ගම් වැව් මැනීමට එලල්ල ගමේ කඳවුරු බැඳි තරුණ මිනින්දෝරුවා | සිළුමිණ

ගම් වැව් මැනීමට එලල්ල ගමේ කඳවුරු බැඳි තරුණ මිනින්දෝරුවා

උතුරු දිශාවට සාපේක්ෂව ඕනෑම ස්ථානයක පිහිටීම බලා ගැනීම අද කාලයේ ඉතා සුළු දෙයකි. ඒ වටිනා ජංගම දුරකථනයකින් අප සිටින ස්ථානයේ පිහිටීම නිවැරදිව දැන ගත හැකි වන්නේය. මැනීම් කටයුතු හා වෙනත් සංවර්ධන කටයුත්තකට පිඹුරු පත් සකසන්නේ නම් වුවමනා ස්ථානවල පිහිටීම සලකුණු කැර ගැනීම සඳහා ජී.පී.එස්. උපකරණ පාවිච්චි කරන්නේය. එහෙත් අතීතයේ යම් යම් ස්ථානවල පිහිටීම සටහන් කැර ගැනීම සඳහා සූර්යයා උපයෝගී කැර ගත් ආකාරය අපූරුය. මිනින්දෝරුවරුන් අතීතයේ දී මේ සඳහා “සූර්යය උද්දිශංශ නිරීක්ෂණය” කළ ආකාරය අපූරුය. ව්‍යවහාරයේ “සන් ඇසිමන් ඔබ්සර්වේෂන්” යැයි මෙය හැඳින්වුණු අතර, මිනින්දෝරු කම්කරුවන් හා ගැමියන් අතර මෙය “ඉර බැලීම” ලෙසට ප්‍රකට වීය. මෙරට හැම සංවර්ධන කටයුත්තකම පෙරගමන්කරුවා මිනින්දෝරුවරයා වීය. 

ඒ 1966 වසරේ ජුනි මාසයේ දිනයකි. ඒ.එල්.ඩබ්ලිව් ගුණසේකර තරුණ මිනින්දෝරුවාට ස්ථාන මාරුවක් ලැබෙන්නේය. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම් පත්තුවේ කැලෑගමක් වූ “එලල්ල” ගමටය. තරුණ මිනින්දෝරු මහතාට මීට පෙර සේවය කළ “සූරියවැව” ප්‍රදේශයට වඩා මෙය දුෂ්කරය. එලල්ල නමැති ගම පිහිටා තිබෙන්නේ හම්බන්තොට - මීගහජඳුර පාරේ 14 හා 15 සැතැපුම් කණු අතරය. හම්බන්තොට ලුණු ලේවාය අසලින් ආරම්භවන මෙම මාර්ගයේ ලේවාය පසු වූ විට දක්නට ලැබෙන්නේ කටුපඳුරු සහිත වියළි ශුෂ්ක දේශගුණයකි. මෙම මාර්ගයේ හැතැපුම් අටක් පමණ ගිය පසු “ගොන්නොරුව” නමැති පුරාණ ගම හමුවේ. එලල්ල නමැති ගමට ස්ථාන මාරු වී යන ලෙසට තරුණ මිනින්දෝරු මහතාට උපදෙස් ලැබෙනුයේ එහි කුඩා ගම් වැවක් මැනීමට වුවමනාවෙනි. කඳවුරු බිමට බඩු භාණ්ඩ ප්‍රවාහනය කරත්තවලින් සිදු කෙරිණ. එලල්ල ගමේ මිනින්දෝරු කඳවුරු බිමෙහි වැඩ ඇරැඹීමට ප්‍රථමයෙන්, මිනින්දෝරු කම්කරු කණ්ඩායමේ ප්‍රධාන කම්කරු හෙවත් කංකානම විසින්, කොස්ස සහිතව ලෙලි ගැසූ පොල්ගෙඩියක හුණු ආලේප කර, කඳවුරු බිම ඉදිරිපස ගසක අත්තක එල්ලා තබයි. ඉන් බලාපොරොත්තු වන්නේ එම වැඩ බිමේ සිටින තාක්කල්, ප්‍රදේශයට අධිපති දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමය. මිනින්දෝරු කඳවුර කඩා ඉවත් කරන දිනයේ දී ගහේ එල්ලන ලද පොල් ගෙඩිය ද භාවිතා කර කිරිබත් හා රසකැවිලි සහිත දේවදානයක් දෙනු ලබයි.

