‘අධික වේග­යෙන්‘ මරු තුරු­ළට ගිය සුමිතුරෝ සිවුදෙනා | සිළුමිණ

‘අධික වේග­යෙන්‘ මරු තුරු­ළට ගිය සුමිතුරෝ සිවුදෙනා

අනතුරට පත් කැබ් රථය
අනතුරට පත් කැබ් රථය

“ප්ලේන් එකක් එනවා වගේ හඬක් අහුණා. මොකක්ද කියලා බලන්න මම ගෙදර ජනේලේ ඇරියා. ඩෝං ගලා ශබ්ද­යක් එක්ක ගේ හෙල්ලිලා ගියා. මම දොර ඇර­ගෙන එළි­යට ආවා. කැබ් එකක් ලයිට් කණු­වක හැප්පිලා තුනට කැඩිලා තිබුණා. එක්කෙ­නෙක් පාරේ වැටිලා හිටියා. අනෙක් අය වාහනේ ඇතුළේ හිර­වෙලා. දකින කොටම මම දැන­ගත්තා මේ අය ජීවත් වෙලා ඉන්න විදි­හක් නැහැ කියලා...“

තරු­ණ­යන් සිව් දෙනෙ­කුට මරු කැඳ­ව­මින් මැණි­ක්හින්න මල්පාන ප්‍රදේ­ශ­යේදී සිදු වූ රිය අන­තුර පිළි­බඳ විස්තර කර­මින් ඒ ආස­න්නයේ පදිංචි කල්‍යානි ගුණ­රත්න මහ­ත්මිය කීවාය. අන­තුර වූ ස්ථාන­යට මුලින්ම පැමිණ තිබූ ඇය ඒ පිළි­බඳ මෙසේ විස්තර කළාය.

“මම කේක් එකක් හදන්න පල­තුරු කප­මින් ඉන්න­කොට තමයි රෑ 1.35ට විතර මේ අන­තුර සිද්ධ වුණේ. මම මහා මාර්ග වැඩ­පොළේ ඉන්න ළමයි දෙන්නෙ­කුට කතා කරලා එය­ලත් එක්ක වාහනේ ළඟට ගියා. වේග­යෙන් ආපු වාහනේ පාර අයිනේ තිබූ බ්ලොක් ගල් ගොඩක් උඩින් ගිහින් ලයිට් කණුවේ අඩි 10ක විතර උඩින් වැදිලා තිබුණේ. මම 119 එක­ටයි, 1990 ගිලන් රථ සේව­ය­ටයි, මැණි­ක්හින්න පොලී­සි­ය­ටයි කතා කළා. පොලී­සිය ඇවිත් පාරේ වැටිලා හිටියා ළම­යාගේ සිරුර ඉටි රෙද්ද­කින් වහලා දැම්මා. වාහනේ ඇතුළේ හිටපු අය මැරිලා කියලා හිතපු නිසා කවු­රුත් අත ගැහුවේ නැහැ. මැණි­ක්හින්න පොලී­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා කිව්වා මැරි­ලද නැද්ද කියලා අපිට තීර­ණය කරන්න බැහැ ඉස්පි­රි­තා­ලෙට ගෙනි­යමු කියලා. එත­කො­ටම ආපු ලොරි­යක් නව­ත්තලා සිරුරු ටික ඒකට පට­වලා රෝහ­ලට යැව්වා.

මැණි­ක්හින්න අමිල සමූහ ව්‍යාපා­රයේ සේව­ක­යෙක් සහ බැකෝ යන්ත්‍ර පුහුණු වෙමින් සිට තිදෙ­නෙක් එම අන­තු­රින් මිය ගියහ. අන­තු­රින් මර­ණ­යට පත් වූයේ අඹ­ග­හ­පැ­ලැස්සේ පදිංචි බෝම­ළුවේ වත්තේ ගෙදර ප්‍රභාත් තරිඳු කුමාර රත්නා­යක (19), ත්‍රිකු­ණා­ම­ලය අඹේ­පුර පදිංචි අඹේ­ගොඩ ලිය­නගේ තත්සර කාවින්ද (19), අම්පාර ගොනා­ගොල්ල පදිංචි වඩ­ම්බිගේ රසික මධු­සංඛ(19) යන සිසුන් හා අමිල සමූහ ව්‍යාපා­රයේ සේවක පන්විල නාරං­ප­නාවේ පදිංචි වීර­සේ­කර මුදි­ය­න්සේ­ලාගේ මහේෂ් මධු­ශංඛ(21) නැමැති අයයි.

