දිල්ලියේදී හින්දු - මුස්ලිම් ගිනි ඇවිළේ | සිළුමිණ

දිල්ලියේදී හින්දු - මුස්ලිම් ගිනි ඇවිළේ

සු­ගිය සතිය ආර­ම්භ­යේදී මුළු ලෝක­යේම ජන­මා­ධ්‍ය­වල ඉන්දි­යාව සම්බ­න්ධව පුවත් පළ වී තිබෙනු දැක ගත හැකි විය. ඊට හේතුව වූයේ අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දි­යාවේ සංචා­රය කිරී­මයි. දැන් සතිය ගෙවී යන විටද ඉන්දි­යාව සම්බ­න්ධ­යෙන් පුවත් වැඩි වැඩි­යෙන් පළ වනු දැක ගත හැකිවී තිබේ. ඊට හේතුව ට්‍රම්ප්ගේ සංචා­ර­යත් සම­ගම ඉන්දි­යාවේ ආග­ම්වාදී ගැටලු උග්‍ර වීමෙන් අති­ශය කණ­ගා­ටු­දා­යක වාතා­ව­ර­ණ­යක් උද්ගත වීමයි.

ඉන්දි­යාව යනු ජාති ආගම් රැසක ජන­තාව සංහි­දි­යා­වෙන් යුතුව ජීවත් වන විශාල භූමි ප්‍රමා­ණ­ය­කින් මෙන්ම විශාල ජන­ග­හ­න­ය­කින්ද යුක්ත වූ දේශ­යකි. මෙත­රම් වාර්ගික, ආග­මික විවි­ධ­ත්ව­යක් ඇති අන් රටක් ලොව නොමැති තරම්ය. ඉන්දි­යාව සැබ­වින්ම ඉතා සියුම්ව තත් සුසර කළ සංගීත භාණ්ඩ­ය­කට සම කළ හැකිය. මේ තත් ඉතා තදින් ඇදී ඇති බැවින් නැගෙන හඬ ඉතා මිහි­රිය. සංවේ­දීය. එහෙත් එක තතක් හෝ අන­වශ්‍ය ලෙස පිරි­ම­දින්නේ නම් තත බිඳී ගොස් අවුල් ජාලා­වක් ඇති විය හැකිය. සම­බ­ර­තාව බිඳී යා හැකිය. ඉන්දි­යා­වද එසේ­මය. එහි ජාති ආගම් අතර එක­මු­තුව, අනොන්‍ය බැඳි­යාව ඉතා සියුම්ය. ඒත් එක් සරල හැර­වු­ම­කින් ඒ සියුම් බැඳි­යාව බිදී ගොස් අර්බුද රැසක් ඇති විය හැකිය. දැන් ඉන්දි­යාවේ සිදු­වෙ­මින් පව­ති­න්නේද එය­මය.

ඉන්දි­යාවේ හින්දු මුස්ලිම් ගැටුම් ඇති වූයේ මෑත­කදී නොවේය. එහි අතී­තය නිද­හස් ඉන්දි­යාව දක්වාම ඈතට දිව යන්නකි. සම­හර විට එහි මුල් ඊටත් ඈත අතී­තය දක්වා විහිදී යන්නේය. මේ ආග­මික ගැටුම් දඩ­මීමා කර ගනි­මින් දේශ­පා­ලන වාසි ලැබූ­වන්ගේ අතී­ත­යක්ද ඉන්දීය ඉති­හා­සයේ රන් අකු­රින් ලියවී තිබෙ­න්නේය. ඒ රන් අකු­රු­ව­ලින් වැසී ගොස් ඇති ලේ පැල්ලම් ද හොඳින් බැලූ විට දැකිය හැකිය. මේ වන විට ඉන්දි­යාවේ සිදු­වෙ­මින් පව­ති­න්නේද එවැනි ඉති­හා­සය ප්‍රති­නි­ර්මා­ණය වීමක් යැයි සඳ­හන් කළද වර­දක් නැත.

