ජල ප්‍රහාර කඳුළු ගෑස් නොකා බල­ධා­රීන්ගේ ඇස් අර­වන අරුම පුදුම විරෝ­ධතා | සිළුමිණ

ජල ප්‍රහාර කඳුළු ගෑස් නොකා බල­ධා­රීන්ගේ ඇස් අර­වන අරුම පුදුම විරෝ­ධතා

මනා­ලි­යන්ගේ විරෝ­ධ­තාව
මනා­ලි­යන්ගේ විරෝ­ධ­තාව

විරෝ­ධතා ව්‍යාපා­ර­යක් පැවැ­ත්වෙන්නේ යැයි ඇසූ පම­ණින් අපේ සිතේ මැවී යන්නේ පාර­තොට අව­හිර වන කර­ද­ර­කාරී උද්ඝෝ­ෂ­ණ­යකි. එවැනි විරෝ­ධතා කෙරෙහි එල්ල වන මහ­ජන විරෝ­ධතා නිසාම මේ වන විට අපේ රටේ විරෝ­ධතා පැවැ­ත්වීමේ ස්ථාන­යක්ද වෙන් කර දී තිබේ. එහෙත් ඇතැම් රට­වල ජන­තාව තම විරෝ­ධය අදාළ බල­ධා­රීන් වෙත එල්ල කිරීම සඳහා වඩාත් වෙනස් සහ ආක­ර්ෂ­ණීය විරෝධතා ව්‍යාපාර ක්‍රියා­ත්මක කිරී­මට සමත් වූ අවස්ථා තිබේ. එවැනි අවස්ථා කිහි­ප­යක් ඔබ වෙත ගෙන එන්නේ එවැනි අද­හස් සමඟ විරෝ­ධය පෑමෙන් වඩාත් වැඩි අව­ධා­න­යක් දිනා ගැනීමට අපේ රටේ උද්ඝෝ­ෂ­ක­ය­න්ටද අව­ස්ථාව උදා කර­ගත හැකි යැයි සිතෙන බැවිනි.

ඒ 1940 වර්ෂ­යයි. එක්ව­රම ලෙබ­න­නයේ මහා­මාර්ග අසල, වීථී­වල සහ නග­ර­වල මංගල ඇඳු­මින් සැර­සුණු මනා­ලි­යන් දිස් වන්නට විය. එහෙත් බැලූ බැල්මට සාමාන්‍ය මනා­ලි­යන් සහ ඔවුන් අතර විශාල වෙන­ස්කම් විය. මහා­මා­ර්ග­වල නිස­ලව සිටි මනා­ලි­යන්ගේ සිරුරු පුරා ලේ තැව­රුණු වෙලු­ම්පටි දක්නට විය. එම­ඟින් ඔවුහු ඒ ආසන්න දින­වල ලෙබ­න­නයේ පැනවූ අලුත්ම නීති­ය­කට විරෝ­ධය පෑමට කට­යුතු කළහ. එම නීතිය නම් කිසි­යම් පුද්ග­ල­යකු කාන්තා­වක් අත­ව­ර­යට පත් කළේ නම්, ඔහුට එම කාන්තාව විවාහ කර­ගැ­නී­මට අව­ස්ථාව ලබා­දී­මෙන් ඔහු සිය­ලුම චෝද­නා­ව­ලින් නිදොස් කොට නිද­හස් කිරී­මයි. ලෙබ­නන කාන්තාවෝ ඒ නීති­යට එලෙස තම සාම­කාමී පම­ණක් නොව ප්‍රබල විරෝ­ධ­යද දැක්වූහ. ඔවුන්ගේ එම විරෝ­ධය කොත­රම් ප්‍රබල වූවාද යත් ලෙබ­නන පාර්ලි­මේ­න්තුව යළිත් එම නීතිය සලකා බැලී­මට තීර­ණය කළේය.

බොහෝ විට පොලී­සි­යට එල්ල වන්නේ ගල්මුල් ප්‍රහාර වුවද 2012 නොවැ­ම්බර් 26 දා බෙල්ජි­යමේ බ්‍රසල්ස් නුවර පොලී­සි­යට කිරි ප්‍රහා­ර­යක් එල්ල විය. සෑම­දි­න­කම ගල්මු­ල්ව­ලට මුහුණ දෙන බෙල්ජි­යානු පොලී­සිය මේ කිරි ප්‍රහා­රය ආද­ර­යෙන් වැලඳ ගන්නට ඇත. ලොව පුරා දරු­වන් රැසක් හාම­තින් මිය යන තත්ත්ව­යක් යටතේ එවැනි ආහාර අපතේ දැමීම අනු­මත කළ නොහැකි වුවද එක­දි­ග­ටම පහළ යන ආහාර මිල පාල­නය කරන ලෙස බෙල්ජි­යානු රජ­යට බල­පෑම් කිරී­මට එරට කිරි ගොවීන් ගත් උත්සා­හය එසේ විය.

