අපා ගඳක් මැද නිරා දුක් විඳින හාරි­ස්පත්තු තේක්ක­වත්තේ අස­ර­ණයෝ | සිළුමිණ

අපා ගඳක් මැද නිරා දුක් විඳින හාරි­ස්පත්තු තේක්ක­වත්තේ අස­ර­ණයෝ

හ­නු­වර නග­රයේ හා හාරි­ස්ප­ත්තුව ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශයේ දෛනි­කව එකතු වන කැළි­ක­සළ වසර අසූ­වක පමණ කාල­යක් තිස්සේ බැහැර කෙරෙන්නේ කටු­ග­ස්තොට ගොහා­ගොඩ තේක්ක වත්ත ආශ්‍රිත ප්‍රදේ­ශ­ය­ටය. මේ කසළ අංග­ණ­යට දෛනි­කව කසළ ටොන් 120ක් පමණ එකතු වෙයි. ඒ මහ­නු­වර මහා­න­ගර සභා බල ප්‍රදේ­ශ­යෙන් කසළ ටොන් 100ක් පම­ණද හාරි­ස්ප­ත්තුව ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශ­යෙන් කසළ ටොන් 20ක් පම­ණද ලෙසිනි.

මහ­නු­වර තේක්ක වත්ත කසළ අංග­ණයේ ධාරි­තාව හා වප­ස­රිය අතින් දෙවැනි වන්නේ මීතො­ට­මු­ල්ලට පමණි. අධි­රා­ජ්‍ය­වාදී පාලන සමයේ අක්කර 32ක භූමි වප­ස­රි­ය­කින් යුතු වූ මෙහි ලාදුරු රෝහ­ලක් ස්ථාපි­තව තිබී ඇත. මහ­නු­වර හා ඒ අවට කැළි­ක­සළ මේ ස්ථාන­යට බැහැර කිරීම ආරම්භ කර තිබෙන්නේ 1933 වස­රේ­දීය. ආර­ම්භයේ සිට මෑතක් වන තුරුම ප්‍රධාන ගැටලු මතු නොවු­ණත් අද වන විට තත්ත්වය වෙනස්ව තිබේ. ඒ තේක්ක වත්ත අවට ජීවත් වන්නන්ගේ සාමාන්‍ය ජන ජීවි­ත­යට එම­ඟින් දැඩි පීඩා­වක් එල්ල වීමට පටන් ගෙන ඇති බැවිනි.

තේක්ක වත්ත කසළ අංග­ණයේ කොම්පෝස්ට් නිෂ්පා­දන ව්‍යාපෘ­ති­යක් දියත් කරන බවට මහ­නු­වර මහා­න­ගර සභාව ප්‍රකාශ කරන නමුත් එවැනි වැඩ­පි­ළි­වෙ­ළක් විධි­මත් ආකා­ර­යට එහි ක්‍රියා­ත්මක නොවන බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. පසු­ගිය වසර පහ තුළ මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ධුර­යට පත් සිව් දෙනකු තේක්ක වත්තට පැමිණ ඒ අවට ජීවත් වන ජන­තා­වට එම­ඟින් එල්ල වන පීඩා අවම කිරී­මට පිය­වර ගන්නා බවට දුන් පොරොන්දු ගඟට කැපූ ඉනි හා සමාන බව පව­සන්නේ තේක්ක­වත්ත පරි­ස­රික සම්පත් සුරැ­කීමේ සංවි­ධා­නයේ නියෝ­ජි­ත­යන්ය.

මේ තේක්ක­වත්ත කසළ කන්දට එරෙහි සටනේ වසර ගණ­නා­වක්ම නියැළී සිටින ඒ සංවි­ධා­නයේ ලේකම් ආතර් පෙරේරා මහ­තාය:

“මම පදිංචි වෙලා ඉන්නේ කසළ කන්ද ආස­න්න­යේ­මයි. වසර ගණ­නා­වක්ම අපි මේ කුණු කන්දේ දුර්ග­න්ධය මැද ජීවත් වෙනවා. මේකට විරු­ද්ධව එක දිග­ටම අපි හඬ නඟ­නවා. තේක්ක­ව­ත්තට වැඩි වශ­යෙන් කසළ බැහැර කරන්න පටන් අර­ගෙන දැන් වසර 40ක් විතර වෙනවා. මුලින්ම කසළ බැහැර කිරීම සිදු කළේ නිත්ත­වෙ­ලට. නිත්ත­වෙල ප්‍රදේ­ශ­වා­සීන් එයට විරුද්ධ වූ නිසා කටු­ග­ස්තොට මැණි­ක්කු­ඹුර වත්තට කුණු බාන්න පටන් ගත්තා. ඒක­ටත් මිනිස්සු විරුද්ධ වුණා. ගලි බවු­සර් ගෙනල්ලා මේ ස්ථාන­යට බැහැර කරන්නේ ඉතා අවි­ධි­මත් විදි­හ­ටයි. අව­සා­නයේ තේක්ක­ව­ත්තට කසළ දාන්න පටන් ගත්තා. තේක්ක­ව­ත්තට කසළ බැහැර කර­න­වාට විරු­ද්ධව අපි අධි­ක­ර­ණ­යට ගියා. දැන් නඩුව අහන්න පටන් අර­ගෙන වසර හයක් විතර වෙනවා. දින යනවා විත­රයි තවම විස­ඳු­මක් නැහැ. හිටපු මහ ඇමැ­ති­වරු ආණ්ඩු­කා­ර­වරු ඇවිත් විස­ඳුම් දෙනවා කියල ගියා. කිසිම විස­ඳු­මක් මේ වන තුරු නැහැ. මාළු කටු කුකු­ළු­මස් කටු සත්තු හැම තැනම ගෙන­විත් දානවා. අපි ඉල්ලා සිටින්නේ කසළ බැහැර කරන්න වෙන ස්ථාන­යක් සොයා­ගන්න කිය­ලයි.”

තේක්ත­වත්ත කසළ බැහැර කරන භූමිය පිහිටා තිබෙන්නේ හාරි­ස්ප­ත්තුව ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශ­යට අයත් ඉඩ­ම­කය. මහ­නු­වර නගර සභාව මඟින් දෛනි­කව ටොන් 100කට අධික කසළ ප්‍රමා­ණ­යක් දැමු­වත් නගර සභා මන්ත්‍රී­වරු ඉන් පීඩා­වට පත්ව සිටින ජන­තාව කෙරෙහි සානු­ක­ම්පි­තව නොබ­ලන බව තේක්ක­වත්ත අවට ගම්වැ­සියෝ පව­සති. මහ­නු­වර නගර සභා­වට මන්ත්‍රී­ව­රුන් තෝරා­පත් කර­ගැ­නී­මේදී තේක්ත­වත්ත අවට ගම්මා­න­වල ජන­තා­වගේ ඡන්ද ඔවුන්ට නොලැ­බෙන නිසා අදාළ ගැට­ලුව විස­ඳී­මට මන්ත්‍රී­වරු විධි­මත් මැදි­හත් වීමක් නොක­රන බව ජන­තා­වගේ ආක­ල්ප­යයි.

පාරි­ස­රික සම්පත් සුරැ­කීමේ සංග­මයේ සභා­පති, තේක්ක­වත්ත පොල්වත්ත ශාන්ත­ධ­රණී ආශ්‍ර­මයේ වැඩ වසන අල­ව­ත්තේ­ගම විභාවී හිමියෝ:

“මේ කසළ බැහැර කිරීම නිසා ඇති වෙලා තිබෙන පාරි­ස­රික හානිය, ජන­තා­වට ඇති වෙලා තිබෙන පීඩාව පිළි­බඳ කිසිම රජ­යක් විධි­මත් විදි­හට අව­ධා­නය යොමු කළේ නැහැ. අප මේ සියලු අංශ දැනු­වත් කළා. මේ ප්‍රශ්න­යට විශේ­ෂ­යෙන්ම වග­කිව යුතු රජයේ ආය­තන වන්නේ මධ්‍යම පරි­සර අධි­කා­රි­යයි. මහ­වැ­ලි­යත් වග­කී­මක් පැව­රෙ­නවා. අපි මධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන්, මහ­වැලි අධි­කා­රි­යෙන්, පරි­සර අමා­ත්‍ය­ව­රු­න්ගෙන්, පරි­සර අමා­ත්‍යාං­ශ­යෙන් මෙන්ම බලයේ සිටි ජන­ප­ති­ව­රු­න්ගෙන් වසර ගණ­නා­වක ඉඳලා මේ ගැට­ලු­වට විස­ඳුම් ඉල්ල­නවා. තේක්ක­වත්ත කුණු කන්ද පිහිටා තිබෙන භූමිය දැඩි පාරි­ස­රික සංවේදී කලා­ප­යක්. ප්‍රදේශ ගණ­නා­ව­කට පානීය ජලය සැප­යීම සඳහා ජල­ස­ම්පත් හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය පොම්පා­ගා­ර­යට මහ­වැලි ගඟේ ජලය ලබා­ගන්නේ මේ කුණු කන්ද පාමු­ලි­නුයි. ඒ ජලයේ අසූචි මිශ්‍ර වී තිබෙන බව පරී­ක්ෂ­ණ­ව­ලින් තහ­වුරු වුණා. මේ ගැට­ලුව ජාතික ව්‍යස­න­යක් ලෙස සලකා බලා ජාතික මට්ට­මින් විස­ඳු­මක් දිය යුතුයි.”