අග­මැදි මෝදි දෙවැනි ධූර කාලය සඳහා ජන­ව­රම ලබා ගන්නේ මුස්ලිම් විරෝ­ධය ඉස්මතු කර­මිනි. දෙවැනි වර බල­යට පැමි­ණී­මෙන් පසු අග­මැ­ති­ව­රයා මුස්ලිම් ජන­තාව පීඩ­න­යට පත්වන සහ හින්දුන් අතර ජන­ප්‍රි­ය­ත්ව­යට පත් වන අන්දමේ තීරණ කිහි­ප­යක් ක්‍රියා­ත්මක කළේය. ජම්මු කාශ්මීර් වෙන් කිරීම සහ පුර­වැසි පණත ඒ අතර ප්‍රධාන වේ. මේ හේතු­වෙන් හින්දු සහ මුස්ලිම් ජාතීන් අතර කිසි­යම් නොස­න්සු­න්ක­මක් වර්ධ­නය වෙමින් පැවති අතර කිනම් හෝ මොහො­තක පුපුරා යා හැකි පීඩ­න­යක් ඒ තුළ විය. අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඉන්දීය සංචා­රය සිදු­වන්නේ ඒ අත­රය. කෙසේ වුවද අහ­ම­දා­බාද්හි පව­ත්වන්නට යෙදුණු මහා ජන­හ­මු­වේ­දීද රැස්ව සිටි ජනයා ඇමතූ නමුත් නව පුර­වැසි නීති යනාදී විවා­ද­යට බඳුන්ව ඇති කිසි­වක් සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වී­මෙන් වැළකී සිටී­මට අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළේය. එහෙත් ඒ වන විටත් දිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් පැතිර යමින් තිබිණි.

මේ ගැටු­ම්ව­ලින් සිකු­රාදා වන විට මිය­ගොස් තිබූ සංඛ්‍යාව 38ක් ලෙස සඳ­හන් විය. තුවාළ ලබා ඇති සංඛ්‍යාව සිය ගණ­නකි. ගැටුම් දිල්ලි­යෙන් ඔබ්බ­ටද පැති­රෙනු ඇතැයි බිය පළ වී තිබේ. ආර­ම්භ­යේදී මේ ගැටුම් නව පන­තට පක්ෂ සහ විපක්ෂ දෙපි­රිස අතර විරෝ­ධතා ලෙසින් ඇරඹි අතර පසුව එය ගැටුම් දක්වා වර්ධ­නය වී තිබේ. තත්ත්වය පාල­නය කළ බවට අග­මැ­ති­ව­රයා ට්වීටර් පණි­විඩ නිකුත් කර තිබු­ණද දිල්ලි මහ ඇමති කෙජ්රි­වාල් පවසා තිබුණේ තත්ත්වය බිය­ජ­නක බවත් පාල­නය කිරී­මට හමු­දාව කැඳ­විය යුතු වන බවත්ය.

ගැටුම් මර්ද­නය කිරී­මට රජය සහ පොලී­සිය ගන්නා ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ විනි­සුරු එස්. මුර­ලි­ධර් දැඩි විවේ­චන එල්ල කර තිබූ අතර පසු­දාම ඔහු වෙනත් උසා­වි­ය­කට මාරු කර යැවී­මට කට­යුතු කර ඇතැයි වාර්තා වේ.

ගැටු­ම්ව­ලින් තුවාළ ලබා හෝ පීඩා­වට පත්ව ඇති පුද්ග­ල­යන්ගේ සංඛ්‍යා ලේඛන අනුව හින්දු සහ මුස්ලිම් දෙපි­රි­ස­ටම එකසේ හානි පැමිණ තිබේ. මේ අත­රින් ඇතැම් දෙනාගේ පවුලේ සාමා­ජි­ක­යන්ගේ ජීවිත අහිමි වී ඇති අතර බර­ප­තල තුවාළ ලැබූ­වන්ද වේ. කඩ සාප්පු, රථ වාහන රාශි­යක් ගිනි තබා ඇති අතර ඒ හේතුවෙන් දේපළ අහිමි වූවන් සහ රැකියා අහිමි වූවන්ද ඉදි­රි­යට තවත් සමාජ ගැටලු මතු කිරී­මට නිය­මි­තය.

මහ­තීර් යන්න යයි

මැලේ­සි­යාවේ අග­මැති ධූරය හොබ­ව­මින් සිටි මහ­තීර් මොහො­මඩ් පසු­ගි­යදා ස්වකීය ධූර­යෙන් ඉල්ලා අස් විය. මැලේ­සි­යාවේ පාලක පක්ෂයේ අභ්‍ය­න්ත­රයේ ඇති වී තිබෙන ගැට­ලු­වක් හේතු­වෙන් මෙලෙස අග­මැ­ති­ව­රයා ඉල්ලා අස්වී ඇතැයි විශ්වාස කෙරේ.

