාත්ම තාවයක් තියෙනවාද කියලා තවම කියන්න අමාරුයි.“ තවත් මැදිවයසේ කෙනෙක් ඉතාම සන්සුන්ව, එහෙත් ඍජුව පවසයි.

ලංකාවේ නාවික හමුදාව ගැන ඔවුන්ට ඉමහත් ප්‍රසාදයකි. මේ දූපත දියුණු කිරීම සඳහා ඔවුන් ගේ වෙහෙස මේ පිරිස ඉහළින් අගයති. “තමිල්නාඩුවේ සිට ඉන්දීය මුහුදු සීමාවේ කිලෝ මීටර 6ක් යනකල් තියෙන්නේ ගල් පර ඒ තැන්වල් මාලු අල්ලන්න අමාරුයි. ඒ නිසා මේ මුහුදු සීමාවට අපිටත් එන්න අවසර දෙනවා නම් සතුටුයි. “

මෑත වෙරළත වැදෙන මුහුදු රළ කිරි පෙණ කැටි නන්වමින් බිදී යයි. දෙරටක සංහිදියාව වෙනුවෙන් දෙවියෝ පේවනු ඇතැයි මාගේ මෙන්ම සැමගේ ද පැතුම වනු නියතය.

 

ඡායාරූප - නිශාංක ද සිල්වා

Comments