මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් වී මේ වන විට දශක කිහිපයක් ගත වී ඇත. ඇති හැකි අය පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථයක්, වෑන් රථයක් වැනි සුඛෝපභෝගී වාහන ගැනීමට උත්සුක වෙද්දී එවැනි හැකියාවක් නැති මධ්‍යම පාන්තිකයෝ කුලී ටැක්සියකින් තමන්ගේ ගමන් පහසුව සලසා ගන්නට කටයුතු කළහ. රික්ෂෝ, ටැක්සි, ටුක් ටුක් සහ ත්‍රීවිල් ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලැබූ කුලී රථ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළුව නිවර්තන හෝ උපනිවර්තන දේශගුණික තත්ත්ව ඇති රටවල්වල නාගරික ප්‍රවාහනයේ හුරුපුරුදු අංගයක් බවට පත්ව තිබේ.
ලොව විශාලතම ත්‍රිරෝද රථ රික්ෂෝ නිෂ්පාදකයා වන ඉන්දියාවේ බජාජ් සමාගම වන අතර එ් සමාගමේ ත්‍රිරෝද රථ අපනයනය සියයට 84කට ආසන්න වේ. පසුගිය වසරේ ඒ සමාගම ත්‍රීරෝද රථ 780,000ක් අලෙවි කොට ඇති බව ද වාර්තා වේ.
මේ වන විට මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජනතාවට වඩාත් ම සමීප සේවාවක් බවට පත්ව තිබෙන ත්‍රිරෝද රථ සේවය මෙරටට පැමිණෙන්නේ 1980 දශකයේ මුල් භාගයේදී පමණ ය. ඕනෑ ම තැනකට යෑමට ඒමට ඕනෑම අයකුට ඕනෑම අවස්ථාවක ත්‍රිරෝද රථයක සේවය ලබාගැනීම දැන් එතරම් අසීරු කටයුත්තක් නොවේ. විවිධ ත්‍රිරෝද රථ සංගම්වලට අයත් මෙන්ම පෞද්ගලික ප්‍රවාහනයේ නියුතු ත්‍රිරෝද රථද ඇතුළුව මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 12ක් බව පැවසේ. ඒ අතරින් මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි වී ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 8ක් පමණ වන අතර එසේ ලියාපදිංචි නොවී පෞද්ගලිකව මගී ප්‍රවාහනයේ යෙදෙන සැලකිය යුතු විශාල පිරිසක් ද සිටිති. ත්‍රිරෝද රථ රියදුරන්, කාර්මිකයන්, අමතර කොටස් ගෙන්වන්නන් සහ බෙදාහරින්නන්, අමතර උපාංග සපයන්නන් ඇතුළු ව ත්‍රිරෝද රථ කර්මාන්තය නිසා යැපෙන සංඛ්‍යාත්මක වශයෙන් විශාල පිරිසකි. එය ලක්ෂ 30ක් වැනි ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ.
වර්තමානයේදී පාසල හැර යන තරුණ පිරිස් අතර ජනප්‍රිය ජිවනෝපාය මාර්ගයක් බවට ද පත්ව තිබෙන ත්‍රිරෝද රථ සේවය ඇතැම් අවස්ථාවලදී දෝෂ දර්ශනයට ද ලක් නොවනවා නොවේ. වාහනය ලියාපදිංචි කිරීම සහ රියදුරු බලපත්‍රයක් තිබූ පමණින් මේ වෘත්තියේ යෙදීමට ඕනෑම අයකුට අවසර ලැබීම හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරන් තුළ වෘත්තී ගරුත්වයක් සහ විනයක් නොමැති බවට ද චෝදනාවක් තිබේ. ත්‍රිරෝද රථ රියදුරන් විසින් හිතුමනාපයට ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් ද පාරිභෝගික ජනතාව තුළ විවිධ විවේචන තිබේ.
