ජීව­මාන මානව හිත­වා­දියා | සිළුමිණ

ජීව­මාන මානව හිත­වා­දියා

විජයට වෙඩි තියලා.....!

පොල්හේන්ගොඩ හන්දියේ ඉඳන් එක දිගට කොළඹ මහ රෝහලට යනතුරුම නොනවත්වාම නැගෙන වාහන නලා ශබ්ද පරයමින් ඉස්මතු වුණේ තැන් තැන්වල මිනිස්සු කලබලයෙන් කරන කතාබහයි. කිසිම ජාතිභේදයකින් තොරව ලොකු කුඩා කවුරුත් එක විදියට ආසා කළ, ආදරය කළ මේ සුන්දර මිනිසාගේ වියෝවෙන් අවුරුදු 32ක් ගත වෙන මේ මොහොතේදිත් මට දැනෙන්නේ එදා යෞවනයකුව සිටියදී හිතට දැනුණු දුක් වේදනාවමයි. කිසිම වෙනසක් නැත.

සිංහල සිනමාවේ රන් සමනලයා... මානව හිතවාදි විජය... රිදී තිරයේ සුන්දර පෙම්වතා...මේ කොයි විදියට කවුරු විජයව ආමන්ත්‍රණය කළත් ඒ හැම ආමන්ත්‍රණයකම ගැබ්ව තිබුණේ මොකක්දෝ මහා අමුතු ළෙන්ගතු බවක්.

රිදී තිරයේ තවත් දශක ගණනාවක් බැබළීමට තරම් පසුබිමක්... කිසිම තරගයක් නැතිව අවුරුද්දක් අවුරුද්දක් පාසා ජනප්‍රියතම නළුවා විදියට කාගෙත් ආදරය දිනාගන්න වාසනාවක් තිබුණත්... අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ දුක් කඳුළට උණුවෙච්ච ඒ සංවේදි හිත දේශපාලන පොරපිටියට තල්ලුවීමෙන් අන්තිමට සිද්ධ වුණේ අවුරුදු 42ක් වැනි අඩු ආයු කාලයකින් ජිවිතය හැර යෑම නෙවේද...?

කුරිරු දේශපාලනයේ ගොදුරක් බවට පත් වුණු විජයට අපේ රටේ දේශපාලන පොර පිටියේ දිග පළල තේරුම් ගැනිමට තරම් අවබෝධයක් තිබුණේම නැද්ද...? එහෙමත් නැතිනම් කවදත් මනුස්සකම දියාරු වී ගිය අපේ රටේ දේශපාලන රැල්ලේ උඩුගං බලා පිහිනීම සිහිනයක්ම පමණක් බව අවබෝධ කරගන්න තරම් දැනුමක් විජයට තිබුණේම නැද්ද... විජයගේ වියෝවෙන් පසුව ගෙවුණු හැම අවුරුද්දකම පෙබරවාරි 16 වැනිදා මගේ හිතට දැනෙන නැගෙන එකම සිතිවිල්ල එයම පමණයි.

