වේදි­කාව හැර ගිය ගුරු­ත­රුව සොඳුරු මනෝ | සිළුමිණ

වේදි­කාව හැර ගිය ගුරු­ත­රුව සොඳුරු මනෝ

සොඳුරු මිනි­සුන් බොහෝ කල් ඇතිව නික්ම යන්නේ ඇයි දැයි අපි සැම කල්හි ම මවිත වන්නෙමු.නෙක කලා ක්ෂේත්‍ර­යන්හි මනා සුරු විරු­කම් පෑ ජය­ලත් මනෝ­ර­ත්න­යන් ද එප­රිදි ය. දන මන කලා­වෙන්, දැනු­මෙන්, ප්‍රති­භා­වෙන් සැරසූ හේ නික්ම ගිය කල කලා ලොව ඔහුට ආදේ­ශ­ක­යක් බිහි වීම නම් කල­කට නොවන බව සක්සු­දක් සේ පැහැ­දිලි ය. ජ්‍යෙෂ්ඨ­ත්වය හා ශ්‍රේෂ්ඨ­ත්වය එකට පිහිටි අත­ළො­ස්සක් කලා­ක­රු­වන් අතර හේ වැජ­ඹෙන්නේ ඒ නිසා ය.

පසු­ගිය දා අප අත­රින් වියෝ වූ ආචාර්ය ජය­ලත් මනෝ­ර­ත්න‍යන් ගේ දැක්ම සහ අර­මුණු අනා­ගත පර­පුර වෙත රැගෙන යෑමේ අද­හ­සින් ඔහු විසින් නිෂ්පා­ද­නය කරන ලද නාට්‍ය අතු­රින් තෝරා­ගත් කොටස් සහි­තව සැකැසූ නව නාට්‍ය නිර්මා­ණය “මනෝ සොඳුරු රඟ සොබා” මේ මස 21 දින ප.ව. 6.30ට බිෂොප් විද්‍යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී රංග­ගත කෙරේ. මෙහි පිට­පත් රච­නය හා අධ්‍ය­ක්ෂ­ණය ප්‍රවීණ සාහි­ත්‍ය­වේදී බණ්ඩාර ඇහැ­ළි­ය­ගො­ඩ­ගෙන් වන අතර සංගී­තය රංජිත් බාල­සූ­රිය ගෙනි. මනෝ­ර­ත්න­යන් සමඟ එක්ව වේදි­කාවේ නාට්‍ය රැසක් රඟ දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පි­නියෝ මෙහිදී රංග­න­යෙන් දායක වෙති. මනෝ­ර­ත්න­යන් පිළි­බඳ සැක­සෙන මේ ලිපිය ඒ නිමි­ත්තෙන් සැක­සෙ­න්නකි.

මේ නව නාට්‍ය නිර්මා­ණය පිළි­බඳ අද­හස් දක්ව­මින් එහි අධ්‍යක්ෂ ගී පද රචක, සාහි­ත්‍ය­වේදී බණ්ඩාර ඇහැ­ලි­ය­ගොඩ පවසා සිටියේ, ජය­ලත් මනෝ­ර­ත්න­යන් තම නාට්‍ය ඔස්සේ ජන­තා­වට ගෙන හැර පෑ සමාජ වටි­නා­කම් නැවත ප්‍රේක්ෂ­කයා වෙත සමීප කිරීමේ අර­මු­ණෙන් මේ නාට්‍යය නිර්මා­ණය වූ බවයි.

“ ඒ නිසා මනෝ­ර­ත්නගේ, ප්‍රේක්ෂ­කයා වැළ­ඳ­ගත් නාට්‍ය නිර්මාණ බොහො­ම­යක කොටස් ගෙන ඒ ඔස්සේ තිර­පි­ට­ප­තක් රචනා කොට පැය දෙක හමා­රක් ති‍ස්සේ දිවෙන අති­ශය චම­ත්කා­ර­ජ­නක නාට්‍ය­යක් බවට පත් කරලා තිබෙ­නවා. මේ නාට්‍ය­යට රංග­න­යෙන් දායක වන්නේ’ මනෝ­ර­ත්න­යන් සමඟ නාට්‍ය රැසක් එක්ව රඟ පෑ සහෝ­දර රංග ශිල්පී ශිල්පි­නි­යන් වන රොඩ්නි වර්ණ­කුල, ප්‍රස­න්න­ජිත් අබේ­සු­රිය, ෆර්නි රෝෂිනී, රත්නා ලාලනී, වැනි ප්‍රවී­ණ­යන් පිරි­සක්. ඇත්ත­ටම මෙය ප්‍රේක්ෂ­ක­යාට වෙනස්ම අත්දැ­කී­මක් වේවි.” බණ්ඩාර ඇහැ­ළි­ය­ගොඩ නව නාට්‍යයේ අර­මුණු පැහැ­දිලි කළේ එලෙ­සයි.

වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම ජය­ලත් මනෝ­රත්න නම් වූ ඒ ප්‍රති­භා­පූර්ණ කලා­ක­රුවා වසර ගණ­නා­වක් කලා ලොවේ මහ ගිරි­දඹ තර­ණය කර­න්නට අප­මණ දුක් අනු­බව කළ කලා­ක­රු­වෙක් ලෙස පැව­සු­ව­හොත් එය නිවැ­ර­දිය.

මනෝ­ර­ත්න­යන් ගේ ගෙවුණු ළමා කාලය පිළි­බඳ වරෙක ඔහු පුව­ත්ප­ත­කට මෙලෙස පවසා තිබුණි. ‍ “අපේ තාත්තා හේවා­හැට රට්ලන්ඩ් වතු සමා­ගමේ ලොරි­යක රිය­දුරු ලෙසයි රැකි­යාව කළේ. අපේ පවුලේ මාත් ඇතු­ළුව දරු­වන් හය­දෙ­නෙක්. අපිට කුඩා කුඹුරු ඉඩම් කට්ටි­යක් තිබුණා. අම්මා ඒවායේ ගොවි­තැන් බත් කරලා තමයි අපිට කන්නට දුන්නේ. මගේ සම්පූර්ණ නම කෙසෙ­ල්ගස්පේ මන­තුංග ජය­ලත් මනෝ­රත්න. මම පවුලේ බාලයා මගේ ළමා කාලය සියලු සැප සම්ප­තින් පිරුණු එකක් වුණේ නැහැ. අපේ බඩ කට පුර­වන්න අපේ අම්මා දහ­දුක් වින්දා. අග­හි­ඟ­කම් කොතෙක් තිබු­ණත් අම්මා අපට නොදැ­නෙන්න අපේ කුස ගිනි නිව්වා” ජය­ලත් මනෝ­ර­ත්න­යන් එලෙස තම කුඩා අව­දියේ මතක ගෙන හැර පාන්නේ මීට වසර කිහි­ප­ය­කට පෙරා­තු­වයි.

දෙනිපේ ප්‍රාථ­මික මිශ්‍ර පාඨ­ශා­ලා­වට ඇතුළු වූ මනෝ­රත්න කුඩා සන්දියේ සිට ම ඉගෙ­නු­මට උපන් හප­න්කම් දැක්වීය.

“අපේ ගම් පළාත අනුව ගමේ පාසලේ පහේ පන්ති­යෙන් පස්සේ ගමේ ළම­යින් වැඩි දෙනෙක් කළේ ඉගෙ­නීම හැර දමා අම්මා තාත්තා එක්ක හේන් කුඹුරු වැඩ­වල යෙදීම. ඒත් අපිට එහෙම වුණේ නැහැ. අපේ තාත්තා සුදු මහ­ත්තුරු එක්ක වැඩ කරපු නිසා, නිතර ගමෙන් පිට ගිය නිසා අපිට හොඳින් උග­න්වන්න ඕන කියන මතයේ හිටියා. අපේ තාත්තා සංගී­ත­යට හුඟක් ලැදියි. ෆුට් බැලෝ සර්පි­නා­වක් ඩොල්කි­යක් ගෙදර තිබුණා. ඉතින් තාත්තා ගමට ආ දාට කට්ටි­යම එකතු වෙලා සංගීත සාජ්ජ­යක් ගෙදර පට­න්ග­න්නවා. ගමේ සෙන­ඟත් මේක අහන්න දකින්න අපේ ගෙද­රට එනවා.” මනෝ­රත්න තම කලා හැකි­යා­වන් ඉස්මතු වන්නට පෙරමං යෙදුණු අතී­තය විස්තර කර තිබුණේ එලෙ­සයි.

පෙර­ම­ඬුල්ල මහා විද්‍යා­ල­යට ද්විතීක අධ්‍යා­ප­නය සඳහා ඇතු­ළත් වන මනෝ­රත්න ඉගෙ­නු­මට මෙන්ම ක්‍රීඩා­වට ද එකසේ දස්කම් පායි. 1966 දී පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වන මනෝ­රත්න එහිදී මහා­චාර්ය එදි­රි­වීර සර­ච්චන්ද්‍ර, මහා­චාර්ය ඩී.ඊ. හෙට්ටි­ආ­රච්චි, මහා­චාර්ය ලෙස්ලි ගුණ­ව­ර්ධන, මහා­චාර්ය ආනන්ද කුල­සු­රිය, වැනි මහැ­දු­රන් යටතේ හෙතෙම විශ්ව­වි­ද්‍ය­ලීය ඉගෙ­නුම ලැබීය. මෙහිදී සුවි­ශේෂී කරු­ණක් වන්නේ මහා­චාර්ය එදි­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ හමු වීමයි. ඒ හමු­වීමේ අර්ථ­වත් බව මනෝ පවසා තිබුණේ මෙලෙ­සයි.

