උසාවියෙන් ඇසෙන කතා | සිළුමිණ

උසාවියෙන් ඇසෙන කතා

මව සිරගෙට; දුව පරිවාසයට

මත්ද්‍රව්‍යවලට දිගු කාලයක් තිස්සේ ඇබ්බැහි වූ අවිවාහක තරුණියකට ලැබුණු කුලුඳුල් ගැහැනු දරුවකු අධිකරණය මඟින් පරිවාස භාරයට පත් කෙරුණු පුවතක් බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයෙන් අසන්නට ලැබුණි.

දැරියගේ මව චමරි දිල්හානිය. චමරිගේ මව කුඩා කල මිය ගිය හෙයින් ඇය හැදුණේ වැඩුණේ ඇගේ නැන්දනියක් සමීපයේ ය. නැන්දනිය නිවසේ නොමැති දිනයක, චමරි මාමා අතින් අතවරයට පත් වූයේ ඉතා අවාසනාවන්ත අන්දමිනි.

සිද්ධිය පොලිසියට පැමිණිලි කළ ද ඇයට ලැබුණු අස්වැසිල්ලක් නොමැත‍. කොහොමෙන් කොහොම හරි චමරි මහමඟට වැටෙන ‍තැනට කටයුතු සිදුවිය. විවිධ තරාතිරම්වල සල්ලාලයන්ගේ ගොදුරක් බවට පත් වූ ඇය මත්කුඩුවලට ද ඇබ්බැහි වූවාය. මුලින් මුලින් දිනකට සුළු ප්‍රමාණය හෙරොයින් භාවිතා කළ ඇය, ක්‍රම ක්‍රමයෙන් වැඩි ප්‍රමාණයක් දිනකට මත්කුඩු භාවිත කළාය. නන්නාදුන පිරිමින් සතුටු කරවීම ඇගේ රැකියාව බවට පත්විය. ඔවුන්ගෙන් දිනකට ලැබෙන මුදලින් වැඩි හරියක් චමරි වියදම් කළේ හෙරොයින් වෙනුවෙනි. ඇත්තටම ඇයට ආහාර පාන එතරම් වැදගත් සාධකයක් නොවීය. දවසේ මෙහෙවර අහවර වූ පසු ඇය නැන්දනියගේ ගෙදර ගියේ සතියකට දිනක් දෙකක් පමණි. අනිත් දිනවල කොහේ හෝ වැටී රැය පහන් කළා ය.

කාලය කුරුලු වේගයෙන් ගලා ගියේ ය. චමරි දිල්හානි ගැබිනියක් බවට පත්වූයේ ඇයටත් නොදැනීමය. දරුවන් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් මුල් කාලයේ ඇය උපත් පාලන පෙති බීමට පුරුදු වී සිටි නමුත්, පසුව ඒවා පිළිවෙළකට භාවිත කිරීමට පවා චමරිට නිවැරැදි සිහියක් නොමැති විය.

දරු ගැබ කුස තුළ මෝරා වැඩුණි. වෙනත් ගැබිනි මවුවරුන් මෙන් ඇය ගැබිණි සායනවලට නොගියාය. නිසි පෝෂ්‍යදායි ආහාරයක්, විටමින්, බෙහෙත් කිසිවක් ඇය භාවිතා නොකළාය. මේ නිසා ඇගේ දරුවාට නිසි පෝෂණයක් නොලැබිණි. දරුවා බිහිකිරීමේ කාලය එළැඹුණි. ස්වාභාවික ක්‍රමයට දරුවා බිහිවූයේ ඇයව රෝහලට ඇතුළු කළ විගසමය‍. ළමා රෝහලේ ‍ෛවද්‍යවරු ඇයට හා දරුවාට වහ වහා ප්‍රතිකාර කරන ලද අතර දරුවා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කෙරුණි. දරුවාට මව්කිරි ලබාදීමට නොහැකි වූයේ මව අඩසිහියෙන් හා නිදිබර ස්වභාවයෙන් සිටි හෙයිනි.