“දැනට මාස හත­රක පමණ කාල­යක සිට මේ අය අපේ ආය­ත­නයේ බැකෝ යන්ත්‍ර පුහු­ණුව ලබ­නවා. ඒ වෙනු­වෙන් රුපි­යල් 15000.00 ක මාසික දීම­නා­වක්ද ගෙව­නවා. පස් කපන බැකෝ යන්ත්‍ර සහ ස්කැවේ­ටර් යන්ත්‍ර­ව­ලින් පස් කැපීම, මාර්ග සකස් කිරීම වැනි ප්‍රායෝ­ගික පුහු­ණුව ලබා­ගන්නේ මේ යන්ත්‍ර­ව­ලින්. මධු­සංඛ අපි ළඟ දැන් අවු­රුදු 04 ක පමණ කාල­යක සිට වැඩ කර­නවා. බැකෝ යන්ත්‍ර ක්‍රියා කර­ව­න්නත් මධු­සං­ඛට පුළු­වන්. පුහු­ණුව ලබන සිසුන් දුර පළාත් වල නිසා අපි එයා­ලට නව­තින්න පහ­සු­කම් ලබා­දෙ­නවා. මේ ළමයි තුන් දෙනත් එක්ක තවත් දෙන්නෙක් නේවා­සි­කව පුහු­ණුව ලබ­මින් සිටියා.

මධු­සංඛ සිද්ධිය වූ දවසේ උදේ ඉඳලා කැබ් එකේ වැඩ කළා. ඩියුටි ටයිම් එක උදේ 7.30 ඉඳලා 5.30 වෙන­කල්. පුහු­ණුව ලබන ළම­යි­න්ටත් ඉන්පසු වැඩ නැහැ. මේ අය එදා මල්පානේ තියෙන අපේ ලේත් වර්ක් වැඩ පොළට ගිහින් මත්පැන් පානය කරලා තියෙ­නවා කියලා ආරං­චියි. එතැන වැඩ­පොළ වහලා තියෙන්නේ රෑ 1.00ට විතර. මේ අය හරි නම් එන්න ඕන ගෝන­වල තියෙන අපේ වැඩ­බි­මට වුණත් ඔවුන් මැණි­ක්හින්න පැත්තට ගිහින් තියෙ­නවා. ඒ යන අතර තමයි අන­තුර වෙලා තියෙන්නේ. අන­තුර වූ ස්ථාන­යයි, ලේත්වර්ක් වැඩ­පො­ළයි අතර මීටර 500ක විතර දුරක් තියෙන්නේ. කැබ් එක එළ­වලා තියෙන්නේ අපේ ඩ්‍රැයි­වර්. මේ අය ඇයි ඒ පැත්තට ගියේ කියන එක ඇත්ත­ටම ප්‍රශ්න­යක්....අමිල සමූහ ව්‍යාප­රයේ සාගර වික්‍ර­මා­රච්චි මහතා කීය.

අධික වේගය හා අප­රි­ක්ෂා­කාරී රිය ධාව­නය අන­තු­රට හේතු වී තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මගින් අනා­ව­ර­ණය වී තිබිණි. ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ මැණි­ක්හින්න පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ පොලිස් සැර­යන් 31036 ඩබ්ලිව්.එම්.පී.බී වීර­සේ­කර මහතා.

“ලිය­වන පට්ට­ල­ය­කින් මැෂි­ම­කට අවශ්‍ය කෑලි වග­යක් ගන්න මේ අය 08 දා හවස මල්පා­නට ඇවිත් තියෙ­නවා. වාහ­නය ඉන්ට­ලොක් ගල් ගොඩක වැදී ටෙලි­ෆෝන් කණු­වක හැප්පිලා. ඒ කණුව අඩි 10 ක් උඩින් කැඩිලා තිබුණා. තරු­ණ­යින් සිව් දෙනා­ගේම හිසට බර­ප­තළ හානි සිදු වෙලා. මහේෂ් මධු­සංඛ රථය පදවා තිබෙන බව පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වුණා. අන­තු­රින් පසු මේ අය රෝහ­ලට ගෙන යන විටත් මිය­ගොස් සිටියා. අධික බීම­ත්කම සහ අප­රී­ක්ෂා­කාරී රිය ධාව­නය නිසා මේ අන­තුර සිදු වී තිබෙ­නවා. තෙල්දෙ­ණිය ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී සී.ජී රූප­සිංහ මහතා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළ අතර හිසට හා ශරී­රය පුරා ඇති බර­ප­තළ තුවාල හේතු­වෙන් එම මරණ සිදු වී තිබෙන බව වෛද්‍ය වර්තාවේ දක්වා තිබේ. මැණි­ක්හින්න පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනිල් ආරි­ය­වංශ මහ­තාගේ උප­දෙස් මත රථ­වා­හන අංශ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රේම­සිරි මහතා, පොලිස් සැර­ය­න්ව­රුන් වන වීර­සේ­කර (36036), ඒක­නා­යක(31951), පොලිස් කොස්තා­පල් බණ්ඩාර (67551) යන නිල­ධා­රීහු අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැත්වූහ.

