ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ‘අන්තර්ජාතික මවු භාෂා දිනය’ සැමැරූයේ පෙබරවාරි 21 වැනිදාය. ‘සිංහල භාෂා දිනය’ යෙදෙන මාර්තු දෙවනදා ශ්‍රී ලාංකිකයන්ට වැදගත් දවසක් වන්නේ භාෂා විශාරදයකු වන කුමාරතුංග මුනිදාසයන්ගේ ගුණ සැමැරුම යෙදී ඇත්තේද එදිනටම වන බැවිනි.
‘සීමා මායිම් නැති භාෂාවක්’ යන්න ප්‍රධාන තේමාව කරගත් මෙවර ‘අන්තර් ජාතික මවු භාෂා දිනය’ නිමිත්තෙන් සංවිධානය වූ උත්සව අතර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පසුගියදා පැවැත්වූ මවු භාෂා දින සැමැරුමට හිමි වන්නේ ප්‍රමුඛ සථානයකි. මේ අවස්ථාවට එක් වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය සඳගෝමි කෝපරහේවා පවසා සිටියේ වර්තමානයේ සිංහල භාෂාව හමුවේ අභියෝග රැසක් පැනනැඟී ඇති බවයි.
මවු භාෂාවේ අනන්‍යතාව
“ඕනෑම රටක ජාතික අනන්‍යතාවේ පිළිබිඹුව භාෂාවයි. එනයින් සිංහල භාෂාව මේ රටේ අනන්‍යතාවයි. දකුණු ආසියානු කලාපයේ භාවිත වන භාෂා අතුරින් සිංහලය සලකනු ලබන්නේ හින්දු ආර්ය භාෂාවක් ලෙසයි. ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි, පෘතුගීසි ආදි භාෂා රැසකින් පෝෂණය වී තිබෙනවා. වාචික ව්‍යවහාරය මෙන්ම ලේඛන ඉතිහාසයක්ද එය සතුයි. සිංහල භාෂාවේ ඇති මේ කථන හා ලිඛිත ද්විරූපතාව එයට සුවිශේෂ ස්වභාවයක් ගෙන එනවා.”
සිංහලය රාජ්‍ය භාෂාවක් ලෙස පෝෂණය කිරීමේ වගකීම සමාජය සතු බවද මෙහිදී පෙන්වා දුන් මහාචාර්යවරයා රාජ්‍ය තන්ත්‍රයේ සිංහල භාෂා භාවිතය පිළිබඳ ගැටලු පවතින බවද අවධාරණය කර සිටියේය. විශේෂයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවල ලිපිලේඛන හුවමාරුවේදී භාෂා වැරදි අපමණ දක්නට ලැබෙන බවත්, එනිසා රාජ්‍ය තන්ත්‍රයේ ලිපි ලේඛන සිංහල භාෂා සම්මතයන් රැකගනිමින් නිර්මාණය විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
භාෂාව භාවිතයට ගන්නා ප්රබලතම මාධ්‍යය වන්නේ ජනමාධ්‍යයි. එහෙත් ජනමාධ්‍යයේ භාෂා භාවිතය පිළිබඳ වත්මන් සමාජයේ පවතින්නේ සුබවාදී අදහසක් නොවේ. මේ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර පැවසූයේ, වර්තමානයේ ජනමාධ්‍යයේ සිංහල භාෂා භාවිතාව වගකීමෙන් යුතුව සිදු කළ යුතුව ඇති බවයි.
