තේ වත්තක් මැද පිහිටි සොඳුරු නවා­තැන සෙම්බු­වත්ත | සිළුමිණ

තේ වත්තක් මැද පිහිටි සොඳුරු නවා­තැන සෙම්බු­වත්ත

හරිත වර්ණ තේ යාය උඩින් හිරු පායා එන්නට වැර දර­මින් සිටි­යේය. තව­මත් හිරු ඈත උස කඳු මුදුන් පම­ණක් සිප ගන්නා මො‍හොතය. මීදු­මෙන් වට ­වුණු පරි­ස­රය හා මීදුම විසින් මවන ලද ගුප්ත බව සෙම්බු­වත්ත වතු­යා­යට ද ආග­න්තුක වූයේ නැත. තේ දලු මත වැටී පිනි බිඳු ගස් අත­රින් පෙරී එන මඳ හිරු එළිය වැටී දිස්න දුන්නේය. තව මොහො­ත­කින් ඒ පිනි­බිඳු හිරු එළියේ තේජ­සින් වියැකී යනු ඇත.   

ඔබ දැන­ට­මත් දන්නා පරිදි සංචා­රය කරන්න හොඳ ම වෙලාව හිමි­දිරි උදෑ­සන ය. නැවුම් සුළං රැල් විඳි­න්නට මෙන්ම කුරු­ල්ලන් හා වෙනත් සතුන් බල­න්නට යන්න හොඳ ම වෙලාව ද හිමි­දි­රි­යයි. අප සෙම්බු­ව­ත්තට ළඟා වුණේ ද අලු­යම අඳුර පහව යන්නට ඔන්න මෙන්න තියා ය. සාමා­කාමී නිකැ­ළැල් පරි­ස­රය කෘත්‍රිම ඝෝෂා­ව­ලින් දූෂිත වී නොති­බිණි. ඉදින් සොබා­ද­හමේ හොඳම දෑ අපි විඳි­මින් සිටි­යෙමු.   

සෙම්බු­වත්ත බොහෝ කාල­යක් පුරා ගම්වැසියන් අතර මිස පිට­ස්ත­ර­යන් අතර ජනප්‍රිය ස්ථාන­යක් වූ‍යේ නැත. රට­පුරා මෙන්ම විදෙස් සංචා­ර­ක­යන් අතර සෙම්බු­වත්ත ජනප්‍රිය සංචාරක ස්ථාන­යක් බවට පත් වන්නේ මේ වතු­යාය බාරව සිටි රැඩ්ලි දිසා­වේගේ මැදිහත් වීම නිසාය. ඔහුගේ සංක­ල්ප­යක් අනුව සංචාරක­යන්ට උචිත පරි­ද්දෙන් මේ වතු භූමිය සකස් කෙරිණි.   

සෙම්බු­වත්ත මඟ දෙපස ඇත්තේ ලොව මිල අධික ම ප්‍රති­ශ­ක්ති­ක­රණ පාන­යක් ලෙසින් විරුදා­වලි ලත් තේ ය. ඔබ බහු­ලව දැක නැති රතු තේ ගස් ද මෙහිදී සුලබව දැක ගැනීමට හැකිය. තේවතු යා‍යේ කුඩා මාවත් දිගේ සනීපවත් මඳ සුළඟ විඳි­මින් ඇවිද යන ඔබට, ඔබ හා අහස අතර ඇති සම්බ­න්ධය වඩාත් දැනෙ­න්නේය. මුළු විශ්වය ම අපේම කොට­සක් ය යන හැඟීම එහිදී නොදැ­නු­ව­ත්වම සිතට එයි. සෙම්බු­ව­ත්තට ඒ නම පට­බැඳි ඇති ආකා­රය පිටු­පස ඇත්තේ අපූර්ව ජන­ශ්‍රැ­ති­යකි. එකල සෙම්බු­වත්තේ තිබූ දිය උල්ප­ත­කින් සෑම පෝය දිනක ම රන් සෙම්බු­වක් මතු වුණාලු. මේ ගැන සෙවි­ල්ලෙන් සිටි එක් වතු කංකානී කෙනෙක් මේ රන් සෙම්බුව මතු වූ දිනෙක එය රැගෙන ඉන්දි­යා­වට පළා ගියාලු. ගම් වැසි­යන් පව­සන ආකා­ර­යට ඒ රන් සෙම්බුව රැගෙන පළා ගිය කංකානී ගැන කිසිදු තොර­තු­රක් ඉන් පසුව වාර්තා නොවුණ ද පසු කලෙ­කදී ඔහුගේ පුතු විසින් ඒ රන් සෙම්බුව තිබූ ජල උල්පත අසල කෝවිලක් තනවා පුද පූජා කර තිබේ. අද ද ඒ කෝවිලේ නටබුන් සෙම්බු­ව­ත්තේදී දැක­ගත හැකිය.   

