කලක් තිස්සේ හිතක් පත්ලේ... | සිළුමිණ

කලක් තිස්සේ හිතක් පත්ලේ...

සුගතපාල සෙනරත් යාපාගේ නවතම සිනමාපටය සඳහා නවක නළු නිළියන් තෝරා ගැනීමේ අරමුණින් සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳව පුවත්පත් දැන්වීමක් පළ කර තිබිණි. ඒ ඔස්සේ විජය කුමාරතුංග තම ප්‍රථම සිනමා නිර්මාණය වූ හන්තාන කතාව චිත්‍රපටය හා සම්බන්ධ විණි. 1968දී මේ හා සම්බන්ධ සිදුවීම වුවත් චිත්‍රපටය තිරගත වූයේ 1969දීය. එතැන් පටන් විජය තම සිනමා ආගමනය තුළ තමන්ගේ ආස්ථානය සටහන් කිරීමට සමත් විය.

ශ්‍රී ලාංකේය රිදී තිරය ආකර්ෂණයෙන් පුරවාලූ යුගයක ඇරඹුම සිදු වන්නේ මින් පසුවයි.

මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාත් විජය කුමාරතුංගත් මුලින්ම සිනමාවට පැමිණියේ "මේ දෑස කුමටද" චිත්‍රපටයෙනි.

කෙසේ වුවත් මේ දෑස කුමටද චිත්‍රපටයෙන් මාලනිය සමඟ රංගනයට පිවිසි විජය වසර විසි ගණනකටත් වඩා කාලයක් මාලනිය සමඟ රංගනයේ යෙදෙන්නට සමත්විය. ඔහු ඇයගේ පෙම්වතා විය. ඇය ඔහුගේ පෙම්වතිය විය. සිනමාවේ කුමාරයා විජය වනවිට මාලනිය සියලු සිනමා රසිකයන් වශීකෘත කරගත් සිනහවකින් යුත් කාගේත් පෙම්වතිය විය. විජය වීරයාත්, පෙම්වතාත්, සිහින කුමරාත් වන විට සියල්ලන්ගේම බලාපොරොත්තුව වූයේ කටකාර මාලනිය විජයගේ පෙම්වතිය සේ දැක බලා ගන්නට වූ අපේක්ෂාවයි. ඔවුන්ගේ මුල්ම සිනමා පටය වූ මේ දෑස කුමටද චිත්‍රපටයේ දෑස් නොපෙනෙන අහිංසක තරුණයකු ලෙස විජය රංගනයෙන් එක්වන විට මාලනිය ගැමි තරුණියක ලෙස ඔවුන්ගේ මංගල හමුව වූ සිනමා පටය හා සම්බන්ධ විය. එය ලංකාවේ රසිකයා ඉතා ඉහළින් පිළිගත් චිත්‍රපටයක් විය

"නිල් අහසේ

උමතු වලා

ගොළු වී දුක සේ පාවෙනවා

ගිම්හානේ හිරු නැඟලා

පිපුණු කුසුම් පෙති පරවෙනවා"

රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ සමඟ ආවරණය නොමැති විවෘත කාරයක නැඟී මේ ගීතය ගායනා කරන්නේ මේ දෑස කුමටද චිත්‍රපටයේය. එපමණක් නොව "ආලෝකයේ අතීතයේ", "මා තැනු රුවන් විමන් බිදී" යන ගීත මේ සිනමාපටයේ ජනප්‍රියත්වයට ඉවහල් වුණා යයි නොකිවමනාය නමුත්,

"අහා අහා ආදරණීය සිනා ඔබේ

අහා අහා ආදරණීය සිනා"

ගීතයට මාලනිය සමඟ විජය එක්වූයේ ඊට පෙරය. ඒ 1971 දීය. මේ ගීතය මේ දෑස කුමටද චිත්‍රපටයේ ගීතවලට වඩා ජනප්‍රිය වූයේ වසරකටත් පෙර සිටයි. හතරදෙනාම සූරයෝ, මේ දෑස කුමටද චිත්‍රපට දෙක විජය මාලනීගේ ප්‍රේමාන්විත සිනමා අම්බරයේ එක දෙක ලෙස අංක ගත වන්නට විය.

ඒකාකාරී චරිතයන්ගෙන් වට්ටෝරු සිනමාවෙන් පිරී පැවති ලාංකේය සිනමාවේ නළුවන් ද බොහෝවිට බොහෝවිට ගිනිකූරු පොයින්ට් තැබූ එකම වර්ගයේ අය වූහ. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් මේ ක්‍රමය වෙනසකට බඳුන් විය. හන්තාන කතාවෙන් නවකයන් රැසක්ම බිහිවිය. පසුකාලීනව දේශීය සිනමාවේ නොවෙනස් පෙම්වත් චරිත දෙක විජය මාලනී කතන්දරයේ එක් චරිතයක් හොබවන්නට එදා කරළියට පා තැබූ විජය කුමාරතුංග නම් වූ නවකයාට හැකි විය. යුගයක ඇරැඹුම ඇති වන්නේ තවත් තැනකිනි.