ඡායා­රූප-කුණ්ඩ­සාලේ සමූහ සුනිල් ගු ණ­ව­ර්ධන

අනතුර සිදු වූ ස්ථානය

 


 

‘අම්මලා නංගිලා බලා­ගන්න  මහණ දිවි­යෙන්   ඉවත් වෙලා’

රසිකගේ පවුලේ අය

මැණි­ක්හින්න රිය අන­තු­රෙන් මිය­ගිය තරු­ණ­යින් සිව් දෙනා අතර අම්පාර ගොනා­ගොල්ල, බණ්ඩා­ර­දූව ප්‍රදේ­ශයේ තරු­ණ­යෙක් ද වෙයි. ඒ බණ්ඩා­ර­දූව 36/3 දරණ ස්ථානයේ පදිංචි ඩබ්ලිව්. රසික මධු­සංඛ නැමැති 19 හැවි­රිදි තරු­ණ­යෙකි. ඔහු මිට මාස 03කට පෙර බර වාහන රියැ­දුරු පුහුණු පාඨ­මා­ලා­වක් සඳහා දිගන ප්‍රදේ­ශයේ පිහිටි ආය­ත­න­ය­කට ගොස් සිටි­යෙකි.

පියා ජීව­තුන් අතර නැති සිව් දෙනෙ­කු­ගෙන් යුතු පවු­ලක බාලයා වන ඔහුට වැඩි­ම­හල් සොහො­යු­රියෝ තිදෙ­නෙකි. කුඩා කල සිට පිනට දහ­මට නැඹු­රුව සිටි ඔහු ඒ නිසාම අධ්‍යා­පන කට­යුතු සඳහා අම්පාර -17, උද­ය­පුර පුරාණ රජ­මහා විහා­රස්ථ පිරි­වෙ­ණට බාර දී ඇත. එහි අධ්‍යා­පන කට­යු­තු­වල නියැ­ළෙ­මින් සිටිය දී වයස අවු­රුදු 08 දී උද­ය­පුර පුරාණ විහා­රා­ධි­පති කර­විට ඥානා­නන්ද නා හිමි යටතේ බන්ඩා­ර­දූව සුමං­ගල හිමි නමින් පැවිදි දිවි­යට ඇතු­ළත් වි ඇත. ඉන් පසු වස­රක ඇවෑ­මෙන් ඔහු සිය මව සහ සහෝ­ද­රි­යන් රැක බලා ගැනීමේ අර­මු­ණින් නැවත උපැ­විදි වී ගිහි ජීවි­ත­යට පත් විය. කාල­යක් කළු­ග­ල්ඔය ව්‍යාපා­රයේ සේවය කර ඇති ඔහු සේවය කර­මින් මව ඇතුළු සහෝ­ද­රි­යන් රක්ෂා කළ ඔහු බැකෝ යන්ත්‍ර සහා­ය­ක­යෙකු ලෙස සේවය කිරීම සඳහා පුහු­ණුව ලැබී­මට දිග­නට ගොස් ඇත්තේ ඉන් අන­තු­රු­වය.

අම්පාර සමූහ රවීන්ද්‍ර මැද‍ෙ­ග­දර

 

 


‘පෝයට පන්සල්  එක්කන් යන්න එනවා  කියලා පුතා ගියේ’

මහේෂ්ගේ මව

පෝයට මාව පන්සල් එක්කන් යන්න එනවා කියලා පුතා වැඩට ගියේ. පෝයට කලින් දවසේ හවස කතා කරලා කිව්වා අම්මා මට අද එන්න වෙන්නේ නෑ. හෙට උදේම පන්සල් එක්ක යන්න එන්නම් කියලා.ඒක තමයි මගේ පුතා අන්ති­මට මට කතා කරලා කිව්ව වචන ටික..... මහේෂ් මධු­සංඛ වීර­සේ­ක­රගේ මව වන රත්නා කුමාරි එසේ පැව­සුවේ සිය පුතුගේ වියෝව දරා ගැනී­මට නොහැකි වේද­නා­වෙනි.

