40 වසකට පසු විකසිත වන ගීත නිර්මා­ණ­ක­රු­වන්ගේ හිමි­කම | සිළුමිණ

40 වසකට පසු විකසිත වන ගීත නිර්මා­ණ­ක­රු­වන්ගේ හිමි­කම

ගීත නිර්මාණ සඳහා කර්තෘ­භා­ගය ගෙවීම මාර්තු සිට කියා­ත්මක කළ හැකි බව පසු­ගිය 12 දා ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශ­යේදී මාධ්‍ය ප්‍රධා­නීන් මුණ­ගැ­සුණු අව­ස්ථාවේ තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන කළ ප්‍රකා­ශය අද යථා­ර්ථ­යක් වී තිබේ.

එදින අමා­ත්‍ය­ව­රයා පවසා සිටියේ මින් පසුව ගීත­යක් වාද­නය වීමේදී ගුව­න්වි­දුලි ආය­ත­න­ව­ලින් රුපි­යල් 20ක්ද, රූප­වා­හිනි ආය­ත­න­ව­ලින් රුපි­යල් 100ක්ද කර්තෘ­භා­ගය ලෙස ගෙවිය යුතු බවය.

“මේ කර්තෘ­භා­ගය ගෙවීමේ ගැට­ලුව කාල­යක් තිස්සේම යට­පත් වෙමින්, නැව­තත් ඉස්මතු වෙමින් පැව­තුණා. මේ නිසා අහිං­සක කලා­ක­රු­වන් රැස­කට අසා­ධා­ර­ණ­කම් සිදු වුණා. ඔවුන් තමන්ගේ ජීවි­තයේ අව­සාන භාගයේ අවා­ස­නා­වන්ත තත්ත්ව­යන්ට මුහුණ දුන්නා; තමන්ගේ ලෙඩට බෙහෙ­තක් ගන්න මුදල් හොයා­ගන්න අමාරු තත්ත්ව­ය­කට පත් වුණා. මේ තත්ත්වය ඔබ සියලු දෙනාම පිළි­ග­නියි. ඒ නිසා අපි මේක මාර්තු පළ­මු­වැ­නිදා සිට ලබා දෙමු. බුද්ධි­මය දේපළ පනත යටතේ ගීත ප්‍රචා­ර­ණය වීම සම්බ­න්ධව කර්තෘ­භා­ගය ගෙවන්න නීති­යෙන් එකඟ වෙලා තිබෙ­නවා."

කර්තෘ­භා­ගය ගෙවීම සම්බන්ධ ඉති­හා­සය විමසා බලන විට පෙනී යන්නේ මෙරට බුද්ධි­මය දේපළ පන­තක් නිර්මා­ණය වී ඇත්තේ 1979 වස­රේදී බවය. ඒ අංක 52 දරන බුද්ධි­මය දේපළ පනත අනු­වය. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ එවක අමාත්‍යවරයකුව සිටි ලලිත් ඇතුළත්මුදලි මහතා ය. 1981දී ශ්‍රී ලංකා ප්‍රකා­ශන හිමි­කම් සමා­ගම (SLPRA) ලියා­ප­දිංචි වූයේ මේ පනත අනු­වය.

එකල මෙම­ඟින් රෙකෝ­ඩ්බා­ර්ව­ලින් පවා මුදල් අය කර තිබේ. එහෙත් එය අසා­ර්ථක විය. මෙය නැවත 2003 වස­රේදී සංශෝ­ධන විය. මේ සංශෝ­ධ­න­ව­ලට යටත්ව අංක 36 දරන නව බුද්ධි­මය දේපළ පනත යටතේ ගීත නිර්මා­ණක කේන්ද්‍රය (OSCA) ඇති විය. ගීත නිර්මා­ණක කේන්ද්‍ර­යට ගීත රච­කයෝ, ගී තනු හා සංගීත නිර්මා­ණ­ක­රුවෝ සහ ගායක-ගායි­කාවෝ බොහෝ දෙනෙක් ඇතු­ළත් වූහ.

පසුව - එනම්: 2005 වස­රේදී - මෙය සාමූ­හික සංග­ම­යක් ලෙස ජාතික බුද්ධි­මය දේපළ කාර්යා­ලයේ නැවත ලියා­ප­දිංචි කරනු ලැබිණි. එතැන් සිට ‍කර්තෘභා­ගය එකතු කිරීමේ වර­ප්‍ර­සා­දය මේ කේන්ද්‍ර­යට හිමි වුවත් එය ක්‍රියා­ත්මක නොවීය. මෙනිසා කර්තෘ භාගය ලබා­ගැ­නීමේ වර­ප්‍ර­සා­දය දිගින් දිග­ටම කල් ගියේය.

