ඔවුහු අපට අලුත් අත්දැ­කීම් ගෙන ආහ, ‘රටේ ඉඩ­මට පෑයූ අරු­න්ද­තිය’ | සිළුමිණ

ඔවුහු අපට අලුත් අත්දැ­කීම් ගෙන ආහ, ‘රටේ ඉඩ­මට පෑයූ අරු­න්ද­තිය’

මිනි­න්දෝ­රු­ව­රයා මෙරට ජන සමා­ජය තුළ ඔබ්බට ගිය චරි­ත­යකි. ඔහු මෙරට සමාජ ගමන් ම‍ගෙහි පංගු­කා­ර­යෙකි. මෙරට මිනි­න්දෝරු තන­තු­රට වයස අවු­රුදු 220යි. දේශීය මිනි­න්දෝ­රු­ව­ර­යාගේ උපත සිදු වනුයේ බ්‍රිතාන්‍ය ජාති­ක­යන් විසින් වර්ෂ 1800 අගෝස්තු මස 2 වැනි දා “ලංකා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව” පිහි­ටු­වා­ලී­මත් සම­ඟය.

මෙරට සංව­ර්ධන ක්‍රියා­දා­ම­යක් ඇරැ­ඹුණේ නම් එතැ­නට මුලින්ම ගියේ මින්දෝ­රු­ව­ර­යාය. ඔහු සිය සහා­යක පිරිස ද කැටුව කූඩා­ර­මක් ගසා මිනි­න්දෝරු කඳ­වුර ඉදි­ක­ළේය. එය බොහෝ විට වන දුර්ග­යක විය. කඳ­වුර කරා කැපූ ප්‍රවේ­ශය පසුව රටේ ප්‍රධාන මංමා­වත් බවට පත්විය. මිනි­න්දෝ­රු­ව­ර­යා­ටත් වඩා අති දුෂ්ක­රම රාජ­කා­රිය කළේ ඔහුගේ සහා­යක කණ්ඩා­ය­මය. මිනි­න්දෝරු සහා­ය­ක­යෙ­කුට ඈත පෙනී­මට මොණර ඇස් දෙකක් තිබිය යුතුය. ඕනෑ තරම් දුර කතර ගෙවී­මට අශ්ව කකුල් දෙකක් තිබිය යුතුය. ඕනෑම බරක් උසුලා යාමට බූරු පිටක් තිබිය යුතුය. හමු­වන ඕනෑම දෙයක් වැළ­ඳී­මට ඌරු කටක් තිබිය යුතුය.

මිනි­න්දෝ­රු­ව­ර­යාගේ ආව­තේ­ව­ක­මට කඳ­වුරු කම්කරු වීය. ආර­ක්ෂා­වට වෙඩි­ක්කරු හෙවත් “ෂිකාරේ” සිටි­යේය. නග­යෙන් ලියුම් ගෙන ඒමට, නග­ර­යට ලියුම් ගෙන යාමට “තැපැ­ල්කරු” සිටි­යේය. රැය පහන් කර­න්නට ලන්තෑ­රුම තිබු­ණේය.

මිනි­න්දෝරු වෘත්තියේ ගමන් මඟ සෞන්දර්ය ජනක විය. එය නිහඬ විය. ඇත්ත­ටම චම­ත්කාර ජනක වීය. හැම­දා­මත් ඉති­හා­ස­යත්, අතී­ත­යත් අභි­න­න්ද­නය කළේය.

ලන්දේසි යුග­යෙහි නිකුත් කළ මිනි­න්දෝරු පිඹු­රක, ඉඩ­මක අන­න්‍ය­තා­වය නිරූ­ප­ණය වන පරිදි “ගම - කෝර­ළය - දිස්ත්‍රි­ක්කය - පළාත” යනු­වෙන් අනු­පි­ළි­වෙ­ළට සට­හන් විය. වයර සිය ගණ­නක් ගෙවී ගිය පසු අද නිකුත් කරන මිනි­න්දෝරු පිඹු­රක ද මෙම කරුණු ඒ අනු­පි­ළි­වෙ­ළට ම සට­හන් වීම එක්තරා අන්ද­මක සුවි­ශේෂි සිද්ධි­යකි.

