අසේ­කයි උපු­ලියි-මමයි හරි­යට යහ­ළුවෝ වගේ | සිළුමිණ

අසේ­කයි උපු­ලියි-මමයි හරි­යට යහ­ළුවෝ වගේ

තැන තැන ඇස ගැටෙන බුදු පිළිම, සරස්වති දේවිය, ගණ දෙවි පිළිම, මූර්ති කැටයම් අතරින් පතර දිස්වන විවිධ චිත්‍ර හා ඡායාරූප ද සාලය පුරා තැන තැන තබා ඇති බෙර, නළා හා තාලපම්පට අතරින් අද අප මේ ගොඩ වන්නේ හෙළ නර්තන කලාව හෙවත් සාම්ප්‍රදායික උඩරට නර්තන කලාව වෙනස් යුගයක් කරා ගෙන ගිය ඒ ප්‍රතිභාපුර්ණ නර්තනවේදියාගේ කැදැල්ලටය. චන්න - උපුලි ප්‍රසංග කලා නිකේතනය නම් වු නර්තන කලාවේ සෞන්දර්යාත්මක නවාතැන ද ඒ කැඳැල්ල තුළමය. බොහෝ රාජකාරී මැද හෝ සුපුරුදු ළෙන්ගතුකමින් චන්න විජේවර්ධනයන් අප පිළිගනිද්දි මා අසන්නට ගිය එක් පැනයක් කලින්ම දැන ගත් නියාවෙන් උපුලි සිය සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන දවසේ පෙළ ගැස්ම අප හා බෙදා ගත්තාය.

“ළමයි පනහක් විතර පාලනය කරන්න ලේසි පහසු නැහැ. සමහර වෙලාවට දෙසීය තුන්සියය ගණන් ළමයි අපේ ගෙදර. මේ පර්චස් හතේ තමයි ඒ සියලුම දේවල්. අපේ ප්‍රධාන කණ්ඩායම පුහුණු කරන්නේ නිවෙසමයි. මෙහේ විනයානුකූල නීති රීති පද්ධතියක් තිබෙනවා. අපි දෙන්නා අම්මයි තාත්තයි වගේ මේ දරුවන්ගේ කටයුතු බලාගෙන ඔවුන් පුරුදු පුහුණු කරන්නේ.

අපි ළඟට එන හැම දරුවෙක් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕනේ, දවසකට කොහොමත් අඩුම ගාණේ පනහකට හැටකටවත් කෑම බීම මෙහෙ පිළියෙල වෙනවාමයි. මේ විදියට උපුලි මේ නිවෙසේ දින චර්යයාවේ විස්තරය නිම කරමින් තම ආදරණීය සැමියාට අප හා කතා බහ කරන්න ඉඩ දී මඳකට අපෙන් වෙන් වූවාය.

මේ නිවෙස පැය විසි හතරම ළමයින්ගෙන් පිරුණු තැනක්?

දවසකට අනිවාර්යයෙන් තිහකට වැඩියෙන් ඉන්නවාමයි. අපි තුන්දෙනා හැම වෙලේම එකටම ඉන්න නිසා සාමාන්‍ය ජීවිතේ කියලා කිසිම වෙනසක් නැහැ. අපි සාමාන්‍යයෙන් නිදා ගන්නේ පාන්දර දෙකහමාර තුනට විතර. උදේ හතට විතර ඇහැරිලා කෙළින්ම උඩ පුහුණු වීම්වලට යනවා. දහය ඉඳලා හැන්දෑවේ දෙක තුන වෙනකන් ට්‍රේන් කරනවා. එය අපේ දින චර්යයාවේ අනිවාර්යය අංගයක්.

චන්නට උපුලි අතින් පිළියෙල වුණු කෑම වෙලක රස බලන්නවත් වෙලාවක් නැතුව ඇති?

හැමදාම මෙහේ පනහකට විතර කෑම හදනවාමයි. චන්න කන්න කැමැති යමක් තිබුණොත් ඒ අතරේ හදල දෙනවා. ඒ හැරුණහම අපි තුන්දෙනා තනියම ඉන්න වෙලාවට කැමැති කෑමක් හදාගෙන කනවා.

චන්න - උපුලි කැදැල්ලේ විවේකිව ගත කරන්න එහෙම අවස්ථා ලැබෙනවාද?

