සෙනසුරුගේ වළලු තව ටික කාලයයි | සිළුමිණ

සෙනසුරුගේ වළලු තව ටික කාලයයි

පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශේෂිතම ග්‍රහයෙක් තමයි සෙනසුරු. සෙනසුරු ග්‍රහයා හඳුනා ගැනීමට එහි විශාලත්වය වගේම ඒ වටා ඇති වළලුත් බෙහෙවින් උපකාර වනවා. විශේෂයෙන්ම සෙනසුරු වටා ඇති වළලු වෙනත් ග්‍රහලෝකවල දක්නට නොලැබෙන නිසා ග්‍රහලෝක සියල්ලම අතරින් සෙනසුරු පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් දැන් විද්‍යාඥයන් පවසා සිටින්නේ අනාගතයේදී සෙනසුරුට මේ වළලු අහිමි වනු ඇති බවයි. එමෙන්ම මේ වන විටත් සෙනසුරු වටා ඇති වළලු ක්ෂය වී යෑමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති බවත් ඔවුන් පවසා සිටිනවා.

සෙනසුරුගේ වළලු ඉතා දීප්තිමත්. මේ වළලු බිහිවීමට හේතුව නිශ්චිතව පැවසීමට මේ දක්වා විද්‍යාඥයන්ට හැකියාව ලැබී නැහැ. ඇතැම්විට ග්‍රහලෝකයක් විනාශ වීමෙන් මේ වළලු බිහිවූ බවටද මතයක් තිබෙනවා. සෙනසුරුගේ වළලු ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ඒ කෙතරම්ද කිව්වොත් පෘථිවිය හා සමාන ග්‍රහලෝක හයක් එකදිගට තැබූවිට සෙනසුරුගේ වළලුවල පළල හා සමාන විය හැකියි.

සෙනසුරුගේ වළලු සෑදී ඇත්තේ අයිස් කැබලි සහ පාෂාණ කැබලි මගින්. මේ අයිස් සහ පාෂාණ කැබලි ක්ෂය වෙමින් යන බව විද්‍යාඥයන් සොයා ගත්තේ මීට ටික කලකට පෙරදී. එහෙත් දැන් ඔවුන් පවසන්නේ සෙනසුරුගේ වළලු ක්ෂය වීම බලාපොරොත්තු වූවාට වඩා කලින් සිදුවනු ඇති බවයි.

මේ ගත වී යන මොහොත වන විටත් සෙනසුරුගේ වළලුවලින් අයිස් සහ පාෂාණ කොටස් ඉතා කුඩා කැබලි වශයෙන් අභ්‍යවකාශයට පා වී යමින් තිබෙනවා. විද්‍යාඥයන් එය සමාන කරන්නේ වැස්සකට. ඔවුන් පවසන්නේ ඉතා විශාල වශයෙන් මේ බිඳිති අභ්‍යවකාශයට විසිරෙමින් පවතින බවයි.

මේ අතරින් ඇතැම් කොටස් සෙනසුරුගේ ගුරුත්වය හේතුවෙන් සෙනසුරු වෙත ඇදගන්නා බවත් සෙනසුරුගේ වායුගෝලයේ ගැටීමෙන් විනාශ වී යන බවත් විද්‍යාඥයන් පවසනවා. සෙනසුරුගේ වළලු ක්ෂය වෙමින් පවතින බව 1980 දශකයේදී සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ වොයේජර් යානා මගින් තහවුරු කරණු ලැබුවා. එහිදී කරණු ලැබූ ගණනය කිරීම් අනුව විද්‍යාඥයන් තීරණය කර සිටියේ තවත් අවුරුදු මිලියන 300කින් පසු සෙනසුරුගේ වළලු දැක ගැනීමට නොලැබෙනු ඇති බවයි. එහෙත් දැන් විද්‍යාඥයන් පවසන්නේ සෙනසුරුගේ වළලුවලට ඇත්තේ තවත් අවුරුදු මිලියන 100ක ආයුකාලයක් පමණක් වනු ඇති බවයි. එයින් පසු සෙනසුරු ද පෘථිවිය වැනි වළලුවලින් තොර හුදකලා ග්‍රහලෝකයක් පමණක් වනු ඇති.

විද්‍යාඥයන් සිදු කර ඇති ගණනය කිරීම් අනුව සෙනසුරු අදින් වසර බිලියන 4.5කට පෙර බිහිවී තිබෙනවා. එහෙත් වළලුවල වයස අවුරුදු මිලියන 100 - 200ත් අතර. ඉතින් සෙනසුරුට පසු බිහිවූ මේ අතිශය සුන්දර වළලු සෙනසුරුට පෙර ක්ෂය වී යනු ඇති. අභ්‍යවකාශය තරම් ගුප්ත වගේම සුන්දර දෙයක් තවත් නැති තරම්. ඒ නිසා තවත් සුන්දර පුදුමයන් මේ මහා විශ්වය අපට තිළිණ කරණු ඇති.

Comments