කඩොලාන පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කෙරේ | සිළුමිණ

කඩොලාන පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කෙරේ

කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තවත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවයි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව කඩොලාන කෙරෙහි වැඩි අවධානයක් නොදැක්වුව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ම ලෝකයේ වෙනත් රටවල් කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා දැඩි අවධානයක් යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කඩොලාන සංරක්ෂණ වැඩසටහන්, 2010 වසරේදී ජපානයේදී එළිදැක්වූ ලෝක කඩොලාන සිතියම සහ 2017 වසරේදී ඉන්දුනීසියාවේදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඊට උදාහරණ කිහිපයකි.

කඩොලාන වනාන්තරවලින් ලැබෙන වාසි මොනවාදැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දුන්නාය.

  1. භූමිය ආරක්ෂා වෙයි - සුළි සුළං, මුහුදු රළ, සුනාමි වැනි තත්ත්වයන්ගෙන් වෙරළ ඛාදනය අවම වීම කඩොලානවලින් සිදුවේ. එමගින් භූමිය මෙන් ම මනුෂ්‍ය ජීවිත ද ආරක්ෂා වේ.
  2. ධීවර කර්මාන්තය පහසු කරවයි - මතස්‍යයින් කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව බහුලව ගැවසෙන අතර මතස්‍යයින් ගැඹුරු මුහුද කරා යන්නේ බිත්තර දමන කාලයට පමණක් බව මහචාර්යවරිය පවසයි. එහෙයින් ධීවරයින්ට මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වේ.
  3. ප්‍රයෝජනවත් පැළෑටියකි - කඩොලාන කිරල කිරි/කැද වැනි ඖෂධීය පානයන් සැකසීම සදහා මෙන් ම කිරල මූඩි සැකසීමට ද ප්‍රයෝජනවත් වේ.
  4. කාබන් ගබඩා කර ගනී - සාමාන්‍ය ගස්වලට වඩා වැඩි ප්‍රමාණයක් කාබන් ගබඩා කර ගැනීමේ හැකියාව කඩොලාන ශාකයට තිබේ.

2017 වසරේදී ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළු වාර්තාවේ දැක්වෙන්නේ, කඩොලාන හෙක්ටයාරයක කාබන් ටොන් 1023ක් ගබඩා කර ගන්නා බවය.

Comments