ජීවිතේ ගොඩගන්න වෙරදරන පමුණුවේ සන්නාලියෝ | සිළුමිණ

ජීවිතේ ගොඩගන්න වෙරදරන පමුණුවේ සන්නාලියෝ

ග්‍රාමිය ආර්ථි­කය ගොඩ නැංවී­මට රජය විවිධ මෙහෙය සිදු කරයි. භූගෝ­ලිය වශ­යෙන් පරි­ස­රයේ ඇති සම්පත් සහ ඒවාට ආවේ­ණි­කව පව­තින ආර්ථික ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් නව නිපැ­යුම් සහ උත්පා­ද­න­ව­ලට සම්පත් දාය­ක­ත්ව­යක් නොති­බීම අභාග්‍ය සම්පන්න කරුණු වෙයි.

තම ශ්‍රමය වැය කර­මින් පවුල් සංස්ථාව ගොඩ නැඟීම සඳහා වෙහෙ­සෙ­න්නන් පිරි­සක් හමු වූයේ අහ­ම්බෙනි. ඇඳුම් සඳහා මිම්මට කපා ලබා­දෙන රෙදි නිය­මා­කා­ර­යෙන් මසා නැවැත බාර­දීම, කෑලි රෙදි ගෙන­විත් ළමා ඇඳුම් මැසීම සහ රෙදි තොග මිලදී ගෙන මෝස්තර මැසීම ඔවුන්ගේ කාර්ය වේ. එළි වන පාන්දර විකි­ණීම සඳහා තට්ටු වෙත යන අයද වෙති. එම වෙළ­ඳාම උදේ හත වන තුරු පම­ණය. නිමි ඇඳුම් ලෙස මසා සකස් කිරීම, වෙළ­ඳ­පොළ වෙත ගොස් මුදල් කිරීම එම වෘත්තියේ ස්වභා­ව­යයි. මහන යන්ත්‍රය පණ­ග­න්ව­මින් දෛනික ජීවි­තයේ රුපි­යල් ශත සෙවී­මට වෙහෙ­සෙන ඔවුන් දිවා රෑ නොබලා වෙහෙ­සෙන්නේ දිනෙන් දින වැඩි වන ජීවන විය­ද­මට සරි­ලන මුද­ලක් සොයා­ගැ­නී­ම­ටය.

කොළඹ දිස්ත්‍රි­ක්කයේ අවි­ස්සා­වේල්ල දක්වා වූ ප්‍රදේශ දක්වා එම ගෘහ ආශ්‍රිත මැහුම් ව්‍යපා­රය ඉතා සාර්ථ­කව කෙරෙ­න්නෙකි. ඒ අය තමන් විසින් නිමැවූ ඇඳුම් විකු­ණා­ගැ­නී­ම­ටත් වෙහෙ­සෙති. පාන්දර තුන පමණ වන විට මහ­ර­ගම පදි­ක­යට පැමි­ණෙති. අවු­රුද්දේ තුන්සිය හැට පස් දින­යම ඔවුහු එසේ සිය ජිවන අර­ග­ලයේ නියැ­ළෙති.

පන්නි­ප­ටියේ විද්‍යාල හන්දි­යට ඔබ්බෙන් තම මැහුම් ව්‍යාපා­රය සිදු කරන සුධර්මා නාලනී මහ­ත්මිය උදේ හවා වෙහෙ­සෙ­මින් තම නිෂ්පා­දන අලෙවි කිරි­මට ගන්නේ මහත් වෙහෙ­සකි. ඇ සමඟ කතා කිරි­මට අපට අව­ස්ථා­වක් ලැබිණි.

"විවා­හ­යට කලින් මම මහ­ර­ගම ගාමන්ට් එකක වැඩ කළා. එයින් අස් වුණාට පස්සේ තනි­වම ඇදුම් මහන්න පටන් ගත්තා. අවු­රුදු පහ­ළො­වක්ම ගෙර ඉදන් ඇඳුම් මහ­නවා. කෑලි රෙදි­ව­ලින් මහන්න කොට්ට උර, බොට­ම්ව­ලින් තමයි පටන් ගත්තේ තව­මත් ඒවා මහ­නවා. මීගොඩ හොරණ පැත්තේ කෑලි රෙදි ගෙනත් දෙන අය ගන්නවා. ඒවා ගාම­න්ට්වල ප්‍රයෝ­ජ­න­යට ගන්නේ නැති හොඳ රෙදි කෑලි. රෙදි පීස් අර­ගන්නේ මහ­ර­ග­මින්. ඒවා අත්පිට මුද­ලට ගන්න ඕනෑ. මම රෙදි මිටර් දහය පහ­ළොව වගේ අර­ගෙන හොඳ මෝස්තර ගවුම් මහ­නවා. ඒවා කඩ­ව­ලට දුන්නත් මුදල් ගන්න අමා­රුයි. නිෂ්පා­දන විය­ද­ම­වත් මුදල් කර­ගන්න බැහැ.

මහ­ර­ගම ප්‍රදේ­ශිය ලේකම් කාර්යා­ල­යත් නැඟෙ­න­හිර කොට්ටාව සණස සංග­ම­යත් මැහුම් පාඨ­මාලා පිළි­බඳ පැවැ­ත්වූවා. කණ්ඩා­යමේ සාමා­ජි­කා­වක් ණය ගන්න ගිහින් ණය ගෙව්වේ නෑ. මට සිද්ධ වුණා ඒ ණය ගෙවන්න. එයින් මම විශාල පසු­බෑ­ම­කට ලක් වුණා. මීට අම­ත­රව පබළු, පැච් වර්ක් ගෙතුම් වැඩත් දන්නවා. ඒවා කර­ගෙන යන අය පස්සේ සල්ලි දෙන්නම් කියා ගෙනි­ය­නවා. මුදල් හම්බ වෙන්නේ නෑ. මොස්තර ඇඳුම් මැහුම් කර්මා­න්තය දියුණු කර­ගන්න උදව් දෙනවා නම් ඒක මහ පිනක්."

පොළ පාන්දර තුනේ ඉඳන් කර­නවා. පුංචි බිම්ක­ඩට රුපි­යල් විසි හත­රක බද්දක් ගෙව­නවා. මහ පාර අයිනේ පොලී­තීන් එකක් උඩ තමයි ඇඳුම් තියා­ගෙන ඉන්නේ. අපිට වැසි­කිළි පහ­සු­කම් නෑ. අපි නග­ර­ස­භා­වෙන් ඉල්ල­නවා අපිට වැසි­කිළි පහ­සු­කම් හදලා දෙන්න කියලා. දව­ස­කට දහස් ගණ­නින් අපි වගේ අයත් පිට­ප­ළා­ත්වල ඇඳුම් තොග ගන්න අයත් එන නිසා. උදේ පාන්දර කඩ, හෝටල් ඇර­ලත් නෑ.

මීගොඩ තම නිවසේ දී නිමි ඇඳුම් මැසීමේ කර්මා­න්තයේ යෙදී සිටින සුම­න­ලතා මහ­ත්මිය පාන්දර පොළට පැමි­ණෙන්නේ තම නිම­වුම් විකු­ණා­ගැ­නී­ම­ටය. ඇය කියා සිටින්නේ එදි­නෙදා ජිවි­තය ගැට ගසා ගැනී­මට ඇදුම් මැසී­මෙන්ම මිස වෙනත් පිළි­ස­ර­ණක් නැති බවයි. මේ ඇයගේ කතා­වයි.

“උදේ පොළට ඇවිත් දවල් ගෙදර ගිය වේලේ ඉඳන්ම ඇඳුම් මහ­නවා. මහ විශාල තොග­යක් නොවෙයි. ගැනු­ම්ක­රු­වන් හැටන් ත්‍රිකු­ණා­ම­ලය, මඩ­ක­ල­පුව. අනු­රා­ධ­පු­රය වගේ ඈත පළා­ත්ව­ලින් එනවා. සම­හ­රුන් ඕඩර් දීලා තියෙන දේ අර­ගෙන යනවා. වෙළෙන්දෝ අවශ්‍ය දේ අපිට කිය­නවා. අපි ඒ දින­යට ඒවා ලෑස්ති කර­නවා.“

වෙළ­ඳා­මට සහ ගැනු­ම්ක­රු­ව­නට ඇති පහ­සු­කම් පිළි­බඳ ඇය­ගෙන් විමසා සිටි­යෙමි.

