මුන්නක්කරේ ක්‍රීඩාං­ග­ණය සහ කඩො­ලාන­ ශෝකා­න්තය | සිළුමිණ

මුන්නක්කරේ ක්‍රීඩාං­ග­ණය සහ කඩො­ලාන­ ශෝකා­න්තය

අනවසරෙන් ඉඳිකරන ක්‍රීඩාංගණයේ දසුනක්
අනවසරෙන් ඉඳිකරන ක්‍රීඩාංගණයේ දසුනක්

කාර්මික පර්යේ­ෂණ ආය­ත­නය හා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය කළ අලුත් පර්යේ­ෂණ අනුව අපේ රටේ කොළඹ, මහ­නු­වර, ගම්පහ වැනි නග­ර­වල වායු දූෂ­ණය එන්න එන්නම වැඩි­වෙ­මින් පවතී.

කොළඹ, පේරා­දෙ­ණිය හා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර සර­ස­වි­යන්හි මහා­චා­ර්ය­ව­රුන් පෙන්වා දෙන්නේ වන ආව­ර­ණය අඩු­වීම වායු දූෂ­ණය වැඩි­වී­මට ප්‍රධාන හේතු­වක් බවයි. වාහ­න­ව­ලින් පිට­වන විෂ දුම් උරා ගැනී­මට පාර දෙපැත්තේ හා නග­ර­බද තිබූ වනා­න්තර පද්ධති හා වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­වල කඩො­ලාන ඉවක් බවක් නැතිව කපා හෝටල්, නිවාස ආදිය ඉදි­කි­රී­මත් කඩො­ලාන ඉඩම් අන­ව­ස­ර­යෙන් අල්ලා ගැනී­මත් මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.

පරි­සර විද්‍යා­ඥ­යන් පව­සන පරිදි අපේ ර‍ෙට් වස­ර­කට කැලෑ හා කඩො­ලාන අක්කර ලක්ෂ­යක් පමණ මිනිස් අව­ශ්‍යතා සඳහා හොරෙන් එළි­පෙ­හෙළි කරනු ලැබේ. කාල­ගුණ විප­ර්යාස පොළොව රත්වීම වැනි ක්‍රියා­වලි නිසා ඉදි­රි­යේදී අපේ රටේ නග­ර­බද ප්‍රදේශ කොන්ක්‍රීට් වනා­න්තර බවට පත්වී සැබෑ වනා­න්තර ක්ෂය වී ඇත.

මේ අනුව අපට ප්‍රධාන නග­ර­වල පිරි­සු­දුව හුසම ගන්නට තිබෙන වනා­න්තර කොටස් හා කඩො­ලාන බිම් සුරැ­කීම අත්‍ය­වශ්‍ය වේ.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ පරි­සර වන විද්‍යා පිළි­බඳ මහා­චාර්ය හේමන්ති රණ­සිංහ මහ­ත්මිය පව­සන පරිදි වනා­න්තර මෙන් ම කඩො­ලාන බිම් ද අපේ පරි­ස­රය සුරැ­කී­මට අත්‍ය­වශ්‍ය පරි­සර පද්ධ­ති­යකි.

