විදුලි අක්‍රමිකතා නැවැත්වීමට පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් | සිළුමිණ

විදුලි අක්‍රමිකතා නැවැත්වීමට පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක්

නිවෙස්වල  මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවේ.

මෙම තත්ත්වය මගහරවමින් පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි සමාගමට [LECO] අනුබද්ධ  බණ්ඩාරගම පිහිටි ANTE- LECO Metering Private Limited  ආයතනය විසින් පියවර ගෙන තිබේ. එම ආයතනය විසින්  නිෂ්පාදනය කරන මෙම නව ස්මාර්ට් විදුලි මීටරය නිෂ්පාදනය සඳහා නවීනතම තාක්ෂණය අප රටට හඳුන්වා දෙමින් ඉදි කරන ලද ඉලෙක්ට්‍රොනික තරංග පෑස්සුම් නිෂ්පාදනාගාරය (Wave Soldering)  ඊයේ (20) පස්වරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය.

 මෙම ආයතනය විසින් දිනකට නව ස්මාර්ට් විදුලි මීටර් 2000ක් නිපදවන අතර  දැනටමත් අපේ රට තුළ එවැනි ස්මාර්ට් විදුලි මීටර් 64000ක් අලෙවි කරනු ලැබ තිබේ.

මෙහි දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට මෙම විදුලි මීටර් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති අතර එමගින් විදේශ විනිමය මෙරටින් විදේශ රටවලට ඇදී යාම වැලැක්වීමත්, අපේ රටට විදේශ විනිමය ගලා ඒමට කටයුතු කිරීමත් අරමුණ බැව් එම කර්මාන්තයේ ඉහළ කළමණාකාරිත්වය පැවසූහ.

අප රටේ නිපදවන මෙම ස්මාර්ට් විදුලි මීටර් සඳහා මේ වනවිට නෙදර්ලන්තයේ කෙමා ආයතනය [KEMA Institute] විසින් සිදු කළ ක්‍රමාංකන පරීක්ෂණවල දී ඉහළ සම්මානයටද පාත්‍ර වී තිබේ.

වසරකට මෙම ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 04ක් නිපදවීම මෙම කර්මාන්ත ශාලාවේ ඉළක්කයයි.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කර්මාන්ත ශාලාව  නිරීක්ෂණය කළ අතර අනතුරුව පැවැති උත්සවයේ දී ඒ මහතා කියා සිටියේ මෙම කර්මාන්ත ශාලාව පිහිටුවීම වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය දැරූ අවදියේ ගත් එඩිතර තීරණයක ප්‍රතිපලයක් බවයි. 2010 සිට 2014 දක්වා එතුමා විසින් ගනු ලැබූ එඩිතර තීරණ අතර විශේෂයෙන් විදුලිබලය සම්බන්ධව නොරොච්චෝලේ බලාගාරය මෙන්ම ඉහළ කොත්මලේ විදුලි බලාගාරය  ඉදි නොවන්නට මේ වනවිට රට ම අඳුරේ පවතින්නට ඉඩ තිබුනු බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙවැනි නව කර්මාන්ත ශාලා ආරම්භ වනවිට දැනට පවතින යල් පැන ගිය නීති හරස් වන්නේ නම් ඒවා සංශෝධනය කර ඉතාමත් සරළ ක්‍රමයකට රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන ආයතනවලට පහසුකම් සැපයීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments