ඔබ නැති සින­මාව අන්ධ­කා­රයි | සිළුමිණ

ඔබ නැති සින­මාව අන්ධ­කා­රයි

විජයගේ වියෝව එදාට වඩා අදට පාඩුවක් ලෙසයි දැනෙන්නේ

සනත් ගුණතිලක

ලෝක ස්වභාවය අනුව මරණය පුදුමයක් නොවුණත් මිනිසකු මිය යෑම කනගාටුව උපදවනවා. එයිනුත් නොමියෙන මිනිස් ගුණ සහිත මිනිසකු මිය යෑම කනගාටුව තවදුරටත් තීව්‍ර කරනවා. විජය කුමාරතුංග සාමාන්‍ය මිනිසකු තුළ තිබිය යුතු යහපත් ගුණාංග සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබූ උසස් මිනිසෙක්. සිනමාවට, සිනමාකරුවාට ආදරය කළ ඔහු අකාලයේ ජීවිතයෙන් සමු නොගෙන සිටියා නම් සිනමාකරුවන් බෙදී යාමට නොදී ඔවුන්ව එකතු කරන්නට ඔහුට හැකි වේවි. සමස්ත කලාවම වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ඉතාම ඉහළ සේවයක් කරන්නට ඔහුට හැකි වේවි. ඔහුගේ වියෝව එදාට වඩා අදට පාඩුවක් ලෙස දැනෙන්නේ ඒ නිසාමයි.

 

දේශපාලනයට පිවිසීම හැර මා ඔහුගෙන් දුටු කිසිදු වරදක් නැහැ

කමල් අද්දරආරච්චි

රංගන ජීවිතයේ දී විජය කුමාරතුංගයන් සමඟ මට තිබෙන්නේ එකම එක චිත්‍රපටයක එකම එක දර්ශනයක මතකයක්. ‘පාරමිතා‘ චිත්‍රපටයේ එන ඒ දර්ශනයේ මම ඔහුට ප්‍රේමය ගැන පවසනවා. එහි විශේෂත්වය එම දර්ශනය තුළ කතා කරන්නේ මා පමණයි. විජය කුමාරතුංගයන් තරම් ප්‍රේමණීය ප්‍රේමවන්තයෙක් සිංහල සිනමාවේ සිටියේ නැහැ. එවන් පුද්ගලයකුට මට ප්‍රේමය කියා දෙන්නට ලැබීමත් විහිළුවක් වගේ දැනුණේ. කෙසේ හෝ ඒ දර්ශනය රූගත කිරීම අවසානයේ දී ඔහු මදහසක් නගා මගේ පිටට තට්ටු කළා. ඔහු වචනයක්වත් නොකියා මාව අගය කළ බව මට දැනුණා. පසුකාලීනව අපි අතර ඉතාම හොඳ හිතවත්කමක් ඇති වුණා. ඔහු දේශපාලනයට පිවිසීම හැර මා ඔහුගෙන් දුටු කිසිදු වරදක් නැහැ. නමුත් නිර්මාණකරුවන් බොහොමයක් ඔහුව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර ගත්තා. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වැනි අතළොස්සක් නිර්මාණකරුවන් ඔහුගේ දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගත්තත් බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔහු එකම ආකාරයේ චරිත කිහිපයකට කොටු වුණා. මරණයෙන් පසු පවා සම්මානයට පාත්‍ර වූ මේ අසහාය නළුවා තවත් කාලයක් ජීවත් වූවා නම් ඔහුට චරිතාංග නළුවකු ලෙස සිනමාවට තවත් බොහෝ දේ එකතු කරන්න හැකියාව තිබුණා.

 

මගේ සිනමා ගමනේ අත්තිවාරම දමාගන්න ඔහුගේ අව්‍යාජ මානුෂීය ගුණාංග පිටිවහලක් වුණා

අනෝජා වීරසිංහ

මා සිනමාවට පැමිණි මුල්ම කාලයේ දී ‘මොණරතැන්න‘ ඇතුළු චිත්‍රපට කිහිපයක විජය කුමාරතුංගයන් සමඟ රංගනයට අවස්ථාව ලැබුණා. නවකයන් ලෙස ඔහු සමඟ කටයුතු කිරීමේදී කිසිදු අවස්ථාවක අපට බියක් දැනෙන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. මගේ සිනමා ගමනේ අත්තිවාරම දමාගන්න ඔහුගේ අව්‍යාජ මානුෂීය ගුණාංග පිටිවහලක් වුණා. අපි විහිළුවක් කළත් ඔහු කිසිවිටෙක කෝප වූ පුද්ගලයෙක් නොවෙයි. නිර්මාණ කාර්යයේදී ඔහු ඉතා සාමකාමීව සතුටින් ගත කළා. මේ මොහොතේ පවා ඔහු මිය ගිහින් බව අමතක වෙන තරමට සජීවී මතක ගොන්නක් ඔහු ඉතිරි කර ගියා. ඔහු සැබවින්ම දක්ෂ, ආදරණීය, ආකර්ෂණීය පුද්ගලයෙක්.

 

විජයගේ ගායන පෞරුෂය හඳුනා ගෙන ඔහු පසුබිම් ගායනයට යොමු කිරීම මා ලද භාග්‍යයක්

ප්‍රීතිරාජ් වීරරත්න

‘නොම්බර දාහත‘ චිත්‍රපටය සමඟ බැඳුණු විජේකුමාරතුංග පිළිබඳ මතක රැසක් මා සතුයි. ඔහුගේ ගායන පෞරුෂය හඳුනාගෙන එය චිත්‍රපට පසුබිම් ගායනය සඳහා යොදා ගන්න හැකිවීම මා ලද භාග්‍යයක්. ඔහුගේ මරණයට විනාඩි කිහිපයකට පෙරත් මට ඔහුව මුණ ගැසුණා. කාලයක් පුරා ඒ වියෝව දරාගත නොහැකි ලෙස මගේ සිතේ රැඳී තිබුණා. මා ඔහු සමඟ රූගත කරන්න සිටි ඊළඟ චිත්‍රපටය සඳහා ද ඔහු දින පවා වෙන් කර තිබුණා. විජය කුමාරතුංග අහිමිවීම සිනමාවට උහුලාගත නොහැකි පාඩුවක්.

විජයගේ මරණයට සාධාරණයක් ඉටු නොවීම සමස්ත සමාජයට නරක ආදර්ශයක්

ධර්මසිරි බණ්ඩාරනායක

විජය කුමාරතුංගයන්ගේ ආකර්ෂණීය සිනමා පෞරුෂය ඔහුගේ දේශපාලන භූමිකාවට මනා පිටිවහලක් වුණා. සිනමා නළුවෙක් වශයෙන් ඔහු ගොඩනගා ගෙන තිබූ පෞරුෂය ඔහුගේ දේශපාලන භූමිකාව ශක්තිමත් කරන්න ඉවහල් වුණා. ඔහු අහිමි වීම සිනමාවට පාඩුවක් වගේම ඔහුගේ මරණයට සාධාරණයක් ඉටු නොවීම සමස්ත සමාජයට නරක ආදර්ශයක් ලෙස මම දකිනවා.

ඔහුගේ හැර යෑම සිංහල සිනමාවේ අභාග්‍යයක්

නීල් අලස්

නළු නිළියන්ගේ ඇතුළු සමස්ත සිනමාවේම අභාග්‍යයකට විජය කුමාරතුංගයන්ට අකාලයේ අප හැර යන්නට සිදු වුණා. ඔහු සිටියා නම් සිනමා කර්මාන්තයට පමණක් නොව නළු නිළියන් වශයෙන් අපට මේ වන විට යම්කිසි ස්ථාවරයකට සහ මෙයට වඩා යහපත් වාතාවරණයක් ගොඩනැඟෙන්නට අවශ්‍ය අඩිතාලම සකස් කර දෙන බව නො අනුමානයි.

