ඕ‍ල්කො‍ට් තුමා බෞද්ධ­යකු වන්නට පෙර ගු ප්ත රහස් පරී­ක්ෂ­ක­යෙක් | සිළුමිණ

ඕ‍ල්කො‍ට් තුමා බෞද්ධ­යකු වන්නට පෙර ගු ප්ත රහස් පරී­ක්ෂ­ක­යෙක්

පෙබ­ර­වාරි මාස­යේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යා­ප­න­යට පුරෝ­ගාමි මෙහෙ­යක් කළ ඇමෙ­රි­කානු ජාතික හෙන්රි ස්ටීල් ඕ‍ල්කො‍ට් තුමා අනු­ස්ම­ර­ණය කෙරෙයි. ශ්‍රී ලංකාවේ ජාතික වීර­යකු ලෙස රාජ්‍ය ගෞර­වය ලද එකම විදේ­ශි­කයා වන ඕ‍ල්කො‍ට් තුමා යනු පරම විඥා­නා­ර්ථ­වා­දි­යෙකි.

ඕ‍ල්කො‍ට් තුමා ලංකා­වට ආවේ “සත්‍යය” යනු කුම­ක්දැයි සොය­මිනි. සත්‍ය­යට වඩා උසස් ආග­මක් නැතැයි කී ඔහුගේ බොදු වැකිය යනු කුමක්ද? මෙරට බෞද්ධ අධ්‍යා­ප­න­යට උදව් කර­මින් ඕ‍ල්කො‍ට් තුමා අපේක්ෂා කළ තවත් අර­මුණු ද තිබෙ­න්නට ඇත. මිථ්‍යා ඇද­හිලි හා ගුප්ත විද්‍යා­වන් ගැන ඕ‍ල්කො‍ට් තුමා උනන්දු වූ බවට ද මත­යකි. ඔහු රහස් පරී­ක්ෂ­ක­යකු ලෙස ද පිළි­ගැනේ.

ඕ‍ල්කො‍ට් තුමා සම­රන අත­ර­තුර සැබ­වින්ම ඔහු කවුද යන්න නව කති­කා­ව­කට ගැනීම අද වැනි යුග­යක අව­ශ්‍යම පෙල­ඹු­මකි.

ඕ‍ල්කො‍ට් තුමා ලංකා­වට එන්නේ පාණ­දු­රේදී සිදු වූ බොදු - කිතුණු වාද­යේදී ජය­ගත් බෞද්ධ පක්ෂයේ විස්තර හා බුද්ධා­ගම ගැන පැහැ­දී­මෙනි. එතුමා පරම විඥා­නා­ර්ථ­වා­දි­යෙකි.

කිසිදු භේද­ය­කින් තොරව සමස්ත මනුෂ්‍ය සංහ­ති­යම එකම ස‍හෝදර බැඳී­ම­කින් ඒක­රාශි කිරී­මත්, සෑම ආග­මක්ම සෑම න්‍යාය ධර්ම­යක්ම අප­ක්ෂ­පා­තීව ප්‍රගුණ කර­න්නට ධෛර්යය දීමත්, ස්වභාව ධර්මය හා මිනි­සාගේ අභ්‍ය­න්තර බලය ගැන කරුණු ගවේ­ෂ­ණය කිරී­මත් පරම විඥා­නාර්ථ සමා­ගමේ පර­මාර්ථ අතර විය.

උපන් සත්ත්වයා මැරෙන බව සහ එසේ මැරෙන සත්වයා නැවත උප­දින බවත් පරම විඥා­නා­ර්ථ­වා­දීහු විශ්වාස කළහ. තමාගේ මාර්ගය තමාම සොයා ගත යුතු යැයි සිතූ ඔහු ඒ සඳහා ස්වයම්භූ ඥාන­යෙන් තමාම කරුණු වටහා ගත යුතු යැයි සිතූහ.