නැවත එය ක්‍රියා­ත්මක කර ගැනීමේ අර­මු­ණැ­තිව 2011 ජන­වාරි පස්වෙ­නිදා සංශෝ­ධිත ගැසට් පත්‍ර­යක් 1687/ 28 නිකුත් විය. මේ සඳහා පුරෝ­ගාමී මෙහෙ­ව­රක් ඉටු කළේ ඒව­කට මාධ්‍ය ලේකම්ව සිටි ඩබ්ලිව්.බී. ගණේ­ගල මහ­තාය. මෙම නව ගැසට් පත්‍ර­යට අනුව ගුව­න්වි­දු­ලියේ ප්‍රචා­රය වන ගීත­යක් සඳහා රුපි­යල් 10ක්ද, රූප­වා­හි­නියේ විකා­ශය වන ගීත­යක් සඳහා රුපි­යල් 30ක්ද ගෙවී­මට ඒක­ඟ­තාව පළ විය. එහෙත් එයද ක්‍රියා­ත්මක නොවීය.

මෙනිසා 2017 වස­රේදී මේ ඇන­හිට තිබෙන කර්තෘ­භා­ගය ලබා­ගැ­නීමේ කාර්යය සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර දෙන ලෙස එවක ජනා­ධි­ප­තිව සිටි මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් මේ සංග­මය ඉල්ලී­මක් කළේය. ඊට අනු­මැ­තිය පළ කර­මින් ඒ ජනා­ධි­ප­ති­ව­රයා කමි­ටු­වක් පත් කළ අතර, එහි සම-සභා­ප­ති­ව­රුන් හැටි­යට එවක ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශයේ ලේකම්ව සිටි නිමල් බෝපගේ හා ජනා­ධි­පති අති­රේක ලේකම් බී.කේ.ඩී.එස්. රවීන්ද්‍ර මහතා කමි­ටුවේ සම-සභා­ප­ති­ව­රුන් ලෙස පත් කළෝය. එහෙත් නිමල් බෝපගේ මහතා මාධ්‍ය ලේකම් තන­තු­රින් ඉවත් වූ පසු මේ කමි­ටුවේ සභා­ප­ති­ත්වය දැරුවේ ජනා­ධි­පති අති­රේක ලේකම් බී.කේ.ඩී.ඒස්. රවීන්ද්‍ර මහතා පමණි.

ගීත නිර්මා­ණක කේන්ද්‍රය (OSCA) සහ පසුව ඇති වූ තවත් සංවි­ධා­න­යක් වන ACPO සංවි­ධාන දෙකම සහ­භාගි වූ යෝජනා ඒක­මු­තු­ව­කින් අන­තු­රුව නව තාක්ෂ­ණික ක්‍රියා හා විකා­ශන පවා මේ පන­තට යටත් වන පරිදි සකස් කර 2019 ජූනි 17 දා 28/21/6 දරණ අති­වි­ශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.

මේ නව ගැසට් පත්‍රය අනුව දුර­ක­තන සමා­ගම් ගීත ඛණ්ඩ රින් ටෝන් සහ දුර­ක­තන නාද ලෙස යොදා­ගැ­නීම, අන්ත­ර්ජා­ලය තුළ ගීත භාවි­තය සහ ඩිජි­ටල් මාධ්‍ය ඇතුළු සියලු දෑ කර්තෘ­භා­ග­යට යටත් විය.

මේ නව ගැසට් පත්‍රය මඟින් මෙතෙක් පැවති පනත වැඩි­දි­යුණු වී යාව­ත්කා­ලීන විය. අන­තු­රුව පාර්ලි­මේ­න්තුවේ පත් කර තිබූ අධ්‍යා­පන හා මානව සම්පත් සංව­ර්ධන අධී­ක්ෂණ කමි­ටුව මඟින් කර්තෘ­භා­ගය ගෙවීම සඳහා වේදි­කා­වක් සකස් කෙරිණි.