දරු­වන් තිදෙ­නෙ­කු­ගෙන් යුත් පවුලේ වැඩි­මලා වූ මහේෂ් අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටී­මෙන් පසු අමිල සමූහ ව්‍යාපා­ර­යට සම්බන්ධ වී ඇත්තේ මෙයට සිව් වස­ර­කට පෙරය. බැකෝ යන්ත්‍ර ක්‍රියා කිරීම සම්බ­න්ධව පුහු­ණුව ලැබ එම ආය­ත­නයේ රිය­දු­රෙකු වශ­යෙන් ඔහු සේවය කර ඇත. පන්විල පොලිස් වස­මට අයත් නාරං­ප­නාව ගම්මා­න­යම හඬවා මහේෂ් දෙනෙත් පියා­ගත්තේ කිසි­ව­කුත් අපේක්ෂා නොකළ පරි­දිය.

පුතා දින තුන­කට විතර වතා­වක් ගෙදර එනවා. පසු­ගිය 06 වැනිදා තමයි පුතා ගෙදර ඉඳලා වැඩට ගියේ. පෝය 08 වැනිදා නිසා එයා හත් වැනිදා හවස මාව පන්සල් එක්ක යන්න එන්නම් කියලා තමයි ගියේ. හත් වැනිදා හවස කෝල් එකක් දීලා වැඩ වග­යක් තියෙන නිසා එන්න බැරි­වෙයි කිව්වා. වැඩ කරලා ආවම මම හැම­දාම උණු වතුර රත් කරලා දෙනවා නාගන්න කියලා.

ජනක් ප්‍රියන්ත කුමාර මහේෂ්ගේ පියාය. ඔහු පුතුගේ වියෝ­වෙන් මහත් කම්ප­න­යට පත්ව සිටි­යේය.

“මල්පානේ ෂෙඩ් එකේ මගේ යාළු­වෙක් උදේ පාන්දර 4.00ට විතර කතා කරලා කිව්වා ඇක්සි­ඩන්ට් එකක් වෙලා එතැන පුතත් ඉන්නවා වගේ කියලා. මම ත්‍රීවිල් එකක් අරන් ඒ වේලා­වෙම ගියා. මුලින්ම ගියේ එයා වැඩ කරපු තැනට.

අන­තුර වෙච්ච තැනට ගියාම මැණි­ක්හින්න රෝහ­ලට තුවා­ල­කා­ර­යන් අරන් ගියා කිව්වා. රෝහ­ලට ගියාම පොලී­සිය කිව්වා වාහනේ හිටිය හතර දෙනාම මැරිලා කියලා. මෝච­රි­යට ගියා මළ සිරුරු හඳුනා ගන්න. රෙද්ද­කින් සිරුරු වහලා තිබ්බේ. මම දැක්කා පුතා දාගෙන හිටිය ලෙදර් පටි සෙරෙප්පු දෙක.ඒක මමයි පුතාට අරන් දුන්නේ...මම අායේ බලන්න ගියේ නැහැ. ඒ මගේ පුතා තමයි මහ­ත්තයෝ....

පුතා­ටත් බැකෝ මැෂින් වැඩ කරන්න පුළු­වන්. පුතා පාර­වල් එහෙ­මත් කප­නවා. සාමාන්‍ය පෙළ විභා­ගය ලිව්වට පස්සේ මම තමයි අමිල එක්කන් ගිහින් පුහු­ණු­වට දැම්මේ. ඒ මහ­ත්තුරු පුතාට හොඳට සැල­කුවා. මැෂි­න්වල වැඩ හොඳට ඉගැ­න්වුවා.

අමිල වැඩි වේග­ය­කින් වාහන නොප­ද­න­වන බව ඔහුගේ මිතුරෝ පව­සති. එසේ වුවත් අන­තුර සිදු වන අව­ස්ථාවේ ඔහු කැබ් රථය පැයට කිලෝ මීටර 100කට වැඩි වේග­ය­කින් ධාව­නය කර තිබෙන බවට පොලී­සිය සැක කරයි.

