ලාංකේය සින­මාවේ බිහිවූ ආක­ර්ෂ­ණී­යම සිනමා පෞරු­ෂය | සිළුමිණ

ලාංකේය සින­මාවේ බිහිවූ ආක­ර්ෂ­ණී­යම සිනමා පෞරු­ෂය

සිංහල සිනමා වංශ කතාවේ සුන්දර සහ ආදරණීය පරිච්ඡේදයක් සටහන් කළ ඒ අසහාය රංගන තරුව විජය කුමාරතුංගයන් දිවි අඹරෙන් බැසගොස් තිස් දෙවසරක් සපිරී ඇත. ඔහුගේ අනපේක්ෂිත වියෝවෙන් මුසපත් වූ රසික හදවත්වලට සහ ක්ෂේත්‍රයේ සමකාලීනයන්ට අදද ඒ කම්පනය එලෙසින්ම දැනෙන්නේ යැයි කිවහොත් එය මුසාවක් නොවේ. සිනමාව තුළින් දුටු විජය කුමාරතුංගයන්ගේ පෞරුෂය පිළිබඳ කතාබහ කරන්නට ජන හද දිනූ ප්‍රවීණ සහ දක්ෂ රංගනවේදියකු වන රවීන්ද්‍ර රන්දෙණිය අප සමඟ එක්වූයේ විජය පිළිබඳ ආදරණීය මතක රැසක්ම අවදි කරමිනි.

 

ශාන්ත බෙනඩික් විද්‍යාලයේදී හමු වූ විජය නමැති පාසල් මිතුරා ගැන ඔබේ මතකය අවදි කරනවා නම්?

බෙනඩික් විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ පන්ති දෙකක ඉගෙන ගත් අපි එකට සෙල්ලම් කළා. කණ්ඩායමක් විදිහට හඳුනාගෙන හිටියා මිසක් ඒ කාලේ විජය කැපී පෙනෙන ලක්ෂණ පෙන්නුම් කළ සිසුවෙක් නෙවෙයි. මට මතකයි අපේ පාසලේ විනය හරිම දැඩියි. උදේට පාසලට ප්‍රමාද වෙලා එන ළමයින්ව ඇතුළට ගන්නේ පොඩි දඬුවමකුත් දීලයි. ඒ දවස්වල විජය පාසලට එන්නේ සීදුවේ ඉඳලා කෝච්චියෙන්. මරදානෙන් කෝච්චියෙන් බැහැලා ඔහු පයින්ම පාසලට එද්දි හැමදාම පාසල පටන් අරගෙන විනාඩි 5-10ක් ගතවෙලා. ප්‍රමාද වෙලා එන ළමයින්ට අපේ විනය බාර ගුරුතුමාගෙන් දඬුවම තමයි පිට්ටනිය වටේ රවුම් කිහිපයක් ඇවිද්දවන එක. මට තවම මතකයි උඩ තට්ටුවේ පන්තියේ ඉන්න මට පේනවා විජය අත් කොට කමිසයයි සුදු කොට කලිසමයි ඇඳලා පොතක් දෙකකුත් අතේ තියාගෙන පහළ ග්‍රවුන්ඩ් එකේ ඒ විදිහට ඇවිදිනවා. නමුත් ඉහළ පන්තිවලට ආවට පස්සේ විජය ගැන වැඩිපුර අවධානයක් යොමුවෙන්න ගත්තා. ඒ වෙනකොට විජය සිංහල සාහිත්‍ය සංගමයේ වැඩවලට ගොඩක් සම්බන්ධයි. ඒ වගේම විජය කථික අංශයෙන් විශේෂ දක්ෂතා දක්වමින් සිටියා. එක වසරකදී ඔහු කථිකත්වය වෙනුවෙන් රන් පදක්කම දිනාගත්තා. ඒ වගේම එක වසරකදී විද්‍යා අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ මම සිංහල කෙටිකතා සඳහා පළමු ස්ථානයට හිමි කුසලානය දිනාගත්තා. ඒ විදිහේ මිත්‍රත්වයක් මිස පාසලෙන් සමුගන්න කාලේ වෙනකොට අපි අතර වෙන විශේෂ මිත්‍රත්වයක් තිබුණේ නැහැ.