2015 වසරේ නොවැ­ම්බර් 30 වැනිදා ප්‍රංසයේ රිප­බ්ලි­කන් චතු­ර­ස්‍ර­යට දහස් ගණ­නින් විරෝ­ධ­තා­ක­රු­වන් එක් වීමට නිය­මි­තව තිබිණි. ඒ කාල­ගුණ වෙන­ස්වී­ම­ව­ලට හේතු වන ක්‍රියා­කා­ර­කම් නවත්වා දැමී­මට ඒවාට වග­කි­ව­යුතු පුද්ග­ල­යන්ට බල­පෑම් කිරීමේ අර­මු­ණෙනි. එහෙත් මේ විරෝ­ධතා ව්‍යාපා­රය ගැන කල් තබා දැන­ගත් ප්‍රංස රජය වහාම මේ විරෝ­ධ­තාව නොප­ව­ත්වන ලෙස නියෝග පැන­වීය. එසේ වුවද විරෝ­ධ­තා­වට එක් වීමට සිටි ජන­තාව එම­ඟින් අධෛ­ර්ය­වත් වූයේ නැත. ඔවුන් තමන්ගේ විරෝ­ධ­තාව නියෝ­ජ­නය කර­මින් තමන් වෙනු­වට තම පාව­හන් යුග­ලක් රිප­බ්ලිකා චතු­ර­ස්‍රයේ ගෙන­වුත් තැබී­මට කට­යුතු කළහ. එලෙස ගෙන­වුත් තබන ලද සපත්තු අතර පාරි­ස­රික වෙන­ස්වීම් පිළි­බඳ බෙහෙ­වින් සංවේදී පුද්ග­ල­යකු වනු ෆ්රැන්සිස් පාප් වහ­න්සේගේ තනි කළු පැහැ ඔක්ස්ෆර්ඩ් පාව­හන් යුග­ලක්ද, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ හිටපු මහ ලේකම් බැන් කී මූන්ගේ ස්නීකර්ස් පාව­හන් යුග­ලක්ද විය.

එව­කට පිරූ හි ජනා­ධි­පති අල්බර්ටෝ ෆුජි­මෝරි යළිත් බල­යට පැමි­ණීමේ හීන දකි­න්නට වූයේ 2000 වස­රේ­දීය. ඔහු තමන් යළිත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කරන බව පැව­සී­මත් සමග ඉව­සීමේ සීමාව ඉක්මවා ගිය පීරු ජන­තාව, විශේ­ෂ­යෙන්ම කාන්තාවෝ අග­නු­වර ලීමා හි වීථි­ව­ලට පැමි­ණි­යහ. ඔවුන් ජනා­ධිප­ති­ව­ර­යාට ගෙදර යන ලෙස පව­ස­මින් විරෝ­ධ­තා­වල නියැ­ළුණු බව දැන් ඔබ සිතනු ඇත. නැත. එහෙත් එසේ වූයේ නැත. ඒ වෙනු­වට වීථි­ව­ලට එක්රැස් වූ පිරූ ජන­තාව එරට ජාතික කොඩිය හොඳින් සබන් ගා සෝද­න්නට වූහ. ඔවුන්ගේ අර­මුණ වූයේ දූෂිත දේශ­පා­ල­න­ඥ­යන් තම රටින් සෝදා දැමී­මය. ජාතික කොඩි සේදීමේ විරෝ­ධය එක් දින­කින් අව­සන් වූයේද නැත. ඉතා දැඩි අධි­ෂ්ඨා­න­ය­කින් යුක්තව පීරූ ජන­තාව මාස ගණ­නක් පුරා තම ජාතික කොඩිය සේදූහ. ඇපි­ල්ලූහ. මේ කොඩි සේදීම කොත­රම් බර­ප­තළ වූයේද යත් ජනා­ධි­ප­ති­ව­ර­යාට තව සැර­යක් බල­යට පත් වීම කෙසේ වුවත් තම ධුර­යෙන් ඉවත්ව හිරේ ලැගී­ම­ටද සිදු විය.

