‘සීමා මායිම් නැති’ සිංහල මවු බස | සිළුමිණ

‘සීමා මායිම් නැති’ සිංහල මවු බස

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රට­වල් ‘අන්ත­ර්ජා­තික මවු භාෂා දිනය’ සැමැ­රූයේ පෙබරවාරි 21 වැනි­දාය. ‘සිංහල භාෂා දිනය’ යෙදෙන මාර්තු දෙවනදා ශ්‍රී ලාංකි­ක­යන්ට වැද­ගත් දව­සක් වන්නේ භාෂා විශා­ර­ද­යකු වන කුමා­ර­තුංග මුනි­දා­ස­යන්ගේ ගුණ සැමැ­රුම යෙදී ඇත්තේද එදි­න­ටම වන බැවිනි.

‘සීමා මායිම් නැති භාෂා­වක්’ යන්න ප්‍රධාන තේමාව කර­ගත් මෙවර ‘අන්ත­ර් ජා­තික මවු භාෂා දිනය’ නිමි­ත්තෙන් සංවි­ධා­නය වූ උත්සව අතර ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ලය පසු­ගි­යදා පැවැත්වූ මවු භාෂා දින සැමැ­රු­මට හිමි වන්නේ ප්‍රමුඛ සථා­න­යකි. මේ අව­ස්ථා­වට එක් වෙමින් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­ය­නාංශ ප්‍රධානී මහා­චාර්ය සඳ­ගෝමි කෝප­ර­හේවා පවසා සිටියේ වර්ත­මා­නයේ සිංහල භාෂාව හමුවේ අභි­යෝග රැසක් පැන­නැඟී ඇති බවයි.

මවු භාෂාවේ අන­න්‍ය­තාව

“ඕනෑම රටක ජාතික අන­න්‍ය­තාවේ පිළි­බි­ඹුව භාෂා­වයි. එන­යින් සිංහල භාෂාව මේ රටේ අන­න්‍ය­තා­වයි. දකුණු ආසි­යානු කලා­පයේ භාවිත වන භාෂා අතු­රින් සිංහ­ලය සල­කනු ලබන්නේ හින්දු ආර්ය භාෂා­වක් ලෙසයි. ක්‍රි.පූ. 3 වන සිය­වසේ සිට ඉතා දීර්ඝ ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියන සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි, පෘතු­ගීසි ආදි භාෂා රැස­කින් පෝෂ­ණය වී තිබෙ­නවා. වාචික ව්‍යව­හා­රය මෙන්ම ලේඛන ඉති­හා­ස­යක්ද එය සතුයි. සිංහල භාෂාවේ ඇති මේ කථන හා ලිඛිත ද්විරූ­ප­තාව එයට සුවි­ශේෂ ස්වභා­ව­යක් ගෙන එනවා.”

සිංහ­ලය රාජ්‍ය භාෂා­වක් ලෙස පෝෂ­ණය කිරීමේ වග­කීම සමා­ජය සතු බවද මෙහිදී පෙන්වා දුන් මහා­චා­ර්ය­ව­රයා රාජ්‍ය තන්ත්‍රයේ සිංහල භාෂා භාවි­තය පිළි­බඳ ගැටලු පව­තින බවද අව­ධා­ර­ණය කර සිටි­යේය. විශේ­ෂ­යෙන් රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වල ලිපි­ලේ­ඛන හුව­මා­රු­වේදී භාෂා වැරදි අප­මණ දක්නට ලැබෙන බවත්, එනිසා රාජ්‍ය තන්ත්‍රයේ ලිපි ලේඛන සිංහල භාෂා සම්ම­ත­යන් රැක­ග­නි­මින් නිර්මා­ණය විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

භාෂාව භාවි­ත­යට ගන්නා ප්‍රබ­ල­තම මාධ්‍යය වන්නේ ජන­මා­ධ්‍යයි. එහෙත් ජන­මා­ධ්‍යයේ භාෂා භාවි­තය පිළි­බඳ වත්මන් සමා­ජයේ පව­තින්නේ සුබ­වාදී අද­හ­සක් නොවේ. මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් ජ්‍යේෂ්ඨ මාධ්‍ය­වේදී තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර පැව­සූයේ, වර්ත­මා­නයේ ජන­මා­ධ්‍යයේ සිංහල භාෂා භාවි­තාව වග­කී­මෙන් යුතුව සිදු කළ යුතුව ඇති බවයි.