එහෙත් මගී ප්‍රවාහනයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්, හිමිකරුවන් ඇතුළු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නිරත වූවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බව ඇතැම් අය නොදන්නා කරුණකි. සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ඒ පිළිබඳ කරුණු රැසක් අප වෙත අනාවරණය කළේය. ත්‍රිරෝද රථ කර්මාන්තය මුහුණ දෙන සියලු ගැටලුවලට හේතුව මේ කර්මාන්තය නියාමනය කිරීම සඳහා ජාතික ප්රඥප්තියක් සහ ඒ ප්රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ බලය සතු නියාමනය අධිකාරියක් නොමැති වීම බව ඔහුගේ අදහසයි. මෙරට ත්‍රිරෝද රථ කර්මාන්තය නියාමනය සමබන්ධයෙන් කෙදිනකවත් එවැනි ප්රඥප්තියක් තිබුණේ නැද්ද යන අපගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන රේණුක දුෂ්‍යන්ත පෙරේරා 1998 වසරේදී ත්‍රිරෝද රථ නියාමනය සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ආ බවයි. 2003 වසරේදී එම යෝජනාව ඒකමතිකව සම්මත වීමෙන් පසු ත්‍රිරෝද රථ ප්රඥප්තියක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් කරනු ලබන අතර එය ත්‍රිරෝද රථ සම්බන්ධ පළමු ප්රඥප්තිය ලෙස සම්මත වීම සිදුවී ඇත. ත්‍රිරෝද රථ රියදුරා, මගියා සහ පාරිභෝගිකයා ඇතුළු සියලු දෙනා ආරක්ෂා වන එම ප්රඥප්තියට ක්‍රියාත්මක කිරීම සඳහා 2004 වසරේදී ත්‍රිරෝද රථ කාර්යාංශයක් පිහිටුවීමට අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබුණ ද ඇතැම් ත්‍රිරෝද රථ සංගම්වල මැදහත්වීම මත එය සිදුනොවූ බවක් ද වාර්තා විය. එහෙත් ත්‍රිරෝද රථ කර්මාන්ත නියාමනය කිරීම තුළ ත්‍රිරෝද රථ රියදුරන්, මගීන් සහ කර්මාන්තයේ නියුතු සියලුදෙනාට සාධරණයක් සිදුවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතාගේ අදහසයි.
ගමනක් යෑම සඳහා ත්‍රිරෝද රථයක් අපේක්ෂාවෙන් මඟට බසින අයකුට පහසුවෙන් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රථය හඳුනාගැනීමට හැකිවිය යුතුය. අපි මහමඟ දකින ත්‍රිරෝද රථ වර්ග ගණනාවක් තිබේ. ත්‍රිරෝද රථ පෞද්ගලිකව පරිහරණය කරන්නන්, පෞද්ගලිකව පරිහරණය කරන අතරේ කුලී ගමන් සේවයේ යෙදෙන්නන්, වෙනත් රැකියාවක් කරන අතරේ මගී ප්‍රවාහනයේ යෙදෙන්නන්, වෙනත් රැකියාවක් නිරත නොවන නමුත් අවශ්‍ය අවස්ථාවල මගී ප්‍රවාහන සේවයේ නිරත වන්නන් ඒවා සහ පෞද්ගලික ආයතන සමඟ ගිවිසුම්ගතව කුලී ගමන්වල යෙදෙන්නන් ලෙස ත්‍රිරෝද රථ වර්ග කිහිපයක් වේ. මීටර් සහිතව සහ රහිතව සේවය සපයන ඒවා ලෙසද ඒවා වර්ග කළ හැකිය. එවැනි වර්ග කිහිපයක් ත්‍රිරෝද රථ තිබෙන නිසා පාරිභෝගිකයාට වෘත්තීය රියදුරා හඳුනා ගැනීම ගැටලුවකි. එයින් ආදයම අහිමි වන්නේත් ඇතැම් විට වෘත්තීය ගරුත්වයට හානි පැමිණෙන්නේත් ත්‍රිරෝද රථ රියදුරාටමය. එම නිසා වෘත්තීය ත්‍රිරෝද රථය සහ රියදුරා පහසුවෙන් හඳුනාගැනීමට හැකි නියමිත ක්‍රමවේදයක් ත්‍රිරෝද රථයේ බාහිරින් පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අනිවාර්යවෙන් සියලුම කුළී රථවල ටැක්සි බෝර්ඩ් එකක් සවිකොට තිබිය යුතුයි. මීටරයක් නැතිවීම, ගාස්තුව ප්‍රදර්ශනය නොකිරීම මෙන්ම විවිධ ගාස්තු අය කිරීම ද මගියා ත්‍රිරෝද රථ රථ භාවිතයෙන් ඈත් කිරීමට හේතුවන කරුණු ය. ත්‍රිරෝද රථ මිලට ගැනීම අඩපණ කිරීම සඳහා පසුගිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිපත්තිය තුළ බදු පැනවීම සහ ලීසිං පහසුකම් අවම කිරීම තුළද ත්‍රිරෝද රථ හිමිකරුවන් විශාල අර්බුදයකට මුහුණ පා තිබේ. මගී ප්‍රවාහනයේ නිරත මෙන්ම කුඩා පවුලකට ගැළපෙන වාහනයක් වන ත්‍රිරෝද රථ රථයක් මිලදී ගැනීමේ අයිතිය ද එම මූල්‍ය ප්‍රතිපත්තිය නිසා අහිමි වී තිබේ.
