සිංහල සින­මාවේ සදාතනික ආදරය | සිළුමිණ

සිංහල සින­මාවේ සදාතනික ආදරය

හැටේ දශකයේ අග වන විට මෙරට සිනමාවේ ප්‍රධාන චරිත රඟපෑ නළුවන් අතරින් ඉදිරියෙන්ම සිටියේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ය. මෙවන් පරිසරයකදී එක්තරා යෞවනයකුගේ සිනමා සම්ප්‍රාප්තිය මෙරට සිනමා ලෝලීන්ගේ අවධානයට දිනාගන්නට හේතු විය. එදා එලෙස ඇරැඹුණු ඔහුගේ සිනමා දිවිය දශක දෙකකට ආසන්නව නොකඩවා ගලා යමින් සිනමා ලෝලීන්ගේ සදාතනික ආදරය දිනාගනිමින් මෙරට සිනමාවේ සිහින කුමරා ලෙස හැඳින්වූ විජය කුමාරතුංග නම් වූ ඔහු අදට අපෙන් සමුගෙන වසර තිස් දෙකකි.

සිය කුලුඳුල් රංගනය රිදි තිරයේ තිරගත වන්නත් මත්තෙන් චිත්‍රපට විස්සකට පමණ සම්බන්ධ වීමට තරම් වාසනාවක් විජය සතු වීම විශේෂත්වයකි. ඔහුගේ සිනමා දිවියේ එවැනි සුවිශේෂී අවස්ථා ගොන්නකි. සිනමාවට පිවිස වසර කිහිපයක් ගෙවී යන්නත් මත්තෙන් නිළියන් බොහෝ දෙනකු සමඟ රඟපෑමේ අවස්ථාව ඔහුට හිමි විය. ‘හන්තානේ කතාව‘ තිරගත වීමට පෙර ඔහු පෙනී සිටි ‘මනමාලයෝ‘ නම් වූ චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවාරච්චි සමඟ රඟපෑ ඔහු ‘ප්‍රියංගා‘ චිත්‍රපටයේ කාන්ති ලංකා සමඟ ද හැත්තැව දශකයේ මුල් අවදියේ මාලිනි ෆොන්සේකා, ස්වර්ණා කහවිට, නීටා ප්‍රනාන්දු, සුමනා අමරසිංහ, වැනි මෙරට සිනමාවේ ප්‍රධාන චරිත නිරුපණය කළ නිළියන් සමඟද ප්‍රධාන චරිත නිරූපණය කළේය.

1971 වසරේ ‘රන් ඔන්චිල්ලා‘, ‘හතර දෙනාම සූරයෝ‘, ‘අභිරහස‘, ‘කේශර සිංහයෝ‘ , ‘බිඳුණු හදවත්‘ සහ ‘සමනල කුමරියෝ‘ යන චිත්‍රපටවල ඔහු රංගනය සුවිශේෂ විය. මෙරට සිනමාවේ වඩාත් ආකර්ෂණීය පෙම් යුවළ ලෙස සැලකෙන විජය- මාලිනි යුගය බිහි වෙන්නේ ද මේ වකවානුවේය.

තවද එම වසරේම මණ්ඩල තුනක ඔහු රඟපෑ චිත්‍රපට තුනක් එක­්වර තිරගත වීමද ඔහුගේ සිනමා ජිවිතයේ කැපී පෙනේ. ඒ වන විට මෙරට සිංහල චිත්‍රපට තිරගත වූ ප්‍රධාන මණ්ඩල දෙක වූ සිලෝන් තියටර්ස් හා සිනමාස් යන සමාගම් දෙක හා කලාතුරකින් තවත් මණ්ඩලයක් වූ සිලෝන් එන්ටර්ටෙන්ට්මන්ට් මණ්ඩලයේ එවැනි අහඹු අවස්ථාවක් උදා වූයේ විජය සම්බන්ධයෙනි.

කෙසේ නමුත් 1972 වසර වනවිට ඔහු මෙරට සිනමාවේ පෙරැළිකාරයෙකු වන බවට ලකුණු දසතින්ම පහළ වී හමාරය. ඒ වනවිට ජනප්‍රියත්වයෙන් දෙවැනි වූයේ ගාමිණි ෆොන්සේකාට පමණි. 1976 වසර විජය-මාලිනි යුගය සම්බන්ධයෙන් වඩාත් විශේෂ වුයේ ඔවුන් ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට එක දිගට තිරගත වීම නිසාය. ඉන් පසුද වසර ගණනක් විජය - මාලනි රිදී තිරය ආක්‍රමණය කළෝය.

විජය-මාලිනි යුගය පමණක් නොව විජය-ගීතා, විජය-සබීතා යන යුග බිහි විය. මෙරට සිනමාවේ ආකර්ෂණීය පෙම් යුවළ විජය-මාලිනි වන්නා සේම මෙරට සිනමාවේ වර්ණවත් පෙම් යුවළ වූයේ විජය-ගීතා ය. එයට හේතුව අසුව දශකයෙහි පටන් සිංහල චිත්‍රපට වැඩි වශයෙන් නිපදවන්න පටන් ගැනීමෙන් පසු නිෂ්පාදකයන් වඩාත් උත්සුක වුයේ මෙම දෙදෙනා යොදා ගනිමින් වර්ණ චිත්‍රපට නිපදවීමටය. මේ සඳහා ආරම්භය ලබා දුන්නේ මෙරට විනෝදාත්මක සිනමාවේ මුල්ම පෙරළිකාර වර්ණ චිත්‍රපටය වූ ‘අංජානා‘ නිර්මාණය කළ යසපාලිත නානායක්කාරයි.

පසු කලෙක එනම් අසුව දශකයෙහි අග පමණ වන්නට සිංහල සිනමාවේ විජය - සබීතා යුගය ඇරැඹිණි. ඒ වනවිට මෙරට සිනමාවේ වඩාත් ආකර්ෂණීය නළුවා ලෙස විජය ද යොවුන් නිළියක ලෙස සබීතා පෙරේරාද වඩාත් ආකර්ෂණය දිනා ගෙන සිටියහ. 1989 තිරගතවූ ‘මමයි රජා‘ හා ‘නොම්මර 17’ 1993 තිරයට පැමිණි ‘සූරයින් අතර වීරයා‘ යන චිත්‍රපට විජය-සබීතා යුගයේ දිගු ගමන පසක් කළද විජයගේ අකල් වියෝවෙන් එය මල් පල දැරීමට නොහැකි විය.

විජය හා පුරා කියා ගාමිණි සමඟ චිත්‍රපටයකට අවතීර්ණ වන්නේ 1971 නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සූරයෝ‘ චිත්‍රපටයෙනි. ඉන් පසු ‘ආදරේ හිතෙනවා දැක්කම‘, ‘හොඳම වෙලාව‘, ‘සැණකෙළිය‘ වැනි චිත්‍රපටවල එක්ව රඟපෑ මුත් 1974 තිරගත වූ ‘සැණකෙළිය‘ චිත්‍රපටයෙන් පසු දෙදෙනා එකට රිදී තිරයේ දැක ගත නොහැකි විය. වසර කිහිපයක එම නිහඬතාවට විරාමය තැබුණේ ගාමිණි විසින් අධ්‍යක්ෂණය කළ ‘සක්විති සුවය‘ චිත්‍රපටයෙනි. 1982 ‘සක්විති සුවය‘ තිරගත වූ අතර එහි ප්‍රධාන චරිතයට ගාමිණිගේ තේරීම වූයේ විජයයි.එහිදී ඔහුගේ පෙම්වතිය වූයේ සබීතා පෙරේරාය. හැටේ දශකයෙහි පටන් 1982 වන තුරු මෙරට ජනප්‍රියතම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ගාමිණි ය. නමුත් 1983 වසරේ සිට මිය යන තුරුම එහි අයිතිය විජයට හිමි විය. මරණයෙන් පසුද ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය විජයට හිමි වීම ද කැපී පෙනෙයි.

වැඩි චිත්‍රපට ගණනක පෙම්වතාගේ චරිතය නිරූපණය කළ විජයට චරිතාංග නළුවෙකු ලෙස ඉස් මතුවන්නට නොහැකි වූ බව විචාරක මතය වුවද පාරදිගේ,බඹරු ඇවිත්, මරුවා සමග වාසේ,බැද්දේගම ,කැඩපතක චායාවැනි චිත්‍රපටවල වෙනස් චරිත නිරූපණය කිරීමේ අවස්තාව ඔහුට හිමිවිය, එමෙන්ම ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ ජේසු තුමන්ගේ ගේ චරිතය නිරූපණය කිරීමේ අවස්ථාවද ඔහුට අත්විය.

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරින් සම්භාව්‍ය මෙන්ම වෙනස් මාදිලියේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ලෙස හැඳින්වෙන ලෙස්ටර් ජේම්ස් පිරිස්, ගාමිණි ෆොන්සේකා, ධර්මසේන පතිරාජ, සුනිල් ආරියරත්න, සුගතපාල සෙනරත් යාපා, එච්.ඩී.ප්‍රේමරත්න, විජය ධර්මශ්‍රී වැනි අධ්‍යක්ෂකවරුන්ගේ මෙන්ම වාණිජ සිනමාවේ කැපී පෙනුණු ලෙනින් මොරායස්,නිල් රූපසිංහ,යසපාලිත නානායක්කාර,සුනිල් සෝම පිරිස්, කේ.ඒ.ඩබ්.පෙරේරා,හේමසිරි සෙල්ලප්පෙරුම වැනි අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටවලද ඔහු රඟපෑ අතර විශේෂයෙන් හැත්තැව දශකයේ අති ජනප්‍රියතම වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ලෙස සැලකුණු ජේ.සෙල්වරත්නම්,සේන සමරසිංහ, ජෝ දේව් ආනන්ද් යන අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටවල රඟපෑමේ අවස්තාව ඔහුට නොලැබිණි, සමහර විට මේ අය අතුරෙන් බොහෝ විට සේන සමරසිංහ හා ජේ.සෙල්වරත්නම් ගාමිණි ෆොන්සේකාත් ජෝ දේව් ආනන්ද් රෝයි ද සිල්වාත් තම චිත්‍රපටවල ප්‍රධාන නළුවා ලෙස යොදා ගැනීමද මිට හේතු වන්නට ඇත.

පසු කලෙක විජය චිත්‍රපට නිෂ්පාදනයට ද යොමු විණි. මේ අතරින් ඔහු මුලින්ම නිෂ්පාදනය කළ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ‘වරදට දඬුවම්‘ චිත්‍රපටයට ඔහු සමඟ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ වසර ගණනක් සිනමාවේ තමාගේ කතා නායිකාව වූ මාලිනි ෆොන්සේකාවය. මේ චිත්‍රපටය තිරගත වන්නේ ඔහුගේ මරණින් පසුය. ඔහු නිෂ්පාදනය කළ අනෙක් චිත්‍රපටය ‘සමාව‘ නමින් නම් කර තිබිණි. වාර්තා වන ආකාරයට වැඩ අවසන්ව තිබුණද මෙය තවමත් ප්‍රදර්ශනය වී නැත. මීට අමතරව ඔහු රඟපෑ ‘මංමුලා වැල්‘, ‘ඉගිලෙන කුරුල්ලෝ‘, ‘සුදු මොණරු‘ යන චිත්‍රපටද තිර ගත නොවිය. ‘සමාව‘ චිත්‍රපටය සම්බන්ධයෙන් කතා කරන විට අමතක කළ නොහැකි සංගීත අධ්‍යක්ෂකවරයකුවූ වන ආර්. මුත්තුසාමි මෙහි සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරා ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් විජය මිය යෑමෙන් පසු මුත්තුසාමි පැවසුවේ වසර ගණනාවකට වසර 16කට පසු තමන් යළි සිනමාව වෙත කැඳවාගෙන ආවේ විජය බවයි.

 

Comments