අසූව දශකයේ මුල් භාගයේදි විතර වැල්ලවත්තේ හැම්ඩන් ලේන් පටුමග වැටෙන ඩබ්ල්යු. ඒ. සිල්වා මාවත තුන්මං හන්දියේ කුඩා රැස්වීමට ඒ කාලයේ මහජන පක්ෂය ආරම්භ කළ අලුතම වාගේ පැවැති කුඩා රැස්වීම ඇමැතිමට විජයගේ පැමිණීමේ සිට... අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් වසරේ කුමරි පුවත්පතෙන් කළ සම්මන්ත්‍රණයකට... ඔහු ආරාධිතයකු ලෙස පැමිණිම... ඊළඟට දෙහිවල කළුබෝවිල සරණංකාර පාරේ කුඩා රැස්වීමට පැමිණි මොහොතේ විජයගේ එක් අතක එල්ලී අඩි කිහිපයක් ඉදිරියට ඇවිදයෑමට මට අවස්ථාව ලැබුණු මොහොත... මැයි රැලියකට විජය සහභාගි වූ අන්තිම අවුරුද්දේ මහ වැසි මැද තෙමි තෙමී විජයගේ ළඟින්ම පාමංකඩ පාර දිගේ ඇවිද යාමට අවස්ථාවක් ලැබීම... විජයගේ දේහය තැන්පත් කර තිබුණු පොල්හේන්ගොඩ නිවසේ රැයක් එළි වන තුරු ගත කිරීම... කලාභවනට දේහය ගෙන ගිය මොහොතේ මුළු රැයක් පහන් කිරීම... අවමංගල උත්සවය දා විජයගේ දේහය රැගත් අවමංගල රථය පසුපසින් දහස් ගණනක් ජනකාය අතර පා පැටලි පැටලී ඇවිද ගිය මොහොත... අදටත් මගේ හිතේ ගුළිවුණු කිසිදා මැකී නොයන මතක සටහන් පෙළක්...

හැම්ඩන් ලේන් පටුමගේ කුඩා රැස්වීම ආමන්ත්‍රණය කරන්න විජය එදා පැමිණියේ කළු පාට මෝටර් රථයකින්. එදා විජයගේ සහායකයා විදියට හිටියේ ජීවන් කුමාරතුංග... විජය රැස්වීම ආමන්ත්‍රණය කරන්න කලින් ඒ රැස්වීම සංවිධාන කළ මගේ හොඳම මිතුරා චමින්දගේ ලොකු මාමා, කොමිනියුස්ට් පක්ෂයේ උග්‍ර සාමාජිකයකු වුණු ගෝමස් අංකල් විජයගේ මහජන පක්ෂයේ වර්ණය දම් පාටින් මුද්‍රණය වුණු ඒ කාලයේ අලුත්ම අලුත් රුපියල් විස්සේ මුදල් නෝට්ටුවෙන් සකස් කළ මල්මාලය විජයගේ ගෙලට දැමු හැටි මට තාම මතකයි....

සිංහල සිනමාව බැබළවූ රංගන පෞරුෂ අතර විජයට තිබුණේ වෙනම තැනක්. ඒ හඬ...හිනාව.. වගේම ගමන් ලාලිත්‍යය... අබිබවා යෑමට සමත් නළුවෙක් අදටත් සිනමාවේ නෑ. විජය සිටගන්නේම දෑත් ඉණෙහි පසුපසට තබාගෙන... හිනාවෙන්නෙම ඇස් පුංචි කරගෙන... ඒවා නිරායාසයෙන් සිද්ධ වුණු දේවල්... ඒත් විජයගේ පෞරුෂය ඉස්මතු වෙන්න... ඒ වගේ පුංචි පුංචි දේවල් පවා එදා හරි ලොකුවට අපට පෙනුණා...

අසූව දශකය කියන්නේ කුඩා සාක්කු දින දර්ශන රැල්ලක් හමා ගිය යුගයක්. ඒ සාක්කු දින දර්ශන අතරේ වැඩිපුරම මුද්‍රණය වුණේ... වැඩිම ඉල්ලුම තිබුණේ විජයගේ රුව රැගත් සාක්කු දින දර්ශනවලටයි. කුඩා දරුවාගේ පටන් මහළු මිනිසා දක්වා කවුරුත් විජයට ආදරේ කළේ ඒ අපූරු රංගනය නිසාම පමණක් නෙවෙයි. විජය අසීමිත ජනප්‍රියත්වයක් ඇති කරගත්තේ රංගනයෙන්ම පමණක් නෙවෙයි. ඒ රූපය තුළ හිත් ඇදගන්න මොකක්දෝ අමුත්තක් තිබුණා.