සට­හන - අසේල කුරු­ළු­වංශ


‘වකු­ගඩු රෝග­යෙන්  මිය­ගිය පියාගේ බර කරට ගත් පවුලේ එකම පිරිමි දරුවා’

ප්‍රභාත්ගේ මව

දිගන කැබ් රථ අන­තු­රින් මිය ගිය මිනිපේ, අඹ­ග­හ­පැ­ළැස්ස පදිං­චිව සිටි 17 හැවි­රිදි ප්‍රභාත් තරිදු කුමාර රත්නා­යක මිනිපේ සංඝ­බෝධි මධ්‍ය මහා විද්‍යා­ල­යෙන්11 වසර දක්වා අධ්‍යා­ප­නය හදාරා ඇත්තේ දහ­සක් බාධක කම්ක­ටොලු මැද්දේය. වැඩි­ම­හල් සොහො­යු­රි­යන් දෙදෙ­නකු පම­ණක් සිටි තරිඳු පවුලේ එකම පිරිමි දරුවා විය.

තරි­ඳුගේ පියා ඔහුට වයස අවු­රුදු 7දී දිවි­යෙන් සමු­ගත්තේ වකු­ගඩු රෝගය උත්සන්න වීම නිසාය. දිළිඳු පවු­ලක් වූ තරි­ඳුගේ පවුලේ තිබුණු සියලු සේස­තම ඒ වන විටත් පියාගේ අස­නී­පය වෙනු­වෙන් විය­දම් කර තිබුණි. කෙසේ හෝ තම දිය­ණි­යන් දෙදෙනා සහ පුත්‍ර­යාගේ අනා­ග­තය උදෙසා ඇස් පාද­න්නට තරි­ඳුගේ මව පිය­වර ගත්තාය.

ඇය කෙසේ හෝ කුඹුරු කොට­මින් මේ පවුල රැක බලා ගත්තේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් වුවත් වැඩ­ම­හල් දිය­ණිය මන්ද මාන­සික අප­හ­සු­තා­ව­ය­කින් පෙළෙන අයකු නිසා එම දිය­ණි­යගේ විශේෂ වග­කී­මක්ද ඇයට පැව­රු­ණාය. දෙවැනි දිය­ණිය මීට වසර කිහි­ප­ය­කට පෙර විවාහ වී දිගන ප්‍රදේ­ශයේ පදිං­චි­යට යාමෙන් පසුව පවුලේ බර දර­න්නට සිටි එකම හයිය වූයේ තරිඳු පමණි.

අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට දෙව­රක් පෙනී සිටි­යද එයින් සිතූ තරම් සාර්ථක ප්‍රති­ඵල අත් කර ගන්නට නොහැකි වූ කළ තරිඳු විශේෂ බර වාහන පුහු­ණු­ව­කට ගියේය. එහිදී සිය යහ­ළු­වන් සමඟ තම දුක සැප බෙදා ගත් තරිඳු නිර­තු­රු­වම දිගන පදිංචි තම වැඩි­ම­හල් සොහො­යු­රි­යද හමු­වී­මට ගියාය. පසු­ගි­යදා කැබ්ර­ථ­යෙන් තම මිතු­රන් තිදෙ­නකු සමඟ ඔහු ගියේ අව­සන් ගමන යැයි කිසි විටෙක ඔහු නොසි­ත­න්නට ඇත.

අධික වේග­යෙන් ධාව­නය වී පොඩි පට්ටම් වී ගිය කැබ් රථ­යෙන් තරිඳු ද අව­සන් ගමන් ගියේය.

තරි­ඳුගේ මව විලාප දෙමින් හඬ­මින් සිටින්නේ අවු­රුදු 17ක් තිස්සේ පිය­කුගේ හව් හර­ණක් නොමැ­තිව තමන් දුක් මහන්සි වී හදා ගත් එකම පුතුගේ වියෝ­වෙනි. ඇය දැන් මන්ද මාන­සික මව සමඟ කිකි­ම­කුගේ හව්හ­ර­ණක් නැතිව තනිව තිබේ. පවු­ලක් ගොඩ ගන්නට වෘත්තීය පුහු­ණු­වක් ලබ­න්නට ගොස් තරිඳු අව­සන් ගමන් ගියේ කුඩා නිවෙසේ මයහ සහ වැඩි­ම­හල් සොහො­යු­රිය තනි කර දම­මිනි.