භාෂාව හා ජන­මාධ්‍ය

“මිලි­යන හතක් තරම් වන ලෝක ජන­ග­හ­න­යෙන් සිංහල භාෂාව කතා කරන්නේ අපේ පුංචි රටේ ප්‍රධාන ජන කොටස පම­ණයි. භාෂා­වෙන් තොරව අපට සන්නි­වේ­ද­න­යක් ගැන කතා කළ නොහැ­කියි. සින­මාව, රූප­වා­හි­නය ගැන කතා කරන විට අප දන්නවා ඒවා රූප මාධ්‍ය කියලා. ඒත් මේ දෙක­ටම භාෂාව එකතු නූණා නම් එය පරි­පූර්ණ ප්‍රකා­ශන ශක්ති­යක් තිබෙන කලා­වක් බවට පත් වන්නේ නැහැ. භාෂා­වෙන් තොරව අපට නිශ්චිත ප්‍රකා­ශ­න­යක් කර­න්නට බැහැ. ඔබට ලෝකය වෙනස් කරන්න වුව­මනා නම් ඒ වෙනු­වෙන් භාවිත කළ හැකි හොඳම අවිය ජන­මා­ධ්‍යයි. පුව­ත්පත් කලාව ගත් විට එහි ඇත්තේ ක්ෂණික බවක්. මහා පඬි­ව­ර­යාගේ සිට සමා­ජයේ සෑම තරා­ති­ර­මක අය­කු­ටම තේරුම් ගත හැකි භාෂා ශෛලි­ය­කින් තමයි පුව­ත්පත නිර්මා­ණය විය යුත්තේ. මුල් කාලයේ පුව­ත්ප­ත්වල බස්ව­හර සරල වුණේ නැහැ. ඒවා සංස්ක­ර­ණය කළේ පඬි­වරු. ශාස්ත්‍රීය මුහුණු වරක් තමයි ගනු ලැබූයේ. පසු­කා­ලී­නව පුව­ත්පත් කලා­වට සුදුසු බස් වහ­රක් නිර්මා­ණය වන්නේ සඟරා ආශ්‍ර­යෙන්. ඩී.බී. ධන­පාල මහතා තමයි පුව­ත්පත් කලා­වට යෝග්‍ය බස්ව­හ­රක් ගෙන ආවේ. ඔහු පුව­ත්පත් භාෂාව ගැන මෙහෙම කිය­නවා. ‘පුව­ත්පත් බස සරල විය යුතුයි, ලිහිල් විය යුතුයි, කාලීන විය යුතුයි, හිත දිනා­ගත යුතුයි, කුස්සි අම්මා­ටත් උග­තා­ටත් කම්ක­රු­වා­ටත් තේරුම් යා යුතුයි. පුව­ත්පත් බසේ යෞවන විලා­ස­යක් තිබිය යුතුයි. පොත­පතේ තල­ස්තෑනී ගතිය පත්තරේ නොති­බිය යුතුයි,’ යනු­වෙනි.”