“සර­ච්චන්ද්‍ර සර් එතු­මන්ගේ නව­තම නාට්‍යය වුණු ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍ය­යට නළු නිළි­යන් බඳවා ගන්නා බවට දැන්වී­මක් විශ්ව­වි­ද්‍යා­ලයේ දැන්වීම් පුව­රුවේ තිබුණා. මමත් ඉල්ලුම් කළා. මට සම්මුඛ පරී­ක්ෂ­ණ­යේදී ගීත දෙකක් ගයන්න වුණා. මම ගැයුවේ නන්දා මාලනී ගේ ‘කර­දර පොදි බැඳ’ .. සහ අම­ර­දේව මහ­ත්ත­යාගේ ‘වස­න්තයේ මල්’ ගීත දෙක. මාව නාට්‍ය­යට තෝරා ගත්තා. ඒ උද්දාල බමු­ණාගේ චරි­ත­යට. ඒ නාට්‍යයේ ස්වර්ණ­ති­ලකා චරි­ත­යට පණ පෙවූ තමරා ජයන්ති සිල්වා, පසු කලෙක මනෝ­ර­ත්නගේ ආද­ර­ණීය භාර්යාව බවට පත්ව­න්නීය. ඔවු­නට දිය­ණි­යක හා පුතෙකු සිටියි. වරෙක ඒ ගැන සිළු­මිණ රස­ඳුන අති­රේ­ක­යට ඔහු මෙසේ පවසා තිබුණි.

‘තම­රයි මායි මුණ ගැහෙන්නේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍ය නිසයි. ඇය මහ­නු­වර. අපි 1979 දී විවාහ වුණා. ඇය ගුරු­ව­රි­යක්. විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ඉවත් වීමත් එක්ක මම හඟු­ර­න්කෙත තිස්ස­පෑල පිරි­වෙණේ භූගෝල විද්‍යා ගුරු­තුමා ලෙස පත් වී ගියා. ඉන්ප­සුව පුද්ග­ල­යින් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තු­වෙත් , පුන­රු­ත්ථා­පන දෙපා­ර්ත­මේ­න්තු­වෙත්, ශ්‍රී ලංකා වරයා කොමි­ෂන් සභා­වෙත් ලිපි­කරු තන­තුරු කලින් කලට කර­න්නට ලැබුණා. ඒ අතර ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රියේ ප්‍රජා සංව­ර්ධන නිල­ධාරී තන­තු­රත්, සැල­සිනේ ආය­ත­නයේ පාලන නිල­ධාරී තන­තු­රත්, ටවර් හෝල් රඟ­හල පද­නමේ වැඩ­ස­ට­හන් අධ්‍ය­ක්ෂක ධූර­යත් මට රැකියා ලෙස කර­න්නට ලැබුණා. ඒත් මේ එක තැන­ක­වත් දිගු කලක් එක දිගට සේවය කරන්න ලැබුණේ නැහැ. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ හා එහි ශ්‍රී පාලි මණ්ඩ­ලයේ නාට්‍ය හා රංග කලාව පිළි­බඳ බාහිර කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙසත් මම සතු­ටින් සේවය කළා.” මනෝ ඔහුගේ වෘත්තීය දිවිය එක තැන ගාල් නොවී ගලා ගිය අපු­රුව ගැන කතා බහ කර තිබුණේ එලෙ­සයි.

මේ සියල්ල අතර මනෝ­ර­ත්න­යන් කලා­වට ඇලී ගැලී සිටියා විනා කිසිදු විටක එයින් මිදී ගියේ නැත. ඒ වෙනු­වට ඔහු කලා­ලොවේ නව මාන­යක් සොයා යමින් ඔහුගේ ප්‍රති­භා­පූ­ර්ණ­ත්වය විවිධ ඉසව් ඔස්සේ ගෙන හැර පාන්නට සමත් විය.