පාණ­දුර දොඩ­ග­හ­වත්තේ පැවති බොදු කිතුනු වාද­යක (පාණ­දු­රා­වා­දය) පරි­ව­ර්ත­න­යක් නිව්යෝක් නුවර වැසි­ය­කුට කිය­ව­න්නට ලැබී­මද මෙබඳු පසු­බි­මක සිදු­විය හැක්කකි. ලංකාවේ එකල බල­පැ­වති ආක්‍ර­ම­ණික පාලන ස්වභා­වය කෙත­රම් දරුණු වූවක් දැයි මේ සිදු­වී­මෙන් ද පෙනෙයි. අද මෙන් දියුණු තාක්ෂ­ණික සන්නි­වේ­දන සම්බ­න්ධතා ජාල­ය­කින් ලෝකය එකට බැඳී නොසිටි යුග­යක මෙසේ ලංකාව සහ ලෝකය එලෙස සම්බන්ධ වීම බර­ප­තළ කාර­ණයි. ඕ‍ල්කො‍ට් තුමා ලංකා­වට එන්නේ සත්‍යය සොය­මිනි. එතුමා ඉන්දි­යා­වට ද යයි.

කර්නල් හෙන්රි ස්ටීල් ඕ‍ල්කො‍ට්

ඕ‍ල්කො‍ට් තුමා ලංකා­වට එන්නේ එකල මෙරට බල­පැ­වති සිංහල බෞද්ධ ජාතික අර­ග­ල­යට ශක්ති­යක් වනු පිණිස පම­ණක් නොවේ. පෙර සඳ­හන් කළ ලෙස විශ්වයේ සැබෑ සත්‍යය කුම­ක්දැයි ඉගෙන ගන්න­ටය. සත්‍යය ගැනත් මිනිසා ගැනත් අව­බෝධ කර ගන්න­ටය. එතුමා අද­හන ආග­මක් ඇත. අද­හන සත්‍ය­යක් ඇත. එතුමා මෙහි ආවේ එම සත්‍යය වෙනු­වෙනි. එනම් තම ආගම සිය රටේ මිනි­සු­නට ධාර­ණය කරනු පිණිස ය. එකී ආක­ල්පය බුද්ධා­ග­මට ලංකා­වට සහ මෙරට වැසි­යන්ගේ අර­ග­ල­යට පක්ෂ­පාති විය. ක්‍රිස්ති­යානි ආක්‍ර­ම­ණි­ක­යන්ට එය එරෙහි වීම යනු දෙවෙනි කාර­ණ­යකි. එය දෙවෙනි කාර­ණ­යක් වුවද එබඳු අර­ග­ල­කාරී සම­යක එය ලාංකි­ක­යන් පිටට මහත් ශක්ති­යක් වූ බව නම් අවි­වා­දීය. ඕ‍ල්කො‍ට් තුමා මෙරට බොදු අධ්‍යා­ප­න­යට තැබූ ශක්ති­මත් අඩි­තා­ලම මෙරට ජාතික අර­ග­ලය ශක්ති­මත් කළේය. තවත් අත­කින් ඕ‍ල්කො‍ට් තුමා ගුප්ත මිනි­සෙකි. ක්‍රිස්ති­යානි ගුප්ත ලෝකය ගැන උනන්දු වූ නිව්යෝ­ක්වා­සීන් පිරි­සක් ගුප්ත ලෝකය ගැන සෙවීමේ සංග­ම­යක් පිහි­ටු­විය යුතු යැයි සැල­සුම් කළහ. එහි ව්‍යව­ස්ථාව සැදුවේ ඕ‍ල්කො‍ට් ය. ඊට සුදුසු නමක් සෙවී­මේදී ගුප්ත ශාස්ත්‍ර­යට සම්බන්ධ නම් පෙළක් අතර ‘තියෝ­සොපි’ යන වච­නය ද මතු විය. ගුප්ත ශාස්ත්‍ර­ඥ­යන් පිරිස එම නමට වඩාත් කැමති වූ බව කියැවේ. ‘දේව ඥානය’ හෝ පරම විඥා­නා­ර්ථය එහි අර්ථ වෙයි. ආගම් ඇද­හීමේ ආධා­න­ග්‍රාහී භාව­මය නැඹු­රු­වත් සත්‍යය සෙවිමේ ප්‍රඥා­න­මය යොමු­වත් මේ වච­න­යෙහි ද්විත්වා­ර්ථ­යෙන් ගැබ්වෙයි. මෙම ද්විත්ව අර්ථය එබඳු ආධා­න­ග්‍රාහී යුග­යක වඩාත් උපා­ය­ශීලී හා අව­ස්ථා­නු­කූල ආව­ර­ණ­යක් ද ලබා­දෙයි.