ත්‍රිරෝද රථ කර්මාන්තය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ඔවුන්ගේ සේවා නියාමනය කරන වැඩපිළිවෙලක් නොමැති වීම බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහන පෙරේරා මහතාගේ ද අදහසයි. මේ වන විට ජාතික ගමනාගමන කොමිෂම් සභාව හරහා ජාතික ප්‍රතිපත්තියක් ලෙස සකස් කර ඇති ප්රඥප්තිය පළාත් සභා 9 තුළම ක්‍රියාත්මක කරගැනීම ඔවුන්ගේද අපේක්ෂාවයි.
"ඉල්ලීම් දිනාගන්න පාරට බැහැලා උද්ඝෝෂණය කරන එන අන්තිම පහත් වැඩක් විදිහටයි අපි සලකන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අදාළ බලධාරීන් එක්ක සාකච්ඡා කරල අපේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්නයි. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ව්‍යවසායකයන් විදිහට ණය පහසුකම්, රක්ෂණ ආවරණ ආදී දේවල් තුළින් මේ සේවයේ ගුණාත්මක භාවය රැකගන්නයි අපිට අවශ්‍ය. ත්‍රිරෝද රථවලට අමතර අංගෝපාංග එකතු කිරීමෙන් දෙස් විදෙස් මගී පාරිභෝගිකයාගේ ආකර්ෂණයක් ඇතිකිරීමයි අපේ අපේක්ෂාව. මේ වන විට එවැනි අමතර අංගෝපාංග 67ක් තහනම් කර තිබෙනවා. අපි මෑතකදී අපි නීති දිසාව හා විනය කුටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සමඟ සාකච්ඡා කළා. තහනම් කළ අංගෝපාංග 67න් 40කට අවසර දීම ගැනත් ඉතුරු 27ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ලබාදීමත් ගැන එහිදී සාකච්ඡාවට ලක්වුණා. ඒ වගේම මේ වන විට අපිට විදෙස්ගත වීමට යන මගියෙක් ගුවන්තොටුපලට ගෙනයෑමේදී ඇතුළුවීමේ පර්යන්තයට කිලෝමීටරයකට මෙහායින් නවතින්න සිදුවෙනවා. එයින් අපිත් මගියාත් අසීරුතාවට ලක්වෙනවා. එවැනි කාරණා හැරුණාම අපෙත් ප්‍රධානම ඉල්ලීම ත්‍රිරෝද රථ නියාමනය පිළිබඳ ජාතික ප්රඥප්තිය පළාත් සභා 9ම සම්මත කරදෙන්න කියලයි."
මේ වන විට මෙරට පොදු ජනතාවට අතිශයින් සමීප වී තිබෙන ත්‍රිරෝද රථ කර්මාන්තය මගී ප්‍රවාහන සේවය තුළ පිළිගත් වෘත්තියක් බවට පත්කිරීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතාගේ ද අදහසයි.
"අපිට අවශ්‍ය මගී ජනතාවට විශ්වාසනීය සහ ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාදෙන්නයි. ගාස්තු සම්බන්ධයෙන් දැනට රටේ එක නීතියක් නැහැ. නියාමන අධිකාරියක් පිහිටුවීම තුළින් අනිවාර්යයෙන්ම පළාතකට ආවේණික වූ මිලක් සහ පළාත තුළ ධාවනය වන ත්‍රිරෝද රථ හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් හැදෙනවා. එය ක්‍රියාත්මක කරගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි. පසුගිය රජය මේ පිළිබඳ මන්දෝත්සායී වැඩ පිළිවෙළක් ගෙන ගියත් වත්මන් ප්‍රවාහන ඇමති මහින්ද අමරවී මහතා එය ඉක්මනින් ඉටුකර දෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා."
