“සතුටු සිතක්” මාර්තු 08 දා මීග­මුව ආවෙ මරියා ශ්‍රව­ණා­ගා­ර­යේදී | සිළුමිණ

“සතුටු සිතක්” මාර්තු 08 දා මීග­මුව ආවෙ මරියා ශ්‍රව­ණා­ගා­ර­යේදී

නෙල්සන් කන්නන්ගර විසින් රචනාකොට අධ්‍යක්ෂණය කළ “සතුටු සිතක්“ වේදිකා නාට්‍යය මාර්තු 08 වන දා මීගමුව ආවෙ මරියා ශ්‍රවණාගාරයේදීත් රඟදැක්වීමට නියමිත ය.

මේ සඳහා මානෙල් වානගුරු, රත්නශීලා පෙරේරා, රාජසිංහ ලෝලුවාගොඩ, ප්‍රසාද් ගලප්පත්ති, රුක්සාණා දිසානායක, ඉමේසාන් නෙල්ලිගහවත්ත, සමන්ති ආටිගල රංගනයෙන් දායකත්වය ලබා දෙයි. නිෂ්පාදන දායකත්වය රේණුකා සියඹලාපිටිය විසින් ලබා දෙයි.

“සතුටු සිතක්” නාට්‍ය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ ප්‍රජා මානසික සෞඛ්‍ය සංවර්ධනය කිරීමෙහිලා යම් හෝ දායකත්වයක් ලබාදීමට ය. විවිධ හේතූන් මත දිනෙන් දින පිරිහී යන මානසික සෞඛ්‍ය හේතුවෙන් දරුවන්, තරුණ තරුණියන්, වැඩිහිටියන් හා පවුල් වශයෙන් අද බොහෝ ගැටලුවලට මුහුණදෙමින් සිටී. පිටතින් සතුටින් සිටින බව ප්‍රද්ශනය කරමින් පැය 24 න් වැඩිකාලයක් ගත කරන්නේ දුකෙන්, බයෙන්, කෝපයෙන්, කනස්සල්ලෙන් හා කලකිරීම්වලිනි. මෙම තත්ත්වයන් තුළ ආතතිය, විෂාදය වැනි මානසික රෝගවලට ගොදුරුවීමට ඉඩකඩ සැලසේ. හඳුනා නොගත් මෙවැනි මානසික රෝගී තත්ත්ව නිසා මිනිසාගේ සාමාන්‍ය කායික ජීවිතයේ පැවැත්මට විවිධ තර්ජන එල්ල කරයි.

එසේ නම් සතුටින් සිටින්නේ කෙසේ ද? සතුටින් සිටීම සඳහා මිනිසුන් බොහෝ දේ කරයි. බොහෝ දේ කියයි. නමුත් ඒ දේවලිනුත් සතුටක් ලැබේ ද යන්න ප්‍රශ්නයකි. උදාහරණයක් ලෙස කෙනෙක් අනුභවය සඳහා ගන්නා ආහාරයක් හෝ පානයක් ශරීරයට හිතකර නොවූ විට වක්‍ර ලෙස නැවත ඔහුව හෝ ඇයව දුකට පත් කරනු ලබයි. තවත් සමහරු සතුටින් සිටීමට තවත් අයෙකු පහත හෙලයි. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සැහැල්ලුබාවය තැන්පත්භාවය බිදී යයි.

එසේ නම් සැබෑ ලෙස සතුටින් සිටින්නේ කෙසේ ද? යන්නට “සතුටු සිතක්” වේදිකා නාට්‍යය හරි අපූරු පිළිතුරක් ලබා දෙයි. පරිත්‍යාගය, අගය කිරීම, ගරු කිරීම, ඇහුම්කන් දීම, ඉවසීම, සමාවදීම, සමාව ගැනීම වැනි ගුණාංග නිරතුරුව පුහුණු කිරීම, සැහැල්ලු, සතුටු සිතකට මගපාදන බව නාට්‍ය තුළින් කර පෙන්වයි.

මෙම නාට්‍යය සඳහා පාදක කරගෙන ඇත්තේ සාමාන්‍ය පවුලකි. මෙහි සැමියා, බිරිඳ, දරුවන් හා නැන්දම්මා යන භූමිකා තිබේ. පවුලක් ලෙස මෙසේ භෞතික වශයෙන් නිවසක එකට වාසය කළත් සිතුවිලි අතින් ඔවුන් එකිනෙකා කොපමණ දුරස් ද යන්න නාට්‍යයේ දිගහැරේ. බිරිඳක් තම ස්වාමිපුරුෂයාගෙන් බලාපොරොත්තු වන සෙනෙහස, ආදරය, නැන්දම්මා ලේලි අතර තිබෙන නොතේරුම් ගැනීම, දරුවන් දෙමව්පියන් අතර ඇති පරතරය වැනි තත්ත්වයන් නිසා මෙම පවුල තුළට “සතුට” අහිමිව ගොස් ඇත. එකිනෙකාට එකිනෙකාව නුරුස්සන තත්ත්වයන් හා අනවශ්‍ය සැකය වැනි තත්ත්ව මතු වෙමින් පවුල තුළ සාමාජිකයින් ‘තනිවී’ වේදනාවෙන්, කෝපයෙන්, උමතුවෙන් සිටී. විවිධ ඇබ්බැහිවීම්, අනවශ්‍ය සම්බන්ධතාවලට පවා ගොදුරු වී ඇත.

මනෝ විද්‍යානුකූලව ගැටලුවකට පත් වූ අයෙකුට එයින් මිදීමට පිළිතුරක් නොපෙනෙන නිසා විශ්වාසවන්ත වෙනත් අයෙකුගේ සහයක් අවශ්‍ය වේ. මෙම පවුලට සහයට පැමිණෙන්නේ විශ්වාසවන්ත ‘වෙස් මුහුණකි’. ඉහත තත්ත්වයන් යටතේ ආර්ථිකය කඩා වැටෙන මෙම පවුලේ ගෘහමූලිකයා වන ‘සැම්සන්’ විදේශගත වීමට ගොස් අතරමංවී නැවත ගෙදර ඒමට මඟක් සොයමින් සිටී. මේ අතර “මූඞ් ෆික්ස්” කරන්නෙකු ලෙස රස්සාවක් ලැබේ. මෙසේ වෙස් මාරු කරගත් සැම්සන් දිනක් තමාගෙ ගෙදරට පැමිණේ. සැබෑ ජීවිතයේ දී දැකිය නොහැකි තම බිරිදගේ, දරුවන්ගේ, මවගේ ඇත්ත තත්ත්වයන් දකිමින් අවබෝධ ලබමින් රඟපෑමේ යෙදෙමින් ඔවුන්ව සතුටට පත් කරයි. නමුත් අවසානයේ තම දරුවන්ගේ ඇබ්බැහිවීම් දැනගත් පසු ඔහුට වෙස් මුහුණ ගලවා දැමීමට සිදු වේ.

ඊට පස්සෙ මොකද වුණේ යන්න දැනගැනීමට සතුටු සිතක් නාට්‍ය නරඹන්නට ඔබටත් ආරාධනා !

Comments