අග­මැ­ති­ව­රයා ඉල්ලා අස් වූ පසු ඔහු වැඩ­බ­ලන අග­මැති ලෙස පත්වී තිබේ. එමෙන්ම ඔහු යම් හෙය­කින් යළිත් අග­මැති ධූරයේ වැඩ බාර ගන්නේ නම් ඔහුට පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යන්ගේ විශ්වා­සය ලබා ගත යුතු වන බවද ප්‍රකාශ වේ. මහ­තීර් මොහො­මඩ් මැලේ­සි­යාවේ සිව්වැනි අග­මැ­ති­ව­රයා ලෙස 1981 සිට 2003 දක්වා කට­යුතු කළ අතර එරට සාර්ථ­කම පාල­කයා ලෙසින්ද විරු­දා­වලි ලබා තිබේ.

කෙසේ වුවද මැලේ­සි­යාවේ රජු සුල්තාන් අහ­මඩ් ෂා පවසා ඇත්තේ මහ­තීර් යළිත් අග­මැති ලෙස කට­යුතු කරන්නේ නම් විශ්වා­සය පළ කිරීමේ යෝජ­නා­වක් පාර්ලි­මේ­න්තුව තුළ ජය­ග්‍ර­හ­ණය කර පෙන්වීම වඩා වැද­ගත් වනු ඇති බවයි.

මේ වන විට මහ­තීර් මොහො­මඩ් ගෙව­මින් සිටින්නේ ස්වකීය ජීවි­තයේ 94වැනි සැත­පුම් කණු­වයි.

හොස්නි මුබා­රක් සමු­ග­නියි

ඊජි­ප්තුවේ හිටපු ජනා­ධි­පති හොස්නි මුබා­රක් පසු­ගිය 25වැනිදා ස්වකීය දිවි­ග­මන අව­සන් කළේය. ඒ සම­ගින් කලක් අරාබි ලෝකය කැළඹූ අව­සාන බල­ව­න්ත­යාද මෙලො­වින් සමු­ග­ත්තේය. මහ­තීර් සේම මුබා­රක්ද බල­යට පැමි­ණෙන්නේ 1981දීය. එව­කට ඊජිප්තු ගුවන් හමු­දාවේ නිල­ධා­රි­යකු වූ මුබා­රක් දේශ­පා­ල­න­යට පිවිසි පසු ඉතා විශාල සාර්ථ­ක­ත්ව­යක් අත් කර ගත්තේය. මුබා­රක් ඊජි­ප්තුව බාර ගන්නා විට ජනා­ධි­ප­ති­ව­රුන් තිදෙ­නෙකු ඊට පෙර ඊජි­ප්තුව පාල­නය කර තිබිණි. එහෙත් ඔහු බල­යට පැමිණි පසු 2011 බල­යෙන් පහ කර දමන තුරුම වෙනත් කිසි­ව­කුට හෝ ඊජි­ප්තුවේ නාය­ක­ත්ව­යට පත්වී­මට ඔහු­ගෙන් ඉඩ ලැබුණේ නැත. ඔහුට සමා­ගා­මීව අස­ල්වැසි රට­වල් කිහි­ප­ය­කම දීර්ඝ කාලීන පාල­ක­යන් වූ අතර ලිබි­යාවේ ගඩා­ෆිද ඒ අතර විය. ගඩාෆි මූලික ඉල­ක්කය බවට පත් කර ගනි­මින් අමෙ­රි­කාවේ සහ­යද සමග 2011 දී ක්‍රියා­ත්මක වූ ආරාබි වස­න්ත­යෙන් ගැල­වී­මට මුබා­ර­ක්ටද හැකි­යාව ලැබුණේ නැත. ගඩා­ෆිට තම රට පම­ණක් නොව ජීවි­ත­යද අහිමි වූ අතර මුබා­රක්ට ජීවි­ත­යෙන් වන්දි ගෙවී­මට සිදු නොවූයේ ඔහු­ගෙන් එත­රම් තර්ජ­න­යක් බට­හි­රට එල්ල නොවූ නිසාම විය හැකිය. ඒ වෙනු­වට ස්වකීය පාලන කාල­යේදී සිදු කරන ලද වංචා සහ දූෂණ සම්බ­න්ධ­යෙන් උසා­විය හමුවේ පෙනී සිටී­මට මුබා­රක්ට සිදු විය. පසුව මුබා­රක් රෝහල්ගත වූ අතර ඔහුගේ පුතුන් අධි­ක­ර­ණය මගින් නිද­හස් කරණු ලැබූහ.

Comments