වෙනස් මඟක ගිය විජය | සිළුමිණ

වෙනස් මඟක ගිය විජය

ජීවිකාව පිණිස රඟපෑවද, සැබෑ ජීවිතයේ දී නොරඟන මිනිසුන්ද මේ ජීවන රඟමඬලේ ඉඳහිට ‍හෝ අපට හමුවේ. නළුවෙකු ද ජනප්‍රිය තරුවක් ද වූ විජය කුමාරතුංග වෘත්තීය ජීවිතයේදී හැර සැබෑ ජීවිතයේදී රඟන්නට නොගිය අපූර්ව මිනිසෙකුයි කීම අතිශයෝක්තියක් නොවේ. රූගත කිරීම් අතරවාරයේ හෝ හමාරයේ එළැඹෙන ඉසිඹුවකදී ද මහමඟදී ද අ‍හම්බෙන් තමන් හමුවට එන නාඳුනන රසිකයා වෙතත් විජයගෙන් ප්‍රකට වූයේ අව්‍යාජ මිත්‍රත්වයකි. ඔහුගේ නිරහංකාරකම නිසා ම රසික සහෘදයින්ට විජය මුණගැසෙන ඕනෑම අවස්ථාවක ඔහු හා වචනයක් දෙකක් කතා කරන්නටත්, සමරු සටහනක් ලබාගන්නටත් කිසිදු බාධාවක් නොවීය. හේ කිසි විටෙකත් ජනප්‍රියත්වයෙන් හිස උදුම්මවාගත් ආඩම්බරකාරයෙක් නොවීය.

සින‍මාවේ සරල පෙම්වතාගේ චරිතයෙන් වැසී ගිය විජයගේ සැබෑ චරිතය මානව දයාවෙන් පිරී එකක් විය. කලාව මානව ප්‍රගමනයට හේතු විය යුතු අතරම, කලාකරුවා සැබෑ මානව හිතවාදියකු මෙන්ම ජාති කුල ආගම් ආදී පටු සීමාවන්ගෙන් ඔබ්බට ගිය විවෘත මනසකින් යුක්ත අයකු විය යුතුය යන දැක්මක් විජයට තිබූ බව ඔහුගේ භාවිතාව අපට පසක් කර දෙයි.

චිත්‍රපට ක්ෂේත්‍රයේ ඔහු උපයාගත් ජනප්‍රියත්වය නමැති මානව ප්‍රාග්ධනය දේශපාලනය නම් අතිශය අවදානම් සහගත ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට විජය තුළ පැවැති ඉහත දැක්ම හේතු වී යැයි සිතේ.

එහෙත් ආරම්භයේ සිට අවසානය දක්වාම ඔහුට මේ මහපො­‍ෙළාවේ දේශපාලනය යා නොදුන්නේය. සිනමාවේ අහිංසක පෙම්වතා ද, ජනප්‍රිය තරුවක් ද වූ ඔහුගේ දේශපාලන ආගමනය මෙරට සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට පෙනුණේ මහා නපුරක පෙරමඟ ලකුණු මෙනි. සිනමාවේ දී වීරයකු ද්‍රෝහියකු වන්නට ගත වෙන්නේ ඇසිපිය හෙළන තරම් අඩු කාලයකි. එහෙත් මෙරට දේශපාලනයේදී විජය ද්‍රෝහියෙකු තේරුනේ විදිල්ලක් තරම් වේගයකිනි. ආණ්ඩු විරෝධී නැක්සලයිට් අපරාධකාරයකු ලෙස ඔහු සිරගත තෙරෙන්නද, ජනතා කැමැත්ත මත පාර්ලිමේන්තුවට තේරීපත් වන්නට තිබූ අවස්ථාව ඇහැට පෙනි පෙනී අහිමි වන්නේද ඒ නිසාවෙනි.

එහෙත් තම අරමුණ වෙනුවෙන් අවදානම් දරන්නට ඒ කිසිවිටෙකත් නොපැකිළුණු ඔහු දකුණේ සිංහල රසික ප්‍රජාව වෙතින් උපයාගත් ජනප්‍රියත්වය නම් සමාජ ප්‍රාග්ධනය උතුරේ දෙමළ ප්‍රජාව දිනා ගැනීම සඳහා ඔට්ටු තැබුවේය.

උතුරේ සහ දකුණේ අවස්ථාවාදී, අන්තවාදී හා ජාතිවාදී දේශපාලනය විසින් කිරි පොවා පෝෂණය කළ උතුරේ සන්නද්ධ දෙමළ බෙදුම්වාදය අතු ඉතිලා වැඩෙමින් තිබූ අසූව දශකයේ මැදභාගය වන විටත් එය මුළු මහත් රටේම හෙට දවස අගාධයට හෙළන ලකුණු පහළ කරන්නට විය. ඒ නිසාම එය මැඬ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නැගී තිබූ අතර, ඒ වෙනුවෙන් උතුරට ගිය ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකුට ම උතුරේ සන්නද්ධ සංවිධාන විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ හෙයින් ඔවුන් නිරුපද්‍රැතව නිදහස් කරගැනීම වහ වහා කළ යුතු විය.

ඒ අනුව තම සමීපතම දේශපාලන සගයන්ව සිටි ඔසී අබේගුණසේකර හා ෆීලික්ස් පෙරේරා සමඟ 1986 දී යාපනය බලා ගිය විජය කුමාරතුංග එවකට කොටි සංවිධානයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයන්ව සිටි කිට්ටු හා රහීම් ඇතුළු අවි ගත් තරුණයන් සමඟ සාකච්ඡාවක නිරත වෙමින්, ‘උතුර හා දකුණ යනුවෙන් බෙදීමක් හෝ බේදයක් අවශ්‍ය නැති බවත්, සිංහල දෙමළ සියලු දෙනා මේ ‍රටේ මිනිසුන් වශයෙන් සමගි සම්පන්න විය යුතු බවත්’ අවධාරණය කළේය.

ඒ වන විටත් දකුණේ සිංහල සමාජය තුළ සාතිශය ජනප්‍රිය තරුවක ලෙසින් වැජඹෙමින් සිටි විජය උතුරේ අවිගත් බෙදුම්වාදීන් සමඟ හාදකම් පැවැත්වීමට යෑම සියතින් ගෙල සිඳ ගැනීමක් හා සමාන ය. එහෙත් රටේ හෙට දවසේ සමඟිය වෙනුවෙන් ඔහු ඒ අවදානමට මුහුණ දෙන්න තරම් එඩිතර විය.

දකුණේ අවස්ථාවාදී දේශපාලන මෙහෙයුම් විසින් කළු ජූලිය ද අනූ දහසක් වටිනා පොත් පත් අළුගොඩක් බවට පත් කළ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම ද ක්‍රියාවට නගා දකුණ කෙරෙහි උතුරේ විශ්වාසය බිංදුවට දමා තිබියදී දකුණෙන් ගිය, නැගී එන තරුණ සිංහල බෞද්ධ දේශපාලන නායකයකු වූ විජය කුමාරතුංග උතුරේ තාරුණ්‍ය අමන්ත්‍රණය කළ ආකාරය ඔවුන් අන්ද මන්ද කළේය. යාපනය නල්ලූර් කෝවිල් බිමට එක් රොක් වූ උතුරේ තරුණ තරුණියන් පමණක් නොව, වාමාංශික දේශපාලනය කෙරෙහි බරතබා ක්‍රියා කරමින්, උතුරු දකුණු වාමවාදී දේශපාලන කඳවුරක් ගොඩනැගීම පිළිබඳ සිහින මැවූ උමා මහේෂ්වරන් වැන්නවුන් ද විජයගේ ආගමනය කෙරෙහි සුබවාදීව බලන්න වූහ. දකුණෙන් විජය ගෙනා සමානාත්මතාවේ පණිවිඩය උතුරට නව අපේක්ෂා ගෙන එන්නක් විය.

එහෙත් මේ හිතුවක්කාරී ගමන විසින් එතෙක් සිංහල සිනමාවේ ආකර්ෂණීයම පෙම්වතා මෙන්ම අසහාය වීරයකු ලෙසින් වැජඹුණු විජය ක්ෂණයකින් ද්‍රෝහියකු බවට රූපාන්තරණය කෙරිණි.

ස්වකීය රංග ප්‍රතිභාවෙන් ද මානවවාදී දේශපාලනයෙන් ද රටට යම් සාධනීය මෙහෙවරක් කළ හැකිව තිබූ විජය, අකල් මරණයකට ගොදුරු කිරීමෙහිලා ඔහුගේ දේශපාලනය ප්‍රතිවාදීන්ට රට තුළ ගොඩනැඟුණු අරාජිකත්වය විසින් අවශ්‍ය වටපිටාව සකසා දෙන්නට විය.

සිනමා රංගනයෙන් අති විශිෂ්ටයකු වුවද සැබෑ ජීවිතයේ දී රඟපාන්නට නොගිය විජය කුමාරතුංග නම් මානව හිතවාදියා අවසානයේ අමානුෂිකත්වයේ ඝෝරතර ගොදුරක් බවට පත් වීම සැබැවින්ම හද කම්පා කරවයි. 

 
 

Comments