විජය කතා සාග­ර­යකි | සිළුමිණ

විජය කතා සාග­ර­යකි

සුන්දර මුහුණක්, පියකරු සිනහවක්, ආරෝහ පරිණාහ දේහයක්... මේ සියල්ල කැටි වුණු සුකුමාල පෙම්වතාගේ අඩුව 70 දශකයේදි පුරවා දැමූ විජය කුමාරතුංගට ගායකයකු ලෙස සිය ගැඹුරු හඬ රිදී තිරයට එකතු කිරීමට වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවූයේ ඔහුම ස්වයං වාරණයක් පනවාගෙන සිටි බැවිනි. විජයම එකල නිතර නිතර කියූ පරිදි ඔහුගේ රුවට ගැළපෙන හඬ තිබුණේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලටය. විජය - ජෝති සංකලනය හරි අපූරුවට ගැළපෙන්නට වූ අතර දෙදෙනාගේ මිත්‍රත්වය ද දලුලා වැඩෙන්න වූයේය.

විජය ගැන කතා සාගරයකි. ඒ සියල්ල දැන් අතීතයට එක්කාසු වී තිබුණත් අදටත් ඔහු ඉපැදී හැදී වැඩුණු සීදුව ප්‍රදේශයේ තරුණ විජයගේ ඇසුර ලැබූවෝ අපමණ වෙති. ඉන් බොහෝ දෙනකු අද ජීවතුන් අතර නැත. ඉන්න ස්වල්ප දෙනා ද මේ වන විට මහලු වියේ පසුවෙති. එහෙත් සීදුව පල්ලිය හන්දියේ ඉලන්දාරි ගැටවු සමග රස්තියාදු වෙමින්, එල්ලේ, වොලිබෝල් ක්‍රීඩාවේ නිරතවෙමින් විජය ගත කළ ඒ නිදහස් කෙළිලොල් තාරුණ්‍යය සිහිපත් කරන වැඩිහිටියෝ ද අපමණ වෙති.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් සිංහල සිනමාවට පෑයූ මේ තරුව සිය මංගල චිත්‍රපටය තිරගත වීමට පෙර තවත් චිත්‍රපට රැසකට ගිවිසුම්ගත වී සිටි බව කවුරුත් දනිති. එහෙත් මුල් කාලයේ ඔහු සිනමා නළුවකු වීමේ නොතිත් ආශාවෙන් සීදුව සිට කොළඹ පැමිණ චිත්‍රපට නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් පසුපස චරිත ඉල්ලා රස්තියාදු වූ බව දන්නේ අතළොස්සකි.

සවස් කාලයේ සීදුව නගර සභා පිටියට එක්රොක් වන තරුණ පිරිස වොලිබෝල් හෝ එල්ලේ ක්‍රීඩාවේ නිරත වෙද්දී විජය එතැනට පැමිණෙන්නේ උදේ වරුවේම කොළඹ රස්තියාදු වී වෙහෙසට පත්ව බලාපොරොත්තු සුන් වූ මුහුණින් යුතුවය. ඔහු උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉල්ලුම් පත් යොමු කරන්නේ ද ඒ යුගයේදිමය.

අවසානයේ ඔහු උපපොලිස් තනතුර සඳහා වන සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වන අතරම සිනමා නළුවකු ලෙස රංගනයට එක් වීමේ අවස්ථාවත් දෙකම ලැබිණි. අවසානයේදි ඔහු සිනමාව තෝරාගත්තේය. අඩි පහකුත්, අඟල් 11ක් උසැති මේ කඩවසම් හාදයා සිනමාවේ එතෙක් පැවැති අඩුව පුරවාලමින් හන්තානේ කතාවෙන් සිනමා ගමන ආරම්භ කරන්නේ තවත් දශකයක් කිසිවකුට අබිබවා යෑමට වත් නොහැකි අසීමිත ජනප්‍රියත්වයක් ද අත්පත් කරගනිමිනි.

නළුවකු ලෙස මුල් කාලයේ ඉස්මතු වූවත් විජය ගායකයකු ලෙස කැපී පෙනුණේ පාසල් යුගයේ සිටමය. එකල ඔහු ඉගෙනුම ලැබූ කොටහේනේ සාන්ත බෙනඩික්ට් විදුහලේ සෑම උත්සවකටම විජය නැතිවම බැරි ගායකයෙක් විය. ඔහු ප්‍රේමසිරි කේමදාස මහා ගාන්ධර්වයාණන් ගේ ‘සිතිජය‘ වේදකා නාට්‍යයේ ගීත ගායනයෙන් එක් වූ බවත්, කේමදාසයන් සෙවණේ සංගීතය හැදෑරීමට තිබුණු බලවත් කැමැත්ත සිනමාවේ කාර්යබහුලත්වය නිසා මග හැරී ගිය බවත් ප්‍රකට කරුණකි. විජයගේ මංගල චිත්‍රපටයේ ද සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ කේමදාසයන්ම ය.

ඔහුට නළුවකු ලෙස පමණක් නොව ගායකයකු ලෙසත් මුල් කාලයේ සිටම සිනමාව එකලු කිරීමට කදිම පසුබිමක් නිර්මාණය වී තිබුණත් ඔහුම කියන පරිදි ඔහුගේ රුවට ගැළපෙන හඬ තිබුණේ ජෝතිපාලයන්ටය. සැබැවින්ම ඔහුගේ ගායනයට වැඩි ඉඩක් ලැබුණේ අසූව දශකයේ මැද භාගයේදි ජෝතිගේ අභාවයෙන් පසුවය.