ආහා­ර­මය හා වාණි­ජ­මය වටි­නා­ක­මක් ඇති බො‍හෝ කුඩා මත්ස්‍යයෝ මෙහි ජීවත් වෙති. ඉස්සන්, කකු­ළු­වන් වැනි මත්ස්‍ය­යන් රැසක තිඹි­රි­ගෙය ලෙස සල­කන්නේ මේ රට වටේට ඇති කඩො­ලා­නයි. කඩො­ලාන නැති වුවොත් ආහා­ර­දාම වල සම­හර පුරුක් කැඩී යයි. ඒ සම­ඟම මෙහි ඇති මුල් හා කරු නිසා ප්‍රමා­ණ­යෙන් විශාල විලෝ­පි­ක­ය­නට කඩො­ලාන පරි­ස­රය තුළට වැදී­මට අප­හ­සුය. ඒ අනුව මේ ශාක පද්ධ­තියේ මත්ස්‍ය පැට­වුන්ට ප්‍රමා­ණ­වත් ආහාර සහි­තව ආර­ක්ෂි­තව ජීව­ත්වී­මට පුළු­වන. මුහුදු රළ­ව­ලින් වෙරළ ඛාද­නය හා සුනාමි වැනි අව­ස්ථා­ව­ලදි ගොඩ­බි­මට රළ ඒම වැළැ­ක්වී­ම­ටත් කඩො­ලාන හේතු­වන බවත් කඩො­ලාන විනා­ශය නිසා මත්ස්‍ය අස්වැන්න අඩු­වී­මට වෙරළ ඛාද­නය වීමට මෙන්ම කඩො­ලා­න­ව­ලින් ලැබෙන ආර්ථික අස්වැන්න ද අපට නොලැ­බෙන බවත් මහා­චාර්ය හේමන්ති රණ­සිංහ පෙන්වා දෙයි. කඩො­ලාන ශාක පද්ධ­තිය කාබන් හොඳින් පිට කර­නවා. ලොව තිබෙන කඩො­ලාන විශේෂ 7න් 5ක් අපේ රටේ තිබෙ­නවා. අපි ඒවා ආරක්ෂා කළ යුතු බවද මහා­චා­ර්ය­ව­රිය පව­ස­න්නීය.

අද අපේ රටේ කඩො­ලාන වැවූ ඉඩම් එන්න එන්නම අන­ව­සර අල්ලා ගැනීම් වන නිසා අපට නැති­වෙ­මින් පවතී. ඒ අනුව අද කොළඹ ඇත්තේ කඩො­ලාන බිම් හෙක්ට­යාර 39කි. අද වන­විට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ඇත්තේ කඩො­ලාන බිම් හෙක්ට­යාර් 300කටත් අඩු ප්‍රමා­ණ­යකි.

මේ තත්ත්වය තිබි­ය­දීත් පසු­ගි­යදා මීග­මුව මුන්න­ක්කරේ ප්‍රදේ­ශයේ තිබෙන සංර­ක්ෂිත කඩො­ලාන පද්ධ­ති­යක් සහිත දූප­තක ළමා ක්‍රීඩාං­ග­ණ­යක් ඉදි­කි­රී­මට හා මිරි­දිය මත්ස්‍ය කර්මාන්ත ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා ඉල්ලී­මක් කළේය.

මීග­මුව පිටි­පන පැවති රැස්වී­ම­කදි මේ ඉල්ලීම කළ රාජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සුවේ මෙම ප්‍රදේ­ශයේ බල­වත් අඩු­පා­ඩු­වක් ලෙස පව­තින ළමා උද්‍යා­න­යට මේ කඩො­ලාන ප්‍රදේ­ශය නිද­හස් කර දෙන ලෙසයි.

“අපි පුංචි දූපත ඉන්නේ. වන ජීවී වන සංර­ක්ෂණ හා වෙරළ සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වල නීති මැද්දේ මිනි­ස්සුන්ට දැන් මේ පැත්තේ ජීවත් වෙන්න තැනක් නැහැ. මමත් නියෝ­ජ­නය කරන්නේ ආණ්ඩුව - ආණ්ඩුවේ වන නිල­ධාරි එක්ක රණ්ඩු වෙලා අපට ගම­නක් යන්න බැහැ. අපි මේක කථා කරලා විසඳ ගම්මු. ළමා ක්‍රීඩාං­ග­ණ­ය­කට මේ ඉඩම දෙන්න. මම කථා කරන්නේ මහ­ජ­න­තා­වගේ පැත්තෙන්. අපිත් මේ ප්‍රදේ­ශයේ කඩො­ලාන පැළ ලක්ෂ ගාණක් සිටෙව්වා. අපි කොහො­මත් මෙම ව්‍යාපෘ­තිය කර­නවා යැයි එහිදී සනත් නිශාන්ත මහතා පවසා ඇත.