මවු භාෂා සැමැ­රුමේ ඉති­හා­සය

මේ වන විට ලෝකයේ භාෂා 7,000කට ආසන්න ප්‍රමා­ණ­යක් පව­තින බව හඳු­නා­ගෙන තිබේ. එයින් භාෂා 10ක් පමණ වචන නැති සංඥා භාෂා බවත්, දැනට ව්‍යව­හාර වන භාෂා අතු­රින් 50%කට වැඩි භාෂා ගණ­නක් ව්‍යව­හා­ර­යෙන් ඉවත්ව මළ භාෂා බවට පත් වීමේ අව­දා­න­මක් පැන­නැඟී ඇති බවත් විද්වත් මත­යයි. මෙහි භයා­න­කම සිදු­වීම වන්නේ මේ භාෂා අතු­රින් එක් භාෂා­වක් සෑම සති දෙක­කට වරක්ම ලොවට අහිමි වීමේ තර්ජ­න­යට මුහුණ දී සිටී­මයි. එනිසා අන්ත­ර්ජා­තික මවු භාෂා දින­යක් ප්‍රකා­ශ­යට පත් කිරීම හා එය සැම­රීම සෑම රට­කම පවත්නා භාෂා­ව­ලට එක සේ වැද­ගත් වනු ඇත. මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ලයේ සභා­පති සොනාල ගුණ­ව­ර්ධන පැව­සූයේ සෑම රට­කම පාහේ වසර 20ක් තිස්සේ මේ අන්ත­ර්ජා­තික මවු භාෂා දිනය සම­ර­න්නට කට­යුතු කරන බවයි. ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් ඔහු වැඩි­දු­ර­ටත් පව­සන්නේ බහු භාෂා ප්‍රව­ර්ධ­නය, මවු භාෂා රැක­ගැ­නීම සහ ලෝක සාමය ප්‍රව­ර්ධ­නය යන කරුණු මුල් කර­ග­නි­මින් ඇර­ඹෙන මේ සැම­රුම රටක සෑම පුර­වැ­සි­ය­කු­ටම වැද­ගත් වන බවයි.

“මව් භාෂා සැමැ­රුමේ ඉති­හා­සය ගැන කතා කළොත් එය ආරම්භ වන්නේ බට­හිර පාකි­ස්තා­නය හා නැඟෙ­න­හිර පාකි­ස්තා­නය කේන්ද්‍ර කර­ග­නි­මින්. බට­හිර පාකි­ස්තා­නයේ උර්දු බස කථා කරන ජන­තා­වක් ජීවත් වුණා. නැඟෙ­න­හිර පාකි­ස්තා­නයේ හිටියේ බෙංගාලි භාෂාව කතා කරන ජන­තා­වයි. බෙංගාලි බස කතා කරන ජන­තාව විශාල විප්ල­ව­යක් ගෙන ගියා ඔවුන්ගේ මවු භාෂාව බෙංගාලි විය යුතුයි කියා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 1952 පෙබ­ර­වාරි 21 දා පාකි­ස්තාන අමාත්‍ය මණ්ඩ­ලය තීර­ණය කර­නවා නැඟෙ­න­හිර පාකි­ස්තා­නයේ භාෂාව බෙංගාලි බස විය යුතු බවට. එය සැමැ­රීම උදෙසා සෑම වස­ර­කම පෙබ­ර­වාරි 21 අන්ත­ර්ජා­තික මවු භාෂා දිනය ලෙස යුනෙ­ස්කෝව විසින් ප්‍රකා­ශ­යට පත් කර තිබෙ­නවා.

මළ භාෂා - වඳ භාෂා

“ලෝකයේ මළ භාෂා සහ වඳ වී යන භාෂා ලෙස භාෂා වර්ග දෙකක් තිබෙ­නවා. උදා­හ­රණ ලෙස: සංස්කෘත, ලතින්, ග්‍රීක, ගොතික් භාෂා මළ භාෂා ලෙස හඳු­න්ව­නවා. ඒවා තැනින් තැන භාවි­ත­යට ගන්නා බවක් පෙනෙ­න්නට තිබෙ­නවා. ඒත් යම් භා‍ෂාවක් කථා කරන අව­සන් පුද්ග­ල­යාත් මිය ගියා නම් එය වඳ වී ගිය භාෂා යට­තට ගැනෙ­නවා. සාමා­න්‍ය­යෙන් මේ විදි­හට භාෂා­වක් වඳ වුණා කියලා නම් කරන්නේ ‘නැෂ­නල් ජියෝ­ග්‍රෆි’ සඟ­රා­වෙන්. ඒ සඟ­රා­වට අනුව හැම දවස් 14කටම වරක් ලොව කුමන හෝ භාෂා­වක් වඳ භාෂා­වක් බවට පත් වනවා. මරියා ස්මිත් ජෝන්ස් ඇමෙ­රි­කාවේ ජීවත් වූ ආදි­වාසි ගෝත්‍ර­ය­කට අයත් කාන්තා­වක්. වසර 89ක් ජීවත් වූ ඇය 2008 වර්ෂයේ ජන­වාරි 21 මර­ණ­යට පත් වීමත් සමඟ ‘එයික්’ නමැති භාෂාව වඳ භාෂා ලැයි­ස්තු­වට එක් වූ‍යේ එ‍තෙක් ලොව ජීවත් වූ එයික් භාෂාව ව්‍යව­හාර කළ අව­සාන පුද්ග­ලයා ඇය වූ බැවිනි. එනිසා භාෂා ප්‍රව­ර්ධ­නය ගැන, ඒවා ආරක්ෂා කර­ගැ­නීම ගැන ලෝකයේ අව­ධා­නය වැඩි වශ­යෙන් යොමු විය යුතුයි.”

මවු භාෂා දින සැමැ­රුමේ වැද­ග­ත්කම පිළි­බඳ අද­හස් දක්වන සිංහල ලේඛ­කත්ව සංග­මයේ ලේකම් සිරි­පාල දිසා­සේ­කර මහතා පව­සන්නේ ඕනෑම රටක ජන සමූ­හ­යක නිර්මාණ ශක්තිය මතු වීම සඳහා අත්‍ය­වශ්‍ය සාධ­කය වන්නේ මවු භාෂාව බවයි.

“ඕනෑම පුද්ග­ල­ය­කුගේ නිර්මාණ ශක්තිය මතු වන්නේ තමාගේ මවු භාෂාව පිළි­බඳ ඇති දැනුමේ පෘථු­ල­ත්වය මතයි. වෙනත් භාෂා­ව­කින් එය මතු­වීම සීමා සහි­තයි. ලංකාව ගත් විට වර්ත­මා­නයේ මිනි­සුන් ඉංග්‍රීසි බසට වැඩි වශ­යෙන් නැඹුරු වීමක් දක්නට ලැබෙ­නවා. ඒත් සාහි­ත්‍ය­යක් ගොඩ­න­ඟන්න නම් මවු භාෂාව ඉදි­රි­යට එන්න අව­ශ්‍යයි. එවි­ටයි රටක නිර්මාණ සාහි­ත්‍යය දියුණු වන්නේ. ලංකාවේ මවු භාෂාව සිංහල. ඒ ගැන හුඟ දෙනෙක් කථා කරන්න ඕනෑ. ඒ ගැන හොඳ අව­බෝ­ධ­යක් අපේ අනා­ගත පර­පු­රට ලැබිය යුතුයි. තාක්ෂ­ණය, පරි­ග­ණ­කය කෙරෙහි තමයි අද පර­පුර වැඩි වශ­යෙන් යොමුව සිටින්නේ. ඒ නිසා කිය­වී­මට යොමු වීම අඩු බවක් පෙනෙ­නවා. එය නිර්මා­ණ­ක­ර­ණයේ අව­ග­ම­න­යට හේතු­වක්. එනිසා තරුණ පර­පුර මවු භාෂාව කෙරෙහි විශේෂ යොමු කිරී­මක් කළ යුතුයි.”

මවුු භාෂාවේ වැද­ග­ත්කම පිළි­බඳ සඳ­හන් කරන ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජ­ක­රු­ණා­නා­යක මහ­ත්මිය පව­සන්නේ, තම මවට ගරු කර­නවා සේම තම මවු භාෂා­ව­ටද ගරු කළ යුතු බවයි.

“අප සැම දෙනා­ටම තමන්ගේ මවු භාෂාව තමා­ගේම මව වගෙයි. භාෂා­වක් නැති වුණු පුද්ග­ලයා හැම අතින්ම අත­රමං වෙනවා. කාල­යත් සමඟ භාෂා­වත් විවිධ වෙන­ස්ක­ම්ව­ලට ලක් වනවා. එය වෙනස් කිරී­ම අප­හ­සුයි. ඉංග්‍රීසි භාෂාව ගත්තොත් 16-18 වන සිය­ව­ස්වල රචනා ශෛලිය අද වන විට වෙනස්ව තිබෙ­නවා. සිංහ­ල­යත් එලෙ­සයි. ඒ වගේම මේ අතර නැති වී යන භාෂාද අපට හමු වනවා.