මෙම අධ්‍යා­පන හා මානව සම්පත් සංවර්ධ අධී­ක්ෂණ කමි­ටු­වට ශ්‍රී ලංකාවේ විකා­ශ­ක­යන්ගේ සංස­දය සහ­භාගි වූ අතර, සිරස මාධ්‍ය ජාලය හැර අනෙ­කුත් සියලු මාධ්‍ය ආය­තන මේ සංස­දයේ සාමා­ජි­ක­ත්වය දැරීය. අද මෙහි සභා­ප­ති­ත්වය දරන්නේ අසංග ජය­සූ­රිය මහ­තාය. ලක්සිරි වික්‍ර­මගේ මහතා ලේකම් ලෙස කට­යුතු කරයි. කැඳ­වු­ම්කරු ලෙස නෙත් එෆ්එම් ආය­ත­නයේ නුවන් ලිය­නගේ කට­යුතු කරයි.

මේ සත්කාර්ය මුදුන් පමු­ණු­වා­ගැ­නීම සඳහා මහත් කාර්ය­භා­ර්ය­යක් කළ ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්. ගමගේ කියා සිටියේ, කර්තෘ­භා­ගය ගෙවීම අද සිට ආරම්භ වීම ගීත ක්ෂේත්‍රය තුළ කට­යුතු කරන කලා­ක­රු­වන්ට මහත් අස්වැ­සි­ල්ලක් බවයි. වයෝ­වෘ­ද්ධව රෝගා­තු­රව සිටින බොහෝ කලා­ක­රු­වන්ට මෙම­ඟින් සෙතක් සැල­සෙන බව ඔහුගේ විශ්වා­ස­යයි.

ඒක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ නීති­ප්‍ර­කා­රව මෙලෙස අය කර­ගන්නා කර්තෘ­භා­ගය හිමි වන්නේ කිසි­යම් පුද්ග­ල­යකු අතට නොව, ඒ වෙනු­වෙන් ක්‍රියා­ත්මක වන සංවි­ධා­න­ය­ක­ටය. ජයන්ත ධර්ම­දාස මහ­තාගේ දාය­ක­ත්ව­යෙන් ඒකී සංවි­ධා­නය පව­ත්වා­ගෙන යන අතර; එම­ඟින් ගුව­න්වි­දුලි, රූප­වා­හිනී, අන්ත­ර්ජාල මධ්‍ය, සංගීත සන්ද­ර්ශන, උත්සව හා ප්‍රිය සම්භා­ෂ­ණ­ව­ලදී ගීත විකා­ශය වන විට ගණ­නය කරනු ලැබේ. ඔවුන් සිදු කරන මේ ක්‍රියා­ව­ලිය නවීන උප­ක­රණ යොදා සිදු කරනු ලබන විධි­මත් ක්‍රියා­ව­ලි­යක් බව ප්‍රවීණ ගීත රචක ආචාර්ය සුනිල් සරත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මුල සිටම පැව­තියේ ගාය­කයා මුල් කොට­ගත් ක්‍රම­යකි. මේ නිසා හැම ගීත­යක්ම ප්‍රචා­රය වුණේද ගාය­ක­යාගේ නමිනි. මිනි­සුන් ආද­රය කරන්න පට­න්ග­ත්තේද ගාය­ක­යා­ටය. එහෙත් ලෝක සම්ම­තය අනුව මේ ප්‍රචා­රය වන ගීත පිටු­පස තවත් දෙදෙ­නකු සිටින බව අපේ රටේ උද­විය වට­හා­ගත්තේ බොහෝ මෑත­කදී බව රම­ණීය සංගීත අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යකු හා ගී තනු නිර්මා­ප­ක­යකු වන රෝහණ වීර­සිංහ මහතා කියා සිටි­යේය. මේ කාර්ය­යට මුල සිටම ඇතැම් අය සහාය දැක්වූයේ කිසි­යම් දේශ­පා­ලන අර­මු­ණ­කින් හෝ බදු මුද­ල්ව­ලින් නිද­හස් වීමට බවත්, රජය මූලික වී තත්කා­ර්යය මෙප­රිදි යථා­ර්ථ­වත් කිරී­මට කට­යුතු කිරීම යහ­පත් බවත් හෙතෙම කියා සිටි­යේය.

“මුල සිටම අප ප්‍රති­ප­ත්ත්මය වශ­යෙන් කර්තෘ­භා­ගය ගෙවී­මට එකඟ වී සිටියා. ඒත් මේ සඳහා පත් කළ විධි­මත් ආය­ත­න­යක් නොවූ­යෙන් එය ඇණ හිට තිබුණා. එවිට අප යෝජනා කළේ විකා­ශය සඳහා ගීත පිළි­බඳ අයි­තිය දුන් පසු විකා­ශය වන සියලු ගීත සඳහා ගෙවීම් කළ හැකි බවයි. ඒ සඳහා කිසි­යම් ආය­ත­න­යක් පිහි­ටු­වන ලෙස මීට ප්‍රථම අප ප්‍රකාශ කර සිටියා” යැයි විද්යුත් විකා­ශ­ක­යන්ගේ සංස­දයේ සභා­පති අසංග ජය­සූ­රිය මහතා ප්‍රකාශ කළේය.