මේ ඉල්ලී­මට තර්ජන ගර්ජන මධ්‍යයේ නොබි­යව පිළි­තුරු දුන් ගම්පහ දිසා වන නිල­ධා­රිනි දේවානි ජය­ති­ලක මහ­ත්මිය පැව­සුවේ මීග­මුව කළ­පුව අසල මුන්න­ක්ක‍‍ෙර් පිහිටි මිල්ල­ඩි­තෝ­ට්ටම් හි පිහිටි මේ සංර­ක්ෂිත රජ­යට අයත් පැරැණි කඩො­ලාන ප්‍රදේ­ශය ළමා ක්‍රීඩාං­ග­ණ­ය­කට ලබා­දීම කළ නොහැකි බවයි. මේක වන සංර­ක්ෂ­ණ­යට අයත් සංර­ක්ෂිත ඉඩ­මක්. මේක දුන්හොත් ධීව­ර­ය­න්ටම තමයි මාළු නැති වෙන්නේ. අපට හුස්ම ගන්න ඔක්සි­ජන් නැති­වෙ­නවා.

අපේ රටේ අනෙක් දිස්ත්‍රි­ක්ක­වල සිය­යට හැටක් වනා­න්තර තිබෙ­නවා. නමුත් ගම්පහ තමයි අපේ රටේ අඩුම කැලෑ ප්‍රදේ­ශය තිබෙන්නේ. ඒ කියන්නේ අපේ දිස්ත්‍රි­ක්කයේ වනා­න්තර තිබෙන්නේ මුළු ඉඩම් ප්‍රමා­ණ­යෙන් සිය­යට 1.6යි. ඒකෙන් වන ජීවි එකට මුළු දිස්ත්‍රි­ක්ක­යේම තියෙන්නේ අක්කර 18යි. වන සංර­ක්ෂ­ණ­යට තියෙන්නේ හෙක්ට­යාර 1080යි. ඒ ටිකත් දැන් ඉඩම් කච්චේරි කියලා බෙද­නවා. මේ පිළි­බ­ඳව කවුද වග කියන්නේ. මේ තත්ත්වය යටතේ කොහො­මද මේ තිබෙන පුංචි කඩො­ලාන බිම් ටිකත් ක්‍රීඩාං­ගණ හදන්න දෙන්නේ. ජන­තා­වගේ ජීව­ත්වීම සඳ­හායි අපි මේ කැලේ වවන්නේ. කැලේ සුර­කින්නේ.

මේ ප්‍රදේ­ශයේ බොයි­ලේරු 52ක් තිබෙ­නවා. ඒවාට දව­ස­කට ටොන් 40ක ගස් කප­නවා. මෙහෙම ගියොත් අපිට ඉන්දි­යා­වට වගේ ඔක්සි­ජන් අඩු වුණාට පස්සේ අපිට විත­රක් නෙමේ ඔය ක්‍රීඩාං­ග­ණය හදන දරු­ව­න්ටත් හුස්ම ගන්න බැරි වේවි.

ඒ අනුව ළමා ක්‍රීඩාං­ග­ණ­ව­ලට වඩා මේ කඩො­ලාන රැක ගැනී­මයි වැද­ගත්. වාහ­න­ව­ලින් හා අපේ ශරී­ර­යෙන් පිට­වන කාබන් ඩයො­ක්ස­යිඩ් උරා­ගන්නා ගම්පහ කඩො­ලාන භූමිය නැතිව යනවා. විද්‍යා­ත්ම­කව කල්පනා නොකර තීන්දු ගත්තොත් හා ගමේ ගොඩේ මිනි­සුන්ට අවශ්‍ය ආකා­ර­යට පම­ණක් සංව­ර්ධන තීන්දු ගන්නවා නම් අපට ජීවත් වෙන්න බැරි­වේවි. එවැනි තීන්දු­ව­ලට හිස නමන්න නම් අප ඉගෙන ගෙන මේ තැන්ව­ලට එන්න ඕන නෑ. කාට­වත් නීති­යට පිටින් වැඩ කරන්න බැහැ. වන නිල­ධා­රිනි දේවානි ජය­ති­ලක මහ­ත්මිය අව­ධා­ර­ණය කර­න්නීය.

මේ පිළි­බ­ඳව ‘සිළු­මිණ’ ට කරුණු දැක්වූ පරි­ස­ර­වේදී සජීව චාමි­කර මහතා පැව­සුවේ වත්මන් ගම්පහ වන නිල­ධාරි දේවානි ජය­ති­ලක මහ­ත්මිය වවු­නි­යාව වන නිල­ධාරි ලෙස 2011 දී කැලෑ සුරැ­කී­මෙන් මහ මෙහෙ­යක් කළ බවයි.

වවු­නි­යාවේ කැලෑ බෝග­ස්වැව හෙවත් කර­වි­කා­ල­කු­ලම් ප්‍රදේ­ශයේ ඉඩම් අක්කර 10000ක වන විනා­ශ­යක් නතර කිරී­මට කට­යුතු කළ ඇය රට­ටම ආද­ර්ශ­වත් සුවි­ශේෂී වන නිල­ධා­රි­නි­යක් බවත් ඒ මහතා පව­සයි.” ඒ කාලේ ඇය ගැබිණි මවක්. ඒත් අපි ඇතුළු පරි­සර සංවි­ධාන සමඟ එක­තු­වෙලා ඇය ඒ වන විනා­ශය නැවැ­ත්වූවා.

අපි සේරම එක­තු­වෙලා මේ වීර කාන්තා­වක් කාට­වත් බය නැති හරි­යට වැඩ කරන රාජ්‍ය නිලධාරිනිය රැක­ගත යුතුයි” සජීව චාමි­කර පව­සයි.

දේවානි ජය­ති­ලක වැනි දිසා වන සංර­ක්ෂණ නිල­ධා­රි­නි­යක තම දෙපා­ර්ත­මේ­න්තුව හොඳ ශක්ති­යක් හා ආඩ­ම්බ­ර­යක් බවත් රටේ වන ආව­ර­ණය සුරැ­කී­මට මෙවැනි නිල­ධා­රි­නින් කරන සේවය අගය කරන බවත් වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජන­රාල් ඩබ්ලිව්.ඒ.සී. වේර­ගොඩ මහතා අපට පැව­සීය.

“යම් නීත්‍යා­නු­කූල නොවන දෙයක් සිදු­වෙලා තිබෙ­නවා නම් හෝ වෙන්න තිබෙ­නවා නම් ඒක වැළැ­ක්වී­මට ඇය හඬ නැඟීම නිවැ­රැ­දියි. අපි මෙවන් නිල­ධා­රි­නි­යන් දිග­ටම ආරක්ෂා කර­නවා. රටට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ නීතිය අනුව බය නැතිව වැඩ කරන මෙවන් වන සංර­ක්ෂණ නිල­ධා­රීන්. අපිත් නිත­රම ඇයට ශක්තිය ධෛර්ය ලබා­දෙ­නවා” වේර­ගොඩ මහතා පැව­සීය.

අපේ ර‍ෙට් අඩුම වන ආව­ර­ණය ඇති ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වට නිද­හසේ හුස්ම ගන්න පුළු­වන් පරි­ස­ර­යක් ඇති කිරී­මට දේවානි ජය­ති­ලක වැනි නිල­ධා­රින් කට­යුතු කරන්නේ දේශ­පා­ල­න­ඥ­යන්ගේ හා සම­හර ධීවර ජන­තා­වගේ තර්ජන ගර්ජන මධ්‍ය­යේය.

මේ පිළි­බ­ඳව අද­හස් දක්වන ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජය­ලත් මහතා පැව­සුවේ මෙලෙස රජයේ ඉඩම් අන­ව­සර අල්ලා ගැනීම පිළි­බ­ඳව ඇය කෙළින් කථා කිරීම අගය කරන බවයි.

“අපේ දිස්ත්‍රි­ක්කයේ වන ආව­රණ සුරැ­කී­මට ඇය කරන කාර්ය­භා­රය පිළි­බ­ඳව අපි සතුටු වෙනවා. මීට පෙර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වේත් අපි මේ පිළි­බ­ඳව කථා කරලා තිබෙ­නවා. ඇමැ­ති­ව­ර­යාත් මෙහිදී ජන­තා­වගේ ඉල්ලීම් තමයි ඉදි­රි­පත් කළේ.”

කෙසේ ‍වුවත් අපේ දිස්ත්‍රි­ක්කයේ පරි­ස­රය සුරැ­කී­මක් අව­ශ්‍යයි. මේ පිළි­බ­ඳව නීත්‍යා­නු­කූ­ලව සියලු කට­යුතු සිදු­විය යුතුයි” යැයි දිස්ත්‍රික් ලේක­ම්ව­රයා පැව­සීය.