ළමා රෝහලේ වෛද්‍යවරු හා හෙදියන් දරුවාට මවුකිරි නොමැති අඩුව නොදැනෙන්නට කිරිපිටි, බෙහෙත්, විටමින් හා එන්නත් නිසි පරිදි ලබාදුණි. චමරිව හා දරුවාව බලන්නට ඇගේ නැන්දා කිහිපවරක් ම රෝහලට පැමිණියාය. සාමාන්‍ය මවක ආකාරයෙන් බිලිඳියට මව්කිරි ලබාදීමට හෝ ඇගේ කුදු මහත් කටයුතු කිරීමට තරම් සුදුසු කායික හා මානසික තත්ත්වයක මේ මව නොසිටියා ය. සාමාන්‍ය දරුවකු මෙන් නිසි බර ප්‍රමාණයක නොසිටි චමරිගේ දියණිය හොඳින් වැඩී නොතිබුණි. ඊට අමතරව බරපතළ කාරණය වූයේ මවගේ රුධිරයේ පමණක් නොව දරුවාගේ රුධිරයේ ද හෙරොයින් ඇතුළත්වීමයි. මේ තත්ත්වය අනුව දියණිය රැකගැනීමට චමරි සුදුසු අම්මා කෙනෙකු නොවීය. චමරිගේ නැන්දණිය දියණියව හදාගැනීමට ඉල්ලා සිටි නමුත් ඈ පිළිබඳ තීරණයක් ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය අපොහොසත් විය.

මෙම මව හා දියණිය බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ බිලිඳියට දින 8 ක් ගිය තැනය. දැරිය නිසි වයස් සපිරී නොමැතිව අඩු මසින් ඉපදුණු නිසාත්, හෙරොයින් රුධිරගත වී තිබුණු නිසාත්, දරුවා එකම දිගට නිදි සුවයෙන් පසු වූවාය. එම නිසා මව හා දියණිය උසාවියට ගෙනාවේ ගිලන් රථයෙනි. ඒ පොලිසිය ද සමඟිනි.

අධිකරණයේ පෙනී සිටීමට පවා ඇය ප්‍රකෘති සිහියෙන් නොසිටියා ය. ඇයගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ. රජයේ නීතිඥවරයෙකි. දරුවා හදාගැනීමට දරුවාගේ අයිතිය, චමරිගේ පාර්ශ්වය වෙනුවෙන් චමරිගේ නැන්දණිය ඉල්ලා සිටියා ය.

එහෙත් චමරි දිල්හානි ඒ වනවිට මාතෘත්වය සඳහා සුදුසු මට්ටමක නොසිටියාය. දරුවාගේ ශරී‍රයේ හෙරොයින් අන්තර්ගතව තිබීම නිසා දිගටම දියණිය වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුව තිබිණි. අනෙක් අතට, දිගු කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි චමරිව, පුනරුත්ථාපනය කළ යුතුව තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරයා තර්ක කළේ දින 08 සිඟිති දියණිය මවගේ පාර්ශ්වයට භාරදීම දියණියගේ ජීවිතය හා අනාගතය සම්බන්ධයෙන් අවදානම් සහගත බවයි‍. දියණියගේ ප්‍රතිකාර සඳහා මෙන් ම ඇගේ ජීවිතයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඈව පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය යටතේ පාලනය වන ළමා නිවාසයකට භාර කිරීම වඩාත් සුදුසු බව තර්කානුකූලව අධිකරණය හමුවේ පැහැදිලි කර දුන්නේ ය. මේ අතර චමරිගේ නැන්දණිය දිගින් දිගටම සිඟිති දියණියගේ භාරකාරත්වය ඉල්ලා සිටියාය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත්වරයා බිලිඳියගේ අයිතිය පරිවාස භාරයට පත් කිරීම වඩාත් සුදුසු බව නියෝග කරමින් තීන්දුව ලබාදුන්නාය.

චමරි දිල්හානි මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වරදට වැලිකඩ බන්ධනාගාරයට යොමු කරන ලදී.

නම් ගම් මනඃකල්පිත සත්‍ය සිද්ධියක් වන මෙම කතා පුවත ලබාදුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නිමාලි මැණික් චන්ද්‍රසේකර මහත්මිය විසිනි.

සේයාරූ - හර්ෂ ගුණවර්ධන

 

Comments