 

පාසල් ජීවිතයට සමුදුන්නට පසුව නැවත ඔබට විජය හමුවන්නේ මොන විදිහටද?

ඊටපස්සේ මම විජය දකින්නේ පත්තරවලින්. ඒ වෙද්දි ඔහුගේ 'හන්තානේ කතාව' චිත්‍රපටය ඇවිත්. ඒ කාලේ විජය හරිම ලස්සනනයි. කඩවසම්. ඕන කෙනකුට බලන්න ආස හිතෙන පෙනුමක් තිබුණේ. ඉතින් අපි යාළුවො කතා වෙනවා "මේ අපේ ඉස්කෝලේ හිටිය විජේ ඇන්ටන්නෙ" කියලා. ඉතින් අපිටත් හරිම ආසයි. නමුත් හමුවෙන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ.

 

නමුත් පසුකලෙක අහඹු විදිහට ඔබත් ඔහුත් හමුවනවා?

අපි ඉස්කොලෙන් අවුට් වෙන්නේ 1964දී වගේ. 1969දී මම ලයනල් වෙන්ඩ්ට් එකට බැඳෙනවා රංගන කලාව ඉගෙන ගන්න. ඒ වෙද්දි විජය ජනප්‍රිය නළුවෙක්. මම ලයනල් වෙන්ඩ්ට් එකේ පුහුණුවීම් කරන කාලේ අපි පුහුණුවෙන කොටසේ ලොකු අලුත්වැඩියාවක් කරමින් තිබුණේ. දවසක් ලයනල් වෙන්ඩ්ට් එකේ ලොකු සම්මාන උලෙළක් පැවැත්වුණා. එයට නළු නිළියෝ විශාල පිරිසක් සහභාගී වුණා. අපි පුහුණුවීම් අවසන් කරලා වොෂ් දාගන්න යන්න තිබුණේ අර උත්සවයට සහභාගි වෙන්න එන අමුත්තෝ අතරින්. ඉතින් කොහොමහරි ඒ අතරින් රිංගලා ගිහින් වොෂ් කරගෙන ලෑස්ති වෙලා එනකොටම ඒ ඉස්සරහ හිටපු විජය එකපාරටම මාව දැක්කා. මට අද වගේ මතකයි ලස්සනට ඇඳලා නළු නිළියෝ පිරිවරාගෙන කුමාරයෙක් වගේ වැජඹිලා හිටපු විජය එදා හරිම ස්මාර්ට්. මාව දැක්ක ගමන් "මල්ලී" කියලා කතා කරගෙනම ඔහු මම හිටපු තැනට ආවා. ඇවිත් ඇහුවා "මචං උඹ මෙහේ මොකද කරන්නේ" කියලා. මම කිව්වා "මම මෙහේ නාට්‍ය පන්තියට එනවනේ" කියලා. ඒ කියපු ගමන් විජේ කිව්වා "අල්ලලා දාපන් බං ඔය නාට්ටි. වරෙන් බයිස්කෝප් එකක ඇට් කරන්න. එහෙම නැත්තම් උඹ එකක් ප්‍රොඩියුස් කරපන් අපිට ඇට් කරන්න" කියලා. එදා විජය මා එක්ක කතාකළේ ඉස්කෝලේ කාලේ ඉඳලා මේ වෙනකම්ම හැමදාම මාව දැන අඳුනගෙන හිටියා වගේ යාළුකමකින්. ඒ හමුවීමෙන් පස්සේ අපි දෙන්නා අතර ඇතිවුණේ අවුරුදු ගාණක් එක දිගටම ආශ්‍රය කරපු හැමදාම එකට හිටපු යාළුවෝ වගේ බැඳීමක්.

 

ඒ මිත්‍රත්වය, බැඳීම ඔබේ හිතට ගෙනදුන් අපූර්වත්වය මොන වගේද?