“සත්‍යය හා සමාන උතුම් ධර්ම­යක් නැත” යන පාඨය තියො­සොපි සංග­මයේ තේමා වැකිය වෙයි. මෙය බර­ණැස රජ­තු­මාගේ ධජ­යෙහි ද විය. බර­ණැස රජුගේ ධජ­යට එය පැමි­ණ­නුයේ පැරණි කසී රටේ රාජ­කීය ධජ­යෙන් බව කියැවේ. ලංකා­වට පැමි­ණෙන බොදු ජන ගඟ ගැන අප්‍ර­මාණ මවි­ත­යට පත් වන ඕ‍ල්කො‍ට් තුමාගේ ඉන්දි­යානු සම්බ­න්ධ­තාව කොතෙ­ක්දැයි අනු­මාන කිරී­මට සිය සංග­මයේ තේමා පාඨයේ මුල් සෙවීම වුව සෑහේ. පරම විඥ­නා­ර්ථ­වා­දීන්ගේ ගවේ­ශ­නය වූයේ සත්‍යය පරම ආග­මක් වන අයුරු සෙවී­මය. සියලු ආග­ම්වල පොදු හරය සෙවීම එනම් universal Christ යනු­වෙන් ඔව්හු එය නම් කිරී­මෙන් ම සත්‍යය හෙළි­වෙයි.

සියලු ආග­ම්වල අර­මුණු සමා­න­යැයි ඇද­හූ­වකු බුද්ධා­ගම වැල­ඳ­ගැ­නීම ගැන අප විචාර බුද්ධි­යෙන් බැලිය යුතුය. ඕ‍ල්කො‍ට් තුමා මෙරට බෞද්ධ අධ්‍යා­ප­න­යට අත­හිත දීම මෙරට ජාතික අර­ග­ලය ශක්ති­මත් කළ බව අප පිළි­ගත යුතු ය. ඕ‍ල්කො‍ට් තුමා මිත්‍යා­දෘ­ෂ්ටික අද­හස දරන බව සිය බිරිය චෝදනා කළා ය.

ඕ‍ල්කො‍ට් විවාහ වී සිටියේ නිව්යෝක් නග­ර­යට නුදුරු නිව්රො­චල් හි විසූ දේව­ධ­ර්මා­චාර්ය රිෆල් මෝගන්ගේ දිය­ණිය වූ මේරි එපිලි මෝගන් සමඟ ය. 1860 දී විවාහ වූ ඔවුන්ට දරු­වන් තිදෙ­නෙකු වූහ. 1872 දී එපිලි දික්ක­සාද නඩු­වක් පව­ර­මින් ඕ‍ල්කො‍ට් ගෙන් වෙන්වී­මට සිතු­වාය. එහිදී එපිලි විසින් තම සැමියා වූ ඕ‍ල්කො‍ට් වෙත චෝදනා කර­මින් දක්වා සිටි කරුණු අතර වූ එක් කරු­ණක් අපට වැද­ගත් වෙයි.

එනම් ඕ‍ල්කො‍ට් සමඟ වසර 12ක් පවුල් කෑ සිය බිරිය වූ එපිලි ‍චෝදනා කළේ තම සැමියා ක්‍රිස්ති­යානි ඉගැ­න්වීම් වලට පට­හැනි මිථ්‍යා­දෘ­ෂ්ටික කට­යු­තු­වල යෙදෙන බවයි. මත්පැන් පානය, ස්ත්‍රී ඇසුර වැනි තවත් ‍චෝදනා ද විය. නමුත් ඔහු ලංකා­වට එන්න වසර 8කට පෙර නීතිය හමු­වට පැමි­නුණු සිය දුර්ව­ල­තා­වක් දෙස අප අව­ධා­ර­ණ­යෙන් යුතුව බැලිය යුතුය. ඕ‍ල්කො‍ට් වෙත පසුව සමීප වූ බ්ලැවැට්ස්කි යනු හිමා­ලයේ විසූ භූත විශේෂ ඇසුරු කළ ගූඪ ලෝකය ගැන අසී­මි­තව උන­න්දුවූ කාන්තා­වකි. ඈ පෑව ඉන්ද්‍ර­ජා­ලික හාස්කම් දෙස මෙරට භික්ෂූන් වහ­න්සේලා පවා මවිත වී බලා සිටි­යහ. පුදු­ම­යට කාර­ණය වනුයේ මෙවැනි අද්භූත බල සපිරි ගූඪ ලෝක­ව­ල­විසූ ඕ‍ල්කො‍ට් බ්ලැවැට්ස්කි ප්‍රමුඛ පරම විඥා­නා­ර්ථ­වා­දීන් පවා එකල ලංකාවේ කිතුණු බලය හමුවේ පවා නොසැලී සිටි බෞද්ධ බල­වේ­ගය සහ ඒ වටා ඒක­රා­ශීවී සිටි බොදු ජන බලය දැක පුදු­ම­යට පත් වීමය. බුද්ධා­ගම ගැන පැහැදී ලංකා­වට එන්නේ මෙම යුවළ ය.

බ්ලැවැට්ස්කි උපන්නේ පුදුම කළේ ගූඪ ලෝක­යක මහ­ත්මා­ව­රුන් ලෙස සැල­කෙන මෝරිය සහ තුන්හුම් නමැති නිශ්චිත රූප­ණ­යක් නොමැති ලඩාක්හි කැර­කෝ­රෙම් කන්දේ ය. තරුණ වියේදී ලොව පුරා සංචා­රය කළ ඇය අව­සා­නයේ ඉන්දි­යා­වට ගොස් වසර දෙකක් පමණ එහි රැ‍ඳෙමින් ඉන්දීය දර්ශන, නන්ත්‍ර­යා­නි­ක­යන්ගේ විජ්ජා, යෝග ශාස්ත්‍රය හා බුදු දහම හදා­ර­මින් භාවනා කළාය. පරම විඥා­නා­ර්ථ­වා­දීන්ගේ සංග­ම­යට පෙර ඈ මිස­ර­යට ගොස් ගුප්ත ශාස්ත්‍ර­ඥ­යන්ගේ සංග­ම­යක් පිහි­ටු­ව­න්නට සැල­සුම් සැදු­වාය. ඇය තම ජීවිත කාලය පුරා­ව­ටම විවිධ හාස්කම් පාමින් කල් ගෙවුණේ ඈ ලද මෙම ගුප්ත විද්‍යා දැනුම නිසාය. ඔවුන් සෙවූ සත්‍යය සමඟ මෙකී මායා පෑම් සැස‍ඳේද?

ඕ‍ල්කො‍ට් හා සම්බන්ධ වන්නට පෙර බ්ලැවැ­ට්ස්කිගේ විවා­හය අසා­ර්ථක වීමට බලපෑ එක් හේතු­වක් වනුයේ ඈ ශක්ති­මත් ක්‍රිස්ති­යානු කාන්තා­වක ලෙස කට­යුතු නොක­ර­මින් යක් දෙස්සි­යක ලෙසින් හැසි­රීම යැයි කියැවේ. බුද්ධා­ගම ගැන භක්ති­මත් වන්නේ එවැනි පුද්ග­ල­යින් ය. සැබ­වින්ම ඕ‍ල්කො‍ට් තුමා සමඟ ලංකා­වට ආ මැය කවුද?

