‘මම කැමැ­තිම’ චිත්‍ර­ප­ටය | සිළුමිණ

‘මම කැමැ­තිම’ චිත්‍ර­ප­ටය

සෑම පුද්ගලයකු තුළම ප්‍රේක්ෂකයෙක් , රසිකයෙක් ජීවත් වෙයි. චිත්‍රපට හෝ වෙනත් නිර්මාණ සඳහා රංගනයෙන් දායක වන රංගන ශිල්පීහු එයින් පරිබාහිරව ප්‍රේක්ෂකයාගේ භූමිකාවට පණ පොවති. ඕනෑම පුද්ගලයකු තුළ වන ප්‍රේක්ෂක අභිරුචිය එකිනෙකාට වෙනස් විවිධ හැඩයන්ගෙන් යුක්තය. අද ‘මම කැමතිම’ වෙන් වන්නේ රංගනයෙන් ‍ප්‍රේක්ෂකයන් පිනවන රංගන ශිල්පීන් කිහිප දෙනකුගේ ප්‍රේක්ෂක භූමිකාව පිළිබඳ විමසන්නටයි.

මගේ කැමැත්ත ආදර නිර්මාණවලට

- චන්න පෙරේරා

සිනමා කෘතිවලින් මගේ වැඩි කැමැත්ත හිමි වන්නේ ආදරය සම්බන්ධ මාතෘකා ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපටවලට. එයට එක් හේතුවක් වන්නේ මගේ නිර්මාණ සඳහාත් මම තෝරාගන්නේ ආදරය පාදක කරගත් මාතෘකා වීම. ආදරය ගැබ් වූ දෙස් විදෙස් නිර්මාණ රැසක් අතුරින් මගේ මතකයේ වඩාත් තදින් තැන්පත් වී ඇති නිර්මාණයක් වන්නේ අතිදක්ෂ කතා රචක “නිකොලොස් ස්පාර්ක්” ගේ කෘතියක් ඇසුරෙන් “නික් කැසවෙට්ස්” ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති The Notebook චිත්‍රපටය යි.

එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මම හැමදාමත් බොහෝ ආදරය කරන අතිදක්ෂ කඩවසම් නළු රයන් ගොස්ලින් සහ එවකට නවක නිළියක් වූ රේචල් මැක් ඇඩම්ස්. The Notebook ආත්මීය සහකරුවන් ගැන කියවෙන ආදරණීය කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්. ආරම්භයේ පටන් අවසානය දක්වාම ඇස් අහකට ගන්න නොහිතෙන තරම් අනුවේදනීය සහ ආදරණීය නිර්මාණයක් වන මෙහි ප්‍රධාන භූමිකාවන් රඟදක්වන රයන් සහ රේචල් රංගනයක යෙදෙන බව ප්‍රේක්ෂකයාට අමතක කරවන තරමටම ඔවුන් ඒ චරිත තුළ ජීවත් වනවා.

බොහෝ විදෙස් චිත්‍රපට සඳහා නළු නිළියන් තෝරාගැනීමේදී ඔවුන්ගේ බාහිර ස්වරූපයන්ට වඩා ඒ චරිත සඳහා ඔවුන්ගේ රංගනය කොතෙක් දුරට ගැළපෙනවාදැයි සොයා බලන නිසාම ඒවා සාර්ථක නිර්මාණ බවට පත්වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා තෝරා ගැනීමෙන් අනතුරුව ඔහුට ගැළපෙන නිළිය තෝරා ගැනීම සඳහා නිළියන් විශාල ප්‍රමාණයක් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර තිබෙනවා.

රේචල් එම සම්මුඛ පරීක්ෂණයේදී ලබාදුන් දෙබස් අතිශය භාවපූර්ණ රංග විලාශයකින්, අදහාගත නොහැකි තරම් විශිෂ්ට ලෙස සජීවීව ඉදිරිපත් කළ නිසා ඇය මේ චරිතය සඳහා තෝරා ගන්නවා.

අතිශයින්ම ආදරණීය, තාත්වික සහ අවසානයේ ඇසට කඳුළක් ගෙන එන අති සාර්ථක නිර්මාණයක් ලෙස කිහිප වතාවක්ම නැරඹීමෙන් අනතුරුවත් මම අදටත් The Notebook චිත්‍රපටය බෙහෙවින් ප්‍රිය කරනවා.

‘පරසතු මල්’ දිට්ඨධම්මවේදනීය කර්මය කියා දෙනවා

-ගයාත්‍රී ඩයස්

රංගනයෙන් බොහෝ චිත්‍රපට සඳහා දායක වුණත් ප්‍රේක්ෂකයකුගේ තැන සිට බලන විට අදටත් හිතෙන් නොමැකී ඇති චිත්‍රපට අතර ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ ‘පරසතුමල්’ ඉදිරියෙන්ම තිබෙනවා. පරසතු මල් චිත්‍රපටය මුලින්ම නරඹන විට මම ඉතාම කුඩා දැරියක්. ඒ කාලයේ ළමා මනසට එතරම් ආශාවක් ඇති නොවුණත් පසුකාලීනව රූපවාහිනියේ පරසතුමල් විකාශය වන කිහිප වතාවක්ම එය නරඹන විට ඒ කතා තේමාව, එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ගාමිණී ෆොන්සේකා රංගධරයන් ඇතුළු නළු නිළියන්ගේ විශිෂ්ට රංග ප්‍රතිභාව මම ඒ චිත්‍රපටය කෙරෙහි ආශක්ත වන්නට හේතුවක් වුණා.

