සුලෝහිත සංග්‍රාමයට ආදර්ශයක් දුන් සුහද ගුරු ක්‍රිකට් තරගයේ ජය නාලන්දා විදුහලට | සිළුමිණ

සුලෝහිත සංග්‍රාමයට ආදර්ශයක් දුන් සුහද ගුරු ක්‍රිකට් තරගයේ ජය නාලන්දා විදුහලට

පාසල් ක්‍රිකට් උන්මාදයේ උච්චතම අවස්ථාව වන බිග් මැච් වසන්තය වඩාත් උත්කර්ෂවත් අදමින් මේ දිනවල පාසල් අතර පැවැත්වෙයි. කොළඹ නාලන්දා විදුහලත් කොළඹ ආනන්ද විදුහලත් අතර වාර්ෂික සුලෝහිත සංග්‍රාමය මෙවර පැවැත්වූයේ 91 වැනි වරටය.

ආනන්ද නාලන්ද වාර්ෂික සුලෝහිත සංග්‍රාමයට පෙරාතුව පාසල් දෙක අතර ආනන්ද නාලන්දා ගුරු මණ්ඩල සුහද ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ පාසල් දෙක අතර සුහදතාව වර්ධනය කිරීමට හා දරුවන්ට ආදර්ශයක් ගෙන දිමටය.

පසුගිය 5 වැනිදා කොලඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගනයේදි පැවැත්වුනු මෙම ආනන්ද නාලන්දා ගුරු මණ්ඩල සුහද ක්‍රිකට් තරගයේදි පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලයීය ගුරු මණ්ඩල ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 25 අවසානයේදී කඩුළු 02කට ලකුණු 164ක් රැස් කරන ලදී. එහිදි විශිෂ්ඨ ඉනිමක් දියත් කළ නාලන්ද විද්‍යලයීය කණ්ඩායම් නායක විදුහල්පති තිලක් වත්තුහේවා ලකුණු 79ක්ද, සමන් හෙට්ටිආරච්චි මහතා නොදැවී ලකුණු 40ක් ද අනුරාධ පෙරේරා මහතා ලකුණු 15ක්ද මිලින්ද විජේසේකර මහතා නොදැවී ලකුණු 10ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලයීය ගුරු මණ්ඩල ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 58 ක් ලබා ගත්තේය. එහිදී නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ මිලින්ද විජේසේකර මහතා ලකුණු 22කට කඩුලු 04ක් ද සමන් හෙට්ටිආරච්චි මහතා ලකුණු 12ට කඩුලු 02ක්ද තිලක් වත්තුහේවා මහතා ලකුණු 07ට කඩුලු 01ක්ද රොෂාන් නානායක්කාර මහතා 13කට කඩුළු 01 ක් ලබා ගත්හ. ඒ අනුව නාලන්දා විද්‍යාලයීය ගුරු මණ්ඩල ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 106ක විශිෂ්ඨ ජයක් හිමි විය.

ශ්‍රි ලංකා ක්‍රිකට් මණ්ඩලයේ විනිශ්චයකරුවන් අතින් විනිශ්චය වූ මේ පාසල් දෙක අතර සුහද ගුරු තරගයේ වීරයා වූයේ නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවා මහතාය. හොඳම පන්දු යවන්නා නාලන්දා විද්‍යාල කණ්ඩායමේ මිලින්ද විජේසේකර ද, හොඳම පිතිකරු නාලන්දා විද්‍යාල කණ්ඩායමේ සමන් හෙට්ටිආරච්චිද, හොඳම පන්දු රකින්නා නාලන්දා විද්‍යාල කණ්ඩායමේ උදිත රත්නායක ද විය‍.

මේ අතර පසුගියදා පැවැති ශ්‍රි ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලවරණයෙන් 2020/2021 වසරේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූයේද කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාය.

 

Comments