එතරම් සුන්දර පුද්ගලයකු මා දැක තිබුණේ නෑ

දිල්හානි අශෝකමාලා ඒකනායක

මම සිනමාවට පිවිසෙන්නේ විජය කුමාරතුංගයන්ගේ වියෝවෙන් පසුවයි. සිනමාව තුළ ඔහු සමඟ අත්දැකීම් නැතත් පෞද්ගලික ජීවිතයේ ඔහු පිළිබඳ මතක බොහෝ තිබෙනවා. ඔහු ජීවත් වුණේ මා කුඩා කල ජීවත්වූ ප්‍රදේශයේමයි. මට මතක කාලයේ සිට එතරම් සුන්දර පුද්ගලයකු මා දැක තිබුණේ නෑ. වටපිටාවේ හිටපු පුංචි දරුවෝ ඔහු දැක්කහම පස්සෙන් දුවන තරමට ඉතා ඉහළ පෞරුෂයක් සහ ආකර්ෂණයක් ඔහු සතු වුණා. මම අත දරුවකුව සිටියදී මා බලාගත් පුද්ගලයා දිනක් විජයගේ බයිසිකලය සෝදා දෙනතුරු විජය මා වඩාගෙන සිටි බව මම අසා තිබෙනවා. මුළු ගමම සමඟ ඔහු ඉතාම සුහදව කටයුතු කළා. පාරේ යද්දි වාහනේ නවත්තලා ගමේ අය එක්ක කතා කරන්න ඔහු පුරුදු වෙලා තිබුණා. ජීවිත කාලය පුරා මා දැක තිබෙන ආකර්ෂණීයම පුද්ගල චරිත ඉතාම සුළු ප්‍රමාණය අතර විජය ඉහළින්ම සිටිනවා.

විිජය ‘බයිසිකලය‘ රඟපෑවේ මුදල් නොගෙනයි

රෙක්ස් කොඩිප්පිලි

සිනමා ජීවිතයේ චිත්‍රපට ගණනාවක මට විජය කුමාරතුංග සමඟ එක්ව කටයුතු කරන්න අවස්ථාව හිමි වුණා. මෙතෙක් කාලයක් ඔහු වැනි මානුෂීය ගුණාංගවලින් හෙබි වෙනත් නළුවෙක් මට මුණ ගැසී නැහැ. මා විසින් නිර්මාණය කළ ‘බයිසිකලය‘ චිත්‍රපටයට ඔහු මුදල් නොගෙන රංගනයෙන් දායක වුණා. එය මට ඔහු පිළිබඳ තිබෙන සුවිශේෂ මතක සටහනක්.

වාණිජ සිනමාවේ ස්වර්ණමය යුගය වෙනුවෙන් ඉහළ දායකත්වයක් සැපැයූ නළුවෙක්

ජීවන් කුමාරතුංග

වාණිජ සිනමාවේ ස්වර්ණමය යුගය වෙනුවෙන් ඉතා හොඳම දායකත්වයක් දැක්වූ නළුවන් අතරින් විජය කුමාරතුංග ඉහළින්ම සිටිනවා. ඔහු වියෝ වූ කාලයේ සිනමාව සමඟ සම්බන්ධ ව සිටි රසගුලා මැවු දැවැන්තයන් කිහිපදෙනෙක්ම ජීවිතයෙන් සමුගත්තා. විශේෂයෙන්ම ඔහුගේ අභාවය නිසා ඇති වූ හිස්තැන මකන්නට පහසු නැහැ. ඔහු මහා ආදරයක් සිනමා කර්මාන්තය පුරා පැතිරෙව්වා සේම ඔහුටත් පෙරළා එවැනිම ආදරයක් හිමිවුණා. ඉතාම ප්‍රබලව මතු වන එවැනි ආකර්ෂණීයභාවයකින් යුතු නළු නිළියන් දැන් සිනමාව තුළ නොසිටීම විශාල පාඩුවක්. විජය කුමාරතුංගයන්ගේ දේශපාලන භූමිකාවත් ඉතාම විශේෂයි. දේශපාලනඥයකු ලෙස කෙටි කාලයක් තුළ දැවැන්ත ජනතා කැමැත්තක් දිනාගන්න ඔහුට හැකි වුණා.

