විජය මැරූ ලය­නල් | සිළුමිණ

විජය මැරූ ලය­නල්

පහළමුල්ලගේ ලයනල් රණසිංහ උපන්නේ 1962 දීය. හොරණ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැඳින්විණි. රත්නපුරේ කුරුවිට උපන් ඔහු පවුලේ වැඩිමලාය. පියා දෛනික කුලීවැඩ කරන කම්කරුවෙකි. මව ගෘහ­ිණියකි. දෙදරු පියකු වූ ලයනල්ගේ පියා ලයනල් කුඩා කාලයේදීම මිය ගියේය.

වැන්දඹුවක් වු ලයනල්ගේ මව යළි විවාහ වී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ලයනල් සහ මල්ලී රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවෙසේ තවදුරටත් වාසය කළෝය. ඔවුන් පාසල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයයන් 7 ක් සම්මාන සමාර්ථ්‍ය හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත් වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි; අහිංසකයෙකි. ඒත් හේ කරාතේ සහා කුංෆු ශූරයෙකි. ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.

අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත් විමෙන් පසු ලයනල් සහ මල්ලි මව විසින් හොරණ නිවෙසට කැඳවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළු වූ ලයනල් වාණිජ විෂයය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ මල්ලි මල්ලී හොරණ නගරයේ මත්පැන් අලෙවිසැලක් අසල කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉඳහිට කුලීවැඩට ද ගියේය. කේටරින් වැඩවල නිරත වූ මව ද පොළේදී එළවළු අලෙවි කිරීමට සහ කඩල විකිණිමට ද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක් වූවා ය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශීලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළු ද සෙසු දිනයන්හිදී රටකජු ද විකුණූ ලයනල් ජවිපෙ සන්නද්ධ අංශයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුදහමුදා ස්වෙච්ඡා බළකායට බැඳීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක් ද 1987 මැයි 6 වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේම ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කළ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය. අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13 වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක් ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක් ද 1988 මාර්තු 17 වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී.

ජවිපෙ ක්‍රියාත්මක කළ හමුදා සහ පොලිස් ස්ථාන ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්වල හමුදා මුරපොළට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුද අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්‍රාමාරක්ෂක කඳවුරට 1988 ජනවාරි 8 වැනිදා ද, පාදුක්ක පොලිසියට 1988 ඔක්තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරලිකරුවෝ එම කඳවුරුවල නවීනතම අවි පැහැර ගැනීමට සමත් වූහ. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක් ලයනල්ගේ ද සහභාගිත්වයෙන් 1987 අගෝස්තු සිදුවූවද එය සාර්ථක නොවීය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර්13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටු කළේය.

ජනකාන්ත සිනමා නළු මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 වැනිදා පස්වරු 12.20ට නාරහේන්පිටදී ඝාතනය කළේ ද ලයනල් රණසිංහ විසිනි. එසේ විජය කුමාරතුංග ඇතුළු 41 දෙනෙකු ලයනල් අවසානයේදී ඝාතනයකර තිබිණි. ඉන් කිහිප දෙනෙකු මෙසේය. එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දහවල් 11.30ට ඝාතනය කළේ ටී.56 තුවක්කුවකින් අමුතුම ආකාරයකිනි. ලෑලි පෙට්ටියක තුවක්කුව සඟවා එය උඩින් ලි කුඩු දමාගෙන පාපැදියක බැදගෙන පැමිණියේය. වැල්ලවත්ත අනුලා මාවත අසල කඩයක් ඉදිරිපිට පාපැදියේ රෝදයක හුලං බැස ඇතැයි එහි නතර කළ ලයනල් සංඥාව ලැබෙන විට පෙට්ටියෙන් ස්වයංක්‍රීය ගිනි අවිය රැගෙන නන්දලාල් ප්‍රනාන්දු නිවසින් පිටත්ව අනුලා මාවතින් වැල්ලවත්ත මාර්ගයට වාහනය දමනවාත් සමඟම වෙඩිතබා එහි සිටි තවත් කැරලිකරුවෙකු පදවාගෙන පැමිණි යතුරුපැදියෙන් තුවක්කුව ද රැගෙන පලා ගියේය. කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1989 මාර්තු 9 වැනිදාද, ඇමැති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලමාරච්චි 1989 පෙබරවාරි 15 මැතිවරණය දා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, කිරිවත්තුඩුවේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙකු, ඉන්දියාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයන් 2ක් ඇතුළු පිරිසක් එයට අයත් වූහ.

ඝාතනයට ලක් වන විට ලයනල් අවිවාහකයෙක් විය. ඔහුගේ මව 2007 වසරේදී ජීවිතයෙන් සමු ගත්තාය. වසර 2ක කාලයක් අනේකවිධ වධ බන්ධනවලට ලක්ව ජීවත්වීමට වාසනාව ලැබූ මල්ලි වර්තමානයේ ත්‍රීරෝද රථයක රැකියාව කරන අතර කේටරින් සේවයේද නිරත වේ. එක් නැගණියක් මූණගම පදිංචිය. ලයනල් රණසිංහ යනු කුලී මිනීමරුවෙක් නොවන බවත්, ඔහු ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි 2 වැනි කැරැල්ලේදී කටයුතු කළ ‘විප්ලවවාදියකු’ බවත් පවුලේ අයගේ මතය වේ.

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී විජය කුමාරතුංග ඇතුළු 41 දෙනෙකු ලයනල් විසින් ඝාතනය කළේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ අරමුණින් බව ලයනල් රණසිංහගේ ජීවිත කතාවෙන් පැහැදිලිය. ජවිපෙ 2 වැනි කැරැල්ලේදී දුබලතා සහ සීමා බොහෝ තිබුණ ද එම බරපතළ වැරදි පවා කැරලිකරුවන් අතින් සිදුවූයේ තමන් ඇදහූ පක්ෂය වෙනුවෙන් සිය කාර්යයයෙහි නියුතු වූ නිසාය. අගතිගාමී නොවී ඒ දෙස බලන පිටස්තර අයට පවා එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. එහෙත් ඒ කිසිවක් ඔවුන් ඇදහූ දේශපාලන ව්‍යාපාරය විසින් පිළිනොගැනීම ඊට සම්බන්ධ වූ අයගේ ඛේදවාචකය විය.

Comments