“ අපිට එළි­ප­හ­ලි­යට යන්න තැනක් හදලා දෙන්න කියා පත්ත­රේට ලියන්න. බස් නැවැ­තුම ළඟ ඇති එකට යන්න දුර වැඩියි. අපි බදු ගෙවන එක ඇත්ත. අපි රටට ණයක් නැති උද­විය. දේශ­පා­ල­කයෝ බොරු පොරෙන්දු දීලා ගියාට තවම පිළි­ස­ර­ණක් නෑ. අපි විරෝ­ධතා පව­ත්වන අය නොවෙ­යිනේ. මේ දව­ස්වල හරි හමන් බිස්නස් එකක් නෑ. දුර පළා­ත්වල ගැනු­ම්කා­ර­යන් එන්නේ නැත්තේ මුදල් ගැව­සෙන්නේ නැති නිසයි. අව්ව සැරයි. වැස්සට ඇඳුම් ටික පොලි­තින් මලු­ව­ලට දාග­න්නවා. කෑම බිම පහ­සු­කම් තියෙ­නවා. උදේට තේ, කෝපි, කිරි අර­ගෙන එන අයත් කඩ­ය­ප්පම් අර­ගෙන එන අයත් ඉන්නවා. අපිට ඕනේ කන්න බොන්න පහ­සු­කම් නොවෙයි .අපේ ව්‍යාපා­රය කර­ගෙන යන්න සුදුසු පරි­ස­ර­යක් විත­රයි.

චතුරි කාන්ති වයස අවු­රුදු හැටක කාන්තා­වකි. ඇය කතා­වට හවුල් කර­ගත්තේ මහ­ර­ගම ඔසු­සල අසල බිම් තීරු­වේ­දීය.

“මම ඉන්නේ අනූ හැවි­රිදි තාත්තා එක්ක. පදිං­චිය හෝමා­ගම එහා මීගොඩ. උදේට ඇවිත් මහපු ඇඳුම් විකු­ණ­නවා. හවස රෑ වෙන­කම් ඇඳුම් මහ­නවා. සම­හර දාට වෙළ­ඳා­මක් නැහැ. මේ දව­ස්වල එදි­නෙදා ගැට­ගහ ගන්නේ අමා­රු­වෙන්. අව්වේ කර වෙනවා. වැස්සට පිළි­ස­ර­ණක් ඇත්තේම නැහැ. අපි දහස් ගණ­නක් මේ විදි­යට හම්බ කර­ගෙන ජිවත් වෙනවා. අපිට සමෘද්ධි ආධාර නැහැ. මගේ පියා වෙනු­වෙන් රුපි­යල් දෙද­හක් ගන්න අභි­යා­චනා බාර දුන්නාට ඒවා ලැබෙන්නේ නැහැ. ඇඳුම් විකු­ණ­ගන්න බැරි­දාට ආපහු ගෙනි­යන්න ඕනෑ. මහත්යෝ අපි කන කට්ට­යක් වෙනත් අය කන­වාද දන්නේ නෑ. අපිට කියලා තැනක් හදලා දෙනවා නම් තමයි හොඳ.

මහ­ර­ගම පමු­ණුව නිම­වුම් ඇඳුම්, කැබලි රෙදි මහා පරි­මා­ණයේ රෙදි විකු­ණුම් මධ්‍ය­ස්ථා­න­යකි. මීට වසර පන­හ­කට පෙර පමු­ණුව මංස­න්දි­යෙන් කෑලි රෙදි­ව­ලින් හිස් වැසුම් කොට්ට උර මැසී­මෙන් මේ ව්‍යාපා­රය අරම්භ වූ බව සැලයි. මේ අපේ සහෝ­දර සහෝ­ද­රි­යෝය. ඔවුන් ආදා­යම් බදු නොගෙ­වු­වත් රටේ ආදා­ය­මෙන් ජීවත් වන්නෝ නොවෙති. ඔවු­නට අවශ්‍ය වන්නේ සුළු පහ­සු­කම් කිහි­ප­යක් පමණි.

Comments