ක්‍රිස්තු චරිතය නිරූපණය කළත් එය නරඹන්න දෛවය ඔහුට ඉඩ තැබුවේ නැහැ

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

විජය කුමාරතුංග කොළඹ මරදානේ සංගීත මංජරිය වෙත නිතර පැමිණෙන නිසා අපි සමීපයි. අනුපමා, කිඳුරු කුමාරි, ක්‍රිස්තු චරිතය කියන මගේ චිත්‍රපට තුනට විජය කුමාරතුංග රංගනයෙන් දායක වුණා. මම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වුණෙත් විජය කුමාරතුංග නිසා. ඔහු සම්බන්ධව මට ඉතාම අනුවේදනීයම අත්දැකීමක් තිබෙනවා. ඔහු ක්‍රිස්තු චරිතය නිරූපණය කරන විට බොහෝ දෙනා එයින් ඔහුට වස් වැදීමක් වෙතැයි පවසා එය නොකරන ලෙස පවසා තිබුණා. නමුත් ඔහු ඒවා විශ්වාස නොකර දිගටම රංගනයෙන් දායක වුණා. එහෙත් දෛවය ඔහුට ඒ චිත්‍රපටය නරඹන්න ඉඩ තැබුවේ නැහැ. ක්‍රිස්තු චරිතයෙහි අවසාන ජවනිකා කිහිපය රූගත කරන්න තිබියදී ඔහුට ජීවිතයෙන් සමුගන්න සිදු වුණා. අපි මිථ්‍යාව බැහැර කළත් මිථ්‍යාව සත්‍ය වන ඇතැම් අවස්ථා තිබෙන බව ඒ සිදුවීම සමඟ මට දැනුණා.

 

මගේ බාල දියණියට නම තැබුවේ විජය

අමරසිරි කලංසූරිය

විජය කුමාරතුංග කියන්නේ මිනිස්කමට ආදර්ශයක්. මෙතෙක් කාලයක් මා දුටු මිනිසුන් අතර මිනිස්කම ඉහළින්ම තිබූ මිනිසා ඔහුයි. ඔහු හා බැඳුණු අත්දැකීම් අතර මගේ මතකයේ රැඳී ඇති විශේෂම සිදුවීම වන්නේ මගේ බාල දියණියට නම යෙදුවේ ඔහු වීම. දියණිය ඉපදී දෙවන දවසේ අපේ නිවෙසට පැමිණ ඇය වඩාගෙන මගෙන් ඇගේ නම ඇහුවා. ඇයට තවමත් නමක් තබා නැති බවත් නම තැබීමට දී ඇති අකුරුත් ඔහුට කියූ විට ඔහු ඇයට ලලිත්‍යා යන නම තබන ලෙස මගෙන් ඉල්ලුවා. එය මට කිසිදා අමතක වන්නේ නැහැ. ඔහු මිය ගොස් වසර තිස් දෙකකට පසුවත් අද ඊයේ සිදු වුණු ලෙසයි මට හැඟෙන්නේ. ඒ තරමටම ඔහු මගේ හදවතේ ජීවමානයි.

 

ඔහුට ක්‍රෝධ කරන අය ඇතැයි අප සිතුවේ නැහැ

සුනිල් සෝම පීරිස්

විජය අදටත් මේ රටේ ජනප්‍රියම කලාකරුවා. ඔහු රංගන ශිල්පියකු ලෙස වාණිජ සහ කලාත්මක යන දෙවර්ගයේම චිත්‍රපට සඳහා තම රංග ප්‍රතිභාව එක් කළා. ඒ පිළිබඳ තර්කයක් හෝ වෙනත් හැදින්වීමක් අවශ්‍ය නැහැ. කලාකරුවකුට වඩා අව්‍යාජ මිනිසකු ලෙස විජය ගුණ ගරුක අවංක නිහතමානී ගුණයෙන් යුතු පුද්ගලයෙක්. විජය කෙනකුට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඔහුට ක්‍රෝධ කරන අය ඇතැයි අප සිතුවේ නැහැ. නමුත් විජයගේ දේශපාලන මතවලට විරුද්ධවාදීන් සිටි බව විජයත් දැනගෙන සිට නැහැ. ඔහු අපට අහිමි වූයේ ඒ නිසයි. එදා මිය ගියේ විජය නොව අපේ සිනමාවයි. “ආදරණීය විජය ඔබ නැති සිනමාව අන්ධකාරයි. ඔබ අමරණීයයි.”

 

විජය වෙන්න කිසිම කෙනකුට බැහැ

ගීතා කුමාරසිංහ

මම නවකයකු ලෙස සිනමාවට අවතීර්ණ වන සමයෙහි විජය අතිශයින්ම ජනප්‍රියයි. ඔහු සමඟ ඉතා ජනප්‍රිය සහ සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව හිමි වුණා. රංගන කාර්යයේ දී ඔහු ඉතා සහයෝගයෙන් කටයුතු කළ අයෙක්. විජයට අදටත් බොහෝ දෙනා ආදරය කරන්නේ ඔහු හෙළ සිනමා වංශ කතාවේ නොමැකෙන චරිතයක් නිසාම නොවෙයි. ඔහු සතුව තිබූ අධිමානුෂීය ගතිගුණ නිසා. ශ්‍රී ලංකාවටම සිටින්නේ එක විජය කුමාරතුංග කෙනකු පමණයි. ඔහු වෙන්න උත්සාහ කළ කිසිම කෙනෙක් සාර්ථක වුණේ නැහැ. ඔහු වෙන්න කිසි කෙනකුට හැකියාවකුත් නැහැ.

