ආදරය කියන්නෙම හිතටත් ගතටත් උත්තේජනයක් ලබා දෙන ලොව සුන්දරම හැඟීමටයි. ඒ ආදරය නිසා මිනිස් සිතුවිලි ක්‍රියාකරන හැටි, ගැටුම් ඇතිවෙන හැටි, ආදරය විඳිමින් ආදරය ලබමින් තෘප්තිමත්ව මේ කෙටි ජීවිත කාලය ගෙවා දැමිය හැකි ආකාරය ගැන මෙවර අප කතා කරනවා.
කෙනකුට ජීවිතේ පළමු වතාවට ආදරය යන හැඟීම දැනෙන්නට පටන් ගත්තට පසුව ඒ සංවේදන එක්ක නිර්මාණය රසායනික සංයෝජන ඔළුවේ හැදෙන්න පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන් එවැනි රසායනයන් දෙකක් අප ශරිරයේ තිබෙනවා. ඒ සෙරොටොනීන් සහ ඔක්සොටොසීන් නම් අපේ මොළය සතුටින් ආදරයෙන් පුරවන රසායන ද්‍රව්‍ය. එහි ක්‍රියාකාරීත්වය නිසා අප මින් පෙර නොදැකපු දේවල් දකින්න, විඳින්න, අහන්න, හැම දේකම වර්ණ දකින්න, ගීතයක තාලය දැනෙන්න, පරිසරයේ තිබෙන විවිධත්වය රස විඳින්න පටන් ගන්නවා. එවිට සිදු වෙන්නේ අපේ මොළය පුදුමාකාර විදිහට ප්‍රබෝධවත් වීමයි..
ආදරය දැනෙන්න පටන් ගත් මොහොතේ සිටම කවදාවත් නොකරපු දේවල් කරන්නත් අපේ මොළය පුදුම පෙළඹවීමක් ඇති කරවන්නෙ අන්න ඒ ප්‍රබෝධය නිසයි. උදාහරණයක් කිව්‍වොත් ආදරය කරන දෙදෙනකුට හමු වෙන්න, කතා බහ කරන්න පාරිසරික බාධක ඇති අවස්ථාවක ඔවුන් ඉන් පෙර කිසිදු දිනෙක නොකළ විදිහේ උපක්‍රම යොදා ගන්නවා ඔවුනොවුන් හමුවන්න. ඒ ආදරය විඳින්න ඔවුන්ට ශක්තියක් ලැබෙනවා. ඔවුන් එයින් අලුත් දැනුමක් ලබනවා. කොයි තරම් බාධක ආවත් ඒවා ජයගන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ ඒ සතුට සහ ප්‍රබෝධය නිසායි.
ආදරය අලුත් කරගන්න...
ආදරය කියන්නෙම එකිනෙකාට දක්වන ගෞරවය, විශ්වාසය, අවබෝධය සහ අගය කිරීමයි. ඔබේ සහකරුට දක්වන ගෞරවය, අගය කිරීම දිනපතා පුරුද්දක් බවට පත් කර ගන්න. කලින් කියපු නැති හේතුවක් එක්ක හැම දවසෙම ආදරය ප්‍රකාශ කරන්න. එසේ ආදරය ප්‍රකාශ කරද්දි ඔබ ඔහුට හෝ ඇයට මේ තරම් ආදරය කිරීමට හේතුත් හදා ගන්න. ඒ හේතුව හැම දවසකම අලුත් විය යුතුයි. එවිට එය නැවුම් මෙන්ම ආදරයත්ට ඒ නැවුම් බව ඇති වේවි. ආදරය දැනෙන්න ජීවත් වීම කියන්නෙ රඟපෑමක් නොවෙයි. එකිනෙකාගේ ජීවන කලාව හඳුනා ගැනීමයි.
පුංචි පුංචි රණ්ඩු කරන්නෙම ආදරේ ඕන නිසා..
ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කතා කළ යුතු ගැටලුවක් තිබේ නම් ඔබ නිසඟයෙන් ඒ ගැන කතා කරන්නෙත් වේදනාවෙන් හෝ ආවේගයකින්. ඒ මොහොතේ සිට ඔබ අනෙකාගේ වැරැදි සහ අඩු පාඩූ දකින්න පටන් ගන්නවා. බොහෝ වෙලාවට අද කාලේ නම් දුරකතන ඇමැතුමකින්, දීර්ඝ ලෙස කෙටි පණිවුඩ යවමින් තමයි ඒ නොරුස්නාගතියට ප්‍රතිචාර දක්වන්නේ. එසේ නැති නම් ඔහුගෙන් හෝ ඇගෙන් එන ඇමැතුම් හිතා මතා විසන්ධි කරමින් ප්‍රතිචාර නොදක්වා ඉන්නවා.