පරම විඥා­නාර්ථ සමා­ගමේ නිර්මා­තෘ­ව­රිය බ්ලැවැට්ස්කි මැති­නිය වුවද කුත් හුම් සහ මෝරිය යන මහ­ත්මා­වරු ඇයට ඉහ­ළින් සිටි­මින් එහි ක්‍රියා­කා­රි­ත්ව­යට උප­දෙස් දුන් බව කියැවේ. ඕ‍ල්කො‍ට් යනු බ්ලැවැ­ට්ස්කිගේ සමී­පම මිතු­රෙකි. ඇම­රි­කාවේ පදිං­චි­යට යෑමට පෙර ඇය ඉන්දි­යාවේ දිගු­ක­ලක් විසූ අතර බ්‍රිතාන්‍ය රජය ඈ දෙස සැල­කි­ල්ලෙන් සිටියේ ඇය රුසි­යානු රහස් ඔත්තු­කා­රි­යක ලෙස සැක කර­මිනි. ඇම­රි­කානු යුද දෙපා­ර්ත­මේ­න්තුවේ රහස් සොයන නිල­ධා­රි­යකු වූ ඕ‍ල්කො‍ට් පසුව බ්ලැවැට්ස්කි සමඟ එක්වීම සැක­යට තුඩු දෙන කරු­ණ­කැයි කියැවේ.

ඇයගේ ගුප්ත දැනුම ගැන ලංකාවේ භික්ෂූන් වහ­න්සේලා පවා ආක­ර්ෂ­ණය වී නම් ඇම­රි­කානු ආර­ක්ෂක අංශ කෙත­රම් ඒ දෙස විම­සි­ලි­මත් වී දැයි සිතා ගත හැකි ද? ගුප්ත විද්‍යාව පිළි­බ­ඳව රජ­වරු ප්‍රමුඛ පාල­ක­යන් පම­ණක් නොව අජටා­කාශ විද්‍යා­ර්ථීන් පවා විශ්ව­ස­නීය ඇල්මක් දැක් වූ බව පෙනේ. ඕ‍ල්කො‍ට් තුමා සත්‍ය වශ­යෙන් ම බෞද්ධ­යකු වූවා දැයි දැන සිටි ලාංකේය දැන­ව­න්තයා වනුයේ එතුමා සමඟ රට පුරා සංචා­රය කළ ධර්ම­පාල තුමා ය. ඕ‍ල්කො‍ට් තුමාගේ කිතුණු විරෝධී බෞද්ධ කට­යු­තු­ව­ලට ප්‍රබ­ලව බාධා නොකළ මෙරට මිෂ­නාරි ප්‍රමුඛ බ්‍රිතාන්‍ය පාල­කයෝ ද එය දැන සිටි­න්නට ඇත. මානව වර්ගයා වෙනු­වෙන් තරුණ ඩේවිඩ් (ධර්ම­පාල තුමා) තුළ වූ සත්‍ය ගරුක ශක්තිය පිළි­බ­ඳව බ්ලැවැට්ස්කි මැති­නිය මනාව දැන සිටි බව ධර්ම­පාල ලිපි කිය­වද්දී අව­බෝධ වෙයි. ගුප්ත විද්‍යාව අධ්‍ය­ය­නය නොක­රන ලෙස ද පාලි­භා­ෂා­ව හදා­රන ලෙස ද තරුණ ඩේවි­ඩ්ගෙන් ඉල්ලා සිටි බ්ලැවැට්ස්කි මැති­නිය මනුෂ්‍ය වර්ගයා වෙනු­වෙන් වැඩ කර­න්නැයි කියා සිටි­යාය. හිමා­ලයේ ආචා­ර්ය­වරුන් බුදුනු වහන්සේ කෙරෙහි දැක්වූ ශ්‍රද්ධා භක්තිය ගැන ද ධර්ම­පාල තුමා වටහා ගන්නේ බ්ලැවැට්ස්කි මැති­නි­ය­ගෙන් විය යුතුය.