භාෂාව හා ජනමාධ්‍ය
“මිලියන හතක් තරම් වන ලෝක ජනගහනයෙන් සිංහල භාෂාව කතා කරන්නේ අපේ පුංචි රටේ ප්‍රධාන ජන කොටස පමණයි. භාෂාවෙන් තොරව අපට සන්නිවේදනයක් ගැන කතා කළ නොහැකියි. සිනමාව, රූපවාහිනය ගැන කතා කරන විට අප දන්නවා ඒවා රූප මාධ්‍ය කියලා. ඒත් මේ දෙකටම භාෂාව එකතු නූණා නම් එය පරිපූර්ණ ප්‍රකාශන ශක්තියක් තිබෙන කලාවක් බවට පත් වන්නේ නැහැ. භාෂාවෙන් තොරව අපට නිශ්චිත ප්රකාශනයක් කරන්නට බැහැ. ඔබට ලෝකය වෙනස් කරන්න වුවමනා නම් ඒ වෙනුවෙන් භාවිත කළ හැකි හොඳම අවිය ජනමාධ්‍යයි. පුවත්පත් කලාව ගත් විට එහි ඇත්තේ ක්ෂණික බවක්. මහා පඬිවරයාගේ සිට සමාජයේ සෑම තරාතිරමක අයකුටම තේරුම් ගත හැකි භාෂා ශෛලියකින් තමයි පුවත්පත නිර්මාණය විය යුත්තේ. මුල් කාලයේ පුවත්පත්වල බස්වහර සරල වුණේ නැහැ. ඒවා සංස්කරණය කළේ පඬිවරු. ශාස්ත්‍රීය මුහුණු වරක් තමයි ගනු ලැබූයේ. පසුකාලීනව පුවත්පත් කලාවට සුදුසු බස් වහරක් නිර්මාණය වන්නේ සඟරා ආශ්රයෙන්. ඩී.බී. ධනපාල මහතා තමයි පුවත්පත් කලාවට යෝග්‍ය බස්වහරක් ගෙන ආවේ. ඔහු පුවත්පත් භාෂාව ගැන මෙහෙම කියනවා. ‘පුවත්පත් බස සරල විය යුතුයි, ලිහිල් විය යුතුයි, කාලීන විය යුතුයි, හිත දිනාගත යුතුයි, කුස්සි අම්මාටත් උගතාටත් කම්කරුවාටත් තේරුම් යා යුතුයි. පුවත්පත් බසේ යෞවන විලාසයක් තිබිය යුතුයි. පොතපතේ තලස්තෑනී ගතිය පත්තරේ නොතිබිය යුතුයි,’ යනුවෙනි.”
මවු භාෂා සැමැරුමේ ඉතිහාසය
මේ වන විට ලෝකයේ භාෂා 7,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බව හඳුනාගෙන තිබේ. එයින් භාෂා 10ක් පමණ වචන නැති සංඥා භාෂා බවත්, දැනට ව්‍යවහාර වන භාෂා අතුරින් 50%කට වැඩි භාෂා ගණනක් ව්‍යවහාරයෙන් ඉවත්ව මළ භාෂා බවට පත් වීමේ අවදානමක් පැනනැඟී ඇති බවත් විද්වත් මතයයි. මෙහි භයානකම සිදුවීම වන්නේ මේ භාෂා අතුරින් එක් භාෂාවක් සෑම සති දෙකකට වරක්ම ලොවට අහිමි වීමේ තර්ජනයට මුහුණ දී සිටීමයි. එනිසා අන්තර්ජාතික මවු භාෂා දිනයක් ප්‍රකාශයට පත් කිරීම හා එය සැමරීම සෑම රටකම පවත්නා භාෂාවලට එක සේ වැදගත් වනු ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන පැවසූයේ සෑම රටකම පාහේ වසර 20ක් තිස්සේ මේ අන්තර්ජාතික මවු භාෂා දිනය සමරන්නට කටයුතු කරන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ බහු භාෂා ප්‍රවර්ධනය, මවු භාෂා රැකගැනීම සහ ලෝක සාමය ප්‍රවර්ධනය යන කරුණු මුල් කරගනිමින් ඇරඹෙන මේ සැමරුම රටක සෑම පුරවැසියකුටම වැදගත් වන බවයි.