එහෙම දවස් තිබෙනවා හරිම අඩුවෙන්. එහෙම දවස් හරිම විනෝදයි. අසේකයි මමයි උපුලියි කියන්නේ යහළුවෝ තුන්දෙනෙක් වගේ. සමහර වෙලාවට මේ ඉන්නේ දුව කියලා අමතක වෙනවා. විහිළුවෙන් තර්ක විතර්කවලින් අපේ දවස ගත වෙනවා. හැබැයි මේ මුළු කණ්ඩායම ම අපේ පවුලේ සාමාජිකයන් විදිහටයි සලකන්නේ. මෙහෙ ළමයි නැත්නම් අපිටත් හරි පාළුයි.

කාර්යබහුල දිවිපෙවෙත නිසා මව්පියන් ලෙස ඔබේ යුතුකම් අතපසු වූ අවස්ථා තිබෙනවා ද?

කොතරම් කාර්යබහුල වුණත් ඒ හැම දේටම මට වෙලාව තියෙනවා. ඒ නිසා පියෙකුගේ සියලුම වගකීම් මගේ පැත්තෙන් ඉටු වෙනවා. කවුරු හරි කියනවා නම් කාර්යබහුල නිසා වගකීම් අතහැරෙනවාය කියා ඒ බොරු. උපුලිත් එහෙමයි. අමුතුවෙන් ඉටු කරන්න දෙයක් නැහැ මම මගේ ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ දෙන්නා වෙනුවෙන්.

නර්තනය හැරුණු විට වඩාත් ප්‍රිය කරන දේ?

දළදා මාළිගාවට, පන්සල්වලට යන එක තමයි අපි තුන්දෙනා ආසම කරන දේ. පූජාව, ඒ හේවිසි හඬ අහගෙන පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට හරිම නිස්කලංකයි.

අසේකා, අද චන්න - උපුලි නර්තන කණ්ඩායමේ ප්‍රධාන පෙළේ නර්තන ශිල්පිනියක්. ඇය මෙලෙස සාර්ථක වේවි යැයි බලාපොරොත්තු වුණාද?

කවදාවත් අපි ඇයට බල කළේ නැහැ. බලාපොරොත්තු වුණෙත් නැහැ. ඇය තුළම ඒ කැමැත්ත ඇති වෙනකල් හිටියා. ඇය ටික ටික මේ කලාවේ ගැඹුර තේරුම් ගත්තා. නර්තනයේදි ඇය අපේ දුව කියලා විශේෂයක් නැහැ. අසේකා අද ඉන්න තත්ත්වයට ආවේ බොහොම වෙහෙස මහන්සියෙන්. ඒ කැපවීම තිබිය යුතුමයි. වරක් පියකු හා දියණියකගේ නර්තන අංගයක් මම නිර්මාණය කළා.

ඒ නර්තනයේදී තමයි මම තේරුම් ගත්තේ ඇගේ කිරණ ශක්තිය සහ ඇගේ පවර් එක. එදා මං දැන ගත්තේ ඇය යන ගමන. අසේකාට වෙනම දක්ෂතා තියෙනවා. විටෙක මටත් අභියෝගයක් වන තරමට ඇය ශක්තිමත්. නමුත් ඇය සමඟ නර්තනයේදි මමත් මගේ ශක්තිය අත හරින්නේ නැහැ. ඇයත් එසේමයි.

චන්න කියන නර්තනවේදියා සහ සැමියාව ඔබ දකින්නේ?

චන්න හොඳ මානුෂිය ගති පැවතුම් තිබෙන කෙනෙක්. ඔහුගේ ඒ ගතිගුණ නිසා තමයි ඔහුට මෙච්චර දුර එන්න පුළුවන් වුණේ. නර්තනවේදියකු ලෙස මම ඔහු දකින්නේ එක්තරා යුග පුරුෂයෙක් ලෙසයි. මම මගේ පියා දැක්කා. චිත්‍රසේනයන් දැක්කා. චන්න කවදාවත් කෙනෙක් කරපු දෙයක් කරන කෙනෙක් නෙමෙයි. හැම වෙලේම ඇඳුමකට රෙදි තේරුවත් වෙනස් විදිහකටයි ඒ ගැන හිතන්නේ. අපි තුන්දෙනාම එකම විෂයයකට බැඳි ඉන්න නිසා මේ බැඳීම හරිම පහසුයි.

නර්තනවේදියකු ලෙස කිසිම දිනෙක ඔබට කලකිරීමක් තිබෙනවාද?

