කලා­ත්මක සින­මා­වෙහි විජය භූමි­කාව | සිළුමිණ

කලා­ත්මක සින­මා­වෙහි විජය භූමි­කාව

දශක තුනක් ඉක්මවන විජය කුමාරතුංගගේ රංගන චාරිකාව තුළ කලාත්මක ලක්ෂණ ප්‍රකට කළ ඔහුගේ රංගන හමු වූ චිත්‍රපට ලෙස හන්තානේ කතාව (1969), අහස් ගව්ව (1974) දුලීකා (1974), දියමන්ති (1976), එයා දැන් ලොකු ළමයෙක්(1977), බඹරු ඇවිත් (1978), අහසින් පොළොවට (1978) පොඩි මල්ලි (1979), ගඟ අද්දර (1980, කරුමක්කාරයෝ (1980) පාර දිගේ (1980) කැඩපතක ඡායා (1989) ආදී චිත්‍රපට හැඳින්වීමට කැමැත්තෙමි. ඉහත නාමාවලිය අතරින් ද වඩාත් නිර්මාණශීලී හා ප්‍රතිභාන්විත රංගන හමුවන විජය කුමාරතුංගගේ චිත්‍රපට ලෙස අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, පාර දිගේ (ධර්මසේන පතිරාජ) කරුමක්කාරයෝ (තිස්ස අබේසේකර) අහසින් පොළොවට, බැද්දෙගම (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්), ගඟ අද්දර (සුමිත්‍රා පීරිස්)කැඩපතක ඡායා (වසන්ත ඔබේසේකර) වෙසෙසි කොට දැක්විය හැකිය.

මේ එකදු චිත්‍රපටයක දී හෝ, සූරයා වර්ගයේ හෝ වෙනත් වාණිජවාදී ජනප්‍රිය චිත්‍රපටයක දී හමුවන යෞවන රසිකයන්ගේ සිහින කුමරා හෝ පොදු ප්‍රේක්ෂකයන්ගේ වීරයා වූ විජය කුමාරතුංග හමු නොවේ. ඒ වෙනුවට චිත්‍රපටයේ තිර නාටකය විසින් ඉල්ලා සිටිනු ලබන චරිතයක හැඩරුව, අභ්‍යන්තර සියුම් චරිත ස්වභාව මැනැවින් හඳුනාගෙන, අධ්‍යක්ෂකගේ අරමුණ ද ඉටු කරමින් රංගන ප්‍රතිභාවක් පළ කළ නළුවෙක් හමු වේ. විජය කුමාරතුංගගේ රංගනයෙහි විශේෂත්වය වන්නේ කුමක් ද? සූරයෝ චිත්‍රපටයක හෝ වෙනත් ජනප්‍රිය ධාරාවේ තුෂාරා, ආදරේ හිතෙනව දැක්කම, මිහිදුම් සිහින, රජ වැඩ කාරයෝ හෝ ඒ වර්ගයේ ඕනෑම චිත්‍රපටයක බොළඳ පෙම් ජවනිකා මවන, ස්ත්‍රීලෝලී, මධුලෝලී චරිත සඳහා ස්වකීය රූපකාය, ගමන බිමන, හඬ පෞරුෂය ඉහළින්ම එක් කරන විජය, මෙම ධාරාවෙන් බැහැර අධ්‍යක්ෂවරයකුගේ සිනමානුරූපී, කලාත්මක නිර්මාණයක දී, අධ්‍යක්ෂවරයා අපේක්ෂිත චරිතය ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා නම්‍යශීලී වූ රංගන විලාසයක් තමා සතු බව ඔප්පු කරයි.