තේ වතු යායක් මැද අපූර්ව රාත්‍රියක් ඔබට ගෙව­න්නට අවැසි නම් දැන් ඒ සඳහා ද එහි පහ­සු­කම් තනා තිබේ. සෙම්බු­වත්තේ නිවාඩු නිකේ­ත­න­යක් පිහිටා ඇත්තේ වැවේ සිට මීටර් 500ක් පමණ දුරිනි. එහි ලැගුම් ගන්නා ඔබට සොබාදහම හා ඒකා­ත්මික රැයක් ගෙවීමේ අපූර්ව අවස්ථාව හිමි වේ. හිරු රත් වූ ගිනි බෝල­යක් මෙන් වැව් ඉස්මස්තේ බැස යන අපූර්ව දර්ශ­නය සේම සඳ පායා එන සෞම්‍ය සුන්දර දර්ශ­නය ද, එකි­නෙකා හා තර­ගකා­රීව සඳුට කිට්ටු­වෙන් ඉන්නට වෑයම් කරන තාර­කා­වන් ද ඔබව සුන්දර ලොවක් වෙත කැඳවා යනු ඇත. විශ්වයේ වන අප­රි­මිත නාද රටා ඔබට වෙන් වෙන්ව ඇසෙනු ඇත. කොටින්ම කිව­හොත් ඔබ වෙන ලොවක් කරා කැන්දන් යන්නට ඒ සොඳුරු පෙළ ගැස්ම සමත් වනු ඇත. හිරු බැස යන මොහොතේ වැව් දිය පිස­ලන සිහිල් සුවය විඳි­මින් සෙම්බු­වත්ත වැවේ ඔබට බෝට්ටු සවා­රි­යක් යෑමේ පහ­සු­කම ද දැන් සලසා ඇත.   

ඇල්ක­ඩුව වැවිලි සමා­ග­මට අයත් මේ කඳු යායේ තේ දලු නෙළන කාන්තා­වන් මුවඟ දහ­වල් දැඩි දාහය දරා­ගෙන වුව නැගෙන්නේ සුන්දර සිනා­වකි. දලු මෝර­න්නට පෙර ඔවුහු ලහි­ල­හියේ තේ දලු නෙළති. ඒ ඇගිලි තුඩු රත්පැහැ වී ඇත්තේ සියු­මැලි බව නිසා නොව මෝරන ලද තේ දලු කැඩී­මේදී පැළී යෑම නිසා බැව් මා දුටුවේ ඒ සුන්දර ළඳක් හා කතා කරන්නට මඳක් නැව­තුණු බැවිනි. ඒ පැළුණු ඇගි­ලි­තුඩු මෘදු ව ඇල්ලූ විට මගේ ඇගි­ලිතුඩුවලට දැනුණේ කඨෝර බව වසා ගත් මෘදු තෙත­ම­න­යකි. ඒ හද­වතේ සෞම්‍ය බවයි. දුක ව‍සාගෙන ඔවුන් මුවග මැවෙන සින­හව ප්‍රියංකර වූවකි.  

සෙම්බු­වත්ත වැව උඩට වන්නට පිහිටා ඇති ෆයි­නස් වගාව සහිත භූමි­යත් මේ පෙදෙසට අපූර්ව වෙනස් ම හැඩ­යක් එක් කර තිබිණි. ෆයි­නස් පත්‍ර වැටී දුඹුරු පැහැ ගත් ඒ බිම විශාල කළු­ගල් පිහිටා තිබිණි. ඒ ගලින් ගලට පැන පැන ඔබට ගම­නා­ත්තය දක්වා සීරුවේ යා හැකියි. ඒත් පයි­නස් පත්‍ර අධික වියළි නිසා ලිස්සා යෑමේ අව­දාන­මෙන් යුතු බව ඔබ අමතක නොකළ යුතු­මයි.   

උදෑ­සන හා ගොම්මන කොත­රම් සිහිල් වුවද දහ­වල් සෙම්බු­වත්ත භූමිය දැඩි අව් රශ්මි­යෙන් යුතුයි.  අප හිමි­දිරි පාන්දරම සෙම්බුවත්තේ අසි­රිය විඳින්නට ගියේ ඒ නිසාමයි. ස්වාභා­වික ජල උල්පත්වලින් පෝෂණය වෙන සිහිල් දියෙන් පැය ගණ­නක් සිත් සේ නාගැනීමෙන් ගතත් සිතත් සිහිල් කර­ගත් අපි නැවත ගොම්මන් අඳුර වැටී­ගෙන එද්දී එන්නට පිටත් වුණේමු.   

දලු උර කරේ එල්ලා‍ගත් දලු නෙළන්නියන් පේළි­යට කන්ද බැස යමින් සිටියේ මුහුණ පුරා වෑහෙන දා බිඳු අතෙන් පිස දමා ගනි­මිනි. අප රස කර­මින් බොන තේ වල මොවුන්ගේ දාඩිය කඳුළු සැඟවී තිබෙනවා නොවේද? 

සියො­තුන් අහස පුරා රංචු ගැහෙමින් කැදලි කරා පිය­න­ඟන අපූර්ව දසුන වඩාත් සොඳුරු කළේ හිරුගේ අවසන් රශ්මි ධාරාවේ රතු පැහැය විසිනි.  

   

Comments