අද සිට මෙහි වග­කීම ගීත නිර්මා­ණක කෙන්ද්‍රය දරන අතර, එහි සභා­ප­ති­ත්වය උසු­ලන්නේ ආචාර්ය ජයන්ත ධර්ම­දාස මහ­තාය. මෙහි අධ්‍යක්ෂ මණ්ඩ­ලය ලෙස මාධ්‍ය අමා­ත්‍යං­ශයේ හිටපු ලේකම් ඩබ්ලිව්.බී ගනේ­ගල, ජාතික තරු­ණ­සේවා සභාවේ හිටපු සභා­පති ආචාර්ය සුනිල් ජයන්ත නව­රත්න, ප්‍රකට ව්‍යාපා­රික කිෂූ ගෝමස්, තිලක් හේවා­ක­පුගේ, සම්මා­නිත මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්න, ආචාර්ය රෝහණ වීර­සිංහ ක්‍රියා කරති.

කර්තෘ­භා­ගය ක්‍රියා­ත්මක වන නව ගැසට් පත්‍රය සැකෙ­වින් මෙසේය:

2019 අංක 01 දරන බුද්ධි­මය දේපොළ නියෝග (ගීත සහ සංගීත කෘති) යනු­වෙන් හඳු­න්වනු ලබන මෙකී ගැසට් නිවේ­ද­නයේ අංක 2 (1),

“ගුව­න්වි­දුලි විකාශ සංවි­ධා­න­යක් හෝ ආය­ත­න­යක්, රූප­වා­හිනී විකා­ශන සංවි­ධා­න­යක් හෝ ආය­ත­න­යක්, විදුලි සංදේශ සේවා හෝ පද්ධති සැප­යු­ම්ක­රු­වකු (මින් මතු ‘භාවිත කරන්නා’ යනු­වෙන් සඳ­හන් කරනු ලබන) ඇතු­ළුව තැනැ­ත්තකු හෝ තැනැ­ත්තන් කණ්ඩා­ය­මක් විසින් ගීත­යක් හෝ සංගී­ත­මය කෘති­යක් හෝ එහි යම් සැල­කිය යුතු කොට­සක් විද්යුත්, ඩිජි­ටල් සන්නි­වේ­දන, සම්ප්‍රේ­ෂ­ණය වැනි ආකා­ර­ව­ලින් ප්‍රති­නි­ෂ්පා­ද­නය හෝ සන්නි­වේ­ද­නය සඳහා හෝ විනෝ­දා­ස්වා­දය හෝ වාණි­ජ­මය පර­මාර්ථ සඳහා දුර­ක­තන මාධ්‍ය තුළ පව­තින ඩිජි­ටල් තාක්ෂ­ණ­යක් සඳහා භාවිත කරන අව­ස්ථා­වක එම භාවිත කරන්නා විසින්, අව­ස්ථා­වෝ­චිත පරිදි, එම ගීතයේ හෝ සංගී­ත­මය කෘතියේ අයි­ති­වා­සි­කම් හිමි­කරු හෝ සාමූ­හික සංග­මය සමග එම කාර්යය සඳහා අන්‍යෝන්‍ය වශ­යෙන් එකඟ විය හැකි පරිදි කර්තෘ භාගය ගෙවීම සඳහා ලිඛිත ගිවි­සු­ම­කට එළ­ඹිය යුතුය.” මේ යෝජ­නාව අමාත්‍ය මණ්ඩ­ලය විසින් අනු­මත කරන ලදි.

එමෙන්ම මේ ගැසට් නිවේ­ද­නයේ ඊළ­ඟට ගෙවීම් කළ යුතු පුද්ග­ලයා නිශ්චි­තව හඳුනා ගැනීම, ගීත ඒකා­බද්ධ කොට ගාය­නය (Nonstop), ගීත තනු ගාය­න­යක් (Accapella) හෝ එහි යම් කොට­සක් ගී පද සහි­තව හෝ රහි­තව භාවිත කිරීම ආදි බොහෝ කරුණු මේ අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­නයේ සඳ­හන් වේ.