මෙහි ලා ඔහුගේ රංගනයේ සූක්ෂ්ම ගතිසොබා උකහා ගැනීමෙහි ලා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ද වැදගත් වී යැයි හඟිමි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, සුමිත්‍රා පීරිස් ආදීන්ගේ චිත්‍රපට රැසක ජනප්‍රිය ධාරාවේ සුකුමාර යෞවන චරිත වෙනුවට මහතුන් (අහස් ගව්ව), ග්‍රාම සේවක (එයා දැන් ලොකු ළමයෙක්) බබුන් (බැද්දෙගම), විලිසොන් (කරුමක්කාරයෝ) ව්‍යෛද්‍ය සරත් පතිරණ (ගඟ අද්දර) චන්දරේ (පාර දිගේ), ධනරත්න (කැඩපතක ඡායා) වැන්නෝ හමුවෙති. මෙම චරිත තුළ අප දුටු රංගන පරාසය සාක්ෂි දරන්නේ ජනප්‍රිය චිත්‍රපටයක විජයට රඟපාන්නට ලැබුණු සුකුමාර යෞවන ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ඔබ්බට ගිය සංකීර්ණ චරිත ස්වභාව, සියුම් ඉංගිත හා අභිනය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ ගත් චරිතාංග නළුවකු සතු වූ රූපණ කුසලතාවයි. විජය කුමාරතුංග නම් වූ ප්‍රේක්ෂක ආදරය දිනූ සුරතලා ඉන් මුදවාගැනීමට ප්‍රමුඛ වූ අධ්‍යක්ෂවරයා වන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර වැනි අධ්‍යක්ෂවරුන් විසින් ද විජය කුමාරතුංගගේ ජනප්‍රිය සළුව ඉවත් කොට රංගනයේ සීමා හොඳින් වටහා ගත් නම්‍යශීලී රංගධරයකු ප්‍රේක්ෂකයන් වෙත ගෙන එනු ලැබූ බව ප්‍රකටය.

මල් උයන්හි මල් ගස් වටා ගී ගයමින්, දුවමින්, නටමින් රූමත් වනිතාවන් හා රැඟූ රංගනයට විජය සමුදුන් ප්‍රථම අවස්ථා ලෙස අහස් ගව්ව මහතුන්ගේ චරිතයට පිවිසීම සැලකිය හැකිය. නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ රියැදුරු භූමිකාව තුළ ඔහු ජීවත්වන්නේ, එතෙක් ඔහුට රඟ පාන්නට ලද සුඛෝපභෝගී සමාජ රටාවෙන් බැහැර වූ උප සංස්කෘතියක් නියෝජනය කරන්නා වූ චරිතයක් ලෙසය. ගැට කපන්නන්, පාතාලයේ ඇතැම් චරිත හා ඔහුගේ රංහනය මුසු වේ. අතරමං වූ තරුණයන් උපකාර පතන්නේ මහතුන්ගෙනි. ඔවුන'තර ගොඩ නැගෙන මිත්‍ර සමාගමය තුළ විජයගේ රංගනය කැපී පෙනේ. එයා දැන් ලොකු ළමයෙක්හීදී විජය සුපුරුදු පෙම්වතාගේ චරිතයයට පිවිසුණ ද ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක පෙම්වතාගේ චරිතයට හාත්පසින් වෙනස් වූ ග්‍රාම සේවකගේ චරිතයෙහි හැඩරුව තුළ ජීවත්වන්නට උත්සාහ ගනී. විජය කුමාරතුංග ධර්මසේන පතිරාජ සුසංයෝගය තුළ විජයගේ රංගයෙහි හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් වන්නේ ‘බඹරු ඇවිත්‘ හා ‘පාරදිගේ‘ චිත්‍රපට චරිත තුළය.

බඹරු ඇවිත් හි නාගරික හා ධනේශ්වර පන්තියේ නියෝජනය සංකේතවත් කරමින්, කලබලයෙන් තොරව, නිසලව ජීවිකාව කර ගනිමින් සිටි ධීවර ගම්මානයකට පිවිසෙමින් එහි ජන ජීවිතය අවුල් කළ බලවේගය සංකේතවත් කළ භූමිකාව වූ වික්ටර් හෙවත් බේබි මහත්තයා විජයගේ රංගනයෙහි දෙවන කඩඉම් අවස්ථාව ලෙස සටහන් වේ. ‘අහස් ගව්ව‘ රංගනයට වෙනස් වූ එහෙත් ඔහුට සුපුරුදු සෙල්ලක්කාර නාගරික පෙම්වතාගේ චරිතය වෙනුවට තම බලය ධීවර ගම්මානය තුළ පිහිටුවා ගැනීමට උත්සාහ කරන ධීවරයන්ගේ එදිනෙදා ජීවිතයේ සුපුරුදු ජීවන රටාවට බලපෑම් කරන ව්‍යාපාරික චරිතයකට ඔහු පිවිසෙයි. ඔහු හා ඔහුගේ නාගරික මිතුරන්ගේ ආගමනයත් සමඟ ධීවර ගම්මානයේ එතෙක් පැවැති නිසල බව දෙදරා යයි.

