රතු වෙස්මු­හුණු කල එළි බසී | සිළුමිණ

රතු වෙස්මු­හුණු කල එළි බසී

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රති­බිම්බ කලා අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ප්‍රියං­කර රත්නා­ය­ක­ විසින් නිෂ්පා­ද­නය කරන 'රතු වෙස්මුහුණු' නාට්‍යය මාර්තු 05, 06 දෙදින­වල සවස 7.00 සිට ලය­නල් වෙන්ඩ්ට් රඟ­හ­ලේදී රංග­ගත වීමට නිය­මි­තය.   

මේ පිළිබඳ අදහස් දන්වමින් ප්‍රියංකර රත්නායක. "රතු වෙස් මුහුණු වේදිකා නාට්‍යය සොකො­ෆ්ලීස්ගේ ඊඩි­පස් රජ නාට්‍යයේ අනු­ව­ර්ත­න­යක් විදි­යට දක්වන්න පුළු­වන්. 2001 දී මම ඊඩි­පස් රජ නාට්‍යය විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය පිරිස සමඟ නිෂ්පා­ද­නය කළා. ඒ නාට්‍යයේ පිට­පත නැවත රතු වෙස්මු­හුණු නමින් මං නිෂ්පා­ද­නය කළා. ඇත්ත­ටම රතු වෙස් මුහුණු නාට්‍යයේ ප්‍රධාන තේමාව බවට පත්වන්නේ උද්ද­ච්ච­කම හා ආඩ­ම්බ­ර­කම මූලික කර­ගෙන ඇති­වෙන පුද්ගල ඛේද­වා­ච­ක­යත් පුද්ග­ල­යාගේ අධ්‍යා­ත්මයේ ඛේද­වා­ච­ක­යත් විත­රක් නොවේ එය සමා­ජ­මය ඛේද­වා­ච­ක­යක් දක්වා වර්ධ­නය වෙනවා. අද සමා­ජයේ තිබෙන සමාජ, ආර්ථික, දේශ­පාන අර්බුද ඇතුළේ පුද්ග­ලයා අස­ර­ණ­භා­ව­යට පත්වෙ­නවා. විවිධ තත්ත්ව­යන් හමුවේ බලය ලබා­ගැ­නීම හා එය පව­ත්වා­ගෙන යාම ඇතුළෙ ඇති­වන අර­ග­ලය ගැන මේ නාට්‍ය­යේදී සාකච්ඡා කර­නවා.   

මං නිෂ්පා­ද­නය කරපු ‘අද වගේ දව­සක ඇන්ටි­ගනී’ නාට්‍යය ඇතු­ළෙත් කතා කරන්නේ මේ පුද්ගල සමාජ ඛේද­වා­ච­කය ගැන. සමා­ජයේ කාලීන තත්ත්ව­යන්ට සාපෙ­ක්ෂව මිනි­සුන්ගේ අභ්‍ය­න්තර අර­ග­ල­යත් මේ නාට්‍ය­යට තේමා වුණා. ඒ වගේම වෘත්ති­මය රංගන ශිල්පීන් වගේම කැල­ණිය සර­ස­වියේ ආදි විද්‍යා­ර්ථින් වූ දක්ෂ රංගන ශිල්පීන් මේ නාට්‍ය­යට රංගන දාය­ක­ත්වය දක්ව­නවා. ගිහාන් ප්‍රනාන්දු, නිරෝ­ෂන් විජේ­සිංහ, උම­යං­ගනා වික්‍ර­ම­සිංහ, සමාධි ලක්සිරි, ප්‍රේම­රත්න තෙන්න­කෝන් වගේ වෘත්ති­මය රංග­න­ශි­ල්පීන් මේ නාට්‍ය­යේදී රංගන දාය­ක­ත්වය දැක්වුවා. ඒ වගේම මාර්තු 07 වන දා ‘අද වගේ දව­සක ඇත්ටි­ගනී’ නාට්‍ය­යට එකො­ළොස් වස­රක් සපි­රෙ­නවා. ඒ නිමි­ත්තෙන් එම නාට්‍ය­යත් රංග­ගත වෙනවා.”   

