වෙස් මුහුණකින් තරුණයන් රැවටූ මුහුණු පොතේ තරුණිය | Page 2 | සිළුමිණ

වෙස් මුහුණකින් තරුණයන් රැවටූ මුහුණු පොතේ තරුණිය

ත්මනේ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ට­ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මිලි­යන ගණ­නකි. නවීන තාක්ෂ­ණයේ දියු­ණු­වත් සමඟ පෙරට ආ එවැනි සමාජ මාධ්‍ය­යන්හි සැරි­ස­ර­මින් එදි­නෙදා ජීවි­ත­යට උප­රිම පල-ප්‍රයෝ­ජන ගන්නා පිරි­සද අති­ම­හත්ය.

එහෙත් මෑත කාලයේ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සිදු වන අක­ට­යු­තු­කම් ගැනද බොහෝ පුවත් අස­න්නට ලැබේ. සමාජ මාධ්‍ය ඔස්සෙ කොළඹ සහ අවට පාසල්හි සිසුන් කිහිප දෙනෙක් ඇතුළු තරු­ණ­යන් පිරි­ස­කට වූ අක­ර­තැ­බ්බ­යක් ගැන කතා­වකි මේ.

පසු­ගිය දිනෙක පොලිස් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට (සීඅ­යිඩී) පැමි­ණියේ කොළඹ ප්‍රධාන පාස­ලක ඉගෙ­නුම ලබන 18 හැවි­රිදි සිසු­වෙකු සහ ඔහුගේ මවයි.

ඔවුන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන ඒක­ක­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කළේ, මීට කලෙ­කට පෙරදී එම සිසුවා ෆේස්බුක් ඔස්සෙ කාන්තා­වක හඳු­නා­ගත් බවයි. පසුව ඇය කෙටි පණි­විඩ මඟින් දිගින් දිගට සම්බන්ධ වෙමින් සිසු­වාගේ නිරු­වත් ඡායා­රූප සහ එවැනි වීඩියෝ පටද සමාජ මාධ්‍ය ඔස්සේම ලබා­ගත් බවයි. එහෙත් එම කාන්තාව එවැනි වීඩියෝ සහ ඡායා­රූප තව තවත් ඉල්ලා සිටි බවත් එසේ ලබා නොදු­න­හොත් පෙරදී ලබා­දුන් ඡායා­රූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රසිද්ධ කර­නවා යැයි පව­ස­මින් එකි කාන්තාව තර්ජ­නය කළ බව සිසුවා සහ මව කළ පැමි­ණි­ල්ලෙන් සඳ­හන් විණි.

ලැබුණු එම පැමි­ණිල්ල ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව බාර නියෝජ්‍ය පොලි­ස්පති නුවන් වෙද­සිංහ මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණ­යෙන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ඩබ්ලිව්. තිල­ක­රත්න මහ­තාගේ සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ ඒක­කයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී දර්ශිකා කුමාරි මහ­ත්මියගේ උපදෙස් මත එම ඒකකය සූක්ෂ්ම විම­ර්ශ­න­ය­කට මුල පිරු­වාය.

පරි­ග­ණක අප­රාධ පිළි­බඳ හසළ දැනු­මක් ඇති එම ඒක­කයේ නිල­ධා­රීන් පරි­ග­ණක තාක්ෂ­ණය සහ සමාජ මාධ්‍ය ජාලාහි තාක්ෂ­ණය උප­යෝගී කොට සිදු කළ විම­ර්ශ­නයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස පසු­ගිය 07 වැනිදා සිසු­වාගේ නිරු­වත් ඡායා­රූප සහ වීඩියෝ පට ලබා­ගත් කාන්තාව ගැන සියලු තතු හෙළි කර­ගැ­නී­මට සමත් විය.

එසේ කාන්තා­වක ලෙස පෙනී සිට ඇත්තේ පිරිමි පුද්ග­ල­යෙකි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රින්ගේ අත්අ­ඩං­ගු­වට පත් එකී පුද්ග­ලයා 21 හැවි­රිදි වියේ පසු වන මොර­ටුව ප්‍රදේ­ශයේ වෙසෙන අයෙකි. කොළඹ පෞද්ග­ලික ආය­ත­න­යක පරි­ග­ණක ආශ්‍රිත රැකි­යා­වක නිරත එම සැක­කරු වසර කීප­යක සිටම එලෙස හැසි­රෙ­මින් කොළඹ සහ අවට පාසල් සිසුන් ඇතුළු තරු­ණ­යන් රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සෙ හඳු­නා­ගෙන කාන්තා­වක ලෙස පෙනී සිටි­මින් මිතුරු ඇසුරු පව­ත්වා­ගෙන ගොස් ඇත.

සැක­ක­රුගේ නවීන ජංගම දුර­ක­ත­නය පරී­ක්ෂා­වේදී ඔහු කාන්තා­වක ලෙස පෙනී සිට ව්‍යාජ ලෙස මිතුරු ඇසුර පැවැත්වූ තරු­ණ­යන්ගේ නිරු­වත් ඡායා­රූප එම දුර­ක­ත­නයේ තිබෙනු නිල­ධා­රින්ට දැක­ගැ­නී­මට හැකි විය.

එකී සැක­කරු කර ඇත්තෙ සුළු­පටු වංචා­වක් නොවන් බවත් එය කෙනෙ­කුගේ ජීවි­ත­යට මහත් ව්‍යස­න­යක් ගෙන දෙන අප­රා­ධ­යක් බව විම­ර්ශන නිල­ධා­රින්ගේ මත­යයි. එකී අප­රා­ධය පෙළ­ගැ­සෙන්නෙ මෙසේය.

සැක­කරු ව්‍යාජ ලෙස සක­සන ලද ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ට­ග්‍රෑම් ආදි සමාජ මාධ්‍ය ගිණුම්හි තමාගේ ඡායා­රූ­පය සඳහා රූමත් කාන්තා­ව­කගේ ඡායා­රූප ඇතු­ළත් කොට කාන්තා­වක ලෙස පෙනී සිට ඇත. එසේ කාන්තා­වක ලෙස පෙනී සිටින ඔහු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ මිතුරු ඇසුරු පව­ත්වන තරු­ණ­යන් සමඟ බොහෝ විට රාත්‍රී කාලයේ කෙටි පණි­විඩ ඔස්සේ අද­හස් හුව­මාරු කර­ගෙන තිබේ. එහිදී සැක­කරු ව්‍යාජ ලෙස පෙනී සිටින කාන්තා­වගේ ආකා­ර­යට සැකැසු නිරු­වත් ඡායා­රූප තරු­ණ­යන්ට යව­මින් එකී තරු­ණ­ය­න්ගේද නිරු­වත් ඡායා­රූප ගෙන්වා­ගෙන ඇත. ඒ එම තරු­ණ­යන්ගේ මුහු­ණද නිරා­ව­ර­ණය වන පරිදි වූ නිරු­වත් ඡායා­රූ­පයි.

පසුව සැක­කරු එම තරු­ණ­ය­න්ගෙන් තවත් එවැනි නිරු­වත් ඡායා­රූප ඉල්ලා තිබිණි. එහෙත් තරු­ණ­යන් එලෙස දිගින් දිගට නිරු­වත් ඡායා­රූප ලබා­දී­මට අදි-මදි කරද්දී සැක­කරු පවසා ඇත්තෙ,

"එහෙ­නම් මට එවලා තියෙන නියුඩ් ඡායා­රූප ෆේස්බුක් එකේ පබ්ලික් කර­නවා..." වැනි තර්ජ­නා­ත්මක වදන්ය.

එකී තර්ජ­න­යන්ට සිසුන් ඇතුළු ඔහුගේ වංචා­වට හසුවූ සියලු තරු­ණ­යන් භීති­යට පත් වී ඇත්තෙ තමන් අතින් වූ වරදේ බර­ප­ත­ළ­කම වැට­හී­මත් සම­ඟිනි. ඒ, මුලින්ම සැක­ක­රුට නිරු­වත් ඡායා­රූප යවා තිබුණේ තම සැබෑ රුව දිස් වන ආකා­ර­යෙන් මුහු­ණද නිරා­ව­ර­ණය කිරී­මෙන් බව ඔවු­නට සිහි­පත් වූ නිසායි.

එලෙස තරු­ණ­යන් බිය ගන්ව­මින් එකී පුද්ග­ලයා වසර තුනක පමණ කලෙක සිට තරු­ණ­යන් පනස් දෙනෙකු පමණ එම වංචා­වට හසු කර­ගෙන ඇති බව ඔහුගේ නවීන ජංගම දුර­ක­ත­නය පිරි­ක්සී­මේදී හෙළි විණි. ඒ එම දුර­ක­ත­නයේ තරු­ණ­යන්ගේ නිරු­වත් ඡායා­රූප පන­හ­කට අධික ප්‍රමා­ණ­යක් වූ හෙයිනි. සැක­ක­රුගේ උගු­ලට හසුවූ පාසල් සිසු­වකු සිය මව සමඟ පැමිණ අදාළ පැමි­ණිල්ල නොකළේ නම් ඒ පුද්ග­ලයා දිගින් දිග­ටම එලෙස හැසි­රෙ­මින් තරු­ණ­යන් පීඩා­වට පත් කරන බව විම­ර්ශන නිල­ධා­රීහු කීහ. පැමි­ණිල්ල කළ පාසල් සිසු­වාගේ අධ්‍යා­ප­න­යට සැක­ක­රුගෙන් මෙලෙස එල්ල වූ පීඩ­නය දැඩි බාධාවක් වීී ඇත. එම නිසා සිසුවා ඉකුත් දිනවල මහත් සේ නොසන්සුන්ව කල්ගෙවා ඇත.

කෙසේ හෝ තරු­ණ­යන්ගේ වාස­නා­වට කිසි­ව­කුගේ හෝ නිරු­වත් ඡායා­රූ­ප­යක් එකී සැක­කරු සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර නොතිබූ බව විම­ර්ශන නිල­ධා­රීහු හෙළි කර­ගත්හ. සැක­කරු තරු­ණ­යන්ගේ අඟ­ප­සඟ දැකීම වැනි අස­හ­න­කාරි මාන­සි­ක­ත්ව­ය­කින් පෙළෙන තැනැ­ත්තෙකු ලෙස පෙනී යන බවත් එලෙස තරු­ණ­යන්ගේ නිරු­වත් ඡායා­රූප ගෙන්වා­ගෙන තරු­ණ­යන් බියට පත් කොට කිසිදු තරු­ණ­ය­කු­ගෙන් මුදල් ලබා­ගැ­නී­මට හෝ වෙනත් වර­ප්‍ර­සා­ද­යක් ලබා­ගැ­නී­මට උත්සාහ කර නැති බවද අනා­ව­ර­ණය වේ.