ඔහු හැමෝගෙම ආදරය සහ හොඳ හිත දිනාගත් මිනිසෙක්

සංගීතා වීරරත්න

මට විජය කුමාරතුංග සමඟ කිසි දිනෙක සිනමාවේ රංගනයේ යෙදෙන්න හැකියාවක් නොලැබුණත් මා ඉපදුණු දිනවල මගේ පියා විසින් නිර්මාණය කළ සංගීතා චිත්‍රපටයෙහි ප්‍රධාන නළු භූමිකාව රඟ දක්වා තිබෙන්නේ විජය කුමාරතුංගයන්. ටිකෙන් ටික දැනුම් තේරුම් ඇති වයසට පැමිණි විට ඔහු රඟපෑ රජ දවසක්, නැංගුරම් ආදී චිත්‍රපට මගේ මතකයේ තිබෙනවා. මා කුඩා වියේදී පාණදුර අවට රූගත කිරීමක් තිබුණොත් ඔහු අනිවාර්යයෙන්ම අපේ නිවෙසට එනවා. අපේ නිවෙසේ දොර තරම් උස ඔහුට තිබුණේ අමතක කරන්නට බැරි තරම් ඉතාම සුන්දර රූපයක්.

ඔහු මියගියා යැයි පැවසූ දිනයේ අපේ නිවෙසේ රූගත කිරීමක් තිබුණා. ඒ ආරංචිය ලැබුණු සැණින්ම මගේ පියා එක වචනයක්වත් කතා නොකර කාමරයට වැදුණා. රූගත කිරීමට සහභාගි වූ සියලු දෙනා හිටි තැන්වලම හඬන්න පටන් ගත්තා. ඔහුගේ අහිමි වීම අනිත් අයට මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද යන කාරණාව එදා මට වැටහුණා. ළඟ ඇසුරකට අවකාශ නොලැබුණත් ඒ මොහොතේ සියලු දෙනාගේම හැසිරීම් මට පැවසුවේ ඔහු හැමෝගෙම ආදරය සහ හොඳ හිත පමණක් දිනාගත් මිනිසකු බවයි.

 

රංගනයේදී සියලු දේ අමතක කර සැහැල්ලුවෙන් රඟපෑම ඔහුගේ විශේෂත්වයක්

සුමනා අමරසිංහ

‘නව කඩ වුණු පොරොන්දුව‘ , ‘බිරිඳ‘, ‘මිහිදුම් සිහින‘, ‘මධු සිහින‘ ආදී ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපට ගණනාවක මම විජය කුමාරතුංග සමඟ රංගනයේ යෙදුණා. ඔහු බොහොම විනෝදකාමී පුද්ගලයෙක්. රංගන කාර්යයේ දී දේශපාලනය ඇතුළු අන් සියලු දේ අමතක කර බොහොම සැහැල්ලුවෙන් රංගනයේ නිරත වීම ඔහුගේ විශේෂත්වයක්. විජය කුමාරතුංග ගීත රසවිඳින්න හරිම කැමැතියි. මස්කෙළිය ප්‍රදේශයේ වතු බංගලාවක් අසල පිහිටි කන්දක් මුදුනේ හට් එකක් ගහගෙන අප කිහිප දෙනෙක් ගී ගයමින් සතුටින් ගත කළ ඒ සුන්දර දවස කිසි දිනෙක අමතක වන්නේ නැහැ. අවසාන වරට ඔහු අප සමඟ කටයුතු කළේ ‘මධු සිහින‘ චිත්‍රපටය රූගත කිරීම්වලටයි. ඔහුගේ මරණයට දින දෙකකට පෙර ඔහුගේ දර්ශන රූගත කිරීම් අවසානයේ හදිසි රැස්වීම් කිහිපයක් ඇති බව පවසා ඔහු අපෙන් සමු ගත්තා. අමතක වී දමාගිය ඔහුගේ බඩු බාහිරාදිය කිහිපයක් අපට රැගෙන එන ලෙස ඔහු දුරකතන ඇමැතුමක් දුන්නා. ඒ ඔහු හා අප අතර වූ අවසන් සංවාදයයි. එයින් දින දෙකකට පසු ඔහුගේ අභාවය ඇසූ අපට දරාගත නොහැකි කම්පනයක් වුණා. අදටත් ඔහු හා බැඳුණු මතක මගේ මතකයෙන් ඈත් වන්නේ නැහැ.