එනම් 1973 මාර්තු නවවැනිදා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ තුෂාරා චිත්‍රපටයෙනි. මනස්කාන්ත වදන්, සෙනෙහෙබර අනුරාගයන්, සුන්දර සිනහවන්, ආදර කතාවන් තාරුණ්‍යයේ ජීවන රටාවන් එකී මෙකී සියල්ලන්ම යසපාලිත නානායක්කාරගේ උකහා ගැනීම තුළින් අත්වූ අවසන් ප්‍රතිඵලය වන්නේ තුෂාරා චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් අතිශය සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයක් වීමයි. නමුත් එය තවත් එක් බොක්ස් ඔෆිස් තැබූ චිත්‍රපටයක් නම් නොවීය. එය විජයගේත් මාලනියගේත් සිනමා ගමන්මඟේ හැරවුම් ලක්ෂ­්‍යයක් වූවා සේම ශ්‍රී ලාංකේය සිනමා ගමන්මඟ නැවුම් මාවතකට හැර වීමටත් යම් තරමකට සමත් විය .

විජය - මාලනී යුගයක් පිළිබඳ අද කතා කළ හැකි වන්නේ ද එදා තුෂාරා චිත්‍රපටයෙන් බිහි වූ ඒ නැවුම් ආරම්භයයි.

හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙන් ඇරඹි විජය මාලනී සුසංයෝගය මේ දෑස කුමට ද, තුෂාරා, සුසී, සැණකෙළිය, දාහකින් එකෙක්, හත්දින්නත් තරු, ආදරෙයි මං ආදරෙයි, සකුන්තලා, ප්‍රදීපේ මා වේවා, කුණ්ඩලකේෂි, සැලී, සෙලීනගෙ වලව්ව, හිතුවොත් හිතුවමයි, පෙම්බර මධූ, එයා දැන් ලොකු ළමයෙක්, මිහිදුම් සිහින, බඹරු ඇවිත්, විශ්මය, උන්නත් දාහයි මලත් දාහයි, ගංගා, වාසනා, සංගීතා, අනුපමා, මොනරතැන්න, හිඟන කොල්ලා, යස ඉසුරු, නැවත හමුවෙමු, සමනල සිහින, බැද්දේගම, ගීතිකා, කෝකිලා, දෙව්දුව, වැල්ලෙ තැනූ මාලිගා, වරදට දඬුවම්, මධුසමය ආදී ලෙස ගලා එන්නට විය. හතර දෙනාම සූරයන්ගෙන් ගමන් ඇරඹි මේ සුසංයෝගය සමඟ බාල මහලු සියල්ලෝම වයස් බේදයකින් තොරව ප්‍රේම කළහ.

සිනමා ප්‍රේමය ජය ගත්තද විජය හා මාලනීට තම දිවි මං තලාවේ ප්‍රේමය නිසි අයුරින් සලකුණු ගත කර ගන්නට නොහැකි විය. විජය මාලනී විවාහය ඔවුන් ජනප්‍රියත්වයට පත් වී හුන් 70 දශකයේ දීම සිදු වන්නට ගිය ද එය කවර හෝ හේතුවක් නිසා මඟ හැරී තිබිණි. ඒ කරුණු සම්බන්ධයෙන් මෙන්ම ඊට පෙර හා පසුව ඊට අදාල දෑ මෙන්ම විජය මාලනී ප්‍රේමයට අදාළ නොවන දෑ ද කතා වස්තූන් ලෙස සමාජ ගත වන්නට විය. ඒ කාලයේම ඒවා කට කතාය. පසුව කලක් ගත වන විට ඒවා හරිහැටිම විනිශ්චය කර ගත් පසු රසවත් කතාය. දැන් ඒවා අතීත කතාය. අතීත කතාවන් හා සිදුවීම් බොහෝ රසවත් ය. එහෙත් මේවා අනුන්ගේ කතාය. පෞද්ගලික දෑය. ඒ නිසා ඒ පරිච්ඡේදයට පමණක් මෙතැනින් තිත තබමු. පරිච්ඡේද කවරාකාර ලෙසින් අවසන් කළද විජය මාලනී සුසංයෝගයට අවසානයක් නම් නැත. අවසන් වූයේ නව නිර්මාණයන් බිහි වීම පමණි.

ඒ අසිරිමත් කාලය ලාංකේය සිනමාව අලුත් හුස්මක් ගත් කාලයයි. විජය මාලිනී හා එක්ව ප්‍රධාන චරිතයන් රඟපෑ තරමට හා සමානව වෙනත් තරු යුගලක් නම් සිංහල සිනමාවෙන් සොයා ගැනීමට හැකියාවක් නැත. විජය - මාලනී සිනමාවට නවමු පෙම් පුවතක් ගෙනා තරු යුගලක් පමණක් නොවීය. සිනමාවේ කුමාරයා විජය වන විට කුමාරයාගේ නෙත් සිත් පැහැරගත් ප්‍රියම්බිකාව මාලනිය විය. කාලය වියැකී ගියද මේ ප්‍රේමය සදාතනික සිහිවටනයක් විය. හිම මීදුම් අතරින් සවන් පත් සනහා තවමත් නිතැතින්ම රැව් දෙන්නේ ඒ ප්‍රේමයේ සිහින් සරයයි.

"කලක් තිස්සේ හිතක් පත්ලේ

පිපී රන්වන් මලක් දිලුණේ

තුෂාරා පත් මුදු මුදුන් සරසා

සුපෙම් හැඟුමන් හිතේ ගවසා

කලක් තිස්සේ හිතක් පත්ලේ

පිපී රන්වන් මලක් දිලුණේ.." 

Comments