සිහි­න­යක් සේ මැකී ගිය සදා­කා­ලික යෞව­නයා | සිළුමිණ

සිහි­න­යක් සේ මැකී ගිය සදා­කා­ලික යෞව­නයා

ඒ1988 පෙබරවාරි මස 16 වැනිදාය. ඒ මෙරට දේශපාලන ඉතිහාසයේ අඳුරුම අඟහරුවාදාය. යුක්තිය හා මානව ආචාරධර්ම වල්වැදුණු, කැලෑ නීතිය රජ වූ අඳුරු මූසල උදෑසනකට හිරු පායා ආවේ ද හැමතැ‍නකම වාගේ පැතිරී තිබූ සීතල මරණයේ අඳුරු සෙවණැලි මකාලන්න ඒ දුබල වූ හිරු කිරණට ශක්තියක් නොවුණා සේය.

 

උදෑසන සුපුරුදු ලෙස ගෙවී යමිනි. පොල්හේන්ගොඩ නි‍වෙසේ දොරටුව අබියස යශෝධරා දියණිය හා විමුක්ති පුතණුවන් තම පියාගේ දෑතේ දැවටී සුරතල් ‍වෙමින් සිටියෝය. චන්ද්‍රිකා ඒ මොහොතේ සිටියේ රොස්මිඩ් පෙදෙසේ නි‍ෙවසෙහිය. හිටි හැටි‍යේ පොල්හේන්ගොඩ පළාතම දෙදරවමින් එල්ල වූ වෙඩි වරුසාවකි. විජය කුමාරතුංග නම් වූ ඒ ‍සෙ‍නෙ‍හෙවන්ත පියා ඇද වැටුණේ සිඟිති දරු දෙදෙනා ඈතට තල්ලු කරමිනි. වෙඩි හඬට නිතරම කන් හුරුවූ ජනතාවට මේ වෙඩි හඬ කිහිපය ද එතරම්ම අරුමයක් නොවුණේය. වාතලය දෙදරවූ ඒ වෙඩි හඬ රටක් ආදරය කළ විශිෂ්ට මිනිසකු ලේ විලක් මැද මරා දමා තිබුණේය. මේ බිහිසුණු ආරංචියෙන් පොල්හේන්ගොඩ ප්‍රදේශය මතු නොව රටම ඇලළී ගියේය.

තම ගොඳුර ඩැහැගත් කුලී හේවායෝ තමන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගියහ. විජය කුමාරණතුංගට වෙඩි තබා තිබුණේ මුහුණටමය. රටක් සැනසූ ඒ සුන්දර මුහුණේ අවසන් සිනහව ඒ වනවිටත් මැකී ගොස් තිබිණි. එදා ‘කැඩපතක ඡායා‘ චිත්‍රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේ ද සිදුවෙතැයි ඔහු සිහිනයෙන් හෝ ‍නොසිතන්නට ඇත. ක්‍රිස්තු චරිතයට පණ ‍පොවද්දී ඔහුව ද කෙටි ක‍ලෙකින් මරා දමතැයි කිසිවකුට නොසිතෙන්නට ඇත. දේශපාලනයට පැමිණී‍මෙන් පසු විජයට එරෙහි ප්‍රබල සතුරන් රැසක් බිහිවී සිටිය ද විජය ඒවා සැහැල්ලුවෙන් බැහැර කළේය. කිසිවකුත් තම ජීවිතයට හානි නොකරනු ඇතැයි හේ තරයේම විශ්වාස‍ කළේය. එහෙත් ‍ලාං‍කේය සිනමා‍වේ සිහින කුමරා මතු නොව, විශිෂ්ට මානව හිතවාදියෙකු වූ ද, අතිශය සොඳුරු මිනිසකු වූ ද, පෙම්බර සැමියකු වූ ද, දරු දෙදෙනකුට ආදරණීය පියකු වූ ද, විජය කුමාරණතුංගයන් හතළිස් තුන් වන වියේ දී අනපේක්ෂිත ලෙස බිහිසුණු ඉරණම් ගමන ගියේය.