ඔහු හැම විටම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ පුද්ගලයෙක්

අයිරාංගනී සේරසිංහ

විජය කුමාරතුංග සමඟ චිත්‍රපට කිහිපයකම එකට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඔහු බොහොම කරුණාවන්ත නිවුණු පුද්ගලයෙක්. හරිම සුහදශීලීව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කරන්න සෑම විටම වග බලා ගත්තා. ඔහුට සිදු වූ දේ ගැන සිතන විට අදටත් දැනෙන්නෙ දරාගන්න බැරි දුකක්.

 

එවැනි සුන්දර පුද්ගලයකු ඇසුරට ලැබීම භාග්‍යයක්

සුමිත්‍රා පීරිස්

මට විජය කුමාරතුංග සමඟ තියෙන ප්‍රබලම අත්දැකීමක් විදිහට මගේ ‘ගඟ අද්දර‘ ගීතය ඔහු විසින් ගායනා කිරීම සඳහන් කරන්න පුළුවන්. එය මට වගේම ඔහුටත් විශේෂ අත්දැකීමක්. මේ ගීතය ඔහුට ගායනා කරන්න දෙමු කියන යෝජනාව ගෙනාවේ නිමල් මෙන්ඩිස්. ඔහුගේ හඬ ඒ ගීතයට අපූරුවට ගැළපුණා. ඉන්පසු ‘ගඟ අද්දර‘ චිත්‍රපටයේ ඉතා දීර්ඝ චරිතයක් ඔහු නිරූපණය කළා. ඒ ඔහු දේශපාලනයට අවතීර්ණ වූ මුල් අවදිය. මට මතකයි රූගත කිරීම් අතර මම ඔහුට විහිළු කළා දේශපාලන ව්‍යාපාරයට උදව්වක් වශයෙන් සමීප රූපයක් (close-up) ගෙන දෙන්නම් කියලා.

ඔහුගේ විවාහයට අත්සන් තැබුවේත් මගේ සැමියා ලෙස්ටර්. ඔහු ජීවත් වෙලා සිටින කාලය පුරා ඔහු සමඟ අපේ ඉතා හොඳ මිත්‍රත්වයක් තිබුණා. එවැනි සුන්දර පුද්ගලයකු ඇසුරට ලැබීම මගේ භාග්‍යයක් ලෙස මම සලකනවා.

 

ඔහුගේ අවසන් උපන්දින සුබ පැතුම මට අමතක වන්නේ නැහැ

මැණික් කුරුකුලසූරිය

පුංචි කාලේ සිට විජය කුමාරතුංගයන්ගේ හුරතල් කුඩා නැඟණියක් වෙන්න මට වාසනාව ලැබුණා. ඒ කාලේ ඔහුගේ මෝටර් බයිසිකලෙන් රවුමක් යන්න මම හරි ආසයි. ඔහු අපේ නිවෙසට පැමිණි බොහෝ අවස්ථාවල මා මෝටර් බයිසිකලේ හිඳුවාගෙන රැගෙන යනවා මතකයි.

සිනමා ජීවිතයේදී ඔහු සමඟ මුලින්ම එකට වැඩ කරන්න ලැබෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයක. මගේ උපන්දිනේට නොවරදවාම ඔහු දුරකතනයෙන් සුබ පතනවා. ඔහු මිය යන්න පෙර වසරේ ඒ සුබ පැතීම අමතක නොවෙන්නේ ඒ වසරේදී ඔහු උපන්දිනයට හරියටම මාසයකට පෙර මා අමතා සුබ පැතූ නිසා. කුමක් හෝ හේතුවක් මත ඔහුට දිනය මතක තිබුණත් මාසය අමතක වී තිබුණා.

Comments