ප්‍රියං­කර රත්නා­ය­ක­ නාට්‍ය කලාව පිළි­බ­ඳව ශාස්ත්‍රිය පර්යේ­ෂණ සිදු කරයි. ඔහු සඳ­හන් කරන්නේ නාට්‍ය කලාව අවශ්‍ය වන්නේ සමා­ජයේ මිනි­සුන්ගේ සබු­ද්ධි­ක­භා­වය, විඥා­නය හා සමාජ අව­බෝ­ධය පුළුල් කිරි­මට බවයි. වර්ත­මා­නයේ කලා­ක­රුවා, එම කාර්ය­භාර්ය ඉටු කිරී­මෙ­හිලා කට­යුතු කළ යුතු කාලය එළඹ තිබේ. ගුණා­ත්මක හා අර්ථා­න්විත නාට්‍ය කලා­වක් බිහි කිරී­මට සහ සබු­ද්ධික ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් නිර්මා­ණය කිරී­මට උසස් කලා­කෘති සමා­ජ­ගත කිරීම කාලීන අව­ශ්‍ය­තා­ව­යක් බවට පත් වී ඇත. වේදිකා නාට්‍ය කලාව හා ටෙලි­නාට්‍ය කලාව අතර පව­තින අර­ග­ලය සුබ­දායි මාර්ග­ය­කට ගෙන ඒම උදෙසා වේදි­කාව තුළින් ලබා­ගත හැකි පන්න­රය අති විශාල බව ඔහුගේ විශ්වා­ස­යයි. තාක්ෂ­ණය හා වේග­යෙන් ඉදි­රි­යට යන අධි­වේගී ලෝකය තුළ කලා­වෙන් මිනි­සාගේ අධ්‍යා­ත්මය පෝෂ­ණය කළ හැකිය. මිනි­සුන්ගේ චින්ත­නය වෙනස් කිරී­මෙ­හිලා කලාවේ දාය­ක­ත්වය අවශ්‍ය වේ.   

ලාංකේය ප්‍රේක්ෂ­කා­ගා­රය කෙරෙහි ග්‍රීක නාට්‍ය­යත් තුළින් ලැබෙන ජීවිත පරි­ඥා­නය කාලීන සමා­ජ­යට සාපේ­ක්ෂව ස්වතන්ත්‍ර වශ­යෙන් අර්ථ­ක­ත­නය කිරීම අද වගේ දව­සක ඇන්ටි­ගනි, රුතු වෙස්මු­හුණු නාට්‍යන්ගේ මූලික අර­මු­ණයි.   

අද වන විට රංගන කලාවේ හා නාට්‍ය කලාවේ ගුණා­ත්ම­ක­භා­වය ගිලිහී යාම සම්බ­න්ධ­යෙන් ප්‍රියං­කර රත්නා­ය­ක­යන් දරන්නේ මෙවැනි අද­හ­සක්.  

අද නාට්‍ය කලාව ඇතුළේ තියන ඛේද­වා­ච­ක­යට මුල්වෙලා තියෙන්නේ හැදෑ­රී­ම­කින්, පද­න­ම­කින් තොරව ලාභ ලැබීම පම­ණක් අර­මුණු කර­ගෙන නාට්‍ය වගේම ටෙලි­නා­ට්‍යය නිෂ්පා­ද­නය කිරීම නමුත් විය යුත්තේ එය නොවෙයි. නිසි හැදෑ­රී­මක් සහි­තව ක්ෂේත්‍ර­යට පැමි­ණී­මෙන් තමයි හොඳ නිර්මා­ණ­ක­රුවෝ බිහි­වෙන්නේ. ඒ සඳහා විධි­මත් ලෙස ශිල්පය ප්‍රගුණ කළ යුතුයි. විශ්ව­වි­ද්‍යාල හෝ වේවා වෙනත් විධි­මත් ආය­තන, පුද්ග­ල­යින් ඇසුරේ අත්දැ­කීම් ලබා­ගැ­නීම හා ඒ තුළින් නිර්මා­ණ­ක­ර­ණ­යට පිවි­සීම තමයි සිදු කළ යුත්තේ. නව­ක­ය­න්ටත් ඒ පිළි­බ­ඳව උන­න්දු­වක් සහ අව­බෝ­ධ­යක් තිබිය යුතුයි. දියුණු ලෝක­යක කලාව ඉගෙන ගන්න එක දුෂ්කර නැහැ. නමුත් හොඳ කලා­ක­රු­වෙක් වෙන්න කැප­කි­රී­මත් සහ හොඳ හැදෑ­රී­මක් තියෙන්න ඕනේ. ඒ විදි­හට තමයි නාට්‍ය කලාව අර්ථා­න්විත පව­ත්වා­ගෙන යා හැකි වන්නේ.”  

Comments