“මව් භාෂා සැමැරුමේ ඉතිහාසය ගැන කතා කළොත් එය ආරම්භ වන්නේ බටහිර පාකිස්තානය හා නැඟෙනහිර පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින්. බටහිර පාකිස්තානයේ උර්දු බස කථා කරන ජනතාවක් ජීවත් වුණා. නැඟෙනහිර පාකිස්තානයේ හිටියේ බෙංගාලි භාෂාව කතා කරන ජනතාවයි. බෙංගාලි බස කතා කරන ජනතාව විශාල විප්ලවයක් ගෙන ගියා ඔවුන්ගේ මවු භාෂාව බෙංගාලි විය යුතුයි කියා. එහි ප්‍රතිඵලයක් ලෙස 1952 පෙබරවාරි 21 දා පාකිස්තාන අමාත්‍ය මණ්ඩලය තීරණය කරනවා නැඟෙනහිර පාකිස්තානයේ භාෂාව බෙංගාලි බස විය යුතු බවට. එය සැමැරීම උදෙසා සෑම වසරකම පෙබරවාරි 21 අන්තර්ජාතික මවු භාෂා දිනය ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මළ භාෂා - වඳ භාෂා
“ලෝකයේ මළ භාෂා සහ වඳ වී යන භාෂා ලෙස භාෂා වර්ග දෙකක් තිබෙනවා. උදාහරණ ලෙස: සංස්කෘත, ලතින්, ග්‍රීක, ගොතික් භාෂා මළ භාෂා ලෙස හඳුන්වනවා. ඒවා තැනින් තැන භාවිතයට ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. ඒත් යම් භාෂාවක් කථා කරන අවසන් පුද්ගලයාත් මිය ගියා නම් එය වඳ වී ගිය භාෂා යටතට ගැනෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට භාෂාවක් වඳ වුණා කියලා නම් කරන්නේ ‘නැෂනල් ජියෝග්රෆි’ සඟරාවෙන්. ඒ සඟරාවට අනුව හැම දවස් 14කටම වරක් ලොව කුමන හෝ භාෂාවක් වඳ භාෂාවක් බවට පත් වනවා. මරියා ස්මිත් ජෝන්ස් ඇමෙරිකාවේ ජීවත් වූ ආදිවාසි ගෝත්‍රයකට අයත් කාන්තාවක්. වසර 89ක් ජීවත් වූ ඇය 2008 වර්ෂයේ ජනවාරි 21 මරණයට පත් වීමත් සමඟ ‘එයික්’ නමැති භාෂාව වඳ භාෂා ලැයිස්තුවට එක් වූයේ එතෙක් ලොව ජීවත් වූ එයික් භාෂාව ව්‍යවහාර කළ අවසාන පුද්ගලයා ඇය වූ බැවිනි. එනිසා භාෂා ප්‍රවර්ධනය ගැන, ඒවා ආරක්ෂා කරගැනීම ගැන ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතුයි.”
මවු භාෂා දින සැමැරුමේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වන සිංහල ලේඛකත්ව සංගමයේ ලේකම් සිරිපාල දිසාසේකර මහතා පවසන්නේ ඕනෑම රටක ජන සමූහයක නිර්මාණ ශක්තිය මතු වීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ මවු භාෂාව බවයි.
“ඕනෑම පුද්ගලයකුගේ නිර්මාණ ශක්තිය මතු වන්නේ තමාගේ මවු භාෂාව පිළිබඳ ඇති දැනුමේ පෘථුලත්වය මතයි. වෙනත් භාෂාවකින් එය මතුවීම සීමා සහිතයි. ලංකාව ගත් විට වර්තමානයේ මිනිසුන් ඉංග්‍රීසි බසට වැඩි වශයෙන් නැඹුරු වීමක් දක්නට ලැබෙනවා. ඒත් සාහිත්‍යයක් ගොඩනඟන්න නම් මවු භාෂාව ඉදිරියට එන්න අවශ්‍යයි. එවිටයි රටක නිර්මාණ සාහිත්‍යය දියුණු වන්නේ. ලංකාවේ මවු භාෂාව සිංහල. ඒ ගැන හුඟ දෙනෙක් කථා කරන්න ඕනෑ. ඒ ගැන හොඳ අවබෝධයක් අපේ අනාගත පරපුරට ලැබිය යුතුයි. තාක්ෂණය, පරිගණකය කෙරෙහි තමයි අද පරපුර වැඩි වශයෙන් යොමුව සිටින්නේ. ඒ නිසා කියවීමට යොමු වීම අඩු බවක් පෙනෙනවා. එය නිර්මාණකරණයේ අවගමනයට හේතුවක්. එනිසා තරුණ පරපුර මවු භාෂාව කෙරෙහි විශේෂ යොමු කිරීමක් කළ යුතුයි.”
මවුු භාෂාවේ වැදගත්කම පිළිබඳ සඳහන් කරන ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පවසන්නේ, තම මවට ගරු කරනවා සේම තම මවු භාෂාවටද ගරු කළ යුතු බවයි.