ඕ‍ල්කො‍ට් තු­මාගේ බෞද්ධ­කම සහ ඊට විරුද්ධ වූ ධර්ම­පා­ල­තු­මාගේ බෞද්ධ­කම කොත­ර­ම්දැයි සංස­න්ද­නා­ත්මක ලෙස නිරී­ක්ෂ­ණය කිරී­මට ඔවු­නො­වුන්ගේ ක්‍රියා­කා­ර­කම් හා ඊට ලැබුණු ප්‍රති­චාර, විවේ­චන, ඇග­යුම් විමසා බැලී­මම සෑහෙයි. ඕ‍ල්කො‍ට් තුමාට එරෙ­හිව සිය බිරිය පැවරූ දික්ක­සාද නඩු­වෙන් කියැ­වුණු සිය මත්පැන් පානය හා ස්ත්‍රී ඇසුර වැනි දුසි­රිත් සල­කන විට එවැ­න්න­කුට ආග­මික ජීවි­ත­යක් ගෙවිය හැකිද යන ගැට­ලුව මතු‍ ­වෙයි. එතු­මාගේ මූලි­ක­ත්ව­යෙන් මෙරට ඇර­ඹුණු බොදු පාසල් පද්ධ­තිය හා ඉන් මෙරට ජාතික අර­ග­ල­යට හිමි වූ දාය­ක­ත්වය අපි ඉහ­ළින් සම­රමු. එහි තර්ක­යක් නැත. නමුත් ඕ‍ල්කො‍ට් තුමාගේ භාෂා පරි­ව­ර්ත­කයා ලෙස ඔහුත් සමඟ චාරි­කා­වෙහි නියැ­ළුණු ඩේවිඩ් හේවා­වි­තා­රණ හෙවත් ධර්ම­පා­ල­තුමා පවා පසු කලක එතු­මා­ගෙන් ඈත් විය. බුද්ධා­ගම වෙනු­වෙන් ඕ‍ල්කො‍ට් තුමාගේ කැප­වීම සහ ආකල්ප ධර්ම­පාල තුමාගේ විවේ­න­යට බඳුන් වූයේ ඇයි? ඕ‍ල්කො‍ට් තුමා රහස් පරී­ක්ෂ­ක­යෙක් ද? බුද්ධා­ගම ගැන පැහැ­දුණු බැති­ම­තෙක් ද?

හමු­දා­වට බැඳී යුද්ධ භූමි­යේදී බර­ප­තළ තුවාල ලැබූ ඕ‍ල්කො‍ට් හමු­දාවේ රහස් පරී­ක්ෂ­ක­යකු ලෙස සාර්ථ­කව සේව­ය­ කළ බව කියැවේ. හමුදා තුළ සිදුවූ අක්‍ර­මි­කතා සෙවී­මේදී ඔහු අප­රාධ නිරී­ක්ෂණ කාර්ය­යෙහි යහ­මින් නියැළී ඇත. හමු­දා­වෙන් ඉවත් වී නීති­ඥ­යකු බවට පත් විය. පසුව සිය රහස් පරී­ක්ෂණ අත්දැ­කීම් හා නීති­ඥ­යකු ලෙස වන පළ­පු­රුද්ද මත පෞද්ග­ලික රහස් පරී­ක්ෂක ආය­ත­න­යක් පවා පව­ත්වා­ගෙන ගොස් ඇත. මෙකල සිදු වූ ඒබ්‍ර­හම් ලින්කන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඝාත­න­යත් සමඟ ඇම­රි­කානු හමු­දාව ඕ‍ල්කො‍ට් ගේ සේවය යළි ඉල්ලා සිටීම සිය ජීවි­තයේ සුවි­ශේෂ සිදු­වී­මකි. ඇම­රි­කානු ආර­ක්ෂක නිල­ධා­රීන් ඕ‍ල්කො‍ට් සුවි­ශේෂ ආර­ක්ෂක නිල­ධා­රි­යකු ලෙස පිළි­ගෙන ඇති බව මින් පෙනේ.