මේ පිළි­බ­ඳව කරුණු දැක්වූ පරි­සර වන­ජීවී හා ඉඩම් හා ඉඩම් සංව­ර්ධන ඇමැති එස්‍.­එම්. චන්ද්‍ර­සේන මහතා පැව­සුවේ දේවානි ජය­ති­ලක නිල­ධා­රි­නිය මෙහිදී නිවැ­රැ­දිව කට­යුතු කළ බව හා ඇය සුරැ­කී­මට තමා ඇතුළු රජ­යම පෙනී සිටින බවයි.

විශේ­ෂ­යෙන් ම විවිධ පරි­සර පද්ධ­තීන් ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති අණ පනත් අතර වන­ජීවී සංර­ක්ෂණ පනත, තුරු­ලතා ආඥා පනත වැනි පනත් ප්‍රබල පනත් වේ. ඒ පිළි­බ­ඳව අව­බෝ­ධ­ය­කින් කට­යුතු කිරීම වැද­ගත්, එම සිද්ධීන්ට මුහුණ පෑ රාජ්‍ය අමා­ත්‍ය­තුමා සේ ම ධීවර ජන­තා­වට ද මේ ගැන නිසි අව­බෝ­ධ­යක් තිබිලා නෑ. රාජ්‍ය අමා­ත්‍ය­තුමා මේ තත්ත්වය දැන­ගෙන සිටියා නම් සම­හර විට ඒ මොහො­තේම අදාළ වන නිල­ධා­රි­නිය සමඟ එකඟ වන බව ද පැව­සීය.

කෙසේ නමුත් ගම්පහ දිසා වන නිල­ධා­රි­නිය කරුණු කාරණා සහි­තව සංව­ර්ධන කමි­ටුව හමුවේ අද­හස් දැක්වීම, රටට අවශ්‍ය රාජ්‍ය සේව­යක ගුණා­ත්මක භාවය පෙන්නුම් කර­න්නක්. ඇයට පරි­ස­රය පිළි­බ­ඳව මනා වැට­හී­මක් තිබෙ­නවා. එවැනි නිල­ධා­රීන් රැක­ගැ­නීම මෙන් ම දිරි­මත් කිරීම රජ­යක වග­කී­මක්.

වෙරළ මෙන් ම කලපු ආශ්‍රිත කඩො­ලාන පරි­සර පද්ධති කියන්නේ ඉහ­ළම ජෛව විවි­ධ­ත්ව­යක් සහිත කලා­ප­යක්, මුළු ‍රටේම පැවැ­ත්මට එය අදා­ළයි. කඩො­ලාන විනාශ කර­මින් කිසිදු ඉදි­කි­රී­ම­කට, වෙනස් කිරී­ම­කට අනු­මැ­තිය දෙන්න බැහැ. කඩො­ලාන වගේ ම තෙත් බිම් සංර­ක්ෂ­ණ­යට අති­ගරු ජනා­ධි­ප­ති­තු­මන් විශේෂ පිය­වර ගන්නා බැව් ලෝක තෙත්බිම් සංර­ක්ෂණ දින­යෙන් ප්‍රකාශ කළා.

“නිද­හස්ව සහ නිර්භී­තව අද­හස් දැක්වීම නිසා ඇයට එරෙ­හිව කිසිදු පිය­ව­රක් ගැනී­මට කිසි­වෙ­කුට ඉඩ දෙන්නේ නැහැ. කොප­මණ බල­ස­ම්පන්න අයෙක් වූවත් රටට අවැ­ඩ­දා­යක පිය­ව­රක ඉන්නේ නම් එය ඍජු­වම නිවැ­රැදි කරන්න හැකි ඍජු නිල­ධා­රීන් රටට අව­ශ්‍යයි. අප නිවැ­රැ­දියි කියා සිතන බොහෝ දේ වෙනස් විදි­යට දකින මාධ්‍ය­යක් තිබෙ­නවා. ඒ නිසා හරි­දේට එකඟ වෙන්න අප පසු­බට විය යුතු නැහැ” යැයිද ඇමැතිවරයා කීය.

Comments