“අප සැම දෙනාටම තමන්ගේ මවු භාෂාව තමාගේම මව වගෙයි. භාෂාවක් නැති වුණු පුද්ගලයා හැම අතින්ම අතරමං වෙනවා. කාලයත් සමඟ භාෂාවත් විවිධ වෙනස්කම්වලට ලක් වනවා. එය වෙනස් කිරීම අපහසුයි. ඉංග්‍රීසි භාෂාව ගත්තොත් 16-18 වන සියවස්වල රචනා ශෛලිය අද වන විට වෙනස්ව තිබෙනවා. සිංහලයත් එලෙසයි. ඒ වගේම මේ අතර නැති වී යන භාෂාද අපට හමු වනවා.
නේපාලය, ඉන්දියාව, චීනය වගේ රටවල කඳුකර භාෂා මේ තර්ජනයට මුහුණ දී තිබෙනවා. සමහර භාෂා ලිඛිතව නැති නිසා පටිගත කර සුරක්ෂිත කර තිබෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ සමහර ප්‍රාන්ත භාෂා භාවිතය අඩු වී ඇති බවට බියක් තිබෙනවා. කොහොම නමුත් රටක බහු භාෂා කතා කරන ජනතාවක් සිටී නම්, සුළු භාෂාවක් කථා කරන පිරිසටත් බහුතර භාෂාව වහරන අයට සමානව ගරු කරන්න සමාජය උගත යුතුයි.”
මවු භාෂාවේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් භාෂාප්‍රේමී සංවිධානයේ සභාපති මුදිත කාරියකරවන මහතා පවසන්නේ, අපේ රටේ මවු භාෂාව වන සිංහලය රැකගනිමින්, එයට ආදරය කරමින් සිංහල භාෂාව ව්‍යාප්ත කිරිමට කටයුතු කළ යුතු බවයි.
මුහුණ පා ඇති අවදානම
“මොනම රටක ජාතියක් වුවත් තම මවු භාෂාවට සැලකිය යුතුයි. සිංහල භාෂාව කථා කරන එකම රට ශ්‍රී ලංකාවයි. එය අංක එක ලෙස අපි රැකගත යුතුයි. සමහර පිරිස්වල මතයක් තිබුණා සිංහල භාෂාවත් තවත් වසර පනහකින් සියයකින් ලෝකයේ සමහර මළ භාෂා අතරට එකතු වන බවට. ඒත් සිංහල භාෂාව කවදාවත් වඳ වන භාෂාවක් නොවේ. එය දවසින් දවස උද්දීපනය වන වැඩි දියුණු වන භාෂාවක්. සිංහල භාෂාවේ පවත්නා හොඳ ගුණ ඉංග්‍රීසි භාෂාවේ හොයාගන්න වත් නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න බැරි වරනැඟීම් සිංහල භාෂාවෙන් ඉතා තාත්විකව ඉදිරිපත් කරන්න පුළුවන්.”
එක් පාර්ශ්වයක් මෙසේ ප්‍රකාශ කළද තවත් පිරිසකගේ මතය වී ඇත්තේ සිංහල භාෂාවේ වාග්කෝෂය අද වන විට වේගයෙන් පටු වෙමින් ඇති බවයි.
ඒ අනුව සිංහල භාෂාව සතුව විශාල වචන මාලාවක් පැවතියද ඉන් බොහෝ වචන දිනෙන් දින භාවිතයෙන් ඉවත් වන අතර, අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන විට නව වදන් බිහි නොවීම හේතුවෙන් භාෂාවේ වර්ධනයද පසු බසින බව මේ අයගේ අදහස වී ඇත. ඉංග්‍රීසි-සිංහල මිශ්‍ර භාෂා (සිංග්ලිෂ්) භාවිතය, වැරදි ව්‍යවහාර, වියරණ රීති බිඳීම, අක්ෂර වින්‍යාස සම්මත නොතැකීම මෙහිලා ප්‍රමුඛ හේතු බව ඔවුහු පෙන්වා දෙති.
මේ සියලු කරුණු සම්පිණ්ඩනයෙන් අප අවසාන වශයෙන් අවධාරණය කරගත යුත්තේ සිංහල භාෂාව අපේ අනන්‍යතාවේ උරුමය බවයි. එබැවින් අපගේ යුතුකම වන්නේ එය අනාගතය උදෙසා නොකෙලෙසා රැකගැනීමයි.