විජය‍ගේ අකල් මරණය ආරංචි වී ෆිලික්ස් ‍පෙ‍‍රේරා ඇතුළු කිහිප ‍දෙ‍නෙක් රොස්මිඩ් පෙදෙසේ නි‍වෙසට ගොඩ වූයේ චන්ද්‍රිකා දකින්නටය. ඇය බිම පෙරළී හඬා වැලැපෙමින් සිටියාය. ඒ ඛේදනීය මොහොතේ අත්දැකීම වරෙක ෆීලික්ස් පෙරේරා පුවත්පතකට කියා තිබුණි.

දැන් සියල්ල අවසානය. බොහෝ වැලපීම්, සුසුම් හෙළීම් මධ්‍යයේ මරණයේ වැඩ කටයුතු කිරීමට පිරිස යුහුසුලු වූහ. වෙඩි පහරින් විජයගේ මුහුණ බරපතළ ලෙස විනාශ වී තිබිණි. ප්‍රවීණ සිනමා වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහ මළ සිරුරේ මුහුණ ජීවමාන ආකාරයට ඉතා සමීප තත්ත්වයෙන් සැකසුවේය. එහෙත් චන්ද්‍රිකාගේ අදහස වූයේ විජය ජීවතුන් අතර සිටියදී පැවැසුවාක් මෙන් යම් හෙයකින් මිය ගිය විටදි තම මුහුණ විරූපීව තිබුණොහොත් එය තමාට ආදරය කළ සුවහසක් රසික ප්‍රජාවට නොපෙන්වන ලෙසයි. ඒ අනුව විජයගේ දේහයේ මුහුණ හා උඩුකය ආවරණය කොට දෙනෙහි තැම්පත් ‍කෙරිණි.

විජය වියෝ වූ පුවත ඇසූ ජනතාව වැල නොකැඩී පොල්හේන්ගොඩ නිවෙසට එක් වූහ. එදා විජයගේ සිනමා රසිකයින් ලක්ෂ ගණනක් හමුවේ ඔහුගේ නෑදෑයන් වෙනුවෙන් කතාවක් පවත්වමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවැසුවේ "විජය දේශ ද්‍රෝහියකු නම් අද මෙතැනට එක්වූ අප සැවොම දේශ ද්‍රෝහීන් විය යුතුය. ඒ මක් නිසාද, දේශද්‍රෝහියකුට උපහාර දැක්වීම ද දේශද්‍රෝහී ක්‍රියාවක්ම වන බැවිනි." විජය කුමාරතුංග නම් වූ සොඳුරු කලාකරුවා හට මෙසේ සිය ජීවිතයෙන් අකාලයේ සමුගැනීමට සිදු වී තිබුණේ ද ඔහු මානව හිතවාදී දේශපාලනයක නිරත වීමේ වරදටය.

1945 ඔක්තෝබර් මස 09 වැනිදා සීදූවේ පදිංචිව සිටි කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග හා ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග යුවළට දාව කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නමින් ඔහු මෙලොව එළිය දුටු මොහොත් මේ පුතු සුවහසක් රසික ප්‍රජාව‍ගේ සිහින කුමරා වී ආදරය ලබමින් සිහිනයක් සේ පැමිණ සිහිනයක් සේ මැකී යනු ඇතැයි ඒ මවුපිය දෙපළ සිහිනෙකිනුඳු නොසිතන්නට ඇත. සිඩ්නි, විවියන්, රූපා යන ස‍හෝදර ස‍හෝදරියනට මැදිව ඉපැදුණු ඔහු කුඩා කල පටන් අධ්‍යාපනයට මෙන්ම කථනය, ගායනය හා ක්‍රීඩා වැනි විෂයය පරිබාහිර කලා කටයුතුවලටත් එකසේ දස්කම් පෑ‍වේය. කරදඬු උස් මහත් වීමට පෙර විජයගේ පියා ජීවිතයෙන් සමුගත්ත ද සිය පවු‍ලේ බර කරට ගත් මව තම දරුවන් ගේ අධ්‍යාපන කටයුතුවලට අඩුවක් වීමට ඉඩ ‍නොතැබුවාය. ඇගේ ඒ කැපවීම නිසාමදෝ දයාබර මවට විජය දැක්වූයේ අසීමිත සෙනහසකි. වැඩකටයුතුවලට කොළඹින් පිට නොගියේ නම් ඇය ලවා බත් කටක් කවා ගන්න මේ ‘යෝධ මිනිසා’ කිරි දරුවකු සේ මව සොයා එයි. නැක්සලයිට් චෝදනා මත සිරගත කර සිටින විටදී පවා සිරමැදිරියේ සිට ඔහු ලියුම් ලියා ඇත්තේ සිය මවට සහ විමුක්ති පුතුට පමණකි.