පාරි­ස­රික සම්පත් සුරැ­කීමේ සංවි­ධා­නයේ ක්‍රියා­කාරි සමා­ජි­ක­යකු වන ජේ.බී. වීර­සේ­කර මහතා කතා කර­මින් මෙසේ ප්‍රකාශ කළේය.

“පොල්වත්ත, වේගි­රිය, රත්මලේ, බාන්වැ­ල්ගොල්ල, ගොහා­ගොඩ, මඩ­ප­ත­ගම, හල්ඔ­ළුව, වට්ටා­ර­න්තැන්න, ලෙවුල ඇතුළු අවට ගම්මාන ගණ­නා­වක දහස් සංඛ්‍යාත ජන­තා­වක් මේ නිසා පීඩා­වට පත්ව සිටි­නවා. ඉඩම් විකු­ණලා වෙනත් ප්‍රදේ­ශ­යක පදිංචි වෙන්න උත්සහ කළත් එයත් සාර්ථක නොවන්නේ කුණු කන්දෙන් නිකුත් වන දුර්ග­න්ධය නිසා ඒ ප්‍රදේ­ශයේ නිවාස හා ඉඩම් මිලට ගැනී­මට කිසි­වෙ­කුත් කැමැ­ත්තක් නොද­ක්වන නිසා.”

පොල්වත්තේ පදිංචි එම්.ඒ.එම්.එන්. කුමාරි මහ­ත්මිය:

“මම මේ ගමට ඇවිල්ලා වසර 10ක්. ඉස්සර තිබුණු දුර්ග­න්ධය දැන් තර­මක් අඩු­වෙලා වගේ දැනෙ­නවා. ඒත් සැරින් සැරේ මළ­කු­ණු­ව­ලින් එන දුර්ග­න්ධය වගෙ එකක් අපට දැනෙවා. මැස්සෝ නිසාත් දුර්ග­න්ධය නිසාත් නිවා­ස­වල ජනෙල් දොර­වල් නිත­රම වහලා තියෙන්නේ. ග්‍රිල් වෙනු­වට ජනෙ­ල්ව­ලට වීදුරු දාලා. දරු­වන්ට පාඩම් කරන්න විදි­හක් නැහැ, රෑට කුණු ගඳ වැඩි­යෙන් එනවා. වැස්සට කුණු කන්ද සෝද­ගෙන ගඟට ගල­නවා. අපි කියන්නේ කසළ කන්ද මෙතැ­නින් ඉවත් කරන්න කිය­ලයි.”

තේක්ක­වත්ත ආස­න්නයේ පිහිටි ඔලි­යා­හින්න වත්තේ පදිංචි ආනන්ද විජේ­සිංහ මහතා:

“මට තියෙ­නවා වී බුසල් බාග­යක් ගන්න පුළු­වන් කුඹු­රක්. කුණු කන්දෙන් ගලා එන අප­ජ­ලය ඒකට එනවා. ඒ නිසා කුඹුරු කරන්න විදි­යක් නැහැ. කුඹුරු යායම පුරන් වෙලා. ලෙඩ රෝග හැදෙයි කියලා බයට කවු­රු­වත් කුඹු­රු­ව­ලට බහින්න කැමැති නැහැ. ඒ නිසා ඒවා ඔක්කොම වල් වැදිලා තියෙන්නේ. අපි මීට වසර 15කට විතර කලින් කුඹුරු වැඩ කළා. දැන් ඉතින් කුඹුරු දිහා බලා­ගෙන හූල්ල හූල්ල කඩෙන් හාල් ගෙනත් කනවා. අපි වග­කිව යුතු අය­ගෙන් ඉල්ලා සිටින්නේ අපේ කුඹුරු කෑලී ටික ආයෙ­මත් වැඩ කර­ගන්න අව­ස්ථාව සලසා දෙන්න කිය­ලයි.”