නේපා­ලය, ඉන්දි­යාව, චීනය වගේ රට­වල කඳු­කර භාෂා මේ තර්ජ­න­යට මුහුණ දී තිබෙ­නවා. සම­හර භාෂා ලිඛි­තව නැති නිසා පටි­ගත කර සුර­ක්ෂිත කර තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාප්ති­යත් සමඟ ඉන්දි­යාවේ සම­හර ප්‍රාන්ත භාෂා භාවි­තය අඩු වී ඇති බවට බියක් තිබෙ­නවා. කොහොම නමුත් රටක බහු භාෂා කතා කරන ජන­තා­වක් සිටී නම්, සුළු භාෂා­වක් කථා කරන පිරි­ස­ටත් බහු­තර භාෂාව වහ­රන අයට සමා­නව ගරු කරන්න සමා­ජය උගත යුතුයි.”

මවු භාෂාවේ වැද­ග­ත්කම පිළි­බඳ අද­හස් දක්ව­මින් භාෂා­ප්‍රේමී සංවි­ධා­නයේ සභා­පති මුදිත කාරි­ය­ක­ර­වන මහතා පව­සන්නේ, අපේ රටේ මවු භාෂාව වන සිංහ­ලය රැක­ග­නි­මින්, එයට ආද­රය කර­මින් සිංහල භාෂාව ව්‍යාප්ත කිරි­මට කට­යුතු කළ යුතු බවයි.

මුහුණ පා ඇති අව­දා­නම

“මොනම රටක ජාති­යක් වුවත් තම මවු භාෂා­වට සැල­කිය යුතුයි. සිංහල භාෂාව කථා කරන එකම රට ශ්‍රී ලංකා­වයි. එය අංක එක ලෙස අපි රැක­ගත යුතුයි. සම­හර පිරි­ස්වල මත­යක් තිබුණා සිංහල භාෂා­වත් තවත් වසර පන­හ­කින් සිය­ය­කින් ලෝකයේ සම­හර මළ භාෂා අත­රට එකතු වන බවට. ඒත් සිංහල භාෂාව කව­දා­වත් වඳ වන භාෂා­වක් නොවේ. එය දව­සින් දවස උද්දී­ප­නය වන වැඩි දියුණු වන භාෂා­වක්. සිංහල භාෂාවේ පවත්නා හොඳ ගුණ ඉංග්‍රීසි භාෂාවේ හොයා­ගන්න වත් නැහැ. ඉංග්‍රීසි භාෂා­වෙන් කරන්න බැරි වර­නැ­ඟීම් සිංහල භාෂා­වෙන් ඉතා තාත්වි­කව ඉදි­රි­පත් කරන්න පුළු­වන්.”

එක් පාර්ශ්ව­යක් මෙසේ ප්‍රකාශ කළද තවත් පිරි­ස­කගේ මතය වී ඇත්තේ සිංහල භාෂාවේ වාග්කෝ­ෂය අද වන විට වේග­යෙන් පටු වෙමින් ඇති බවයි.

ඒ අනුව සිංහල භාෂාව සතුව විශාල වචන මාලා­වක් පැව­ති­යද ඉන් ‍බොහෝ වචන දිනෙන් දින භාවි­ත­යෙන් ඉවත් වන අතර, අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන විට නව වදන් බිහි නොවීම හේතු­වෙන් භාෂා‍‍වේ වර්ධ­න­යද පසු බසින බව මේ අයගේ අද­හස වී ඇත. ඉංග්‍රීසි-සිංහල මිශ්‍ර භාෂා (සිංග්ලිෂ්) භාවි­තය, වැරදි ව්‍යව­හාර, විය­රණ රීති බිඳීම, අක්ෂර වින්‍යාස සම්මත නොතැ­කීම මෙහිලා ප්‍රමුඛ හේතු බව ඔවුහු පෙන්වා දෙති.

මේ සියලු කරුණු සම්පි­ණ්ඩ­න­යෙන් අප අව­සාන වශ­යෙන් අව­ධා­ර­ණය කර­ගත යුත්තේ සිංහල භාෂාව අපේ අන­න්‍ය­තාවේ උරු­මය බවයි. එබැ­වින් අපගේ යුතු­කම වන්නේ එය අනා­ග­තය උදෙසා නොකෙ­ලෙසා රැක­ගැ­නී­මයි.

 

Comments