සීදුව මහා විද්‍යාලය, කදාන ද මැසනොද් විද්‍යාලය හා කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලෙන් සිප්සතර හැදෑරු විජය‍ගේ අභිප්‍රාය වූයේ උස් මහත් වූ පසු පොලිස් නිලධාරියකු වීමටයි. එයට අවශ්‍ය වන ආරෝහ පරිණාහ දේහයක් ද ඔහු සතු විය. 20 වැනි වියට පා තබන විට විජයට ‍හොඳටම ‍‘පොලිස් උණ’ වැලැඳි තිබිණි. එහෙත් දෛවය ඔහුට නියම කළේ සිනමා නළුවකු වන ලෙසය. 1960 දශකයේ මැද භාගය වන විට ඔහු කඩවසම් තරුණයකු ද විය. ග‍මෙහි කා අතරත් ජනප්‍රියව සිටි ඔහුට ක්‍රම ක්‍රම‍යෙන් තම රූපකාය හා ආකර්ෂණීය බව වටහා ගත් නිසා දෝ කෙමෙන් කෙමෙන් කලා කටයුතුවලට යොමු ‍වෙමින් ශේෂා පලිහක්කාර යටතේ නර්තනයත් පී.වැලිකල සහ ජේ.එච්.ජයවර්ධන යටතේ නාට්‍ය රංගනයත් හැදෑරු‍වේය.

විජය සිනමා කැමරාවක් ඉදිරියේ මුල් වරට පෙනී සිටිනුයේ ‘මනමාලයෝ‘ චිත්‍රපටයේ වුවද එය ‍පෙනී සිටීමක් පමණි. ටයිටස් තොටවත්තයන් විසින් නිර්මාණය කරන්න සැරැසුණු ‘පුරන් අප්පු ‘ චිත්‍රපටයට ද විජය තෝරා ගත් බවක් කියැවේ. එහෙත් ලාංකේය සිනමාවේ සිහින කුමරා වූ විජය සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ සුගතපාල සෙනරත් යාපාටය. ඒ‘ හන්තානේ කතාව‘ චිත්‍රපටයේ බන්දු ‍ගේ චරිත‍යෙනි. එම චරිතයට පසුබිම් වූ රසවත් කතාවක් පසු කලෙකදී ප්‍රවීණ ඡායාරූප ශිල්පි බර්ටි ගුණ‍සේකරයන් හෙළි කළේය. එනම් බන්දු චරිතයට විජයගේ ක්‍රේල් කොණ්ඩය නොගැලපුණු නිසා කොණ්ඩය කැප්පවීමේ කාර්යය පැවැරි තිබුණේ බර්ටිට ය. සිය අලංකාර කොණ්ඩයට විජය ඉතා ආදරය කළ හෙයින් කොණ්ඩය කැපීමට ඔහු අකමැති වූ නමුත් චරිතය රඟපෑමට නම් එය කැපිය යුතුම විය. බලෙන්ම පේරාදෙණි කැම්පස් එක අසල වූ බාබර් සාප්පුවට රැගෙන ගිය විජය තම ලස්සන කැරලි කොණ්ඩය ටික ටික කැපෙද්දී හැඬු බවයි. මේ අවදියේම ජී.ඩී.එල්.පෙරේරා ගේ රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටය උදෙසා ද විජය තෝරා ගැනිණ. විජය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘ක්ෂිතිජය ගීත‘ නාටකයෙන් ගායනයට සහ වේදිකාවට පිවිසෙන විජය ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ ඇතින්නියා‘ නාට්‍යයයේ ද රඟපෑවේය. එයින් පසු විජය ඉස්මතු වනුයේ සිනමා නළුවකු ලෙසය.

‘හන්තානේ කතා‍ව තිරගත වීමත් සමඟ ඔහු එක රැයින් ජනප්‍රිය වූ බව කීම අති‍ශයෝක්තියක් ‍‍නොවණු ඇත. මේ කඩවසම් නළුවා ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්හ. චිත්‍රපටය තිරගත වන්නටත් පෙර ඔහුට චිත්‍රපට රැසක රංගන වරම් හිමි විය. එතැන් සිට ඔහුගේ ගමන නැවැත්විය හැකි වූයේ 1988 දී දුෂ්ට තුවක්කුකරුවාට පමණි. විජය සිය ‍කෙටි ජීවිත කාල‍යේ චිත්‍රපට 100කට වඩා රඟපා ඇත. 1983 වසරේ පටන්, නොකඩවා සය වතාවක් ජනප්‍රියම නළුවා වෙනුවෙන් පිදෙන සරසවි සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වෙනවා. මීට අමතරව ‘සහරාවේ සිහිනය‘ හා ‘දොළොස්මහේ පහන‘ වෙනුවෙන් හොඳම ගායකයාට පිදෙන සරසවි සම්මානයත් ඔහුට හිමිවුණත්, අවාසනාවට ඒ වන විට ඔහු සිය දිවියෙන් සමුගෙන අවසන්.

ස්වර්ණා මල්ලවආරච්චිගෙන් පට‍න් ගෙන සබීතා පෙරේරා දක්වා සියලු ප්‍රධාන නිළියන් සමඟ තිරයේ පෙම්වතා ලෙස රඟපෑ විජයගේ වැඩිමවාර ගණනක් තිරයෙ පෙම්වතිය වූයේ මාලිනී ෆොන්සේකා ය. විජය හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරණායක හා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරණායකගේ කණිටු දියණිය වන චන්ද්‍රිකා බණඩාරනායක හා විවාහ ‍වෙමින් ආදරණීය සැමියකු, ය‍ශෝධරා විමුක්ති නම් වූ ආදරණීය දරු ‍දෙපළට පියකු ‍වෙමින් තම ජීවන ගමන ඇරැඹීය.

1987 වසරේ සිදු වූ එච්.ආර් ජෝතිපාලයන්ගේ මරණ‍යෙන් පසු තමන් රඟන චිත්‍රපටවල පසුබිම් ගායනය තමා විසින්ම සිදු කිරීමට ඉටාගත් විජය පසුබිම් ගායකයකු ‍ලෙසද දිගු ගමනක් යන්න පෙරුම් පිරු‍වේය. “මං බලාපොරොත්තු වෙනවා හොඳම ගායකයා හැටියට සම්මානයක් ලබන්න“ වරක් 1987 දී සත්සර’ සංගීත පුවත්පතට කළ සාකච්ඡාවකදී ඔහු එ‍සේ පැවැසීය. එම කතාවට එකල ගී ලොවේ ඇතැම් විශාරද ගායකයන් කුපිත වූවත් හොඳම ගායකයා ලෙස දෙවරක්ම සම්මාන ලබමින් විජයගේ ඒ සිහිනය හැබෑ විය.

‘නළුවෙක්’ යනු සිහින ලෝකයක ජීවත් වන්නෙක් ලෙස බොහෝ දෙනා සිතුවත් විජය එයින් පරිබාහිරවූ චරිතයකි. හැකි සෑම විටම පීඩිත පන්තිය හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු සිය දේශපාලන ගමන අරඹන්නේ 1970 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයට බැඳෙමින්ය. අසූව දශකයේ මැද භාගය විජයට දේශපාලන ගමනට එතරම් යහපත් කාල පරිච්ඡේදයක් ‍නොවීය. නැක්සලයිට් චෝදනාවට බන්ධනාගාරගත වීමට පවා සිදු වූ ඔහුට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලවා ලියවාගත් ‘දඟ ගෙයි දඬුවම්’ ගීතයට පාදක වී තිබු‍‍ණේ බන්ධනාගාරයේ ලද අත්දැකීම් යැයි පැවැ‍සෙයි. කෙටි ක‍ලෙකින් බන්ධනාගාරයෙන් නිදහස් වූ විජය 1984 වසරේ දී ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවමින් දේශපාලන වේදිකාවේ ඉතා ආකර්ෂණීය චරිතයක් විය. ‍කෙ‍මෙන් ‍කෙ‍මෙන් ඔහු වටා ජනයා එක් රොක් වීම ගතානුගතික දේශපාලන පක්ෂවල බලවතුන්ගේ දෙබැම හැකිළුවීමට හේතුවක් විය. දේශපාලන පක්ෂ කිහිපයක්ම විජය සමඟ සන්ධානගත වීමට කැමත්ත පළ කළ තිබූ අතර එහි ගිවිසුම අස්සන් කිරීමට යොදගෙන තිබුණේ 1988 පෙබරවාරි මස අග භාගය යි.

සමස්ත මනුෂ්‍ය සංහතිය ‍කෙ‍රෙහි වූ විජය‍ගේ ආදරය බහුතර දේශපාලකයන් පෙන්නුම් කරන ආකාරයේ ව්‍යාජ රංගනයක් ‍නොවිණි. වරක් අනුරාධපුර ගල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට වකුගඩු ශල්‍ය කර්මයක් කරගැනීමට ඔහු අතිවිශාල මුදලක් ලබා දී ඇත්තේ පෞද්ගලික දැන හැඳුනුමකින් තොරවය. එයද බිරිය චන්ද්‍රිකා පවා දැනගත්තේ විජය ගේ වියෝවෙන් පසුවය. දිනපතා තමන් සොයා එන අසරණ ජනයාට හැකි අයුරින් ඔහු පිහිට විය. කිසිවක්ම දෙන්නට නොතිබූ දිනක පැමිණි දුගියකුට ඔහු තම රුව සහිත දින දර්ශන ලබා දී ඒවා අලෙවි කර හෝ මුදලක් සොයා ගැනීමට ඔවුන් දිරි ගැන්වීය. සිංහල සිනමාවේ සහෝදර නළු නිළියන්ගේ දියුණුව ඔහුගේ පැතුම විය. එවැන්නන් නිපදවූ බොහෝ චිත්‍රපටවල ඔහු නොමිලේ රඟපෑවේ තමන්ගේම වාහනයේ පැමිණ තමන්ගේම ඇඳුම් පැලඳුම්වලින් සැරසෙමිනි.

විජය‍ගේ වූ ඒ මානවහිතවාදී ගුණයට කොතෙක් මිනිසුන් ඇලුම් කළේද කියතොත් ඔහු‍ගේ අනුගාමිකයෙක් කලා භවනේ විජයගේ දේහය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබා ගෙන මිය ගියේ “ විජේ මහත්තයා නැතුව ජීවත්වෙලා වැඩක් නෑ...” කියමිනි. ඔහු මරා දැමූ ශෝකයෙන් ආහාර නොගෙන මත්පැන් පමණක් පානය කරමින් සිටි නුගේගොඩ ඡායාරූප ශිල්පියෙක්ද විජයගේ ආදාහනයෙන් ස්වල්ප දිනකට පසු මිය ගි‍ය බව තවත් ආරංචියකි.

මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාට ය. විජය නම් ගායකයාට ය. ‍දෛවය ඔහුට නළුවකු වන්නට නියම කළද විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. ඒ ඔහු ‍ගේ තිබූ මානවහිතවාදී ගුණය හා පීඩිතයින් නඟා සිටුවීමේ තද උවමනාව වන්නට ඇත. ඔහු ප්‍රාර්ථනා ක‍ළේ විරුවකු ‍ලෙස මැ‍රෙන්නටය. චිත්‍රපට රංගනයකදී නිළියක් සමඟ මල් ගස් ව‍ටේ දුවමින් සිටින විට හාර්ට් ඇටැක් එකකින් අ‍පේ තාත්තා‍ මිය ගිය වග කෙදිනක හෝ තම දරුවන් පවසනවාට ඔහු‍ගේ කිසිදු කැමැත්තක් ‍නොතිබිණි. ඔහු හැම විටම පැවැසූ‍වේ “මට ආදරය කරන ‍මේ රූප‍යෙන් ඉඳිද්දිම මැ‍රෙන්නයි මම කැමැති“ යනු‍වෙනි.

ආදරණීය විජය ජීවත් ව සිටි කාලය බෙහෙවින් කෙටි එකකි. එහෙත් සියවසක් ගෙවූ ජීවිතයකට වඩා එහි මතකය සදා අමරණීයයි.

Comments