රිං ටෝන්ව­ලට ගීත හෝ සංගීත අනු­වා­දන යොදා­ගැ­නී­මේ­දීද අදාළ අයි­ති­ක­රු­වන්ට කර්තෘ­භා­ගය ගෙවිය යුතුය. මේ නියෝ­ගය අංක 4 යටතේ දක්වා ඇත්තේ මෙසේය:

“යම් භාවිත කර­න්නකු විදුලි සංදේශ සේවා සැප­යු­ම්ක­රු­වකු වශ­යෙන් යම් ගී පද ආශ්‍රිත හෝ එසේ නොවන සංගී­ත­මය හෝ සංගී­ත­මය නොවන ගීත­යක්, ගීත­යක කොට­සක් හෝ සංගීත කෘති­යක් හෝ සංගීත තෘති­යක කොට­සක් හෝ ගීත­යක අනු­වා­ද­න­යක් හෝ එහි කොට­සක් යම් ඩිජි­ටල් මාධ්‍ය­ය­කින් විකා­ශය, සන්නි­වේ­ද­නය හෝ සම්ප්‍රේ­ෂ­ණය කිරී­මේදී, ඒ භාවිත කරන්නා විසින් අව­ස්ථා­වෝ­චිත පරිදි, අයි­ති­වා­සි­කම් හිමි­කරු හෝ සාමූ­හික සංග­මය සම්බ­න්ධ­යෙන් වන අදාළ ගෙවීම ගිවි­සුමේ නිය­ම­ව­ලට අනු­කූ­ලව සිදු කළ යුතුය.”

Reality Showවල ගීත ගාය­නය ගැන ඇති නියෝග පැහැ­දි­ලිව දක්වා ඇත්තේ අංක 5 යට­තේය. එහි අංක 5(අ) සහ 5(ආ) ලෙස පළ කොට ඇත්තේ ‘නොකළ’ යුතු කට­යුතු ගැනය.

“ප්‍රති­භා­පූර්ණ පුද්ග­ල­යන් තෝරා­ගැ­නීම සඳහා රූප­වා­හිනී මාධ්‍ය හෝ ගුව­න්වි­දුලි මාධ්‍ය හෝ වෙනත් යම් ඩිජි­ටල් මාධ්‍ය­යක් මගින් සංවි­ධා­නය කරන ලද යම් සංගී­ත­මය හෝ ගීත­මය තර­ග­ය­කදී Reality Show යම් පුද්ග­ල­යකු විසින්, ප්‍රකා­ශන අයි­තිය ආරක්ෂා කර ඇති ගීත­යක් භාවිත කරන අව­ස්ථා­ව­කදී,

(අ) එම කාර්යය සඳහා සම්පූර්ණ ගීත­යම භාවිත නොකළ යුතු අතර, අයි­ති­වා­සි­කම් හිමි­ක­රුගේ හෝ සාමූ­හික සංග­මයේ පූර්ව ලිඛිත අනු­මැ­ත­යක් නොමැ­තිව එම ගීතයේ ගී පද, සංගී­තය, වචන හෝ ස්වර වෙනස් කිරීම නොකළ යුතුය.

එසේ වුවද, සම්පූර්ණ ගීත­යම භාවිත කරන්නේ නම්, එම පුද්ග­ලයා විසින්, අව­ස්ථා­වෝ­චිත පරිදි අයි­ති­වා­සි­කම් හිමි­කරු හෝ සාමූ­හික සංග­මය විසින් නිශ්චය කරනු ලැබිය හැකි සහ ඉල්ලා සිටිනු ලැබිය හැකි ගාස්තු­වක් ඒ සඳහා ගෙවනු ලැබිය යුතුය. එසේම තව­දු­ර­ටත් අයි­ති­වා­සි­කම් හිමි­කරු හෝ සාමූ­හික සංග­මය විසින් සම්පූර්ණ ගීත­යම එවැනි ගෙවී­ම­කින් තොරව භාවිත කිරී­මට ලිඛි­තව අව­ස­රය ප්‍රදා­නය කරනු ලැබිය හැකිය.

(ආ) අයි­ති­වා­සි­කම් හිමි­ක­රුගේ නිසි අනු­මැ­ති­ය­කින් තොරව තෝරා­ගන්නා ලද ගීත­යක පද හෝ තෝරා­ගන්නා ලද ගීත­යක සංගී­තය වෙනස් කිරීම හෝ තෝරා­ගන්නා ලද ගීත­ය­කට යම් වචන හෝ ස්වර එකතු කිරීම නොකළ යුතුය.”

 

Comments