ධීවර ගම්මානයේ දී ඔහුගේ ආදරයට පාත්‍ර වන හෙලන් (මාලිනී ෆොන්සේකා), ඈ පතා සිටි පෙම්වතා සිරිල්ට (සිරිල් වික්‍රමගේ) පිටුපෑම හා ධීවර ගම්මානයේ මාළු වෙළඳාම හා බල ආධිපත්‍යය පතුරුවමින් සිටි ඇන්ටන් (ජෝ අබේවික්‍රම)අතර හටගන්නා අරගලය කෙළවර හෙලන් අනාථ වීම, ඇන්ටන්ගේ හා සිරිල්ගේ ඝාතන හා ධීවර ගම්මානය කැලඹීමට පත්වන පසුබිමක බේබි මහත්තයාගේ චරිතය ගොඩ නැගේ. ඔහුගේ භූමිකාව කැපී පෙනෙන්නේ ඔහු සමඟ ගැටෙන අනෙකුත් ප්‍රධාන චරිත පණ පෙවූ නළු නිළියන්ගේ රංගන ප්‍රබල බැවිනි. විශේෂයෙන්, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා හා සිරිල් වික්‍රමගේ පරිණත රඟපෑම් හමුවේ විජයගේ රංගනය සමතැන් ගන්නේ අධ්‍යක්ෂ භූමිකාවෙහි ද මහිමයෙනි.

විජයගේ රංගන චාරිකාවෙහි අනෙක් කඩඉම් රංගනය ලෙස මා දකින්නේ පතිරාජගේම තවත් චිත්‍රපටයක් වූ ‘පාරදිගේ‘ හි ඔහු රඟ පෑ චන්දරේගේ චරිතයයි. එය අහස්ගව්වෙහි මහතුන්ගේ චරිතයෙහිම දිගුවක් වැන්න. ස්ථීර රැකියාවක් නොමැති වූ චන්දරේ රැකියාව ලෙස වාහන සීස් කිරීමෙහි නිරතව සිටී. ඔහු හා ඔහුගේ පෙම්වතිය (ඉන්දිරා ජොන්ක්ලාස්) සමඟ ගත කරන ජීවිතය තුළ අනාගතය පිළිබඳ අවිනිශ්චිත, අපේක්ෂා විරහිත තරුණයකුගේ චරිතය විජය කුමාරතුංග අපූරුවට රඟපායි. පාරදිගේ හි විජය රඟපාන්නේ නාගරික තරුණයාගේ චරිතය වුව ජනප්‍රිය සුකුමාර තරුණයා එහි දී අපට දකින්නට නොලැබේ. ඒ වෙනුවට ජීවිතයේ සංකීර්ණ ප්‍රශ්න රැසකට මැදිවන, ජීවිතයේ අතර මං වූ තරුණයකුගේ භූමිකාවෙහි ජීවත්වන චන්දරේ හමු වේ. පෙම්වතියගේ (ඉන්දිරා ජොන් ක්ලස්) ගබ්සාවට උත්සාහ කරන චන්දරේ පසුව ඈ හා විවාහවීම වැනි අනපේක්ෂිත ගැටළු ඉදිරියේ විජය ගේ පරිපාකයට පත්වන රූපණයේ අපේක්ෂා සහගත ලක්ෂණ පෙනේ.

කලාත්මක චිත්‍රපට රංගනය සඳහා වන විජයගේ රංගන සම්ප්‍රදානයෙහි අග්‍ර ඵලය වන්නේ වසන්ත ඔබේසේකරගේ 'කැඩපතක ඡායා' (1988)හි ධනරත්නගේ චරිත නිරූපණයයි. ඔහු අතින් නන්දා (ස්වර්ණා මල්ලවාරච්චි) දූෂණයට ලක් වේ. ඒ වරද පිළිබඳ ඔහු පශ්චාත්තාප සිතින් පසුවන්නේ වරද නිවරද කරගැනීමට උත්සාහ කරමිනි. එවන් මානසික කැලඹීමකට පත් පුද්ගල මනෝ භාව පළ කිරීමෙහි ලා විජය කුමාරතුංගගේ පරිණත රංගන භාවිතාව ධනරත්න නම් වැඩිහිටි චරිතය විසින් ඉල්ලා සිටිනු ලබන අවිනිශ්චිත සිතැත්තෙකුගේ මානසික කැලඹීම අපූරුවට ප්‍රතිනිර්මාණය කරයි. ඔහුගේ සිතෙහි කම්පනය ප්‍රේක්ෂක සහානුභූතියක් බවට පත් වේ. විජය කුමාරතුංග ජනප්‍රිය සිනමාවේ ද කලාත්මක සිනමාවේ ද ප්‍රශස්ත භූමිකා නිරූපණය කළ විශිෂ්ටයකු බව සිනමා වංශථාවෙහි ලියැවී බොහෝ කල්ය.

 

Comments