ඔවුන්ගේ ලෝකය ගොඩ නඟ­න්නට සිටි එකම ශක්තිය එසේ අහි­මිව ගියේ තම තරුණ ශක්ති­ම­යට ඉහ­ළින් සිත­න්නට ගිය නිසාය. ‘ආර­ක්ෂාව පළ­මුව‘ යන්න සිතී­මට ඔවුන්ට නොහැකි වූයේ කර්මයේ බල­පෑ­මක්ම නිසා වන්නට ඇත. ඔවුන් දිවි­යෙන් සමු­ග­ත්තද ඒ ආද­ර්ශය හෝ සෙසු අය ලබා ගත යුත්තේ ඒ මව නඟන විලා­පය තවත් මව­කට පියෙ­කුට ලබා නොදිය යුතු හෙයිනි.

මාපා­ක­ඩ­වැව සමුහ - එච් එම් රංජිත් කරු­ණා­විර


‘බර වාහන රිය­දුරු  පුහු­ණුව ලබා  රට රැකි­යා­වට යන්න  බලා­ගෙන හිටියා’

තත්සරගේ පවුලේ අය

ත්‍රිකු­ණා­ම­ලය අභ­ය­පුර මහා විද්‍යා­ල­යෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යා­ප­නය ලබා ඇති අතර දරු­වන් තිදෙ­නෙ­කු­ගෙන් යුත් පවුලේ වැඩි­ම­හල් දරු­වාය. විශ්‍රා­මික හමුදා සෙබ­ළෙකු වූ සත්ස­රගේ පියා ඉන්දික නිශාන්ත මහතා මේ වන විට පෞද්ග­ලික බස් රථ රිය­දු­රෙකු ලෙස සේවය කරන අතර මව සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කරයි. සත්සර කාවි­න්දගේ සොහො­යුරා ගිය­වර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිට ඇති අතර, නැග­ණිය ත්‍රිකු­ණා­ම­ලය අභ­ය­පුර මහා විද්‍යා­ලයේ 4 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබයි.

අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් පසුව සත්සර යොවුන් සේනාං­කයේ මාස 03ක පුහුණු පාඨ­මා­ලා­ව­කට යොමු වී තිබේ. එම පාඨ­මා­ලාව සාර්ථ­කව නිමා කරන සත්සර කාවින්ද, ඉන්පසු යොමු වන්නේ සිය වෘත්තී­මය කැමැත්ත වැඩි දියුණු කර­ගැ­නීමේ අදි­ට­නිනි. බර වාහන පුහුණු පාඨ­මා­ලා­වක් වෙතය.

සත්සර කුඩා කල සිටම සිය පියාගේ අඩි­පාරේ යමින්, වැඩි ඇල්මක් දක්වා ඇත්තේ, රිය­දුරු වෘත්ති­ය­ටය. මාස­යක පමණ කාල­යක් එම පාඨ­මා­ලාව සාර්ථ­කව හදා­රන සත්සර කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ රැකියා නියෝ­ජිත ආය­ත­න­යක් මඟින් පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මාස­යේදී මහ­න­අ­වඑ දාගන ප්‍රදේ­ශයේ පිහිටි පෞද්ග­ලික ඉදි­කි­රීම් සමා­ග­මක රිය­දුරු පුහුණු රැකි­යා­වක් සඳහා යොමු වී සිටි­යදී එම අවා­ස­නා­වන්ත අන­තු­රට මුහුණ දී ඇත.

අන­තු­රෙන් මිය ගිය තරු­ණ­යන් සිව්දෙනා එම අව­ස්ථාවේ බීම­තින් සිටි බව සඳ­හන් වුවද, තම පුතා මත්පැ­නට ලොල් වූ අයෙකු නොවන බව සත්සර කාවි­න්දගේ පියාගේ අද­හ­සයි.

පාසල් අව­දියේ ශිෂ්‍ය භට බළ­කා­යේද උද්‍යෝ­ග­මත් සාමා­ජි­ක­යෙකු වූ සත්ස­රගේ අනා­ගත සිහි­නය වී ඇත්තේ, බර වාහන රියැ­දු­රෙකු ලෙස පුහු­ණුව ලබා පසුව විදේශ රැකි­යා­ව­කට යොමු වීමයි. සත්සර කාවින්ද ඒ සිහි­නය වෙත කෙමෙන් කෙමෙන් ගමන් කර­මින් සිටි­යදී එම අවා­ස­නා­වන්ත අන­තු­රට ලක් වන්නේ විසි වන වියේ එළි­ප­ත්තේ­දීය.

ත්‍රීකු­ණා­ම­ලය - මංග­ල­නාත් ලිය­න­ආ­රච්චි

 

 

 

 

Comments