අතීතයේ නිර්මාණය වූ චිත්‍රපට සමාජයට යම්කිසි ආදර්ශය කින් යුතු වූ අතර ‘පරසතු මල්’ චිත්‍රපටය දිට්ඨධම්මවේදනීය කර්මය විපාක දෙන ආකාරය පිළිබඳ කදිම නිදසුනක් විදිහට මම දුටුවා. බොනී මහත්තයා ජීවත් වූ ආකාරය, පසුකාලීනව ඔහුගේ ජීවිතයට සිදු වූ දේවල් සහ අවසානයේ මරණයෙන් පසුව පවා ඔහුගේ වැරදි ජීවන රටාවට සොබාදහමේ දඬුවම් හිමි වන අයුරු ඇතුළු සමස්ත චිත්‍රපටයම ඉතාම ආදර්ශවත් ලෙස ප්‍රේක්ෂකයා වෙත සමීප වුණා. චිත්‍රපට බොහෝ ගණනක් අතරින් අදටත් පරසතුමල් මගේ මතකයේ රැඳී තිබෙන්න ඒ සියලු කාරණා හේතු වනවා.

 

‘මිල්ලෙ සොයා’ මාරයි

-දසුන් පතිරණ

සිංහල සිනමාවේ මෙතෙක් කාලයක් නිර්මාණ වූ චිත්‍රපට අතුරින් මගේ මතකයේ ඉතා තදින් තැන්පත් වී ඇති චිත්‍රපටයක් ලෙස බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ “මිල්ලෙ සොයා” නම් කරන්න පුළුවන්. රංගනය කෙරහි මගේ සිතේ දැඩි ආශාවක් ඇති කරන්නටත් මිල්ලෙ සොයා චිත්‍රපටය සමත් වුණා. එතෙක් කාලයක් නිර්මාණය වූ චිත්‍රපට අතර එවැනි acting style එකකින් යුතු තාත්වික ආකෘතියක චිත්‍රපට නිර්මාණය වී තිබුණේ ඉතාම අඩුවෙන්. ඒ වගේම ඒ කාලවකවානුවේ තාරුණ්‍යයට කතා කරන චිත්‍රපට නිර්මාණය වුණේ නැති තරම්. මම මිල්ලෙ සොයා නරඹන විට කුඩා වයසක සිටියත් “මාර චිත්‍රපටයක්” ලෙස මම එය දුටුවා.

‘මිල්ලෙ සොයා’ තාරුණ්‍යය ඉතා ගැඹුරින් ස්පර්ශ කළ චිත්‍රපටයක්. ඉතාලියට ගොස් මුදල් සොයන සිහිනය ඉතා තදින් තරුණයන් තුළ ගැබ්ව තිබූ ඒ යුගයේ තාරුණ්‍යයේ සිහින, හැඟීම්, ගැටලු සහ තරුණයන් ජීවිතයට මුහුණ දෙන ආකාරය මේ චිත්‍රපටය මඟින් ඉතා හොඳින් පිළිබිඹු වුණා. ඒ නිසාම අදටත් මම ඒ චිත්‍රපටයට විශාල කැමැත්තක් දක්වනවා.

‘සනම් තේරි කසම්’ චරිත ජීවත් වන ආකාරය අපූරුයි

- දිල්කි දිසානායක

සිංහල චිත්‍රපට අත­ුරින් මගේ වැඩි කැමැත්තක් දිනාගන්නේ ‘පත්තිනි’ චිත්‍රපටය. ලෝක චිත්‍රපට කලාව තුළ මගේ හිතේ වැඩි ඉඩක් වෙන් කරගන්න රාධිකා රාඕ සහ විනයි සප්රු සම අධ්‍යක්ෂණයක් වන “සනම් තේරි කසම්” චිත්‍රපටය සමත් වෙනවා. එම චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය නිරූපණය කරන මාව්රා හොකේන් (සරූ) ඒ චරිතය තුළ ජීවත් වන ආකාරය හරි අපූරුයි. ඇය කාලයක් තිස්සේ ඉතාම සාම්ප්‍රදායික ජීවිතයක් ගත කරමින් සිට ඉතා ඉක්මනින් නූතනයට ගැළපෙන චරිතයකට අවතීර්ණ වන ආකාරය සහ චිත්‍රපටය තුළ ඇය ඒ චරිතයේ ජීවත් වන ආකාරය මට ඒ චිත්‍රපටය ගැන ලොකු ආසාවක් ඇති කළා. එසේම “සනම් තේරී කසම්” චිත්‍රපටයට අපූරු සංගීතයක් භාවිතා කර තිබෙනවා. එහි අතිශය ජනප්‍රිය වූ ගීත කිහිපයක්ම අන්තර්ගතයි. එම ගීතත් චිත්‍රපටයට මගේ කැමැත්ත වැඩි වෙන්නට තවත් හේතුවක්.

Comments