වාහන යන එන මාර්ගයට මඳක් ඔබ්බෙන් එක ළඟ පිහිටි වීර ගසක් හා ඉඟිණි ගසක් සෙවණේ ගුණසේකර මිනින්දෝරු මහතාගේ කඳවුර ගැසීමට තෝරා ගැනෙන්නේය. කඳවුරු බිමෙහි එක් පැත්තකින් එලල්ල වැව පෙනෙයි. ගස් හෙවණක් නැතිව කූඩාරම් ඉඳිකළහොත්, දහවල් වන විට හිරු රශ්මිය නිසා ඇති වන අධික තාපය දැරිය නොහැකි වනු ඇත. කඳවුරු තැනීමේ රාජකාරියට කංකානම ඇතුළු කම්කරු කණ්ඩායම දක්ෂය. කඳවුරේ වහලය ලෙස භාවිතා කරනුයේ වනයේ වර්ණය හා සමීප කොළ පැහැති වර්ණයක් ඇති කැන්වස් රෙද්දෙන් තැනූ කූඩාරම් දෙකකි. මේ කූඩාරම් නිපද වුයේ පාකිස්ථානයේ හා ඉන්දියාවේය. එකල වැඩිපුරම භාවිතා වූයේ ඉන්දියාවේ තැනූ කූඩාරම්ය. මෙම කූඩාරම් ඇතුළත කවරය හා පිට කවරය යනුවෙන් හැඳින්වුණු ඝන රෙදි දෙකකින් යුක්තය. මේ නිසා කූඩාරම් තුළ දහවල් කාලයේ ඇති වන අධික රශ්මිය තරමක් දුරට හෝ පාලනය වීය. බිත්තිවලට තල් කොළ පැළලි භාවිතා වූ අතර, මේවා නිපද වුයේ අනුරාධපුරය අවට පිටිසර ගම්වලය. මිනින්දෝරු දෙපාර්තමේන්තුව එම පැළලි මිලයට ගෙන අවශ්‍ය ස්ථානවලට බෙදා හැරියේය. මේ තලකොළ පැළලි ද පායන කාලයට වනයට ආවේණික ළා දුඹුරු පැහැයකින් යුක්තය. කඳවුරේ අවශ්‍ය ස්ථානවලට වාතාශ්‍රය හා ආලෝකය ලැබෙන පරිදි ජනෙල් හා දොරවල් නිර්මාණය කරන්නේ ද මෙම තල් කොළ පැළලි වලින්මය. කූඩාරම ඇතුළත, කාර්යාලය හා නිවාසය ලෙසට කොටස් ‍දෙකකට බෙදන්නේ ද මෙම තලකොළ පැළලි වලිනි. කූඩාරම දෙපස ශක්තිමත් දඬු වැට දෙකක් තනා එයට කූඩාරම ඇද ලණුවලින් බැඳ තැබීමෙන් ප්‍රදේශයට හරහා විටින් විට හමායන දැඩි සුළඟට ඔරොත්තු දිය හැක. කඳවුරට ආසන්නව වියළි පොල් අතුවලින් කුස්සියක් හා වැසිකිළියක් ද තැනූ පසු කඳවුර නිර්මාණය අවසන්වේ. ඉන්පසුව ‘වාඩිය’ නමින් හඳුන්වන කම්කරු කණ්ඩායමේ නිවහනට අවශ්‍ය කූඩාරම ද කඳවුරේ සිට තරමක් දුරින් තනාගනී. මෙම කඳවුරු ගැසීමේ දී වනයේ ගස්වලට හානියක් නොවන පරිදි, කුඩා ශාක පඳුරු පමණක් ඉවත් කිරීමටත්. ස්වාභාවික පරිසරය ඒ ආකාරයටම රැක ගැනීමටත් උපරිම උත්සාහය ගන්නේය. කඳවුරු නිම වූ විට කඳවුරු පිහිටි භූමිය ද කෘත්‍රිම ආටෝපයක් නොපෙන්වා මහ කැළයේ කොටසක් ලෙසට ම දර්ශනය වන්නේය. මෙම කඳවුරු තනන කාලය තුළ මිනින්දෝරු මහතා, බොහෝ විට ආසන්න මිනින්දෝරු කඳවුරක හෝ තනාගෙන යන මිනින්දෝරු කඳවුරේ ම වාසය කරන්නේය. මීට අඩසිය වසකට එපිට දී මේ එලල්ල ගම්මානයේ කඳවුරු ලද තරුණ ඒ.එල්.ඩබ්ලිව්. ගුණසේකර හෙවත් විමලසිරි ගුණසේකර මහතා අද හැත්තෑ නව හැවිරිදිව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම ප්‍රදේශයේ දිවි ගෙවන්නේය.

බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි

Comments