ලිංගි­කව දූෂ­ණ­යට පත් වීම සහ මර­ණය කාන්තා­වන්ට පම­ණක් අත්ද­කින්ට සිදු වන බිය­කරු අත්දැ­කී­මක් බව වැඩි දෙනාගේ මත­යයි. ඒ සඳහා ඔවුන්ගේ කෙටි සාය විලා­සිතා බෙහෙ­වින් බල­පාන බව­ටද මත­යක් තිබේ. එහෙත් ඒ මතය අභි­යෝ­ග­යට ලක් කර­මින් 2015 වස­රේදී තුර්කියේ විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය යෙක් කිසි­යම් පිරි­සක් විසින් දූෂ­ණ­යට ලක් කර මරා දමනු ලැබීය. එම සිද්ධි­ක­යට විරෝ­ධය පළ කිරී­මට එක්රැස් වූ තුර්කි පිරිමි කෙටි සාය විලා­සි­තා­වෙන් සැරසී සිටි­යහ. ඔවුන්ගේ මතය වූයේ කෙටි සාය විලා­සි­තාව කාන්තා­වන්ට බල­හ­ත්කා­ර­කම් කිරී­මට පුරුෂ පාර්ශ්වය පොල­ඹ­වන්නේ නම් පුරු­ෂ­යන්ට ලිංගික බල­හ­ත්කා­ර­කම් කිරී­මට බල­පාන්නේ කුමන විලා­සි­තා­වද යන්න කෙරෙහි මත­යක් සමාජ ගත කිරී­මය. එයින් ඉතා ප්‍රබල පණි­විඩ දෙකක් සමාජ ගත කිරී­මට සමත් විය. එනම් ඇඳුම් විලා­සිතා කිසි­සේත්ම ලිංගික බල­හ­ත්කා­ර­ක­ම­කට හේතු නොවන බවත්, ස්ත්‍රීන් සේම පුරු­ෂ­ය­න්ටද ලිංගික බල­හ­ත්කා­ර­යෙන් මිදී­මට අයි­තිය තිබිය යුතු බවත්ය.

2016 අගොස්තු 23වැනිදා අමෙ­රි­කාවේ ප්‍රාන්ත රැසක කාන්තාවෝ තමන්ට පුරු­ෂ­යන් හා සමාන ලිංගික අයි­ති­වා­සි­කම් ඉල්ලා විරෝ­ධ­තා­ව­කට එක් වූහ. ඒ විරෝ­ධ­තා­වට අති­ම­හත් ජනතා ආක­ර්ෂ­ණ­යක් එල්ල වූයේ මේ ලිංගික අයි­ති­වා­සි­කම් ඉල්ලූ කාන්තාවෝ උඩු­කය නිරු­ව­තින් මහ­ම­ඟට පැමි­ණීම හේතු­වෙනි.

අම­ත­රව පසු­ගිය වසර පුරා ප්‍රංසයේ පැවති කහ විරෝ­ධ­තා­වද ලෝක­යේම අව­ධා­නය දිනා ගැනී­මට සමත් වූ තවත් විරෝ­ධ­තා­වකි. එම විරෝ­ධ­තා­වට සහ­භාගී වූ පිරිස කුමක් හෝ කහ­පැ­හැති ඇඳු­ම­කින් සැරසී සිටි­මින් ප්‍රංස රජයේ සුබ­සා­ධන කප්පා­දු­වට විරෝ­ධ­තාව පළ කළහ. වඩාත් විචි­ත්‍ර­වත් සහ වඩාත් සාම­කාමී විරෝ­ධ­තා­වක් පෑ හොංකොං ජන­තාව විවිධ වර්ණ­වල කුඩ රැගෙන මාර්ග­ව­ලට පැමි­ණියේ චීන­යට එරෙ­හි­වය. කෙසේ වුවද මේ විරෝ­ධතා දෙකම විස­ඳුම් නැතිව අව­සන් විය.

ලෝකය සුන්දර වන්නේත්, අසු­න්දර වන්නේත් මිනි­සුන් නිසා­මය. විරෝ­ධතා ඇති වීමට හේතු මතු කර­න්නේත්, ඒවාට විරු­ද්ධව විරෝ­ධතා හි නිරත වන්නේත් මිනි­ස්සු­මය. කෙසේ­වු­වද වෙනස් මිනි­සුන් සෑම විටම ලෝකය වෙනස් කරන බව සිහියේ තබා­ගත යුතු­මය.

දූෂි­ත­යන්ට විරෝ­ධය පාමින් ජාතික කොඩිය සේදීම

 

Comments