අපේ මහා නළු පරපුරේ ජනප්‍රියම නළුවන් වූ ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හැරුණාම ඒ කාලේ ජනප්‍රිය තරුණ ප්‍රධාන නළු චරිත කළේ මමයි විජයයි. ඒත් කවදාවත් අපි දෙන්නා අතර තරගයක් හෝ ඊර්ෂ්‍යාවක් තිබුණේ නැහැ. ඒ වගේම දේශපාලන වශයෙන් කඳවුරු දෙකක හිටියත් අපි කවදාවත් විරසක වෙලා නැහැ. විජය එක්ක සිනමාව තුළ මට තිබෙන තවත් විශේෂම මතකය තමයි මම වෙනුවෙන් ඔහු චිත්‍රපට පසුබිම් ගී ගායනය කිරීම. ජෝතිපාල මහත්මයා අපි අතර ඉන්න තුරු විජය වෙනුවෙන් කවුරුවත් පසුබිම් ගී ගැයුවේ නැතිවුණත් විජය ඉස්සෙල්ලාම චිත්‍රපටයකට පසුබිම් ගීයක් ගැයුවේ මම වෙනුවෙන් 'පෙම්බර මධු' චිත්‍රපටයටයි.

 

සහෝදර රංගන ශිල්පියකු ලෙස ඔබ ඔහුගෙන් දුටු සිනමා පෞරුෂය කුමනාකාරද?

ඇතැම් අය කියනවා විජයගේ රංගනය උපරිම තලයකට ආවේ චිත්‍රපට කිහිපයක පමණයි කියලා. ඒකට හේතුව ලෙස මම දකින්නේ විජයට එහෙම මහන්සි වෙලා රංගනයක් කරන්න අවශ්‍ය නොවීම. තිරයේ ඔහුගේ රුව දැකීමම රසිකයන්ට ප්‍රමාණවත් වුණා. රඟපෑ හැම චිත්‍රපටයක්ම බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබන්නටත් අවුරුදු 5ක් පිට පිටම ලංකවේ ජනප්‍රිය නළුවා වන්නටත් විජයට හැකි වුණේ ඒ නිසයි. විජයේ වියෝවෙන් පස්සේ ඒ පෞරුෂයට සමාන කළ හැකි කෙනෙක් අපේ සිනමාවට ආවෙත් නැහැ. ආයේ එන්නෙත් නැහැ.

 

ඒ අවාසනාවන්ත ආරංචිය දැනගත් මොහොත තවමත් ඔබේ මතකයේ ඇති?

අපි අන්තිම වතාවට හමුවුණේ 1988 පෙබරවාරි 12 වැනිදාට යෙදී තිබුණු ජෝතිපාල මියගිය පසු ආ ඔහුගේ පළමුවැනි උපන්දිනේ දවසේ. ඒ අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වුණේ විජයයි මමයි. අපි දෙන්නා ඒ මාසේ අන්තිමේදී 'සහරාවේ සිහිනය' චිත්‍රපටය කරන්න ඩුබායි යන්නයි හිටියේ. කාලෙකට කලින් 1973දී විතර අපි දෙන්නා The god king චිත්‍රපටය කළාට පස්සේ ලන්ඩන් ගිහින් ෆ්ලැට් එකක මාස 3ක් විතර ඉතාම සුන්දර කාලයක් ගත කළා. ඉතින් එදා ජෝති ගුණසමරු උත්සවය ඉවර වෙලා සමුගන්න මොහොතේ විජය මගේ අත අල්ලගෙන මොකක්ද දන්නවද කිව්වේ, "මල්ලි අපි ඩුබායි ගිහිල්ලත් අර එංගලන්තේ හිටිය වගේ සෙට් වෙලා ඉමු" කියලා. ඒ තමයි විජයගෙයි මගෙයි සමුගැනීම. ඊට පස්සේ මට බලන්න යන්න වුණේ විජයගේ මරණය. මට වෙඩි වැදුණා වගේ කම්පනයක් ඇති කළ ඒ මොහොත කවදාවත් අමතක වෙන්නේ නැහැ. 

Comments