එසේ තරු­ණ­යන් මුළා කිරී­මට අදාළ සැක­ක­රුට තවත් පුද්ග­ල­ය­කු­ගේද සහාය ලැබී ඇත. මූල්‍ය ආය­ත­න­යක සේවයේ නියුතු එම පුද්ග­ල­යාද මීට වසර කීප­ය­කට පෙර එකී සැක­ක­රුගේ උගු­ලට හසුව තමන්ගේ නිරු­වත් ඡායා­රූප සහ වීඩියෝ කෙටි පණි­විඩ ඔස්සෙ යවා ඇත. අන­තු­රුව එම පුද්ග­ලයා සැක­ක­රුට ඒ සඳහා සහාය දී ඇත්තේ ඔහුද මෙලෙස බියට පත් කර ඇති හෙයිනි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මහ­ජ­න­යාට පව­සන්නෙ නාඳු­නන පුද්ග­ල­යන් සමඟ කෙටි පණි­විඩ ඔස්සෙ 'චැට්' කිරී­ම්ව­ලදී අව­ධා­න­යෙන් කළ යුතු බවත්, කිසිම විටෙක තමන්ගේ ඡායා­රූප හෝ වෙනත් අයගේ ඡායා­රූප එවැනි පුද්ග­ල­යන් සමඟ හුව­මා­රු­කර නොගන්නා ලෙස­ටයි. එසේම ජන­තා­වට එවැනි වංචා කරන පුද්ග­ල­යන් ගැන යම් හෝඩු­වා­වක් ලැබු­ණ­හොත් පොලි­සිය දැනු­වත් කරන ලෙස­ටයි. එසේම මවු­පි­යන්ද දූද­රු­වන් දිවා රෑ තිස්සෙ පරි­ග­ණක, නවීන ජංගම දුර­ක­තන ඔස්සෙ සිදු කරන ක්‍රියා පිළි­බඳ අව­ධා­න­යෙන් සිටින ලෙස­ටද විම­ර්ශන නිල­ධා­රීහු පැව­සූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරන්නෙ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්හි මුර­පද කිසිම විටෙක පිට­ස්තර පුද්ග­ල­යන්ට ලබා නොදෙන ලෙසයි. එවැනි ක්‍රියා­ව­න්ගෙන් අප­රා­ධ­ක­රු­වන් පහ­සු­වෙන්ම වංචා සිදු කරන බවයි. එසේ පුද්ග­ල­යන්ගේ නිරු­වත් ඡායා­රූප සහ අසභ්‍ය වීඩියෝ පට ලබා­ගෙන දේශීය සහ විදේ­ශීය වෙබ් අඩ­වි­ව­ලට විකු­ණන ජාවා­රම්ද පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇති බවයි. තවද එවැනි වංචා­කා­ර­යන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්හි සිදු වන වංචා­කාරි ක්‍රියා­වන්ට ප්‍රති­චාර නොද­ක්වන ලෙසත් එවැනි වංච­නි­ක­යන් නීතිය ඉදි­රි­යට පමු­ණු­වද්දී ඔවුන් සමඟ ගනු­දෙනු කළ නිර්දෝෂි පාර්ශ්ව­ය­න්ටද නීතිය හමු­වට පැමි­ණ­වී­මට සිදු වන හෙයින් යම් අප­හ­සු­තා­වන්ට පත් වීමට සිදු­විය හැකි බවයි.

ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මයේ සභා­පති රජිව් යසිරු මහතා පව­සන්නෙ, එවැනි වංචා­ක­රු­ව­න්ගෙන් ගැලවී සමාජ මාධ්‍ය භාවි­ත­යෙන් උප­රීම වාසි ලබා­ගැ­නී­මට නම් තමන් නාඳු­නන පුද්ග­ල­යන් මිතුරු හවු­ලට එක් කර­ගැ­නී­මට පෙර එම පුද්ග­ල­යාගේ සියලු තොර­තුරු පිරික්සා බලන ලෙසයි. එසේම යම් අයෙකු තමන්ගේ කිසි­යම් ඡායා­රූ­ප­යක් හෝ වීඩියෝ පට­යක් විකෘති කොට නොයෙක් වාසි ලබා­ගැ­නී­මට උත්සාහ කර­නවා නම් එසේ විකෘති කර ඇති ඡායා­රූ­පය හෝ වීඩි­යෝව පිළි­බඳ නවීන තාක්ෂ­ණික ක්‍රම ඔස්සෙ හෙළි­ද­රව් කර­ගැ­නී­මට හැකි­යාව තිබෙන හෙයින් වංචා­කා­ර­යන්ගේ වහසි බස්ව­ලට නොරැ­ව­ටෙන ලෙසයි.

Comments