කිතුණු විරෝ­ධි­යකු ලෙස පසු කලක ලංකා­වට ඕන මෙම ඇම­රි­කානු ජාති­ක­යාගේ එබඳු වූ අතී­තය අපට වැද­ගත් විය හැක්කේ ඔහුගේ අසී­මිත බොදු බැති­කම කව­ර­ක්දැයි නිරී­ක්ෂ­ණය කර­ද්දීය. ඕ‍ල්කො‍ට් තුමා ජාතික වීර­යකු ලෙස පිළි­ගැ­නී­මේදී එම තොර­තුරු ඉවහ්ල් වෙයි. පුව­ත්පත් කලා‍වේ­දි­ය­කුව සිටි සමයේ ඕ‍ල්කො‍ට් ක්‍රිස්ති­යානි ගූඪ ලෝකය පිළි­බ­ඳව බෙහෙ­වින් උනන්දු වී ඇතැයි කියැවේ.

ඔහු ‘ඩේලි ග්‍රැෆික්’ හා නිව්යෝක් ට්‍රිබි­යුන් පුව­ත්ප­ත්ව­ලට ලියූ ලිපි­වල එම උද්‍යෝ­ගය සුල­භව ගැබ් විය. ක්‍රිස්ති­යානි ආග­මෙහි පවත්නා ගූඪ ලෝකය හා අද්භූත මැවු­ම්කාර දේ ඕ‍ල්කො‍ට් ගේ අව­ධා­න­යට ලක් විය. මිනී­මැ­රුම් ගැන සෙවීම සඳහා ඔහු බූත­යින්ගේ ආධාර ලබා ගැනීම ගැන අව­ධා­නය යොමු කොට ඇත. ඕ‍ල්කො‍ට් භූත­යින් සමඟ කට­යුතු කළ අප­රාධ පරී­ක්ෂ­ක­යකු ලෙස දක්වා ඇත. ස්වභාව ධර්මය මනු­ෂ්‍ය­යාගේ අභ්‍ය­න්ත­රික ‍බලය පිළි­බඳ සෙවී­මට පසු කලක පරම විඥා­නා­ර්ථ­වා­දීන්ගේ ප්‍රධාන පර­මා­ර්ථ­යක් වූ බව සිය ව්‍යව­ස්ථා­වෙ­හිම සඳ­හන්ය.

තමා පෙර­දි­ගට එනම් ප්‍රධාන වශ­යෙන් ම ඉන්දි­යා­වට සහ ලංකා­වට ආවේ සත්‍යය සොයා­ගෙන බව ඔහුම පවසා ඇත. මෙම අතීත සාක්ෂි­ව­ලින් පෙනෙන්නේ ඔහු බෞද්ධ­යකු වන්නට පෙර සිටම සත්‍යය සොයා පරී­ක්ෂණ පැවැත්වූ බවයි. පාණ­දු­රා­වා­දය පිළි­බඳ ඉංග්‍රි­සි­යෙන් වාර්තා­ගත වූ පොත පත යුරෝ­පයේ ප්‍රච­ලිත වන්නට පෙර සිටම ඕ‍ල්කො‍ට් රහස් පරී­ක්ෂ­ක­ය­කුව සිට ඇත. බල­වත් ක්‍රිස්ති­යා­නිය පවා පැර­දවූ බෞද්ධා­ගමේ ප්‍රබල දර්ශ­නය කුම­ක්දැයි ඔහු ‍ගවේෂණය කර­න්නට ඇත. ආගම් භේද­ය­න්ගෙන් තොරව ඔහු සත්‍යය ගවේ­ෂණය කළ බව නොර­හ­සකි.

අප එම මෙහෙ­වර අනු­ස්ම­ර­ණය කරමු. ඒ සම­ඟම විදේ­ශීය බලය බල­පැ­වති පීඩා­කාරී යුග­යක මෙර­ටට ආ මෙම විදේ­ශි­ක­යාව නිරී­ක්ෂ­ණය කොට නිග­ම­නය කිරීමේ බලය විචා­ර­ශීලී වර්ත­මා­නික අප මත පැට­වෙයි.

 

Comments