‘ජෝතිගේ වියෝවෙන් වැඩිම පාඩුව සිද්ධ වුණේ මටයි. මටම ගැළපෙන, මගේම රූපයට හරියන හඬ තිබුණේ ජෝතිපාලටයි. ජෝති මිය ගියාට පස්සේ ඒ හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන් කමක් තිබුණේ නෑ‘ ජෝතිගේ අභාවයෙන් පසුව එක්තරා අවස්ථාවකදී ඔහු එසේ කීවේය.

පසුකාලීනව ගායකයකු ලෙස සිය ප්‍රතිභාව විදහා දක්වමින් සිනමාව පමණක් නොව කැසට් පට ගී ක්ෂේත්‍රය තුළත් ලැබුවේ පුදුමාකාර ජනප්‍රියත්වයකි. ජීවත්ව සිටියදි ජනප්‍රියතම නළුවා සම්මානය අවස්ථා කිහිපයකදිම හිමිකම් කී විජයට හොඳම ගායකයා ලෙස සම්මානයක් දිනාගැනීමේ සිහිනයක් ද නොතිබුණාම නොවේ. කනගාටුවට කරුණ වන්නේ ඒ සිහිනය අවසානයේ දී සැබෑ වූයේ ඔහු මෙලොව හැරයෑමෙන් පසුව වීමය.

1990 සහ 1991 පිට පිට දෙවතාවේදිම සරසවිය සම්මාන උලළේ හොඳම පසුබිම් ගායකයා ලෙස විජය සම්මාන දිනාගත්තත් ඒ සම්මානයේ සතුට විඳ ගැනීමට ඔහු නොසිටියේය.

1990දි ඔහු හොඳම පසුබිම් ගායකයා ලෙස සරසවි සම්මානයට පාත්‍ර වන්නේ එච්.ඩී.ප්‍රේමරත්නයන්ගේ සහරාවේ සිහිනය චිත්‍රපටයට ගැයූ ‘‍වලාකුළක් ගෙන මුවා කරමු හිරු‘ ගීතයටය. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත එම ගීතයේ සංගීතය ද කේමදාසයන්ගෙනි. අනතුරුව ඊළඟ වසරේදි ඔහු යළිත් හොඳම පසුබිම් ගායකයා ලෙස සරසවි සම්මානයට පාත්‍ර වන්නේ දොළොස් මහේ පහන චිත්‍රපටයට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විසින් රචිත රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ‘සරා ගුවන විදා නැගුණ‘ ගීතය වෙනුවෙනි.

මුදලට ගී නොගැයූ විජය ගායනය තුළින් ලැබුවේ මහත් වූ ආස්වාදයකි. එය එක් අතකින් ඔහුගේ කාර්යබහුල ජිවිතයට ලැබුණු අස්වැසිල්ලක් ද වූයේය.

ධර්මසේන පතිරාජයන්ගේ ‘පාර දිගේ‘ චිත්‍රපටයට ඩබ්. ජයසිරි විසින් ලියන ලද ‘පාවෙලා යන පාර වටේ‘ ගීතය සුනිලා අබේසේකර සමග ගයමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස එක්වූ විජය සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර‘ චිත්‍රපටයට ඔගස්ටස් විනයාගරත්නම් විසින් රචිත, නිමල් මෙන්ඩිස් විසින් සංගීතවත් කළ ‘ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී‘ ගීතයෙන් ලැබුවේ අසීමිත ජනප්‍රියත්වයකි.

එකල කැසට් සංගීත ක්ෂේත්‍රයට ද විජයගේ හඬ නැතිවම බැරි එකක් විය. සැරයටියෙන් අපි යනෙන තුරා....එකවරක් ඔබට මා එපා නම්.....බලන්න අරුණ සමග, මිණි කිංකිණි හඬ පරදා.... පායා සීත රැයේ.... රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ.... පාලු රැයකදි මුහුදු වෙරළේ.... ආදරයක හැඟුමක් සිතෙහි....වැනි ජනප්‍රිය ගීත රැසකි.

විජයගේ ගායන වපසරිය තුළ වඩාත්ම කැපී පෙනෙන ගීත එකතුවක් ද වේ. එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත විරෝධාකල්ප ශෛලියේ ගී සමුදායකි. ‘වේදනා‘ නමින් එළිදැක්වූ එම කැසට් පටය එකල දැඩි කතාබහට ලක් විය.

ගායනයෙන් පමණක් සෑහීමකට පත් නොවූ විජය කුමාරතුංගයන් සිය ජීවිත කාලය තුළ රචනා කරනු ලැබූ එකම ගීතය ගායනා කිරීමේ භාග්‍යය උදා කරගත්තේ රේණුකා සන්ධ්‍යා වීරසිංහය. ‘මුළු හදින් මම ආදරෙයි..... සදා නොවෙනස් වන ලෙසේ...ව ිජය විසින් රචිත එම ගීතය සංගීතවත් කරනු ලැබුවේ ලාල් තේනබදු විසිනි.

අජන්තා රණසිංහයන් විසින් රචනා කරන ලද ‘තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න...‘ ගීතය විජය සිය ගීත අතරින් වඩාත්ම කැමැත්තෙන් ගැයූ ගීතය විය.

 

Comments