එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේ­තු­වට | සිළුමිණ

එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේ­තු­වට

වේය­න්ගොඩ නග­ර­යට ආස­න්නයේ පිහිටි හල්ගම්පි­ටිය ග්‍රාමයේ දී 1934 ඔක්තෝ­බර් 15 දින හෙට්ටි­ප­ති­ර­න්නැ­හැ­ලාගේ දයා­නන්ද ගුණවර්ධන උපත සිදු විය. ඔහුගේ පියා දොන් සයි­මන් ගුණවර්ධන වෘත්ති­යෙන් ඉංග්‍රීසි ගුරු­ව­ර­යෙකි. මව නාලපහ දෝන සෝම­වතී දන­න්සූ­රිය නම් වූවා ය. කුඩා කල පටන් ම ගැමි ශාන්ති­කර්ම කෙරේ ඇදී ගිය සිතැති දයා­නන්ද ශිෂ්‍යයා මුලින් ම කළ­ගෙ­ඩි­හේන විදු­හ­ලෙන් පාසල් අධ්‍යා­ප­නය අරඹා පසු ව උඩු­ග­ම්පළ මහ විදු­හල, වේය­න්ගොඩ මැදි­මහ විදු­හල සහ කොළඹ ආනන්ද විදු­හල යන විද්‍යා­ස්ථා­න­ව­ලින් ද්විතී­යික අධ්‍යා­ප­නය සාර්ථක ලෙස නිමවා 1954 වර්ෂයේ පේරා­දෙ­ණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතු­ළත් විය.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන සම­යෙහි මහා­චාර්ය එදි­ර්වීර සර­ච්චන්ද්‍ර, ඊ. එෆ්. සී. ලුඩො­ව­යික්, නියු­මාන් ජුබාල් යන පුරෝ­ගා­මීන් ඇසුරේ දයා­නන්ද ගුණ­ව­ර්ධන හට නාට්‍ය කලාව පිළි­බඳ මනා පරි­ච­යක් සහ ශික්ෂ­ණ­යක් ලැබීමේ දුර්ලභ භාග්‍යය හිමි විය.

1957 වර්ෂයේ භූගෝල විද්‍යාව විශේෂ උපා­ධි­ධා­රි­යකු ලෙස විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය නිම කළ හෙතෙම එම වර්ෂයේ දී ම කෑගල්ල විදු­හලේ උපාධි ගුරු­ව­ර­යකු ලෙස වෘත්තීය ජීවි­තය ආරම්භ කළේ ය. 1960 වර්ෂය තෙක් කෑගලු විදු­හලේ සේවය කොට ඒ වර්ෂයේ දී ම කොළඹ තර්ස්ටන් විදු­හ­ලට ස්ථාන මාරු­වක් ලැබ පැමිණ 1961 වර්ෂයේ දී ලංකා ගුව­න්වි­දු­ලියේ වැඩ­ස­ට­හන් සම්පා­ද­ක­ව­ර­යකු ලෙස වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර­ය­කට ප්‍රවිෂ්ට විය. ලංකා ගුවන් විදු­ලිය ද එකල නිර්මා­ණ­ක­රු­වන් රැස­කට සෙවණ දුන් කලා නිකේ­ත­න­යක් විය.

දයා­නන්ද ගුණ­ව­ර්ධන නාට්‍ය ක්ෂේත්‍ර­යට ප්‍රවිෂ්ට වන්නේ 1958 වර්ෂයේ කෑගලු විද්‍යා­ල­යීය රංග සභාව විසින් නිෂ්පා­ද­නය කරන ලද ස්වර්ණ­ති­ලකා නාට්‍යය අධ්‍ය­ක්ෂ­ණ­යෙනි. 1959 වර්ෂයේ පරා­ස්සයා නාට්‍යය වේදි­කා­ගත කෙරිණ. ඔහුගේ නාට්‍ය ජීවි­තයේ සන්ධි­ස්ථා­න­යක් සල­කුණු වන්නේ 1960 වර්ෂයේ නරි­බෑණා නිර්මා­ණය කිරී­මත් සමඟ ය.

1965 වර්ෂයේ දී ජසයා සහ ලෙන්චිනා නාට්‍යය නිර්මා­ණය පාර­ම්ප­රික ජන විඥා­නයේ ගැබ් වූ නිර්මා­ණා­ත්මක ලක්ෂණ නාට්‍යා­නු­රූපී ලෙස වර්ධ­නය කොට ප්‍රේක්ෂක රස වින්ද­න­යට ගෝචර වන අයු­රින් රංග­ගත කිරී­මෙන් ස්වකීය නාට්‍ය­කලා භාවි­තය ස්ථිර­සාර සංස්කෘ­තික පසු­බි­මක ස්ථාන­ගත කිරී­මෙන් ඇර­ඹුණු ඔහුගේ නිර්මාණ චාරි­කාව ජගත් නාට්‍ය සම්ප්‍ර­දාය ඇසු­රෙන් පෝෂණ කර­ගැ­නීම ද විශේ­ෂ­ත්ව­යකි. කාමරේ පොරේ (1960), ඇමති පට්ටම (1960), බක්මහ අකුණු (1963) යන නාට්‍ය අනු­ව­ර්තන දයා­නන්ද ගුණ­ව­ර්ධන විශ්ව නාට්‍ය සම්ප­ර්කයේ මං සල­කුණු ය.