1968 දී මනමේ, සිංහ­බාහු නාට්‍ය­ව­ලට රංග­න­යෙන් දායක වූ මනෝ­රත්න තම මිතුරා වූ නිශ්ශංක දිද්දෙ­ණිය සමඟ කොළ­ඹට පැමි­ණෙන අතර හෙන්රි ජය­සේ­න­යන්ගේ ‘මකරා’ නාට්‍යයේ ‘පුසා’ ගේ චරි­තය මිය­යන තුරුම රඟ දැක්වුවා. එලෙස නාට්‍ය කලා­වෙන් ඉදි­රි­යට යන මනෝ­රත්න 1974 දී එස්.ඒ. ප්‍රේම­ර­ත්නගේ ‘රතු හැට්ට­කාරී’ නාට්‍යයේ රංග­නය වෙනු­වෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළු­වාට හිමි සම්මා­නය ලැබුවා. 1985 දී පුත්‍ර සමා­ගම, 1988 තල මල පිපිළා, 1990 දී සොක්‍ර­ටීස්, 1991 ද්විත්ව යන නාට්‍ය වෙනු­වෙන් හොඳම නළු­වාට හිමි රාජ්‍ය සම්මාන මනෝ­රත්න හිමි­කර ගනු ලැබුව‍ා. ඊට අම­ත­රව ඔහු අන්ත­ර්ජා­ති­කව ද සම්මා­න­නීය වූවා. රංගන ශිල්පි­යකු, නාට්‍ය රච­ක­යකු, නාට්‍ය නිෂ්පා­ද­ක­ව­ර­යකු හා අධ්‍ය­ක්ෂ­ව­ර­යකු, ලේඛ­ක­යකු ආදී විවිධ පරාස ඔස්සේ ඔහු ලද සම්මාන ද විවි­ධ­ත්ව­යෙන් යුතුය. ඒ අතර 2004 හා 2007 වස­රේදී සුදු කළු­වර හා භේරුණ්ඩ පක්ෂියා චිත්‍ර­පට වෙනු­වෙන් ඔහු හොඳම සහාය නළුවා ලෙස සම්මා­න­නීය වීම ද 2014 වසරේ නව­දි­ල්ලියේ පැවැති බයි­ස්කෝප් ග්ලෝබල් සිනමා උලෙළේ දී හොඳම නළු­වාට හිමි සම්මා­න­යෙන් පිදුම් ලැබීම ද ඔහුගේ කලා දිවියේ වැද­ගත් සිදු­වීම අතර වේ.

ඔහු තමා පැමිණි ගමන් මගේ කලා ක්ෂේත්‍ර­යේදී ලද සාර්ථ­ක­ත්වය පිළි­බඳ පවසා තිබුණේ මෙලෙ­සිනි. “මට අද කලා ලොවේ සාර්ථක ගම­නක් එන්නට හැකි වී තිබෙ­නවා. මට මත­කයි අපේ පාසලේ අව­සන් වස­රේදී මම ‘අස්ප ගුඩුං’ වේදිකා නාට්‍ය­යට දායක වුණා. ඒ නාට්‍යය මධ්‍යම පළා­තෙන් ප්‍රථම ස්ථානය බවට පත්වුණා. ඒ නාට්‍ය පෙන්වන්න ආ ගමන තමයි මගේ පළමු කොළඹ සංචා­රය. ඒ නාට්‍යයේ ප්‍රධාන චරි­තය මම රඟ­පෑවා. කුස­ලතා සහ­ති­ක­යක් ලැබුණා. එයත් එදා අපිට අම­ර­ණීය දෙයක් වුණා.” එදා ජය­ලත් තමාගේ කලා ක්ෂේත්‍රයේ අත්පොත් තැබීම ගැන සතුටු වන අන්දම එලෙස පවසා ඇත. ජය­ලත් මනෝ­ර­ත්න­යන්ගේ පළමු වේදිකා නාට්‍ය නිර්මා­ණය ‘මහ­ගි­රි­දඹ’ ය. 1980 වස­රේදී නිෂ්පා­ද­නය කළ ඒ නාට්‍ය ප්‍රේක්ෂ­ක­යන් අතර ජන­ප්‍රි­ය­ත්ව­යට පත් විය. ඉන් පසුව ‘පුත්‍ර සමා­ගම’ , ‘තල­මල පිපිලා’, ‘අන්ද­රේලා’, ‘ගුරු­ත­රුව’, ‘ලෝකය තනි­යා­යක්’, ‘හඬ නිහඬ’ වැනි වේදිකා නාට්‍ය කර­ලි­යට ගෙන ආවේය. ඒවා අත­රින් සම්මා­න­නීය වූ නාට්‍ය බොහො­ම­යකි.

71 වැනි වියට පා තබන තුරු වේදි­කාව, ටෙලි­නාට්‍ය හා සින­මාව යන ත්‍රිවිධ කලා මාධ්‍ය­යන් හි දස්කම් පෑ මේ ප්‍රවීණ රංගන ශිල්පියා පසු­ගිය දා අප අත­රින් වියෝ වුයේ ඔහුට ඇලුම් කළ රසික පිරි­ස­කගේ නෙත­ඟට කඳු­ලක් එක් කර­මිනි. කලා කෙතට පිරි­මැ­සිය නොහැකි හිඩැ­සක් මව­මිනි.

Comments