මුල් කාලයේ සාම මුද්‍රා නාට්‍ය කියලා මුද්‍රා නාට්‍යයක් මම පටන් ගත්තා. අපේ ශෛලිය වෙනස් කරන දවස් වල ඇඳුම් පැළඳුම් ගැන මට කොච්චර බනිනවාද කිව්වොත් රතු ලියුම් පවා ඇවිත් තියෙනවා. පත්තරවලින් පවා විවේචනය වෙද්දි ගෙදරිනුත් බයයි. ඒ එකතරා අවස්ථාවකදී මොකටද මං මේ දේවල් කරන්නේ කියලා හිතුණා. මගේ ඒ සිතිවිල්ල වෙනස් කළේ චිත්‍රසේනයන්. එතුමා දවසක් ඇහුවා දැන් ඔබ රගර් සෙල්ලම් කරලා තියෙනවා නේද? රගර් සෙල්ලම් කරද්දි ඔබව ටැකල් කරන්නේ කොයි වෙලාවටද කියලා. බෝලේ අතේ තියෙනකොටයි කියලා මම උත්තර දුන්නා. ඉතින් පේනවාද ඔවුන් ඔබව ටැකල් කරන්නේ ඔබේ අතේ බෝලේ තියෙන නිසයි. නර්තනයේදී වුණත් හැමෝම ඔබව ටැකල් කරන්නේ ඔබ යමක් කරන නිසා. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒ බෝලේ පාස් කරන්න පුළුවන් කියලා එදා ඔහු කිව්වා.

කෙදිනක හෝ ඔබ අනුකරණය කළ නර්තනවේදියකු සිටිනවාද?

මම පුංචි කාලේ ඉඳලා අනුකරණය කළේ චිත්‍රසේනයන්ව. එතුමන්ගේ ශෛලීය. නමුත් දැන් මම ඒ ආභාස‍ය, රටාවට සහ තාක්ෂණය වෙනස් කරමින් යන කෙනෙක්. වෙනස් වෙමින් ගියත් මගේ මුල එතැනයි. ඒ වගේමයි පණිභාරතයන් ඔහු සම්ප්‍රදාය රැක ගන්න පස් කා ගෙන වෙහෙසුණු කෙනෙක් දේශීයත්වය වෙනුවෙන් පුදුමාකාර සටනක් ගෙන ගිය කෙනෙක්. චිත්‍රසේනයන්ගේ බිරිය වජිරා ආන්ටි තමයි මගේ හැකියාව හොඳට පදම් කළේ.

සාම්ප්‍රදායික නර්තන කලාවේ වෙනත් යුගයක් බිහි කළ ඔබට එය විනාශය කළා යැයි ද චෝදනා තිබෙනවා?

උඩරට නර්තන කලාවට කිසිම හානියක් මම කළේ නැහැ. හැබැයි උඩරට නර්තන කලාවේ චලන හඳුනා ගනිමින් ඒ චලන ගැන අවධානය යොමු කරමින් මම එය අලංකරණය කළා. මේවට මිනිස්සු දොස් කියන්න පුළුවන්. මම කළේ ඒවා නිවැරැදිව පෙන්වීමයි. අලුත් දෙයක් කරනකොට විවේචන, කට කතාවලට ලක් වීම ලෝක ස්වභාවය. නමුත් ඒ අභියෝග හා විවේචනවලදී අපි ඒ බැමි කඩා ගෙන ගියා. එහි ප්‍රතිඵල තමයි දැන් අත් විඳින්නේ.

අසේකා ගැන ඔබ දෙපළගේ බලාපොරොත්තුව?

දෙමාව්පියන්ට ලැබෙන හොඳම දායාදය තම දියණිය අංග සම්පූර්ණයි කියන ඒ වචනේ. අපිට ඇය ගැන කට පුරා කියන්න පුළුවන්. පරම්පරා තුනක වගකීම ඇයට තිබෙනවා. පණිභාරත යුගය, චන්න බිහි කළ යුගය සහ චන්න උපුලි ලෙස බිහි කළ නර්තන ශෛලිය. මේ නර්තන කලාව ඉදිරියට ගෙන යෑමයි අපි ඇගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇය තම පියා වගේම නව නර්තන යුගයක් බිහි කරාවි යැයි මම හිතනවා.

ඇය කවදා හෝ විවාහ වේවි. ඇගේ සහකරුගෙන් නර්තනයට ඉඩක් ලැබේවිද?

ඇය කවදාවත් මේ විෂයයට පරිබාහිර කෙනකුව තෝරා ගන්නේ නැහැ. අප තිදෙනාගේම ජීවිතය නර්තන කලාව. විවාහ වු දවසක සැමියා අකැමැති වුණොත් ඔහුට ගෙදරට වෙලා ඉන්න වේවි. ස්ථිරයි; ඇය එවැනි විෂයයට සම්බන්ධ නොවන කෙනකුව තෝරා නොගන්නා බව.

Comments