රට තුළ වූ මං මාවත්, දුම්රිය මාර්ග, ඇළ දොළ, වැව්, අමුණු, නගර, ගම් හා වන භූමි අඟ­ලක් - අඟ­ලක් පාසා මැන, මුළු රටම ආව­ර­ණය වන පරිදි සෑදු අඟලේ සිති­යම් කට්ට­ලය “ආසි­යාවේ විශි­ෂ්ට­තම නිෂ්පා­ද­න­යක්” ලෙස සැලැකේ. මිනි­න්දෝ­රු­ව­රයා අපේ සංස්කෘ­තිය හා ‍වෙළුණේ කොත­රම්ද යත්, ගමේ පෙර­හැරේ මුලින්ම ගියේ “මිනි­න්දෝරු කෝලම” ය. මුහුණේ වත්සුණු තවරා, දිග කලි­ස­මක් ඇඳි මිනි­න්දෝරු මහතා මනින කණ්ණා­ඩි­යෙන් ඉදි­රිය බල­මින් ද, සහා­යක කණ්ඩා­යම දම්වැල් පටි­යක් හා මැනුම් රිටි අල්ල­මින් “පෝල් - පෝල්” හඬින් හඬ නග­මින්, පාර දෙප­සම මිනි­සුන් ඉවත් කර­මින් පෙර­හැ­රට මං පෑදුයේ මේ “මිනි­න්දෝරු කෝලම” ය.

මිනි­න්දෝ­රු­ව­ර­යාගේ සේවය විවිධ මට්ටමේ අය විවිධ අයු­රින් දුටු­වේය. මිනි­න්දෝ­රු­ව­ර­යාගේ නිහඬ රාජ­කා­රිය දුටු එක් විදෙස් පාසල් දරු­වකු ඒ ගැන අපූරු සට­හ­නක් තබා තිබිණ.

“මිනි­න්දෝ­රු­වෙ­කුට ඇත්තේ එක ලොකු ඇසක් සහ තවත් පොඩි ඇසකි. ඔහු සතුව ඇත්තේ කකුල් තුනක උප­ක­ර­ණ­යකි. ඔහු එම කකුල් තුනේ උප­ක­ර­ණය දෙසට ඇල වී ළඟ දුර බල­නවා. ඔහු කැලේ ඇවි­දි­නවා. කෝටු කෑලි සහ ගල් සොය­මින්. ඔහුට ඒවා හමුවූ විට ඒවා වටේ ඔහු නට­නවා.

කෝටු කෑලි සහ ගල් හමු වූයේ නැත්නම් ඔහු දවස පුරා ම ඇවි­දි­නවා. හරි­යට අත­රමං වූ කෙනෙක් වගේ ඔහු හැම­වි­ටම ඇවි­දින්නේ ඉදි­රි­යට නැමිලා. ඔහුගේ මුහුණ හරි­යට ම පරණ හමක් වැනිය. ඔහු කියැ­වී­මට බැරිය. මක්නි­සාද යත් ඔහු හැම තිස්සේ ම කුමක් හෝ දෙකක් අතර දුර මනි­නවා. එය පුංචි පොතක සට­හන් කර ගන්නවා. එය සිති­යමේ ඇති දේට වඩා වෙනස් වෙනවා. ඔහු සැම වෙලේම මනින්නේ කෝටු­ව­කට හෝ ගල­ක­ටය. ඔහු හැම වෙලේම සළ­කුණු හද­මින් ඒවා පොළොවේ වල දම­නවා. එය හරි­යට ගෙද­රට යන පාර සල­කුණු කර­නවා වගේ. ඔහුගේ කලි­සම හැම විට ම ඉරිලා. ඔහුගේ සපත්තු පෙනෙන්නේ මඩින් හදලා වගේ. ඔහු දෙස එක එල්ලේ මිනිස්සු බලා සිටි­නවා. මම දන්නෑ යම­කිසි කෙනෙ­කුට ඇයි මිනි­න්දෝ­රු­ව­ර­යකු වීමට උව­මනා කරන්නේ කියා...!

මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව පිහි­ටු­වී­මෙන් පසු අංක 1 ලෙස සඳ­හන් හිමි­කම් පිඹුර වර්ෂ 1800 අගෝස්තු මස 20 දින මුල්ලේ­රි­යාව ප්‍රදේ­ශය හා ඉඩක් සඳහා නිකුත් කෙරිණ. එය කොළඹ ප්‍රදේ­ශය භාර මිනි­න්දෝ­රු­ව­ර­යෙකු වූ සී. ස්තයි­ඩර් මහතා විසින් පිළි­යෙළ කැර ඇත.

මිනි­න්දෝ­රු­ව­රයා මුළු ලංකා­වම මැන්නේ ලංකා මැනීම ඔස්සේය. එක් මිනි­න්දෝ­රු­ව­ර­යෙකු විසින් එක් ගමක් මුල් කර­ගෙන “ගම” මැන්නේය. මෙම මැනීම සිදු කැර රට වැසි­යන් අතර අද ද ප්‍රකට “ගම් පිඹුර” හැදු­වේය. මේ ප්‍රකට “ගම් පිඹුරේ” රජයේ ඉඩම් සහ පුද්ග­ලික ඉඩම් වෙන් වෙන් වශ­යෙන් පෙන්වා දී තිබිණ. අන­තු­රුව ගොඩ­මඩ ඉඩම් වෙන් කැර දැක්වූ­යේය.

හැම ඉඩ­ම­කට ම තිබූ වගාව, වගාවේ වයස, හිමි­කරු, ඉඩමේ ප්‍රමා­ණය ද, එහි වෙන් වෙන් වශ­යෙන් සට­හන් කැර තිබිණ. ගම් පිඹුරේ මුල් පිටුවේ ප්‍රවේ­ශ­යක් හා හැඳි­න්වී­මක් ද තිබීම තවත් සුවි­ශේෂී කරු­ණකි. “ගම් පිඹුරේ” ඇති හැඳි­න්වීමේ ගමේ මුළු බිම් ප්‍රමා­ණය මෙන් ම සිංහල - දෙමළ - මුස්ලිම් ආදි වශ­යෙන් ජන­ග­හ­නය ප්‍රමා­ණය ද වීය.

ඇතැම් ගම් පිඹු­රු­වල ජන­යාගේ සංඛ්‍යාව කුළ වශ­යෙන් දක්වා ඇත. 1963 වසරේ දී පළමු ගම් පිඹුර පිළි­යෙල වූයේ කැළණි විහා­රය පිහිටි කැළ­ණිය ගම ආව­ර­ණය වන පරි­දිය. මේ රටම ආව­ර­ණය වූ ගම් පිඹුරු කලාව මුළු රටම ගැන සවි­ස්ත­රව දැක්වෙන සංස්කෘ­තික කතාං­ග­යක් ලෙස හැඳි­න්විය හැක. මෙරට හැම ඉඩ­ම­කට ම ප‍ාහේ නම් තැබූයේ මිනි­න‍්දෝ­රු­ව­ර­යාය. ඉති­හා­සය තුළ මෙරට බිහිවූ කීර්ති­මත් ම මිනි­න්දෝ­රු­ව­රයා ලෙස සැල­කිය හැකි වනුයේ ආර්.එල්. බ්‍රෝහි­යර් මහ­තාය. ඔහු අඟනා මාණි­ක්‍ය­යකි. වටි­නා­කම කිව නොහැකි තරම් අඟනා ග්‍රන්ථ රාශි­යක් මෙර­ටට දායාද කළ බ්‍රෝහි­යර් මහතා මිනි­න්දෝ­රු­ව­ර­ය­කු­ටත් වඩා ප්‍රකට වූයේ පුරා­විද්‍යා ගවේ­ෂ­ක­යකු ලෙස­ටය. ඔහුගේ ග්‍රන්ථ­යක එක් තැනක මෙසේ සට­හන්ව තිබිණි.