ඒත් ඒ හැම දෙයක්ම විජයගේ දේශපාලන අවතීර්ණයත් සමග එන්න එන්නම වෙනස් වුණා. විජයගේ රංගනයට... ගායනයට ආදරය කළ නොකළ කවුරුත් මේ මානව හිතවාදී මිනිසා දේශපාලන පොර පිටියට එක්කාසු වීම ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැතිබව නම් සහතිකයි.

විජයගේ දේශපාලන භූමිකාවත්, එවකට පැවැති දේශපාලන අරගලය, වාර්ගික අර්බුදය ගැන,... සාම ගිවිසුම ගැනත් විජය දැරූ මතය එක අතකින් මිතුරන්ට වඩා සතුරන්ගේ ගොඩ වැඩි වෙන්න එයාට ලොකු බලපෑමක් ඇති කළා. සැලසුම් සහගත විදියට විජය නිහඬ කරවන්න පාර්ශ්ව කිහිපයකටම වුවමනා කළා වෙන්න ඇති. එදා 1988 පෙබරවාරියේ 16 වැනිදා පොල්හේන්ගොඩ විජයගේ නිවෙස අසලදී විජය ඝාතනයට ලක්වෙන්නේ ඒ නිසයි. ඒත් රටම ආදරය කළ මේ සුන්දර මිනිසාගේ ළඟටම ඇවිත් ඒ අහිංසක මුහුණුට වෙඩි තියන්න තරම් කුරිරු හිතක් ඝාතකයාට ඇති වුණේ කොහොමද... කවුරුත් ආදරය කළ සුන්දර මුහුණ අවසන් මොහොතේ දැක බලාගැනීමටවත් ඉඩ නොතබා ඒ මුහුණ කුඩුපට්ටම් කරන්න තරම් දරුණු හිතක් ඇතිවුණේ කොහොමද...?

විජය... රංගනයෙනුත්, ගායනයෙනුත්, ලක්ෂ සංඛ්‍යාත ජනතාව සතුටු කළා... දේශපාලන භූමිකාවෙන් තවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත එළිය කරන්න පෙරමුණ ගත්තා... ඒ සියල්ලටම වඩා මානව හිතවාදිත්වයෙන් කාගෙත් ආදරය දිනාගත්තා... අඩු වයසින් ජීවිතයෙන් සමු අරන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව කඳුළෙන් පුරවා දැම්මා... පොල්හේන්ගොඩ විජයගේ නිවෙසේ මුල් දිනයේ තැන්පත් කර තිබුණු දේහය දැක බලා ගෙන අවසන් ගෞරවය දක්වන්න ජනගඟක් පෙළ ගැසුණා. ඒ ජන ගඟ කොයිතරම් දුරට විහිදී තිබුණාද...? ඈත දුර බැහැර පළාත්වලින් පැමිණ හැඬූ කඳුළෙන් එතැනට එක්කාසු වුණු ජනතාවට අහල පහළ හැම නි‍ෙවසකම ගේට්ටු විවර වුණා. විඩාව සංසිඳුවන්න දුප්පත් පොහොසත් හැම නි‍ෙවසකින්ම ආහාරපාන ලැබුණා.

එදා විජයගේ අවමංගල උත්සවය දා දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන තුරුම නැවත නැවත වාදනය වුණේ එකම ගීතයයි. ඒ ගීතය ඊට වසර කිහිපයකට පෙර විජය හා එක්ව ගායනය කර තිබුණේ මර්වින් පෙරේරා ගායන ශිල්පියායි.

‘දෙරණතල කඳු හෙල් දවාලා....

සඳේ සොමි ගුණ සොයා.....

ගැඹුරු සමුදුර පතුලේ කිමිදී...

රුවන් සොය සොයා යමු.....

මිනිස්කම මිනිසා සොයා....අන්ධකාරේ ගියා....

සිහින කඳුළැලි සිනහා අතරේ...

හෙටත් අපි හමුවෙමු....

Comments