මහ­නු­වර නාග­රික කොම­සා­රිස් චන්දන තෙන්න­කෝන් මහතා:

“රෝහල් දෙකක, පාසල් 52ක හා රජයේ හා පෞද්ග­ලික අංශ­ව­ලින් දෛනි­කව එකතු වන කසළ ප්‍රමා­ණය ටොන් 100කට වැඩියි. මේවා මගේ කුණු නොවෙයි. එක දව­සක් මේ ඇද්දේ නැත්නම් නග­ර­යම ගඳ ගහ­නවා. මේ කුණු කොහොට හරි ගෙනි­හින් දාන්න ඕනෑ. අපට කවුරු හරි වික­ල්ප­යක් ඉදි­රි­පත් කර­නවා නම් ඒක ක්‍රියා­ත්මක කරන්න අපි ලෑස්තියි. මෙත­නින් අයින් කරලා කුණු කොහා­ටද දාන්නේ? මේ කුණු ගොඩ ළඟම ගෙවල් 90 ක් තිබ්බා. අපි ඒ අය වන්දි දීලා ඉවත් කළා. එක් අයෙක් තාමත් ඉන්නවා වන්දි මුදල ප්‍රමා­ණ­වත් නැහැ කියලා. වැස්සත් එක්ක කුණු කන්ද නාය ගියා. අපි ඒක හදලා අද තණ­කොළ සහිත පිට්ට­නි­යක් ගොඩ­න­ගලා තිබෙ­නවා. එතන මේ ප්‍රදේ­ශ­වා­සීන්ගේ දරු­වන් හව­සට සෙල්ලම් කර­නවා. සිය­යට සීයක් ප්‍රශ්නය විස­ඳිලා නැහැ.

“අපි දැන් 75%ක් පම­ණම එතන තිබූ ගැටලු විස­ඳලා තියෙන්නේ. මේ කුණු අප්‍රි­කා­වට යවන්න අපේ සැල­සු­මක් තිබෙ­නවා. ඔවුන් මේවා මිලට ගන්න කැමැ­තියි. කොරෝනා ප්‍රශ්නය නිසා ඒ සකච්ඡා තාව­කා­ලි­කව නතර වුණා. අපි හිත­නවා ඒක ක්‍රියා­ත්මක කරන්න ලැබු­ණොත් අපට ප්‍රශ්න ගොඩක් විස­ඳ­ගන්න හැකි වේවි. මේ ස්ථානයේ කොම්පෝස්ට් නිෂ්පා­දන වැඩ­ස­ට­හ­නක් අපි ක්‍රියා­ත්මක කර­නවා. ඒකත් ඉතා සාර්ථ­කයි. මෙතන්ට කුණු දාන්න එපා කියන එක නොවෙයි විස­ඳුම. ඒක කියන්න ලේසියි. මෙතන්ට කුණු නොදා සුළු පිරි­සක් සන­ස­න­වද, නැත් නම් නග­රයේ කුණු එකතු වෙන්න ඉඩ හැරලා මුළු නුව­රම මිනි­සුන් පීඩා­වට පත් කර­න­වාද කියන ප්‍රශ්නය තමයි අපි ඉදි­රියේ තිබෙන්නේ.”

මේ සියලු කතා මැද තේක්ක වත්ත ආශ්‍රිත ප්‍රදේ­ශයේ ජන­තාව තව­මත් දිවි ගෙවන්නේ අපා ගන්ධ­ස්සා­ර­යක් මධ්‍ය­යෙ­හිය.

කොතැ­න­කින් හෝ මේ ජන­තා­වට අව­ශ්‍යව ඇත්තේ දසක ගණ­නා­වක් තිස්සේ විඳින්නා වූ මේ නිරෑ දුකින් දැන් වත් අත්මි­දෙන්න බව අපි අව­ධා­ර­ණය කර සිටිමු.

ඡායා­රූප - කටු­ග­ස්තොට සමූහ

Comments