හැම විටම හිතට ගන්න... ඔබ පෙම්වතා හෝ පෙම්වතිය ඔබට නොක්කාඩුවක් එහෙමත් නැතිනම් පුංචි දෙයක් ගැන හෝ පොඩි පැමිණිලි කරන්නේම ආදරය වැඩියෙන් ඕන වෙලා නිසයි. ඔබත් ඒ පාර්ශවයට එලෙසම ප්‍රතිචාර දක්වන්න ගියෝත් වෙන්නේ රණ්ඩුවකට පෙරැළීමයි. ඉතින් මේ වගේ පුංචි නොක්කාඩුවක් දුර දිග ගෙනියනවාට වඩා එය සරලව විසඳා ගන්න උත්සාහ කරන්න. ඒ වගේ වෙලාවට ඔබේ දුරකතනය අල්ලන්නේ නැතිව ඉන්න. එහෙම නැති නම් ඔහුට හෝ ඇයට කතා කරන්න දී නිහඬව ඉන්න. ඒ වෙනුවට අවදානය මුළුමනින්ම වෙනතකට යන සතුටක් ඇති කරන ක්‍රියාවලියකට යොදන්න. නැතිනම් එවැනි ගැටුමක් ඇති වෙන්න කලින් ඔබ දෙදෙනා සතුටින් ගත කරපු දවස්, ආදරය පිරිණු මතක මනසින් දකින්න. ඔබ දෙපළගේ පරණ ඇල්බම් එකකින් වුණත් ඒ මතක අවදි කරගන්න් පුළුවන්. එවිට ඒ අතීත සුන්දර අවස්ථාවල ඇතිවුන සතුටට අදාළ රසායනික සංයෝග අපේ මොළය තුළ නිපදවෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් විසඳා ගැනීමට හොඳ වටපිටාවක් මෙන්ම හොඳ මානසික හික්මීමක් ඇති කර ගත් පසු ඔබට පුළුවන් ඔහු හෝ ඇය සමඟ මේ ගැන කතා කරන්න.
එයා සදහටම ඔයාගේ වේවි...
පරණ කියමනකුත් තියෙනවා පරණ වෙන්න වෙන්න තමයි වයින් රස වැඩි කියලා.... ආදරයත් අන්න ඒ වගේ. දවස ගානේ වර්ධනය වෙනවා නම් මොනතරම් අපූරුද?... අවුරුදු පණහක් ගිය වයින් රස වැඩි වෙනවා වගේම තමයි ආදරය වැඩි වෙන්නෙත්. හොඳ විවාහ ජීවිතයකදී සැමියාගේ අඩුපාඩු බිරියගෙන් මග හැරෙනවා. බිරියගේ තිබෙන අඩුපාඩු සැමියාගෙන් මඟහැරෙනවා. දෙදෙනාගේ තිබෙන ඒ හාත්පසින්ම වෙනස් ගතිගුණ නිසාමයි එවැනි ප්‍රේමයක් හෝ විවාහයක් බොහෝ කල් පවතින්නේ... විවාහ විය යුත්තේ අපේ ගතිගුණම තියෙන කෙනෙක් සමඟ යන මතය කිසි සේත් අනුමත කරන්න බැහැ.
එහෙම ජීවිත කිසිම රහක් නැහැ. බැඳීම් හුඟක් අඩුයි. විවාහයකට තිබිය යුත්තේ සමාන කම් නෙමෙයි, වෙනස්කම්. අවුරුදු 20 පෙම්වතිය, අවුරුදු 30 දී බිරිය, ඊළඟට තම දරුවෝ රකින මව, තම පවුල නඩත්තු කරන පියා විදිහට ජීවිතයේ විවිධ අවස්ථා පහු කරමින් අවුරුදු 50 වගේ වෙද්දි ඒ හදපු වඩපූ දරු මල්ලනුත් අලුත් කැදැලි හදන් යද්දි තමන් පිළිබඳ සියලු දේ දන්න කෙනා විදිහට තනි වෙලා දුක සැප බෙදා ගන්න අවසානෙට ඉතිරි වෙන්නෙ ඔබේ සැමියා හෝ බිරිය විතරමයි. ජීවිතයේ නියමිත කෙනා නම් ඔබට මුණ ගැහුණේ ඔහු හෝ ඇය කිසිම දිනෙක ඈත් වීමක් නැහැ... සදහටම එයා ඔබේ තමයි. ඒ ආදරය මරණෙන්වත් නැති වෙන්නේ නැහැ. මරණින් පසුත් පවතින ඒ ආදරේ සංසාරගත බැඳීමක් වේවි. මෙන්න මේ හින්දා තමයි ඔබ මේ ආදරය වර්ධනය කර ගත යුත්තේ.
කොන්දේසි විරහිත ආදරය තමයි සුන්දරම..
අපට වෙන කෙනකුට ආදරය කරන්න පුළුවන් වෙන්නෙ අපි අපට ආදරය කරනවා නම් විතරමයි.
මෙහිදි ආදරය සහ ආත්මාර්ථය යන දෙකෙහි වෙනස හඳුනා ගන්න අවශ්‍යයයි. ආදරය නම් එය කොන්දේසී විරහිත විය යුතුයි. තමන්ට ඕනෑ විදහට සහකරු සහකාරිය හැඩගස්වා ගන්න හදනවා කියන්නේම ආත්මාර්ථකාමී හැඟීමක්.
අපි නොසිතුවාට අපි කරන, කියන ඉතා පුංචි දේකින් පවා ඔවුන්ගේ හිතට මහා අස්වැසිල්ලක් ගෙන දෙනවා සේම සමහර විට ඒ තරම් දුරට නොහිතා කරන කියන දේවල් නිසා අපේ ආදරණීයයන් කිව නොහැකි වේදනාවකට, සිත් තැවුලකට වුණත් පත් වෙන්න පුළුවන්. එ නිසා ආත්මාර්ථකාමී නොවී හැම විටෙකම ආදරණීයයන්ට ආදරය දැනෙන්න ජීවත් වෙන්න. කොන්දේසි විරහිත එවන් ආදරය වයින් වගේ රසවත් වේවි...