දයා­නන්ද ගුණ­ව­ර්ධ­නගේ සමස්ත නාට්‍ය දාය­ක­ත්වය සියුම් ලෙස විම­සන කල හෙතෙම ඉති­හා­ස­ගත වන්නේ ඉති­හා­සය රංග­ගත කිරීමේ ඓති­හා­සික සන්ධි­ස්ථා­නය සිංහල නාට්‍ය විෂ­ය­යෙහි සල­කුණු කිරීම නිසා ය. වාර්තා­වක් බොහෝ විට නීරස වුව ද ඔහු අතින් නිර්මිත වාර්තා රංගන නව­නළු රස­යෙන් පිරි­පුන් ය. වාර්තා රංගය ලෙස හැඳි­න්වෙන නාට්‍ය ප්‍රව­ර්ගය කෙරෙහි ඇදී ගිය සිතැති දයා­නන්ද ගුණ­ව­ර්ධන සිංහල කවියේ සංක්‍රාන්ති අව­ධි­යක පහළ වූ අසි­රි­මත් කිවි­ඳික වූ ගජ­මන් නෝනාගේ චරි­තය කේන්ද්‍ර කොට ගෙන ඇය වටා ගෙතුණු සමාජ ජීවන විය­මන ‘ගජමන් පුවත’ නමින් අපූර්ව නාට්‍ය­යක් බවට පත් කළේ ය. ඒ නාට්‍යය නිර්මා­ණය කිරීම සඳහා ඔහු දීර්ඝ කාල­යක් ගජ­මන් නෝනා කිවි­ඳිය පිළි­බඳ මෙන් ම ඇය විසූ සමා­ජ­යත් ඒ සමා­ජයේ ජීවත් වූ විවිධ චරිත පිළි­බ­ඳ­වත් කෙත­රම් වෙහෙ­ස­කර අධ්‍ය­ය­න­යක නිරත වූයේ ද යන වග ගජ­මන් පුවත මුද්‍රිත පෙළ පරි­ශී­ල­නය කරන කල පැහැ­දිලි වෙයි. ඒ නිර්මා­ණය උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශ කිරී­මට ඉතා යෝග්‍ය කෘති­යක් වුව ද එක් නාට්‍ය­ක­රු­වකු පම­ණක් ප්‍රද­ක්ෂිණා කිරී­මෙහි සිරිත රකින විෂය නිර්දේශ සම්පා­ද­ක­යන්ට එවන් සිතු­වි­ල්ලක් ජනිත නොවීම මහත් අභා­ග්‍ය­යකි.

පුද්ගල චරි­ත­යක් ආශ්‍රිත වෘත්තා­න්තය රමණී වාර්තා රංග­යක් ලෙස කර­ළි­යට ගෙනා ගුණ­ව­ර්ධන එහි ඊ ළඟ පිය­වර ලෙස දේශයේ ඉතිහාස වෘත්තා­න්තය ජන මූලා­ශ්‍රය ද ඇසුරු කර­මින් 1983 දී ‘මධුර ජව­නිකා’ නමින් කළ නිර්මා­ණය සිංහල වේදිකා නාට්‍ය ඉති­හා­සයේ අනු­ස්ම­ර­ණීය සන්ධි­ස්ථා­න­යක් සල­කුණු කළේ ය. නව­සිය අසූව දශ­කයේ සිට ජන­ප්‍රිය සංස්කෘ­තියේ විනෝ­දා­ස්වා­දන මාර්ග බහු ප්‍රච­ලිත වෙමින් පැවති පසු­බි­මක ගුණ­ව­ර්ධන සංගීත සංද­ර්ශන මාධ්‍යය ම උප­යෝගි කර­ග­නි­මින් ගැඹුරු සංස්කෘ­තික විඥා­න­යක් ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ප්‍රක්ෂේ­ප­ණය කිරීම සහ එය විස්ම­ජ­නක අයු­රින් සාර්ථක වීම නිසා ය මධුර ජව­නිකා සිංහල නාට්‍ය ඉති­හා­සයේ අනු­ස්ම­ර­ණීය සන්ධි­ස්ථා­න­යක් වන්නේ. මේ නාට­කයේ ද මුද්‍රිත පෙළ පරි­ශී­ල­නය කරන කල ඒ නිර්මා­ණය වෙනු­වෙන් ඔහු දරා තිබෙන වෙහෙස කොප­මණ දැයි තේරුම් ගත හැකි ය.

දයා­නන්ද ගුණ­ව­ර්ධ­නගේ රංගන කුස­ල­තාව සේ ම කවි­ත්වය ද නිසි පම­ණින් ඇග­යු­මට ලක් නොවිණැ යි කෙනෙකු තුළ සිති­වි­ල්ලක් ජනිත වුව හොත් එය සාධා­රණ ය. ඔහු ලියූ ගී පද­වැල් අත­ළොස්ස අත­රින් ‘සොඳු­රිය ඔබගේ වුවන මලක් නම්‘ ගී පද වැල මුලින් ම පළ වූයේ ‘මද්ද­හන් ගින්දර’ කාව්‍ය සංග්‍රයේ ය. බක් මහ අකුණු අනු­ව­ර්තිත නාට්‍යයේ එන දියට නැමුණු මල්, ආදර හැඟුම්, මල­කින් මල­කට ගොස් පැණි බොන්න ද ගී පද වැල් අත­ළොස්ස පම­ණක් ම වුව ද දයා­නන්ද ගුණ­ව­ර්ධ­නගේ ප්‍රතිභා පූර්ණ කවි­ත්ව­යට දෙස් දෙනු ඇත.

Comments