බහුතර ත්‍රිරෝද රථ සංගම් පුන පුනා පවසන ත්‍රිරෝද රථ නියාමනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ප්‍රමාදය පිළිබඳව අපි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා මහතාගෙන් විමසුවෙමු. පසුගිය අගෝස්තු මස 30 වැනිදා එවකට එම කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවයට අදාළව සකස් කළ තාක්ෂණික කමිටු වාර්තාව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමානාධිකාරි ජගත් පෙරේරා මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ නියාමනය පිළිබඳ කෙටුම්පත සකස් කර තිබෙන බවත් මේ වන විට පළාත් සභාව විසුරුවා හැර ඇති බැවින් ඒ පිළිබඳ කටයුතු කළ හැක්කේ පළාත් සභාව පිහිටුවීමෙන් පසුව බවය.
මෙවැනි තත්ත්වයක් තුළ මීට සති තුනකට පමණ පෙර ත්‍රිරෝද රථ වෘත්තීය සංගම්වල නියෝජිතයෝ පිරිසක් ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඉල්ලා සිටියේ මෙරට මගී ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින වෘත්තිමය ත්‍රිරෝද රථ නියාමණය කිරීම සඳහා පළාත් මට්ටමින් ත්‍රිරෝද රථ නියාමණය කිරීමේ අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසයි. පළාත් මට්ටමින් ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම, ත්‍රිරෝද රථ රියදුරන්ගේ අදහස් යෝජනා හා ඔවුන්ගේ අභිලාශය පරිදි නිල ඇඳුමක් සකස් කිරීම, දැනට පවත්වාගෙන යන ලීසිං ප්‍රතිශතය වැඩි නොකර ඒ මට්ටමින්ම පවත්වාගෙන යෑම මෙන්ම මේ වෘත්තියෙහි නිරත වන වෙනත් පුද්ගලයන් හා ආයතන හඳුනාගෙන පූර්ණකාලීනව ත්‍රිරෝද රථ වෘත්තිකයන් ලියාපදිංචි කිරීමට පියවර ගැනී, ත්‍රිරෝද රථ පැදවීම සඳහා වයස් මට්ටමක් තීරණය කිරීම වැනි කරුණු රැසක් එහිදී ඉදිරිපත් වී තිබේ. ඒ පිළිබඳ අප කළ විමසීමේදී ඇමති මහින්ද අමරවීර මහතා පැවසුවේ ත්‍රිරෝද රථ නියාමනය සඳහා අවශ්‍ය පියවර ලබාගෙන තිබෙන බවත් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.
"ත්‍රිරෝද කර්මාන්තය නිසා මේ රටේ ජනතාවට වන සේවය ඉතා විශාලයි. රැකියාවක් ලෙස ත්‍රිරෝද රථ වෘත්තියේ නිරත වන්නන් විශාල සංඛ්‍යාවක් වගේම තමන් නිරත ස්වයන්රැකියා සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙසත් බොහෝ දෙනකු ත්‍රිරෝද රථ භාවිත කරනවා. විශේෂයෙන් කාන්තාවන් ත්‍රිරෝද රථ සම්බන්ධ අමතර කොටස් අලෙවිය, මෝටර් කාර්මික වැනි රැකියාවලට පවා නැඹුරු වී සිටිනවා. ඒ තුළින් ඔවුන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. අපේ ආයතනය නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පහසුකම් සහිතව අපේ සේවය ඔවුන්ට ලබාදීමටයි. විශේෂයෙන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ත්‍රිරෝද රථ තුළින් ඉටුවන සේවය අපි ඉතා අගය කළ යුතුයි."
මෙරට විශාලතම මෝටර් සමාගමක් ලෙස ප්‍රකට සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ප්‍රකාශයකු එසේ පැවසුවේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සේවය ඇගයීමට ලක්කරමිනි. එම සේවය හෙට දවසේදී වඩාත් ගුණාත්මක සහ ආකර්ශනීය සේවයක් බවට පත්වනු සඳහා ත්‍රිරෝද රථ ජාතික ප්රඥප්තිය කඩිනමින් කළඑළි බැසීම ඉතා වැදගත්ය. වසර ගණනාවක් තිස්සේ ගුණාත්මක ත්‍රිරෝද රථ සේවයක් පිළිබඳ අපේක්ෂාවෙන් සිටි ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියුතු වූවන් ඒ දෙස සුබවාදී බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිති.