‘බෝලරයා - වානරයා කීපරයා - බෝක්කුවා’ | සිළුමිණ

‘බෝලරයා - වානරයා කීපරයා - බෝක්කුවා’

පාසල් බිග් මැච් වසන්ත කාලය සුපුරුදු පරිදි තර්ස්ටන් - ඉසිපතන ගැටුමින් ආරම්භ වෙයි. බිග් මැච් කාලය උදා වන්නේ මේ ගැන උනන්දුවක් දක්වන නොදක්වන සියලු දෙනාගේ ම සිත් සතන් සතුටු කරමින්ය. මෙයට කොල්ලෝ, කෙල්ලෝ, සිසුන් ආදි සිසුන් කියා වෙනසක් ද නැත. ඇත්තේ තනිකරම පිස්සුවකි. එකී පිස්සුවට වයස් භේද, ආගම් භේද, සුදු - කළු, උස් මිටිකම් ද නැත. සියල්ලෝම නටති. ගයති. වයති. ඒ අතර වලිවලින් ද අඩුවක් නැත.

අවුරුද්දක් ගෙවී අවුරුද්දක් උදා වන්නේම බිග් මැච් ජොලිය හදවතට තට්ටුවක් දමා ගෙනය. මෙකී තට්ටුව වනාහි බිග්මැච් පහනින් එළිය බලා ගන්නට දත කට ම පාදා ගෙන සිටින අති බහුතරයකට අලුත් හුස්මකි. මීට පෙර ආදී සිසුන්ට පමණක් සීමා වූ ක්‍රිකට් තරග පසෙකලා, තවත් බොහෝ අංශ මෙකී සංස්කෘතියට මේ වන විට ඇතුළත් වී හමාරය. මේ සියලු දේ අතර හොඳ මෙන්ම නරකද යහමින් ම මුසු වී පවතියි.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම බිග් මැච් සංස්කෘතියේ වෙනසක් නැත. බිග් මැච් සංස්කෘතියට අනුව මේ ජොලිය ගෙන්දගම් පොළොවේ හෝ දශක තුනක් යුද්ධයෙන් බැට කෑ යාපනයේද වෙනසක් නැත.

හයේ එකක් ඇරෝ ලණුව උඩින් ඇරෝ

ගෙන්දගම් පොළොවේ රෝයල් - තෝමියන් තරගය ද, කන්ද උඩරට කිංස්වුඩ් - ධර්මරාජ තරගය ද, ගාල්ලේ / රිච්මන්ඩ් - මහින්ද තරගයේද මෙකී හ‍ඬෙහි වෙනසක් නැත.

සිය ප්‍රතිවාදියා සෑම විට ම අනෙකාට පරිප්පුවාය, බෝලරයා වානරයා වන විට කීපරයා බෝක්කුවා ය. විකට්ටුවේ සිට මීටර් 60ක්- 70 ක් දුරින් ලණුව අද්දර පන්දු රකින්නන් පණුවන්ය. ක්‍රීඩාගාරයේ කොනකින් හඬ තලන පපරේ සද්දයට හතරේ සීමාවේ පන්දු රකින්නන්ගේ පස්ස පැත්ත නැටවෙන්නේ නිරායාසයෙන්ම ය.

එකෙක් ගියත් තව එනවා එසේ කෑ ගසමින්නේ පරිප්පුවෙක් හමුවේ තම කඩුල්ලක් බිඳ වැටුණු විට දැනෙන වේදනාව නැති කර ගන්නටයි.

පැරැන්නොත් අපි

‍ලොව නොකඩවා පැවැත්වෙන පැරණිම බිග් මැච් එක රෝයල් - තෝමියන්ය. ක්‍රිකට් උපන් එංගලන්තයේවත් නැති පාසල් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කීමට ලාංකේයන් වශයෙන් අපට හැකිවන්නේ ඒ නිසාය. මෙකී ඓතිහාසික සිද්ධියට වසර එකසීය හතළිහකට ආසන්නය. මෙකී වසර එකසිය හතළිහකට ආසන්න අතීත උරුමය ගම් නගර සිසාරා රාව ප්‍රතිරාව දෙයි.

විකසිත රජ දහනක්

මෙකී සුන්දරත්වය විඳිය හැකි එකම තැන බිග් මැච් සැණකෙලිය පමණි. කොල්ලෝ කුරුට්ටෝ තම පාසල් කොඩියේ වර්ණය සිය නිල ඇඳුමට එකතු කර ගනිමින් නටන මේ සැණකෙළියට පාසල් බලධාරීන් පවා මෙයට විරුද්ධ නොවන්නේ ඔවුන්ද මෙකී අසිරිය උපරිමයෙන්ම විඳින නිසාය.

බාලිකාවන්ට බැල්මක් නොදා විහිළුවක් තහළුවක් නොකොළොත් එය මෙකී සංස්කෘතියේ බලවත්ම අඩුවකි. ඒ නිසාම මෙකී සංස්කෘතිය තුළ අනංගයන් ගෙන්ද අඩුවක් නැත. වැටකින් තාප්පයකින් වෙන් කරන ලද බාලක - බාලිකාවන්ට මේ කාලය ද හරි අපූරුය. රවන ඔරොවන කෙනෙකුට ඇණුම් පදයක් කියන්නට ද මෙතරම් නිදහසක් වෙන කොයිද යැයි සිතන්නන්ගෙන්ද අඩු නැත.

පජාතයෝ සහ ගජයෝ

මෙකී බිග් මැච් සංස්කෘතියේ ඇතුවත් නැතුවත් බැරි පිරිස ආදී සිසුන්ය. මොවුන් එකතු වන්නේ කුමටද යන්න විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ. බිග් මැච් සංස්කෘතියේ ඇලී ගැලී සිටින්නන්ට තරගයේ තොරතුරු අදාල නොවේ. තරගයේ තම විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව හෝ තරගයට සිදු වූයේ කුමක්ද යන්න මොවුහු නොදනිති. කොටින්ම ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන විදිය ළඟම ඉන්න සගයාගෙන් ඇසුවද පුදුම විය යුතු නොවේ. එපමණක් ද නැත. චැට් එකට සෙට්වෙලා විනාඩි පහක් කතා කළ විට පාසල වෙනුවෙන් ලේ, ඇට, මස් වුවද දන්දීමට පැකිලෙන්නේද නැත.

කෙරුමන්ගෙන් ද අඩු නැත.

පරිප්පුවන්ගේ කොඩියේ කොණක් අනෙකා ගේ ඇ‍ඟේ වැදීමත් මහා ජංජාලයකට මුල පිරීමට හේතු සාධකයකි. තම විද්‍යාලයේ ක්‍රීඩකයකු කඩුලු පහක් බිඳ දැමීම, අර්ධ ශතකයක්, ශතකයක් රැස් කිරීම, පාසලේ කොඩිය රැගෙන පිට්ටනිය මැඳට දුව ගොස් තම සගයාට සුබ පතා කෙරුමකු වීමට දතකට මැද ගෙන සිටින පිරිසේද අඩුවක් නැත. කොටින්ම වලියක් නැති බිග් මැච්වලින් වැඩක් නැති තරමට වලියද බිග් මැච් සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වී තිබේ.

වලිකාරයන්ගේ දයාව

බිග් මැච්වල වලිකාරයන් අතරට පොලිසිය පැමිණීම ඔවුන්ට දිරවන්නේ නැත. වැරැදිලාවත් පොලිසිය පැමිණ තගක් දැම්මොත්, වලිකාරයන් අතර මතුවන දයාව, සහෝදරත්වය, ආදරය විඳීමට නම් බිග් මැච් වලියකට මැදිහත් වී එකී අත්දැකීම විඳිය යුතුමය.

ඇත්තටම එකී දයාව, සහෝදරත්වය, ආදරය බිග් මැච් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම පවත්වා ගෙන යෑමට හැකි නම්. එයම ආඩම්බර වීමට පමණක් නොව, සාඩම්බර වීමට ද හේතුවකි.

නම්‍යශීලීභාවය

බිග් මැච් සංස්කෘතියේ නම්‍යශීලීභාවය ද අනිවාර්යය අංගයක් කර ගැනීමට කවුරු කවුරුත් සිතට ගන්නේ නම් බොහෝ ගැටලු අවම කර ගැනීමට හැකිවනවා පමණක් නොව, තම පාසල් බිග් මැච් ඉතිහාසයට එක්වන කළු පැල්ලම ද අවම කර ගත හැකිය. බිග් මැච් එකක් යනු ක්‍රීඩකයන් විසි දෙදෙනෙකුගේ තරගයක් බව සිතට ගෙන කටයුතු කළ හැකිනම් අවම කර ගත හැකි හානි ප්‍රමාණය ද විශාලය.

විසි දෙදෙනෙකුගේ තරගයට පිටියෙන් පිටත සිට කරන බලපෑම්, මැදිහත් වීම් අවම කර ගැනීමට මේ සංස්කෘතිය වටා රොක්වන්නන්ට හැකිවිය යුතුය. එය පිටිය මැද සිටින විනිසුරුවන් දෙදෙනාට මෙන් ක්‍රීඩකයන් 13 දෙනාට ම සහනයකි. එසේ නොවන තාක් කල් මේ සියලු දෙනාට එය මානසික වදයකි.

උමතුව අර්ථවත් කරමු

බිග් මැච් උමතුව අර්ථවත් ව විඳීමට ඇති මං බොහෝය. එකී සුන්දර මං අහුරුවා අසුන්දර දෑ ළං කර ගැනීම ඔබට සේම පාසලට ද අවනම්බුවකි. වැඩ්ඩෝ, නොවැඩ්ඩෝ, පජාතයෝ, අපතයෝ, වීරයෝ, කෙරුමෝ, මේ සියලු දෙනා එක්වන බිග් මැච් සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට මේ වසරේ සියලු දෙනා ඉ‍ටා ගන්නේ නම් එය හෙට දවසේ මෙකී සංස්කෘතිය ශක්තිමත් කිරීමට - පෝෂණය කිරීමට හේතු වනු ඇත.

එකී ගමනේ කොටස්කාරයකු වීමට ඔබ ඉටා ගන්නේ නම් බිග් මැච් සංස්කෘතියේ සුන්දර මතකයන් නිවසට රැගෙන යෑමට හැකිවනු නිසැකය.

 

Comments