“ජන­ශ්‍රැ­තිය ද, ගැමි විශ්වාස ද, පුරා­වෘත්ත ද, පැරැණි ශිෂ්ටා­චාර ද තුළ කිඳා බැසිය හැක්කේ මිනි­න්දෝ­රු­ව­ර­ය­කුට පමණි.”

බ්‍රෝහි­යර් මහතා යනු ඒ මිනි­න්දෝරු වෘත්තිය හරහා මෙරට සංස්කෘ­තිය හා ශිෂ්ටා­චා­රය හි පැති­ක­ඩක් මැන පෙන්වූ­යෙකි.

මිනි­න්දෝරු වෘත්ති­ක­යන් ලෙස කට­යුතු කැර, පාර්ලි­මේ­න්තු­වට පිවිසි කිහිප දෙනෙකු ද වෙත්. හබ­රා­දූව ආස­න­යෙන් පැමිණි ඩී.එස්. ගුණ­සේ­කර මහ­තාත්, අනු­රා­ධ­පු­ර­යෙන් පැමිණි කේ.බී. රත්නා­යක මහ­තාත්, යාප­හු­වෙන් පැමිණි එච්.බී. අබේ­රත්න මහ­තාත්, කුරු­ණැ­ග­ලින් පැමිණි සරත් වෙල­ගෙ­දර මහ­තාත් ඒ අතර වෙති.

මිනි­න්දෝරු දෙපා­ර්ත­මේන්තු ඉති­හා­සයේ පිඹු­රක් මත සිංහල භාෂා­වෙන් මුලින් ම අත්සන් තැබුයේ, හෙ.පි.සු. ගුණ­සේ­කර හා අබේ­පාල හෙට්ටිගේ යන මිනි­න්දෝරු මහ­ත්ව­රුන්ය.

රටේ සංව­ර්ධ­න­යට උර දෙමින් පුරු­ෂා­ධි­ප­ත්‍ය­යට පම­ණක් සීමා වූ මිනි­න්දෝරු වෘත්ති­යට 1980 වසරේ දී 25 දෙනෙ­කු­ගෙන් යුත් තරු­ණි­යන් කණ්ඩා­ය­මක් එක් වූවාය. අද වන විට මිනි­න්දෝරු වෘත්ති­යෙහි ප්‍රධා­නියා ලෙස සැලැ­කෙන සර්වේ­යර් ජන­රාල් හෙවත් මැනු­ම්පති තන­තු­රට ද කාන්තා­වන් පත්ව සිටි. ශ්‍යාමලී පෙරේරා මහ­ත්මිය එම තන­තු­රට පත්ව ඇති අතර, ඇය මෙරට ඉති­හා­සය තුළ පළමු මැනු­ම්ප­ති­ව­රිය ය.

ඩෙන්මා­ර්කයේ කෝප­න්හේ­ගන් අග­නු­වර කේන්ද්‍ර කර ගත් අන්ත­ර්ජා­තික මිනි­න්දොරු සංවි­ධා­නය (F I G) විසින් විසින් මාර්තු මස 21 දා ගෝලීය මිනි­න්දෝරු දිනය සම­ර­න්නේය. මෙයට සම­ගාමී‍ෙ මෙරට රජය විසින් මාර්තු 21 දා “මිනි­න්දෝරු දිනය” ලෙස ප්‍රකා­ශ­යට පත් කැර ඇත්තේය. එය මෙරට මිනි­න්දෝ­රු­ව­ර­යා­ටත්, මිනි­න්දෝරු වෘත්ති­ය­ටත් කළ විශිෂ්ට ගෞර­ව­යකි!

Comments