රාවණා රජු සීතා සැඟවූ රාවණා ඇල්ල | සිළුමිණ

රාවණා රජු සීතා සැඟවූ රාවණා ඇල්ල

රාවණා ඇල්ල එසේ නැත­හොත් බඹ­ර­ගල ඇල්ල, ඇල්ල තානා­යමේ සිට කිලෝ­මී­ටර් හයක් පමණ දුරින් වන්නට පිහිටා ඇති අතර කොළඹ සිට පැමි­ණෙන්නේ නම් කිලෝ මීටර් දෙසිය විස්සකට ආසන්න දුරක් පවති. වැල්ල­වායේ සිට පැමි­ණෙන්නේ නම් බණ්ඩා­ර­වෙල වැල්ල­වාය මාර්ගය ඔස්සේ මේ සඳහා ළඟා­විය හැකි අතර රාවණා ගුහාව පිහිටා ඇත්තේ ඇල්ල කඳු මුදු­නේය.

බොහෝ දෑ සම්බ­න්ධ­යෙන් නාම­යන් යෙදෙන කල්හි ඒවා හා බැඳුණු අතීත කතා ප්‍රවෘ­ත්තීන් මෙන්ම අතීත සිදු­වීම් ද ඒ සඳහා අදාළ වේ. රාවණා ඇල්ල සම්බන්ධ කතා ප්‍රවෘ­ත්තීන්ට අනුව රාවණා රජු සම්බන්ධ සිදු­වී­මක්ද මේ සඳහා අදාළ කර­ගෙන තිබේ. 

ජන­ප්‍ර­වා­දයේ පව­තින අයු­රින් රාම සහ ඔහුගේ සොහොයුරා වන ලක්ෂ්මන් විසින් රාවණා රජුගේ සොහො­යු­රි­යගේ නාසය කපා දැමීම හේතු­වෙන් රාවණා රජු විසින් සීතා දේවිය පැහැ­ර­ගෙන ඇවිත් මෙම දිය ඇල්ල පිටු­පස වූ ගුහා­වක සඟවා තැබූ බව පැවසේ. එමෙන්ම රාවණා රජු විසින් මෙහි සිට රාවණා හත්ත වාද­නය කළ බැව් ද පැවැසේ. මෙකී සිදු­වීම් නිසා මෙම ඇල්ල රාවණා ඇල්ල නමින් හඳු­න්ව­න්න විය. 

එසේම මෙය හඳුන්වන තවත්  නමක් වනුයේ බඹ­ර­ගල ඇල්ල යනු­වෙනි.

ඇල්ල පාමුල සිට බලන කල්හි කඳු­මු­දුන් දෙක තුළින් පැමිණ ඇද හැලෙන ජල කඳ ප්‍රධාන ශෛල ස්තර තුන­කින් විත්  ද්විතියික ඇල්ල  දක්වා ගලා හැලෙන බව හොඳින් දිස්වේ. එතැන් සිට 4 වන ශෛල ස්තරය මතින් ගොස් කිරි­ඳි­ඔය වෙත ඇදී එන  රාවණා ඇල්ල උසින් අඩි 82ක් පමණ වන බව සඳ­හන් වේ. රාවණා ඇල්ලේ ආර­ම්භය සිදු­වන්නේ කිරිදි ඔය අතු ගංගා­ව­කිනි. ඇල්ලට යටින් ඇති පාෂාණ ස්තරය හුනුගල්, ඉතා තද කළු­ගල් හා කොන්ඩ­ල­යිට් වැනි පාෂාණ විශේෂ වලින් සම­න්විත වන අතර 1950 වස­රේදී මෙය රක්ෂිත වනා­න්ත­ර­යක් බවට ද ප්‍රකා­ශ­යට පත් විය.

වසරේ මැයි- සැප්තැ­ම්බර් කාල වක­වා­නුව තුළදී මේ ප්‍රදේ­ශ­යට නිරිත දිග මෝසම් වර්ෂා­වෙන් ජලය ලැබෙන අතර ඔක්තෝ­බර්- නොවැ­ම්බර් මාස­ව­ලදී එහි ජල පහර වර්ධ­නය කරනු ලබන්නේ අන්තර් මෝසම් වර්ෂාව නිසාය. ජන­වාරි, පෙබ­ර­වාරි, මාර්තු යන මාස­යන්හි දී ඇති­වන වියළි කාල­ගු­ණික තත්ත්ව­යෙන් ඇල්ලේ ජල පහර ඉතා අඩු තත්ව­යක පවතී. 

කණ­ගා­ටු­වට කරුණ වන්නේ නියං සම­යේදී ඇති­වන ළැව්ගිනි මෙන්ම හේන් සඳහා ගොවීන් විසින් සිදු­ක­රන ගිනි තැබීම් නිසා තව තවත් ඇල්ල සිඳී යෑමේ තර්ජ­න­ය­කට මුහුණ පෑමට සිදු වීමයි.

රාවණා ඇල්ලේ ඉහ­ළින් ඇති ජල පෝෂිත රක්ෂි­තය හෙක්ට­යාර 4777 ක භූමි භාග­යක් පුරා පැතිර ඇති අතර මෙම රක්ෂි­තය තුළ වලි­කු­කුළා වැලි­මුවා වැනි දුර්ලභ සතුන් ද හමු වන අතර හෙක්ට­යාර 1732ක භූමි ප්‍රදේ­ශ­යක් 1979 වස­රේදී රාවණා ඇල්ල අභ­ය­භූ­මිය ලෙසින් ප්‍රකා­ශ­යට පත් කර­න්නට විය. අලං­කා­ර­ත්වය යට බොහෝ­විට සැඟව ඇත්තේ අන­තු­රු­දා­යක බවයි. එය රාවණා ඇල්ලට ද පොදුය. මේ උඩ කොට­සට ඇවිද යෑමේදී ලිස්සා­යෑ­මක්  යෑමක් සිදු වුව­හොත් එය ඉතා අන­තු­රු­දා­යක තත්ත්ව­ය­කට පත්වේ. 

බොහෝ­විට එය කෙළ­වර වන්නේ ජීවිත හානි­යක් ද සම­ගිනි. දැනට ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව 2003 වස­රේදී පම­ණක් රාවණා ඇල්ලේ දී මිය ගිය සංඛ්‍යාව 37කි.

 මෙහි දිය නෑම අව­දා­නම් වන්නේ ඇල්ල කඩා හැලෙන ස්ථානයේ මීටර් 19ක් පමණ ගැඹුරු දිය සුළි­යක් පව­තින බැවිනි. කෙසේ වෙතත් ඇල්ල නැර­ඹීම සඳහා එන සංචා­ර­ක­යන්ගේ පහ­සුව පිණිස වෙළෙ­ඳ­සල්ද එකල ඉදි­ කර තිබුණු අතර ඉහළ ජලා­ධාර කල­මනාකාර ව්‍යාපෘ­තිය මගින් ඒවා වෙ‍ෙළ­ඳුන්ට ලබා දුන්නේ 2002 වස­රේ­දීය.

ජන­ප්‍ර­වා­දයේ සඳ­හ­න් වන පරිදි ඓති­හා­සික වැද­ග­ත්ක­මක් ඇතැයි සැල­කෙන රාවණා ඇල්ලට ලංකාවේ දිය ඇලි අතු­රින් හිමි­වන්නේ හැත්තෑ නම­වන ස්ථාන­යයි.

Comments